UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දස අත සුවඳ දෙන අසිරිමත් පිච්ච මල් පූජාව

ජූලි මස 28 සහ 29 දිනයන්හි අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳුන් හා රුවන්වැලි මහ සෑ රදුන් අභියසදී මෙවර පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය 23 වන වරටත් ලක්ෂ සංඛ්‍යාත ජනතා සහභාගිත්වය ඇතිව සිදු කිරීමට නියමිතය. රුවන්වැලි මහ සෑ රදුන්ට හා ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට සිදු කරන සුවිශේෂී බුද්ධ වන්දනාමය පින්කමක් මෙන්ම අසදෘශ මහා පින්කම බවට මෙම පින්කම ජනතා ප්‍රසාදයට පත්ව ඇත.

මෙම පින්කම කොටපොල අමරකිත්ති මාහිමියන් වහන්සේගේ සිතෙහි හටගත් අහිංසක සිතිවිල්ලක උදාර ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව 1990 වසරේ මැයි 05 වන දින කොටපොල අමරකිත්ති හිමිපාණන්, මහ බෝ සමිඳුන් වැඩ සිටින උඩමළුවට වැඩම කර පවත්වන්නට යෙදුන එම සමාරම්භක පිච්ච මල් පූජාව, බෞද්ධ මෙන්ම අන්‍යාගමිකයන්ගේ ද නොමඳ ගෞරවාදරයට පත්ව ඇත.

1990 වසරේ ඉතා සීමිත ජනතා සහභාගීත්වයෙන් යුතුව ඇරඹී එම පින්කමේ ගමන් මඟ අද වනවිට නොයෙකුත් තාඩන, පීඩන, හිරිහැර, බාධක පසුකරමින් මහා ආශ්චර්යයක් බවට පත්ව තිබීම නිරාමිස සතුටට කරුණකි. පින්කමට ගනු ලබන සෑම පිච්ච මල් වර්ගයක්ම බහුලව පවතින කාල වකවානුව වසරේ මැයි සිට අගෝස්තු දක්වා වන බැවින් ජූලි මාසය තුළ මෙම පින්කම පැවැත්වීම ඊට හේතුවයි. මෙරට සෑම පළාතකින්ම අනුරාධපුරයට රැගෙන එන මෙම ලක්ෂ සංඛ්‍යාත පිච්ච මල්, මල් කමිටු ඒකකය මඟින් ඒ සඳහා වෙන්වූ බොදු පිළිවෙත්හි නිරතවූ සීමිත සැදැහැවතුන් පිරිසක් විසින්, පරවූ මල් අයින් කර, රන්වන් පාත්‍ර සියයකට සමීප සංඛ්‍යාවක් මුතු කුඩ හා උඩු වියන් සහිතව පස්වරු 2. 30 ට පමණ ථූපාරාම චෛත්‍ය රාජයාණන් අභියස සිට ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත මහ පෙරහරින් වැඩම කෙරේ.

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහිත කරඬුව හා ජාතක පොත් වහන්සේ විශේෂයෙන් සරසන ලද පීඨිකාවක තැන්පත් කර සැදැහැවතුන්ගේ උරහිස් මතින් වැඩම කරවීම හදවත් නිවා සනහන දැකුම්කළු දර්ශනයකි. මෙම දර්ශනීය පෙරහර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් ප්‍රදක්ෂිණා කර උඩ මළුවේ මල් ඇතිරීම අටමස්ථානාධිපති නා හිමියන් සහ කොටපොල අමරකිත්ති හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි. අනතුරුව ශ්‍රී මහා බෝ රදුන් වැඩ සිටින වැලිමළුවේදී වන්දනා වැඩසටහන් ආරම්භ කෙරේ. නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව මහමෙව්නා උයනේ වාඩිවී, සිත් සතන් පහන් කරගනිමින් බොදු බැතියෙන් සැනහෙන ඒ මොහොත අතිශය චමත්කාර ජනකය.

28 වන දින රාත්‍රී 8. 30 ට පමණ ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියස සිට රුවන්වැලි මහ සෑ මළුව වෙත පැමිණෙන පිච්ච මල් පෙරහරේ, පිච්ච මලින් සරසන ලද රුවන්වැලි මහ සෑයේ අනුරුවක් වැඩම කරවීම චිත්තාකර්ශනීය දනවන දසුනකි. පෙරහර මහ සෑයට පැමිණීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය විසින් ‘ දම්සක් පැවතුම් සූත්‍රය’ මැදියම් රාත්‍රිය දක්වා දේශනා කරනු ලැබේ.

29 වන දින උදෑසන 6. 00 ට, රුවන්වැලි මහ සෑ රදුන් වෙත සිදු කෙරෙන කිරිපිඬු බුද්ධ පූජා පින්කමෙන් අනතුරුව ‘ අභය දාන’ මහ පින්කමකි. අවසානයේ පැවැත්වෙන ‘ විශේෂ භාවනාමය වැඩ සටහනින්’ පින්කම නිමාවට පත්වේ. සුදුවතින් සැරසී, මාංශ භක්ෂනයෙන් තොරව, කල්වේලා ඇතිව පින්කමට සහභාගි වීම ජීවිතයේ ලද හැකි උතුම් බුද්ධ පූජාමය පින්කමකි.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.27 ට ලබයි.
27 වනදා සිකුරාදා පුර්වභාග 01.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
අගෝස්තු 01 වන දා
බදා දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]