UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ රත්නය නව අරහාදී බුදුගුණ

සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්දම් පුරා සා අවුරුදු දුෂ්කර ක්‍රියාවකින් පසු කාමසුඛල්ලිකානු හා අත්තකිලමතානු යෝගයන් කෙරෙන් බැහැරව මැදුම් පිළිවෙතට එළැඹ සර්වඥතා ඤාණයෙන් සිව්සස් හා අරී අටඟි මඟ අවබෝධයෙන් අනතුරුව තුන්ලෝවාසීන් දහම් දැනුමෙන් පෝෂණය කොට නිවන් මඟට යොමු කරවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සිව්සස් හා අරී අටඟිමග පාදකව ත්‍රිපිටකය හිසින් සුවාසු දහසෙක් ධර්ම ස්කන්දය සිය ශ්‍රී මුඛයෙන් දේශිත ශාඛ්‍ය සිංහවූ, සමන්තභද්‍රවූ අසම සමවූ තෛල‍්‍රලෝක්‍ය තිලකවූ ත්‍රිභුවන චූඩාමාණික්‍ය වූ කරුණානිධාන වූ මෛත්‍රී නිවාස වූ ප්‍රඥාවට වල්ලභවූ මහා සාගරයසේ අචින්ත්‍ය වූ ගුණ ඇති මහා පොළොව සේ නිශ්චල වූ ගුණ ඇති මහා මේරුවසේ උස්වූ ගුණ ඇති දෑ රඟ මිණක්සේ නිර්මල වූ ගුණ ඇති ක්‍ෂීර සාගරයෙන් නැඟී තරංග මාලාසේ බබලන තුන්ලෝවාසීන්ගේ මුල්ම රත්නය නොහොත් “බුද්ධරත්නය”

1. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන්ද
2. ශ්‍රී පතුල්හි එක සිට අටක් මඟුල් ලකුණින්ද
3. දස බලයෙකින්ද
4. අසමාන වූ ණැන බල දහසයකින්ද
5. ශ්‍රී සිරුර වටා සවනක් රැස් මාලාවකින්ද යුත්වූ සේක.

පිඬු සිඟමින් සන්සුන් ගමනින් මහ මඟ වඩින සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය රූපශ්‍රීයෙන් වසඟවූ එක්තරා බමුණෙක් බුදුන් වහන්සේ ඉදිරියට ගොස් පසඟ පිහිටුවා වැඳ වැටී පැනයක් විමසීමට අවසර ලබාගත හැකිදැ’යි විමසා නිසි අවසර ලද පසු “ ඔබ වහන්සේ බ්‍රහ්මයෙක්ද” යි ඇසීය. මෙම පැනයට පිළිතුරු වශයෙන් බුදුන්වහන්සේ “ නැත” යයි වදාළසේක. “එසේ නම් ඔබ වහන්සේ දෙවියෙක්ද” යි ඇසීය. මෙම පැනයටද “නැත” යයි පිළිතුරු වදාළ පසු “ මාරයෙක්ද” යි ඇසීය.

එම පැනයටද “ නැත” යනුවෙන් පිළිතුරු ලද පසු එසේනම්” මනුෂ්‍යයෙක්ද” ඇසීය. එයටද පිළිතුරු වශයෙන් “නැත” යනුවෙන් වදාළ විට “ එසේ නම් ඔබ වහන්සේ කවුදැයි මට හඳුන්වා දෙනු මැනවි” යි ආයාචනා කළේය. එවිට බුදුන් වහන්සේ “ බමුණ බ්‍රහ්ම දේව මාර මනුෂ්‍ය ආදි සියලුම ආත්මවල උපත ලබන අය ලෝභ ද්වේෂ මෝහ ආදි ක්ලේෂයන් සහිත සසර බැමි නොසිඳූ පෘථග්ජන අය වෙති. මමද ඒ පෘතග්ජන සත්වයන් අතර ඉපිද සියලු කෙළෙස් සිඳ සසර බැමි සිඳ කිසිදු ගුරු උපදේශකයකු නැතිව චතුරාර්ය සත්‍යය සහිත නිවන සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගත් සම්මා සම්බුද්ධ “ වෙමි” යි වදාළසේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකර හෙයින්ද සියලු කෙළෙස් මුලිනුපුටා දැමූ හෙයින්ද ආමිස ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු හෙයින්ද ආය¸හත් නම් වනසේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ගුරු උපදෙස් නැතිව තමාගේ නුවණින් සර්වඥතා ඤාණය ලබා චතුරාර්ය සත්‍ය අවබෝධකොට අන් අයට අවබෝධ කරවූ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යහපත් වචන කතාකරණ හෙයින්ද ශාන්ත වූ ගමන් ඇති හෙයින්ද සුන්දර වූ නිවනට පත්වූ හෙයින්ද සුගත ගුණයෙන් යුක්ත වූ සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප යන ත්‍රිවිධ ලෝක පිළිබඳ තත්වාකාරයෙන් දැනගෙන ලෝකයාට හෙළිකළ නිසා ලෝක විදූ වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයන් අතරද මාරයන් අතරද දෙවියන් අතරද මිනිසුන් අතරද තමාට වැඩිවූ හෝ සමාන ගුණයෙන් යුතුවූ අයකු හෝ නැති බැවින් අනුත්තර නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය කළ නොහැකි මහා බ්‍රහ්මයාද මාරයන්ද දෙවියන්ද යක්‍ෂයන්ද මනුෂ්‍යයන්ද දමනය කිරීමෙහි සමත්වූ බැවින් පුරිසදම්මසාරථී නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට නිවන්මග කියාදුන් ගුරුවරයා වූ නිසා සත්ථා නම් වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සය වැදෑරුම් භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින්ද ධර්මය නොයෙක් අයුරින් බෙදා දැක්වූ හෙයින්ද ගුණ සමුදායෙන් යුතුවූ හෙයින්ද භගවා නම් වන සේක.

මෙසේ වූ නව මහා ගුණයන්ගෙන් යුක්ත වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා නමස්කාරවේවා නමස්කාරවේවා.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.27 ට ලබයි.
27 වනදා සිකුරාදා පුර්වභාග 01.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුලි 26 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
අගෝස්තු 01 වන දා
බදා දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]