UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලාමක ආශාවන් බැහැර කරමු

සත්පුරුෂයෙක් වන්නට නම් -3

ඕනෑම අකුසලයක් කුඩාවට තමයි සිතේ පටන් ගන්නේ. ඒක හරියට නිකන් පුංචි ගිනි පුලුඟකින් මහා ගින්නක් හට ගන්නවා වගෙයි. මහා ගින්නකින් නෙවෙයි මහා ගින්නක් හට ගන්නේ. පුංචි ගින්නට, ගින්න වැඩි වෙන දේවල් එකතු වෙනවා ටික ටික. එවිට විශාල ගින්නක් බවට පත් වෙනවා

(2012. 07. 18 පත්‍රය හා සම්බන්ධයි)

ශෝක කරන ජනයා ළඟ ශෝක නොකර ඉන්න පුළුවන් නම්, පී‍්‍රති ප්‍රමෝදයෙන් ඉන්න අය ළඟ කවර කතාද? එහෙනම් එයාට ශෝක කරන්ට දෙයක් නෑ. සත්පුරුෂයා ශෝක කරන්නෙ නෑ. එයා සතුටෙන් ඉන්නෙ. එහෙනම් අප සතුටෙන් ඉන්ට කැමැති නම්, පී‍්‍රති ප්‍රමෝදයෙන් ඉන්ට කැමැති නම්, අප කළ යුත්තේ සත්පුරුෂයෙක් වීමයි නේද? අප සුගතියේ ඉපදෙන්ට කැමැති නම්, ඒත් කළයුත්තේ සත්පුරුෂයෙක් වීමමයි. නිවන අවබෝධ කරන්ට කැමැති නම් කළ යුත්තේ සත්පුරුෂයෙක් වීමමයි.

එහෙනම්, මේ කාරණය හොඳට මතක තියා ගන්න. මොහොතක්වත් ප්‍රමාද නොකර සත්පුරුෂභාවය උපදවාගන්ට කල්පනා කරන්ට,මේ ලෝකයේ මොන සැප සම්පත් තිබුණත්, මොන හැකියාවන් තිබුණත් සත්පුරුෂයෙක් නොවෙයි නම්, එයාට ඒ හැකියාවෙන් ඇති වැඩක් නෑ. එයාට විශාල පිරිසක් හිටියත්, සත්පුරුෂයෙක් නොවෙයි නම්, ඒ පිරිසේ බලයෙන් එයාට වැඩක් නෑ. එයාට කතාවෙන් හරි, යම් දෙයකින් හරි, උපක්‍රමයකින් හරි, ඕන කෙනෙක් පහදවා ගන්ට පුළුවන් නම්, ඒක හැකියාවක් නේද? හැබැයි එයා සත්පුරුෂයෙක් නොවෙයි නම්, ඒ හැකියාවෙන් ඇති වැඩක් නෑ. ලස්සනට මිහිරට කරුණු කියන්ට පුළුවන් වුණත් සත්පුරුෂයෙක් නොවෙයි නම්, ඒ හැකියාවෙන් ඇති වැඩක් නෑ. කායික බලය තිබුණත් සත්පුරුෂයෙක් නොවෙයි නම්, ඒ හැකියාවෙන් ඇති වැඩක් නෑ. අපි හිතමු යම් කෙනෙක් ඉන්නව කිසි කෙනෙක් එයා ගණන් ගන්නෙ නෑ. එයාට ලාභ ප්‍රයෝජන ලැබෙන්නෙත් නෑ. කොන්වෙලා ඉන්නෙ. හැබැයි එයා සත්පුරුෂයෙක් නම්, මොනවා නොලැබුණත් ඒක වටිනවා.

එනිසා අපට බාහිර ලෝකයෙන් මොන දේ ලැබුණත් අප සත්පුරුෂ නොවෙයි නම්, ඒ ලැබෙන දෙයින් වැඩක් නෑ. අපි හිතමු මුලු ලෝකෙම ප්‍රශංසා කරනව, අසවල් කෙනා මෙහෙමයි කියල, මුලු ලෝකෙම නම පැතිරෙනව කියලා සිතන්න. එයා ජනපි‍්‍රය වෙනව, හැබැයි අප සත්පුරුෂ නොවෙයි නම්, ඒ ජනපි‍්‍රයත්වය අපට වැඩක් නෑ. අපටත් අනිත් අයටත් කාටවත් වැඩක් නෑ. සියලු දෙනාටම ඒක අහිත පිණිසයි පවතින්නෙ. අසත්පුරුෂ කෙනෙක් ජනපි‍්‍රය වෙනව. ඒ ජනපි‍්‍රයත්වයෙන් ලෝකෙට යහපතක් තියෙනවද? හොඳට බලන්ට කල්පනා කරල නෑ නේද? ජනපි‍්‍රයයි කියල කියන්නෙ එයාට මිනිස්සු පැහැදිලා නේද? ඒ මිනිස්සු පැහැදුණේ අසත්පුරුෂයෙකුට නම්, ඒ මිනිස්සුන්ට යහපතක් වෙන්නෙ නෑ.ඇයි මේ ධර්මයේ තියෙන්නෙ කොහොමද? සත්පුරුෂයන් සමඟයි එකතු වෙන්ට ඕන. සත්පුරුෂයන් සමඟ තමයි යාළුවෙන්ට ඕන. සත්පුරූෂයන් සමඟ තමයි වාසය කරන්ට ඕන. එතකොට සත්පුරුෂයන්ගේ ඒ ධර්මය අහන කොට දියුණු වෙනව. ඊළඟට ප්‍රඥාව ලැබෙනව, සැප ලැබෙනව, අසත්පුරුෂයෙක් එක්ක මිත්‍ර වුණොත්, අසත්පුරුෂයෙකුට පැහැදුණත් අසත්පුරුෂ ඇසුරට යනව නේද? එතකොට අහන්න ලැබෙන්නෙ,අසත්පුරුෂ ධර්මය එයා පිරිහෙනව. ප්‍රඥාව ලැබෙනවද? නෑ. සැප ලැබෙනවද? සැප ලැබෙන්නේ නෑ.

එහෙනම් අප තමන්ගේ යහපත කැමැති නම්, අනුන්ගේ යහපත කැමැති නම්, තම තමා විසින් කළ යුත්තේ, තමන් සත්පුරුෂයෙක් වීමයි. බාහිර වශයෙන් අපට සත්කාර සම්මාන ආදිය මොනවා ලැබුණත්, ජීවිතයේ සත්පුරුෂයෙක් වෙන්ට, අපට බැරි වෙලා තියෙනව නම් වැඩක් නෑ. ඒක නිසා බාහිරින් ලැබෙන කිසිදෙයක් වටිනා දේවල් විදියට සලකන්ට එපා. ඒවා අතහැරල දාලා සත්පුරුෂයෙක් වෙන්ට උත්සාහ කරන්ට .ඒකමයි වටින්නෙ. සියලු දෙනාටම සැප ඇතිවෙන විදිහට, කවදාවත් දුක ඇති නොවන විදිහට, ජීවිතේ දියුණු කරගන්ට පුළුවන් සත්පුරුෂභාවයට පත්වීම පිණිස භාග්‍ය උදාවේවා කියල අපි ආශිර්වාද කරමු.

භාග්‍යවතුන් වහන්සේ විසින් අපට මහා කරුණාවෙන් යම් කාරණයක් සිහිපත් කර දෙනවා නම් අප ඒක ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුතුව පිළිගත්තොත් අපට ඒක අපගේ ආරක්ෂාව පිණිසම හේතුවෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන කාරණා අප පිළිනොගත්තොත් අපට ලොකු අනතුරක් තියෙනවා. ඛුද්දක නිකාය පළමුවන පොත් වහන්සේගේ තියෙනවා “දේවදත්ත විපත්ති සූත්‍රය” කියල සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවේ මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා “පින්වත් මහණෙනි, දේවදත්ත හිටියේ අසත්පුරුෂ කරුණු තුනක් විසින් මැඩගෙනමයි. ඒ අසත්පුරුෂ කරුණු තුන වැළඳ ගෙනයි, එයටම යටවෙච්ච සිතිනුයි සිටියේ. මේ නිසයි දේවදත්තට කිසිම පිළියමක් කර ගන්න බැරි කල්පයක් පැහෙන අපායේ ඉපදෙන්ට සිද්ධ වුණේ. නිරයේ ඉපදෙන්ට සිද්ධ වුණේ කියලා.

ඒක අතිශයින් භයානක දෙයක්. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය අපට පෙන්වා දෙන්නේ තව කෙනෙක් මේ ආකාරයෙන් අමාරුවේ නොවැටේවා කියන හැඟීම නිසයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මොනවද ඒ කාරණා තුන කියලා. පින්වත් මහණෙනි, පාපී ආශාව විසින් දේවදත්තගේ සිත මැඩ ගත්තු නිසා, සිත ග්‍රහණය කර ගත්තු නිසා, එයටම යට වෙච්ච නිසා තමයි දේවදත්ත අපායේ ඉපදුනේ, නිරයේ ඉපදුනේ, කල්පයක්ම නිරයේ පැහෙන්ට සිද්ධ වුණේ. ඒකෙන් ගැළවෙන්න පිළියමක් නැතුව ගියේ. මොකෙන්ද සිත යට වුණේ පාපී ආශාවෙන්. හොඳට මතක තියා ගන්න පාපී ආශාවෙන් සිත යට වෙන්න දෙන්න හොඳ නෑ. ලාමක ආශාවන්ට සිත ගොදුරු වුණොත් අපට මහා අනතුරු සිද්ධ වෙන්ට පුළුවන්. ලාමක ආශාවන් සිතට ආවොත් ඒක දැකලා බැහැර කරන්ට ඕන. ඒකෙන් සිත යට වෙලා ගියොත් අප කොපමණ ලොකු අනතුරුවලට ගොදුරු වේවිද කියලා අපට සිතා ගන්න බෑ.

ඕනෑම අකුසලයක් කුඩාවට තමයි සිතේ පටන් ගන්නේ. ඒක හරියට නිකන් පුංචි ගිනි පුලුඟකින් මහා ගින්නක් හට ගන්නවා වගෙයි. මහා ගින්නකින් නෙවෙයි මහා ගින්නක් හට ගන්නේ. පුංචි ගින්නට, ගින්න වැඩි වෙන දේවල් එකතු වෙනවා ටික ටික. එවිට විශාල ගින්නක් බවට පත් වෙනවා. ගම් නියං ගම් නගර රටවල් පිටින් වැනසිලා යනවා. ඒ නිසා අප ගින්න දැක්කහම ඉක්මනින් ඒක නිවා ගන්ට ඕනෑ. ලාමක ආශාව කියන එක ගින්නක්. ඒක ඉතුරු වුණොත් ටික ටික පැතිරිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මුලු සිතම දවලා දාන්න පුළුවන්. සිතම පිච්චිලා වැනසිලා යන්ට පුළුවන්. ඒ නිසා ලාමක ආශාව අඳින ගෙන ඒක බැහැර කරන්න. ඒවට ඉඩ තියා ගන්න එපා. ඒ නිසා දැන් දැන් ඉඳන්ම කැමැති වෙන්ට ඕනෑ ලාමක දේවල් බැහැර කරන්ට. ඒ පාපී ආශාවන්ට අකැමැත්ත දැන්මම සිතේ ඇති කරගන්ට ඕනෑ. පාපී ආශාවන්ට අකැමැත්ත අප දැන් දැන් උපදවා ගන්ට ඕනෑ. එහෙම නැත්නම් ඒ ලාමක ආශාවන්ට සිත යට වෙනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “පින්වත් මහණෙනි, පාප මිත්‍රයන් ඇසුරු කිරීම විසින් සිත මැඩගත්තු නිසා සිත ප්‍රහාණය කර ගත්තු නිසා එයටම යට වෙච්ච නිසා තමයි දේවදත්ත අපායේ ඉපදුනේ. නිරයේ ඉපදුනේ. කල්පයක්ම එහි පැහෙන්ට සිද්ධ වුණේ. ඒකෙන් ගැළවෙන්න පිළියමක් නැතුව ගියේම කියල. එවිට බලන්න ලාමක ආශාවට සිත යට වුණා නම් ආශාවන්ට සිත යට වුණා. ඊළඟ එක පාප මිත්‍රයන්ගේ ඇසුරට ගොදුරු වුණා. ඒකෙන් සිත යට වුණා. ගැළවෙන්ට බැරුව ගියා.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් මහණෙනි, ‘ආර්ය මාර්ගයට පැමිණෙන්ට තව ගොඩාක් ඉදිරියට බණ භාවනා කරන්ට තිබියදීත්, පුංචි අධිගමයක් ලබපු පමණින්ම කළ යුතු සියලු දේම කළා කියලා නිශ්චයකට පැමිණුනා.

පින්වත් මහණෙනි, මෙන්න මේ අසත්පුරුෂ කාරණා තුනකින් මැඩ ගත්තු ග්‍රහණය කර ගත්තු සිතින් යුතු, එයටම යට වෙච්ච සිතින් යුතු දේවදත්ත අපායේ ඉපදුණා. නිරයේ ඉපදුනා, කල්පයක්ම එහි පැහෙන්න සිද්ධ වුණා, ඒකෙන් ගැළවෙන්න පිළියමක් නැතුව ගියාම කියල.

මොනවද දේවදත්ත අපායේ ඉපදෙන්න හේතු වුණ අසත්පුරුෂ කාරණා තුන ? පාපී ආශාවන්ගෙන් සිත යට වුණා. ඊළඟට පාපී මිත්‍රයන්ගේ ආශ්‍රයට වැටුණා. සිත යට වුණා, ගැළවෙන්න බැරි වුණා. ඊළඟට අවබෝධ කරන්නෙ නැතුවම අවබෝධ වුණා කියන අදහසට ආවා.

ඒ අදහසින් ගැළවෙන්න බැරි වුණා. සිත යටවුණා. ඒ භාග්‍යවතුන් වහන්සේ සිහි උපද්දවලා දෙද්දී පවා දේවදත්තට බැරි වුණා. ඒ කාරණා තුනෙන් එකකින්වත් ගැළවෙන්න. භාග්‍යවතුන් වහන්සේ උත්සාහ කරද්දීත් ඒ ලාමක දෙයින් ගැළවෙන්න දේවදත්තට බැරි වුණා නම් භාග්‍යවතුන් වහන්සේ නැති යුගයක කෙනෙක් ඒ පාපී දේවල්වලට යට වුණොත් එයාට ගැළවෙන්න අමාරයි නේද? භාග්‍යවතුන් වහන්සේ හිටපු යුගයේ භාග්‍යවතුන් වහන්සේ විසිනුත් කරුණු කිය කියා දේවදත්තට සිහිය උපද්දවල දෙද්දී පවා එයාට සිහිය උපදවා ගන්න බැරි වුණා නම් භාග්‍යවතුන් වහන්සේ නැති අද වගේ මනුස්සයාගේ ප්‍රඥාව පිරිහිලා ගියපු, නුවණ දුර්වල වෙලා ගියපු යුගයක ඒ පාපී ආශාවන්ට යට වුණොත්, පාප මිත්‍රයන්ගේ ඇසුරට වැටුණොත් අප අවබෝධ නොකරම අවබෝධ කළා කියලා මුලාවට පත්වුණොත්, ඒවායින් ගැළවෙන්න තියෙන ඉඩකඩ අඩුයි නේද ?

ඒ පුද්ගලයා තුළ භාග්‍යවතුන් වහන්සේටත් සිහිය උපද්දවලා දෙන්න බැරි මට්ටමටම ඒ අකුසලයන් බලවත් වුණා. එහෙනම් මේ පාපී අසත්පුරුෂ කාරණා තුළට අප ගොදුරු වුණොත් අපට කොතරම් අනතුරක් තියෙනවාද? ඒ නිසා හොඳට මතක තියා ගන්න, හොඳට තේරුම් ගන්න අපට දැන් ධර්මයෙන් පිළිසරණක් ලබාගන්ට පුළුවන් විදිහට පිරිසුදුවම ධර්මය තියෙනවා. මෙබඳු යුගයක අප ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න නම්, අවම හෝ ප්‍රතිලාභයක් ඒ ධර්මයෙන් ලබාගන්න නම් අපට හානි පමුණුවන්නා වූ කරුණු මොනවාද කියල, බාධා පිණිස පවතින්නා වූ දේ මොනවද කියල දැනගත්තේ නැත්නම් අපට අද යුගයේ මේ ධර්මයෙන් පිහිටක් ලබා ගැනීම ගැන සිතන්ටවත් බැරි වෙන්න පුළුවන්. එතරම්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ට ගොදුරු වෙන්ට ඉඩ තියෙනවා.

ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්දැද්දීත් දේවදත්ත වැනි පුද්ගලයන්ට බැරි වුණා. ඒ ධර්මයේ පිහිට පිළිසරණ ලබා ගන්න. මේ අසත්පුරුෂ කරුණු එතරම් බලවත්. මනුෂ්‍යයාගේ සිත නසන්න, මනුෂ්‍යයාගේ යහපත විනාශ කරන්න, මනුෂ්‍යයාට මහත් වූ විපත පිණිස කරුණු ඇති කරන්න මේ අසත්පුරුෂ ධර්මයන්ට පුළුවන්. ඒ නිසා අප මේවා තේරුම් නොගත්තොත් අපත් නොදැනුවත්වම මේවට ගොදුරු වෙලා යන්ට පුළුවන්.

අද වෙනකොට මනුෂ්‍යයාට කල්පනා කිරීමේ හැකියාව ගොඩාක් අඩුයි. බොහෝම ලේසියෙන් ලාමක දේට ගොදුරු වෙලා යනවා. පළඟැටියා ගින්නට ඇදිලා යන්නේ පහසුවෙන් නේද ? පළඟැටියා ආයාසයක් නැතුව ගින්නට ඇදිලා යනවා. තව කෙනෙකුගේ බලපෑමක් නැතුව පළඟැටියා ගිනි දැල්ලට ඇදිලා යනවා. අන්න ඒ වගෙ තමයි දුර්වල වූ මනුෂ්‍යයා, ප්‍රඥාව හීන වූ මනුෂ්‍යයා ලාමක දේට, අසත්පුරුෂ කාරණාවලට ගොදුරු වෙන්නේ පළඟැටියා ගින්නට ඇදිලා යනවාටත් වඩා වේගයෙන්. ඊටත් වඩා පහසුවෙන්ම දුර්වල කෙනා ප්‍රඥාව දුබල කෙනා අසත්පුරුෂ ධර්මයන්ට ඇදිලා යනවා. අන්න එබඳු විපතක් ලෝකෙ තියෙනවා. අප ඒ කරුණු තෝර බේර නොගත්තොත් අපට මේ ධර්මයෙන් පිහිට පිළිසරණ ලබාගන්ට තියෙන අවස්ථාව අහිමි වෙන්ට පුළුවන්. ඒ නිසා හොඳට මේ අසත්පුරුෂ කරුණු දැනගෙන ඒවා හොඳින් තේරුම් අරගෙන ඒවායින් ඈත්වෙන්ට අප බලවත් කැමැත්තක් ඇති කරගන්ට ඕනෑ.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.27 ට ලබයි.
27 වනදා සිකුරාදා පුර්වභාග 01.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
අගෝස්තු 01 වන දා
බදා දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]