UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මව්පිය උපස්ථානය

ශාන්ති නායක සම්මා සම්බුදුපියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ “දීවින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි යදිදං මාතුච්ච පීතුච්ච” කියලා. මේ දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ පින්වතුන්ට විශේෂ උපදේශයක් දී වදාළා. ඒ උපදේශයේ සිංහල අර්ථය මෙහෙමයි.

“මහණෙනි, මේ ලෝකයෙහි පිහිට වෙලා, පිළිසරණ වෙලා, ආධාර වෙලා, කෙළෙහිගුණ දක්වලා, උපස්ථාන කර, උපකාර කරලා සෑහීමකට පත්වෙන්න බැහැ, නිමාවක් කරන්න බැරි, වටිනා පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. මහණෙනි තමන් මේ ලෝකයට දායාද කරන්න යෙදුන, බිහිකරන්න යෙදුන, මවුපිය දෙදෙනායි.

මේ බුද්ධ අනුශාසනාව අනුව දෙමාපියන්ට සැලකීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයක් බව මේ දේශනාවෙන් ඉස්මතු වෙනවා නේ ද තමන් හදා වැඩූ මේ සමාජයේ යහපත් පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීම පිණිස යමෙක් වෙත වාසනා සම්පත් සැලසුණේ නම් ඒ තමන්ගේ දෙමාපියන් දෙදෙනා නිසයි. ඒ දෙමාපියන්ට උපස්ථාන කිරිම, උපකාර කිරීම තමන්ගේ දියුණුව අභිවෘද්ධිය පිණිස පවතිනවා. මහා මංගල කාරණා 38 ඇතුළත මවුපිය උපස්ථානය ද හඳුන්වා දී වදාළේ උතුම්ම මංගල කාරණයක් නිසයි. මංගල කියලා කියන්නේ මෙලොව සැපත හා පරලොව සැපත කෙළවර අමාමහ නිවන් සැපතයි.

ඒ නිසා, යම්කිසි පුද්ගලයෙක් තමා හදා වැඩූ දෙමාපියන්ට අවංකවම මවුපිය උපස්ථාන සිද්ධ කරනවා නම් මේ පුණ්‍ය කර්මය සසර දුක්ගිනි නිවාලමින් ආශ්‍රවක්‍ෂය කිරීමෙන් (කෙලෙස්මල සෝදා හැරීමෙන් චිත්ත සන්තානයේ පාරිශුද්ධ භාවයට යන අමා මහ නිවනින් සැනසීම පිණිස පවතිනවා) කියන පරම පවිත්‍ර චේතනාව පෙරදැරි කරගෙන මවුපිය උපස්ථානය සිදුකර ගැනීමෙන් පින්වතුන්ට මෙලොව යහපත් ලෙස ජීවිතයක් ගතකර ගැනීමටත් නිවන් දක්නා ජාති දක්වා ම හොද ජීවිතයක් ගතකර ගැනීමටත් අවසානයේ බුද්ධාදි උතුමන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අමාමහ නිවන් සුවයෙන් සැනසීමටත් ත්‍රිවර්ග සම්පත්තිය සිදුකර ගැනීමටත්, මේ මහා මවුපිය උපස්ථානය සිදුකර ගැනීම පිණිස අධිෂ්ඨාන තබා ගනිමු.

යමෙක් මවුපියනට නො සලකන්නේ නම් ඒ දරුවෝ වසල දරුවෝ හැටියට වදාළා. අසත්පුරුෂයෝ කියල දේශනා කොට වදාළා. ඒ වගේම මවුපියනට නො සලකන දරුවො මෙලොව වශයෙන් පිරිහීමට පත්වන බව දේශනා කළා. ඒ වාගේම නරකාදී සතර අපායට වැටෙන බව දේශනා කළා. ඒ නිසා, දමාපියන්ට නො සලකා හැරීම බරපතල වරදක් නේ ද? ඒ නිසා, මේ පින්වතුන් සැම දෙනාමත් ඉහත සඳහන් කළ හැටියට මව්පිය උපස්ථාන පුණ්‍යකර්මය මංගල කාරණයක් හැටියට තේරුම් අරගෙන ඒ මංගල කාරණය සාක්ෂාත් කිරීමට මේ මොහොතේ සිට යම්කිසි අධිෂ්ඨානයක් කරගනිමු.

එවිට ඔබ කෘතගුණ සලකන්නෙක් බවට පත්වෙනවා. එසේම සර්වඥයන් වහන්සේගේ අනුශාසනයත් ඉටු කරන බව ශාස්තෘන් වහන්සේට නියම ආකාරයෙන් ම ගෞරව දක්වන්නෙක් බවට පත්වෙනවා. පිරිහීමේ දොරටු වසාලන දියුණුවේ දොරටු විවර කරන්නෙක් බවට ද පත්වෙනවා. උතුම් මංගල කාරණාවක් සපුරන ඔබගේ දෙලොව දියුණුව හා නිවන් මගද සකස් කරගැනීමට පරම වාසනාවද සැලසෙනවා.

ඒ නිසා මවුපියන් ඔබට කළ අසහාය උපකාරයන් නිරතුරුව ස්මරණය කරන්න. දෙමාපියන් මෙන් අන් කිසිවකු හෝ තම ලෞකික අභිවෘද්ධියට උපකාරී නො වන බව ද නිරතුරු සිහි කරන්න. ඔබ මේ ලොව දකින්නේ මවුපියන් ගේ නෙත් තුළින් බව සිතන්න. තම ජීවිතයේ මුලික හැඩගැස්ම සකස් කළ මුල් ගුරුවරුන් මවුපියන් බව සිතන්න. ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් නො සලකා කළ උපකාරයන්ට ප්‍රතිඋපකාර කළ නො හෙන බව සිහියට ගන්න. එසේ සිතන ඔබට මවුපියන් හට සැලකීමට උපස්ථාන උපකාර සැලසීමට නිරායාසයෙන් සිත් පහළ වනු ඇත. එය එසේම වේවා! සුබ මඟුල් කරුණූ සපුරමින්, ගුණවත් මව්පියන් පෙරටු කර ගනිමින් ගුණ පිලිවෙත් පුරා, එකට ම නිවන් මග දොරටු විවර කර ගැනීමට සැමට හැකිවේවා!

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 27 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]