UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර අටවක 2012 ජුනි 27 වනදා

සංයමයට අතදීමක්

 

මනසේ පවිත්‍රතාවය මගින් මිනිසා හැම විට සුමඟට යොමු කරවයි. යහ ගුණ සපිරි මනස හැම විට සමාජයට යහපත සලසයි. ධම්මපදයේ සඳහන් වන පළමුවන හා දෙවන ගාථා දෙකම අපගේ මනස පිළිබඳ ඉතා ලිහිල් විග්‍රහයක් ඉදිරිපත් කරයි.

කිරිකැටි බිලිඳෙකු ලෙස උපත ලබන මිනිසා හැදී වැඩී පෝෂණය වීමත් සමග මනසේ වර්ධනය ද සිදු වෙයි. මනසේ යහපත් සංවර්ධනයෙන් සුවයත්, මනසේ අයහපත් සංවර්ධනයෙන් දුකත් ගෙන දෙන බව බෞද්ධයා හොඳින් දන්නා කරුණකි.

කුඩා කල ළමා මනස ඉතා නිරවුල්ය. ප්‍රසන්නය. එහෙත් කුඩා කල ඉක්මයාමත් සමග සමාජය හා ගැටෙන විට ඒ නිරවුල් ළමා මනසට සමාජයෙන් යහපත් මෙන්ම අයහපත් දෑ ද ඒකරාශීවීම ස්වභාවයයි.

ගසක් රෝපණය කර ඊට අවශ්‍ය පස, පොහොර, ජලය ආදිය යෙදීමෙන් හා නිතර නිතර ඒ පිළිබඳ සොයා බලා එහි මල්ඵල අපේක්‍ෂාවෙන් සත්කාර කරන විට ඒ ගස තමා වෙත අවශ්‍ය පරිදි සකස් කර ගැනීම පහසුය.

එහෙත් ගස වැඩෙන්නට අතහැර මල්ඵල අපේක්‍ෂාවෙන් පමණක් සිටියහොත් අවශ්‍ය ඵල ලබා ගත නොහැකි වේ. එමෙන්ම ගස වැඩීමට අවශ්‍ය සත්කාර නොකිරීමෙන් ගස වැඩීමෙන් පසු තමා වෙත අවශ්‍ය ආකාරයට ද ගස වවා ගත නොහැකි වේ.

කුඩා ගසක් රෝපණය කර අවශ්‍ය සත්කාර කළායින් පසු ඒ ගස හැදී වැඩී අතුපතර විහිදී මල්ඵල මෙන්ම සලසන තුරු සෙවණ ද කෙතරම් අගනේ ද?

සමාජයේ හැදෙන වැඩෙන දරු පරපුර නැණ නුවණින් මෙන්ම ගුණ දහමින් ද පෝෂණය කර රට දැයට වැඩදායී යහපත් දරු පරපුරක් බවට ඔවුන් පත් කිරීමට මහ වෙහෙසක් දරන අය බොහෝ වෙති. ඒ අතර රජය, අධ්‍යාපන අමාත්‍යාංශය පාසල, පන්සල, ගුරුවරුන් පූජනීය මහ සඟරුවන මවුපියන් දහම් පාසල ප්‍රධානය.

වෙසෙසින් මව්පිය ගරුවරුන්ගේ ඒ උතුම් අරමුණු සාක්ෂාත් කිරීම හැදෙන වැඩෙන පරපුරේ ද වගකීම හා යුතුකම වේ.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසරේ දී ගුණ දහම් පෝෂණයට බොදු හැඟීම් වර්ධනයට සිදුකළ හා දැනුදු සිදු කැරෙන මෙහෙවර අති උදාරය.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනත්, ගමත්, නගරයත්, විහාරස්ථානයත් පාසලත් මෙන්ම හැම බොදු නිවසකමත් ඒ අසිරිමත් සම්බුද්ධත්ව ජයන්ති වසරේ දී අමතක නොවන මහ පින්කම් මාලාවක නිරත වූ බව රටම දන්නා කරුණකි.

ඉකුත් දා කොළඹ ආනන්ද විද්‍යාලය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අගනා සදහම් තිළිණයක් මෙරට පාසල් වෙත පිරිනැමීමට එහි විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබිණි. එම අගනා කුඩා ධර්ම පුස්තකය තෙරුවන් වැඳීමේ ගාථාවලින් අරඹා පූජා ගාථා ආදිය ද මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය සූත්‍රය, අටවිසි පිරිත, ජය පිරිත, දුටුගැමුණු රජතුමන් නිතර භාවිතා කළ ආරක්‍ෂක ගාථා, රත්නමාලා බන්ධනය ආදිය ඊට ඇතුළත් කර තිබිණි.

දිවිමගට ඔවදන් සපයන මහඟු ධර්මාවවාද මෙන්ම බොදුනුවා විහාරස්ථානයකදී පවත්වා ගත යුතු මූලික වත් පිළිවෙත් රැසක් ද එහි අන්තර්ගතය.

විදුහල්පතිතුමාගේ එහි සඳහන් පණිවුඩය මෙහි සටහන් කරනු කැමැත්තෙමි. “දිවයිනේ ප්‍රධානතම බෞද්ධ පාසල වශයෙන් අප විද්‍යාලය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු ලබන්නේ ඉමහත් ගෞරව අභිමානයෙන් යුතුවයි. ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය සහ සිසු දරුවන් එක්ව මේ සඳහා විවිධ ආගමික, සංස්කෘතික වැඩසටහන් වසර පුරා ක්‍රියාත්මක කරනු ලැබීය. මෙබඳු උත්තරීතර අවස්ථාවක වත්මන් සමාජයෙන් ගිලිහී යන සාරධර්ම හා පුරුෂාර්ථ නැවත මතුකර ගැනීමට උත්සාහ ගැනීම සඳහා යම් පියවරක් තැබීම අප විද්‍යාලයේ වගකීමකි. එබැවින් විද්‍යාලයීය ධර්මාචාර්ය හිමිවරුන්ගේ අනුශාසනා පරිදි දිවයිනේ බෞද්ධ පාසල්වල ශිෂ්‍ය ප්‍රජාව වෙත දහම් ඔවදන් ඇතුළත් මෙම කුඩා පුස්තකය පරිත්‍යාග කිරීමට ලැබීම මහඟු පින්කමක් ලෙස සිතමි. ආනන්ද දරුවන්ගේ අභිමානය සහ සංයමය වර්ධනය කිරීමට ප්‍රධාන කරුණ වන්නේ බෞද්ධ දර්ශනය සහ බොදු සිරිත්වලට මූලිකත්වය ලබාදීමයි. එහි ආභාසය සෙසු පාසල් දරුවන් තුළ රෝපණය වී සදාචාර සම්පන්න පුරවැසියන් රටට දායාද වනු ඇතැයි අපේක්‍ෂා කරමු” යනුවෙන් එහි සඳහන් වේ. එබැවින් සුසිරිතෙන් ජීවිතය අලංකාර කර ගැනීමට මෙරට දරු පරපුරට ශක්තිය ලැබේවා.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 27 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]