UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දුකසේ විඳින කර්ම විපාක - 13

චූල්ලසෙට්ඨි ප්‍රේත වස්තුව

මම කරගත්තු පව නිසාම බඩගින්නෙන් පෙලෙනවා. මගේ කය ඉදිකටුවලින් විදිනවා වගේ. බ්‍රාහ්මණයන් ගෙන්නවලා ඒ උදවියට කෑම බීමවලින් සලකනවා. මමත් මොනව හරි අනුභව කරන්නට හිතාගෙන අන්ධකවින්දයට යනවා

අද වනවිටත් ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය තුළින් අපට පිහිට ලබාගන්න පුළුවන් ආකාරයට පවතිනවා. එය තවමත් ජීවමානයි. ඒ නිසාම බොහෝ දෙවි මිනිසුන්ට පින් කර ගන්නට පුළුවන්.

යම් කෙනෙක් දුක උපදවන සියලුම කරුණු නැතිකර දැම්මොත්, සෑම ආකාරයකින්ම සැප උදාකර ගන්නට පුළුවන්. පරිපූර්ණ ධර්මය පුරුදු කළොත් ඔහු දුකින් නිදහස් වෙනවා. එනිසා මේ දහම් අපි හොඳින් අහලා තේරුම් ගනිමින් දුක ඇතිකරන විපාක වලින් ඈත් වෙලා ජීවත් වෙන්නට පුරුදුවෙන්න මහන්සි ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ වාරයක් පෙරුම් පුරල පින පරිපූර්ණ කරගෙන පාරමි පිරීමෙන් රැස්කරගන්නා වූ මහා පින් බලයෙන් ප්‍රඥව පරිපූර්ණත්වයට පත්කරගත් උතුමන් වහන්සේ නමක්. එය සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. අසාමාන්‍ය වූ වෑයමක ප්‍රතිඵලයක් තමා සම්මා සම්බුද්ධත්වය. ඒ අසාමාන්‍ය වූ වෑයමක ප්‍රතිඵලයක් හැටියට පහළ වූ උන්වහන්සේ තමයි මේ මුලු ලෝකයම අවබෝධ කර ගත්තේ. උන්වහන්සේ පෙනෙන ලෝකය වගේම නො පෙනෙන ලෝකයත් ඉතා හොඳින් අවබෝධ කර ගත්තා. ඒ ඒ ලෝකවල තිබෙන දුක හොඳින් දැන ගත්තා. ඒ නිසාම අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් උන්වහන්සේ දුකෙන් මිදෙන මේ ධර්මය අපට කියා දුන්නා.

උන්වහන්සේ බොහෝ දුක් සහිත ලෝක හතරක් අපට කියා දුන්නා. පේ‍්‍රත ලෝකය තිරිසන් ලෝකය, අසුර ලෝකය හා නිරය ඒ ලෝකයි. අප ඔබට කියා දෙමින් සිටින්නේ පේ‍්‍රත ලෝකය පිළිබඳවයි. ඒ ලෝකයෙහි බොහෝ විට උපදින්නේ පව් කළ උදවියයි. ඕපපාතිකව ඉපදුනාට පස්සේ ඒ පේ‍්‍රතයන්ට තමන්ගත කළ ජීවිතය ආපස්සටත් ඉදිරියටත් දකින්නට පුළුවන්.

අදත් අපි ඔබට කියා දෙන්නේ මනුස්ස ලෝකයේ ඉපදිලා මිථ්‍යාදෘෂ්ඨිකව ලෝභයෙන් ජීවත් වෙලා මරණින් පස්සේ පේ‍්‍රත ලෝකයේ ඉපදිලා බොහෝ දුක් විඳී එක් පේ‍්‍රතයෙක් සම්බන්ධවයි.

තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේදී වැඩ වාසය කරන කාලයේදී “චූල්ලසෙට්ඨි” නම් පේ‍්‍රතයෙකු අරභයා මෙම පේ‍්‍රත වස්තුව දේශනා කළ සේක.

බරණැස් නුවර එක් පුද්ගලයෙක් ජීවත් වුණා. ඔහු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැත්තෙක්. දැඩි මසුරුයි. පිනට කිසිදු කැමැත්තක් නැහැ. පින් කරන අයද පිනෙන් වළක්වනවා. නිතරම පවට බර සිතින් ජීවත්වුණා. දාන, සීල, භාවනාවන් හුරු නො කරගෙනම ඔහු මිය ගියා.

මියගිය ඔහු පේ‍්‍රතයන් අතර උපන්නා. ඔහුගේ සිරුර මසින් හෝ ලෙයින් තොරවයි තිබුණේ. ඇට මස් නහර පමණයි ඒ පේ‍්‍රත ශරීරයේ තිබුණේ. හිස මුඩුයි. නිරුවත්.

ඔහුගේ දියණිය අනුලායි. ඇය විවාහ වී සැමියාගේ නිවසේ ජීවත් වුණා. ශ්‍රද්ධාසම්පන්නව පින් පව් අදහාගෙන තම මියගිය පියාට පින් පිණිස බ්‍රාහ්මණයන් උදෙසා දානයක් පිළියෙල කළා. පේ‍්‍රතයා මේ පින්කම දැක බොහෝ සතුටුවී එය අනුමෝදන් වීම පිණිස රජගහ නුවරට අහසින් යමින් සිටියා.

මේ කාලයේදී අජාසත් රජු පියා මරවා පසුව ඒ ගැන සංතාප වී පසුතැවිල්ලෙන් සිටි කාලයයි. රජතුමාට නින්දක් ලැබුණේ නැහැ. ඔහු රජ මාලිගයෙහි උඩුමහලට ගොස් එහා මෙහා ඇවිදිමින් සිටියා. ඒ වෙලාවෙහි අර පේ‍්‍රතයා අහසින් යනවා දැකපු රජතුමා අසනවා,

”ඔබ ඉන්නේ නිර්වස්තරයෙන්. ඇඟපත කටු ගැහිලා. ඔබ පැවිද්දෙක් නේද? මේ රෑ තිස්සේ කොහෙද යන්නේ? මොන කාරණාවකටද? මට ඒ කාරණාව කියන්න. මට පුළුවන් දෙයක් නම් මම ඔබට හැම දෙයින්ම වස්තුව දෙන්නම්.

මහරජතුමනි, ලෝකයේ ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. ඒ තමයි බරණැස් නුවර. මම එහේ ධනවත් ගෘහපතියෙක් වෙලා හිටියා. හැබැයි  මට තිබුණේ දීන ගති. මම මේ කාමසම්පත්වලට ගිජුවෙලා හිටියා. දන් දුන් කෙනෙක් නම් නොවෙයි. දුස්සීලබව නිසා මම මේ පෙරේත ලෝකේ ඉපදුනා.

ඒ මම කරගත්තු පව නිසාම බඩගින්නෙන් පෙලෙනවා. මගේ කය ඉදිකටුවලින් විදිනවා වගේ. බ්‍රාහ්මණයන් ගෙන්නවලා ඒ උදවියට කෑම බීමවලින් සලකනවා. මමත් මොනව හරි අනුභව කරන්නට හිතාගෙන අන්ධකවින්දයට යනවා.

එතකොට ඒ රජ්ජුරුවෝ පෙරේතයාට මෙහෙම කියනවා.

ඔබ ගිහින් ඉක්මනට එන්න. මමත් ඔබට පූජාවක් කරන්නම්. ඔබට යම්කිසි අවබෝධයක් තියෙනවා නම් මට කියන්න. මම ඒ ඇදහිය යුතු ලෙස කරුණු සහිතව කියන දේ අහනවා.

එහෙමයි කියලා ඒ පෙරේතයා දානෙ දෙන තැනට ගියා. බමුණු පිරිස ඒ දානේ පිළිඅරගෙන අනුභව කළා. මාර්ගඵලලාභී ආර්යය ශ්‍රාවකයන් වහන්සේලා ඒ දානෙට වැඩියේ නැහැ. ඒ පේ‍්‍රතයාට මහත්ඵල ලෙස පින අනුමෝදන් වුනේ නැහැ. ඒ පේ‍්‍රතයා ආයෙත් රජගහ නුවරට ආවා. අජාසත් රජ්ජුරුවන් ඉදිරියෙහි පහළ වුණා.

රජ්ජුරුවෝ නැවත ඒ පෙරේතයාව දැක්කා. දැකලා මෙහෙම කිව්වා. මම ඔබට මොනවද දෙන්නේ? ඔබට යම්කිසි දෙයක් අවශ්‍ය නම් මට කියන්න. මම ඔබට බොහෝ කාලයක් සතුටෙන් පිනා යන්න ඕන කරන දේවල් දෙන්නම්.

රජ්ජුරුවන් වහන්ස, මේ ලෝකයට පහළ වෙලා ඉන්නවා අසිරිමත් මනුස්ස රත්නයක්. ඒ බුදුරජාණන් වහන්සේටත් ආර්ය සංඝරත්නයටත් දානමය ආදියෙන් උපස්ථාන කරනු මැනව. සිවුරුත් පූජා කළ මැනැව. මගේ යහපත උදෙසා මට ඒ පින අනුමෝදන් කළ මැනැව. එතකොට මට බොහෝ කලක් සතුටෙන් පිනා යන්න පුළුවනි.

අජාසත් රජතුමා එය පිළිගත්තා. ඒ වෙලාවෙහි ප්‍රසාදයෙන් නික්මුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා දානයක් සූදානම් කළා. පිරිකර සූදානම් කළා. තමන්ගේ අතින්ම ඒ දානය පූජා කරගත්තා. තථාගතයන් වහන්සේට මේ සියලුම විස්තරය කියා සිටියා. ඒ පේ‍්‍රතයාට රජතුමා කර ගත් පින ලබා දුන්නා.

මේ විදිහට පිනෙන් පුදනු ලැබූ ඒ පේ‍්‍රතයා රජ්ජුරුවන් ඉදිරියේ නැවත පහල වුණේ දිව්‍ය සෝබාවෙන් අතිශයින්ම බැබලි බැබලී. මම දැන් පුදුමාකාර සැපයකට පත්වුණා. දෙවියෙක් ලෙසින් පෙනී සිටියා.

මගේ සැප සම්පත්වලට සමාන කරන්නට පුළුවන් සැප සම්පත් ඇති මිනිසුන් නැහැ. මගේ මේ පුන්‍යානුභාවය බලනු මැන. ඔබතුමා විසින් මට උපකාර කළා. ආර්ය සංඝරත්නය උදෙසා මහා දානයක් පූජා කළා. දැන් හැම තිස්සේම මම තෘප්තිමත් වෙලයි ඉන්නේ. නර දේවය ඒ මම දැන් සුවපත් වෙලා ඉන්නේ.


දුකසේ විඳින කර්ම විපාක - 12- ධනපාල ප්‍රේත වස්තුව

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.27 ට ලබයි.
27 වනදා සිකුරාදා පුර්වභාග 01.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
අගෝස්තු 01 වන දා
බදා දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]