UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම සංනිවේදනය හා මාධ්‍ය භාවිතය

සංනිවේදනය යන්නට අර්ථ කථන රාශියක් ඇතත් අදහස් හුවමාරු කර ගැනීම සංනිවේදනයෙන් සිදු කෙරෙන ප්‍රමුඛ කාර්යයකි. අද අප ජීවත් වන්නේ සංනිවේදන තාක්‍ෂණය ඉතා දියුණු මට්ටමක පවතින අවදියකයි. තොරතුරු සැපයීම, සුහදතාව වර්ධනය කිරීම, පොලඹවා ගැනීම, ආස්වාදය ලබාදීම හා නීතිය, යුක්තිය හා සාධාරණය වැනි සමාජ ධර්ම වටහාදීම වැනි පරමාර්ථ සඳහා සංනිවේදනය යොදා ගන්නා බව පෙනෙයි.

මෙයින් වසර දෙදහස් හය සියයකට පෙර බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය ලොවට දෙසූහ. තම ශ්‍රාවකයන් වහන්සේ ලවා දේශනා කරවූහ. එහිදී උන්වහන්සේ විවිධ ක්‍රම භාවිත කර ඇති බව ත්‍රිපිටකයෙන් සොයා ගත හැක. ධර්ම සංනිවේදනය යනුවෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිස අතරට ගෙනගිය පණිවිඩය අප විසින් ජනතාව අතරට ගෙන යාමයි. උන්වහන්සේගේ අභිප්‍රාය පැහැදිලිව දැනගත හැකි එකම මග ත්‍රිපිටක දේශනාවයි. ත්‍රිපිටකය පාලියෙන් ලියවී ඇති බැවින් මාගධී හෙවත් පාලි භාෂාව නොදත් අයෙකුට එය තේරුම් ගැනීම අපහසුය. භාෂාව දැන ගත් නමුදු දේශිත ධර්ම කරුණුවල ධර්මාර්ථය වටහා නොගත්තෙකුටද ධර්මය නිවැරදිව සංනිවේදනය කිරීම අපහසුය.

“යම් කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපාසකයෙකු හෝ උපාසිකාවක හෝ ධර්මය දේශනා කරයි ද, එය බුදුරදුන් විසින් දේශනා කරන ලද, ප්‍රකාශ කරන ලද ධර්මයක්ම වේ. රජෙකු විසින් දෙන ලද නිර්දේශ පත්‍රයක් කියවා අන් අය කටයුතු කරත්ද, ඒවා සියල්ල රජු විසින් කරවන ලද කටයුතු ලෙසම සැලකේ. බුදුරදුන් මහ රජෙකු බඳුය. ත්‍රිපිටක ධර්මය රාජකීය ලේඛනයක් බඳුය. ත්‍රිපිටකය මැනවින් අධ්‍යයනය කොට ඒ අයුරින් ධර්මය අන් අයට දේශනා කිරීම, ප්‍රකාශ කිරීම එම රාජකීය ලේඛනය කියවා එහි නිර්දිෂ්ටදේ ක්‍රියාවේ යෙදවීම බඳුය. ලේඛනය කවරෙකු විසින් පොදු ජනතාව වෙත ඉදිරිපත් කළ ද එහි පූර්ණ බලතල රජුට හිමිවේ.”

අංගුත්තර නිකාය අටුවාව වන මනෝරථ පූර්ණියේ එන යථෝක්ත ප්‍රකාශනයට අනුව ධර්ම සංනිවේදනයේ යෙදීමට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කිසිවෙකුටත් බාධාවක් නැත. ඒ හැම දෙනාම ප්‍රකාශ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ අදහසයි.

අද ජීවත් වෙන අපට බුදුරදුන්ගේ අදහස වටහා ගැනීමට ඇති එකම මග ත්‍රිපිටකයයි. ත්‍රිපිටකය පාලියෙන් ලිය වී ඇති බැවින් පාලි භාෂාව නොදන්නා අයෙකුට ධර්මය නිසිලෙස වටහා ගැනීම උගහටය. පාලි භාෂාව පිළිබඳ අවබෝධය පමණක් තිබුණද ධර්මය නිවැරැදිව වටහා ගැනීම ද නොකළ හැක. ඒ ඇතැම් ධර්ම කරුණු තුලින් මතු පිටින් පෙනෙන වාච්‍යර්ථයට වඩා වෙනස් වූ අර්ථ ප්‍රකට කෙරෙන නිසයි.

ඇතැම්විට වරක් දෙකක් කියවා වුවද නිවැරදි අර්ථය වටහා ගැනීමට අපහසු වන අවස්ථා ද තිබේ.

බුදුරදුන් ජීවමාන සමයේ භික්‍ෂූන් වහන්සේ ද සැබෑ ධර්ම කථිකයා සොයා ගැනීමේ ගැටලුවට මුහුණ පා ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ. උන්වහන්සේගේ පිළිතුරු වූයේ ඇස කන නාසය දිව ශරීරය යන ඉඳුරන්ගේ කළ කිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ ද, තෙමේ ධම්ම කථික යැයි කීමට සුදුසු බවයි. ධර්ම සංනිවේදනයේ යෙදෙන්නන්ට මෙයින් දෙන උපදේශය නම් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාශයම ඉදිරිපත් කළ යුතු බවයි. සූත්‍ර ධර්මයන්හි දැක්වෙන පරිදි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද හැකි ප්‍රයෝජන අතර පාරිසුද්ධ බව ලැබීම, සෝක පරිදේවයන්ගේ දුරලීම, දුක් දොම්නස් සමනය කිරීම හා නිවන අවබෝධ කරගැනීම ද වෙයි. ඇතැම් සූත්‍රයන්හි දැක්වෙන පරිදි නුවණැති බව ඇතිකරවීමත්, කෙලෙස් සංසිඳවීමත් සත්‍ය අවබෝධ කර ගැනීමටත්, තමන් හා අවට ලෝකය පිළිබඳව යථාවබෝධය ලබාදීමත් ධර්මය තුලින් ලඟා කර ගත හැකි ප්‍රතිලාභ අතර වේ.

ධර්ම සංනිවේදනයේදී ශ්‍රාවකයාට උක්ත ප්‍රතිලාභ හිමි වන අයුරින් ධර්මය දෙසිය යුතුය. මහින්දාගමනයෙන් පසුව ඇරඹුණු ධර්ම සංනිවේදන ක්‍රියාවලිය ථෙරවාදි සම්ප්‍රදාය ගරු කරමින් වසර දහස් ගණනක කාලය තුළ පවත්වා ගෙන එන ලද්දේ ථෙරවාදී භික්‍ෂූන් වහන්සේ විසිනි.

එබැවින් වඩාත් නිවැරදි හා ඵලදායි ධර්ම සංන්නිවේදන ක්‍රමවේදයකට අපි උරුමකම් ඇත්තෝ වෙමු.

සාර්ථක ධර්මදේශකයෙකුට ධර්මාර්ථයන් පිළිබඳ නිශ්චිත හා නිරවුල් අවබෝධයක් තිබිය යුතුය. උවමනා තැනදි පෙළ දහම කොටස් ගෙනහැර දක්වමින්, ධර්මාර්ථ පැහැදිලි කරමින්, මුල මැද හා අග පරස්පර නොවන අයුරින් සම්බන්ධ කොට දේශනා කළ හැක්කේ එවිටයි. අත්ථ කුසලෙන, ධම්ම කුසලෙන යනුවෙන් එය දේශනාවේ දැක්වෙයි. තමන්ට ලැබෙන කාලය පිළිබඳව සැළකිලිමත් වෙමින්, කාලයට උචිත ආකාරයට දේශනය සූදානම් කර ගෙන ඉදිරිපත් කිරීම වැදගත්වේ. පිරිසෙහි ස්වභාවය ද ප්‍රමාණය ද ඔවුන්ගේ සිරිත් විරිත් ආදිය පිළිබඳව දේශකයන් වහන්සේට ඇති අවබෝධය ද අවශ්‍යයෙන්ම තිබිය යුතු ලක්‍ෂණයකි.

බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීමේදී ශ්‍රාවකයාට සරණසිල්හි පිහිටීමට ඇති හැකියාව පැවිද්ද හා ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳ නුවණින් විමසා බලා දහම් දෙසූ නිසා ඉහළ ප්‍රතිඵල ළඟා කරගත හැකි විය.

අකුරු, පද, වැකි ගිලිහෙන්නට ඉඩ නොදීමත්, පෙර පසු සබදතා කඩ නොවන ලෙස ඉදිරිපත් කිරීමත් අක්‍ෂර උච්ඡාරණයේදි නිවැරදි වීමත් අකුරු ගිලිහෙන්න නොදීමත් “ඛ්‍යංජනානි අවීනාසෙත්වා” යනුවෙන් දක්වා තිබේ. අටුවාචාරින් වහන්සේලා දක්වන්නේ, කරත්ත ගමන් කරන මාර්ගයක පා ගමනෙන් යනවිට වළ ගොඩැලිවල වැටෙමින් ගමන් කිරීමට සිදුවේ. එවිට අත් පා ආදිය එහාට මෙහාට චලනය වෙයි.එමෙන් අඟ පසඟ චලනය නොකර, බුද්ධ ලීලාවෙන් යුතුව දහම් දෙසිය යුතු බවයි. දහම් කරුණු පැහැදිලි කිරීමේදී හා විස්තර කර දීමේදී ගාථා, කවි, කතන්දර ,පාලි පාඨ උපමා කථා, ආදිය යොදා ගැනීමෙන් තම දේශනය අලංකාර කරගත හැක. ඉදිරිපත් කෙරෙන කතා ආදිය අනවශ්‍ය ලෙස දික් කිරීමට හෝ කෙටි කිරීමට යාමෙන් ධර්ම දේශනාවේ ගුණාත්මක බවට හානි පැමිණිය හැක. අක්ෂර පද, වැකි ආදියෙහි උච්ඡාරණයේදී දෝෂ සහිත බවද දුර්වලතාවයකි. අකුරු අඩුවෙන් කීම, අල්පප්‍රාණ අකුරු අල්පප්‍රාණ ලෙස උච්චාරණය නොවීම, මහප්‍රාණ අකුරු ද එලෙසින් උච්චාරණය නොවීමත්, අකුරුවල විවෘත හා සංවෘත බව හැඳින නොගෙන උච්චාරණයේ යෙදීමත් නිසා, ඇතිවන දෝෂ ද කීපයකි.

මාතෘකාවට අදාල බව, අන්තර්ගත කරුණුවල නිරවද්‍ය බව, කාලානුරූප බව, කාලයට පිරිසට හා අවස්ථාවට ගැලපීම ද සාර්ථක දේශනයක ලක්‍ෂණ කීපයකි. පුනරුක්ත දෝෂ ඇති නොවන ලෙස ඉදිරිපත් කිරීමත් බාහිර වශයෙන් ගෙනහැර දක්වන කරුණු අනවශ්‍ය ලෙස විස්තර නොකිරීමත්, තුලින්, ධර්ම දේශනයක ප්‍රසස්ථ බව ආරක්‍ෂා කරගත හැක යනුවෙන් දැක්වෙන පරිදි මුල මැද හා අග යන අවස්ථා තුනේදීම දේශනයේ උසස් බව සුරැකිය යුතුය. විශේෂයෙන් මාධ්‍යයකින් ධර්ම දේශනා පැවැත්වීමේදී වඩාත් සැලකිළිමත් විය යුතු වන්නේ, ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අතරට එකවර මෙම පණිවිඩය ගමන් කරන බැවිනි. රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් බැවින් බෙහෙවින් ප්‍රවේශම් හා සැලකිළිමත් විය යුතුව ඇත. රූපවාහිනියෙන් කෙරෙන සංනිවේදනය පේ‍්‍රක්‍ෂකයා ක්‍රම දෙකකට ග්‍රහණය කරති. ඒ ඍජු හා වක්‍ර වශයෙනි. සංනිවේදකයාගේ පණිවිඩය ග්‍රහණය කර ගැනීම ඍජු සංනිවේදනයයි. ඇතැමුන් සංනිවේකයාගේ ඇඳුම් පැලඳුම් කොණ්ඩා මෝස්තර හා පසුතලයේ ඇති දෑ ආදිය ග්‍රහණය කරගනිති.

එය චක්‍ර සංනිවේදනයයි. ධර්ම සංනිවේදනයේදී රූප මාධ්‍ය භාවිතයේදි ශ්‍රමණ ආකල්ප නිවැරදි ලෙස පවත්වා ගැනීම, ඉරියව් මනාව හැසිරවීම පිළිබඳවද සැලකීම කාලය හා පිරිස පිළිබඳව මනා අවබෝධයක් ඇතිව අවස්ථාවට උචිත වන ආකාරයෙන් ධර්ම දේශනය පැවැත්වීම දේශකයන් වහන්සේගේ වගකීමක් වන අතර ශ්‍රමණ සාරුප්‍යයට උචිත වන ආකාරයෙන් පෙනී සිටීම රූප මාධ්‍යයකදී අවශ්‍යම වේ. පේ‍්‍රක්‍ෂකයාගේ සිත් ඇද බැඳ තබා ගැනීමටත් ඔවුන්ගේ අත්දැකීම් පදනම් කරගෙන ඒ තුළින් ගැඹුරු ධර්ම කරුණු විෂයෙහි ඔවුන්ව යොමු කිරීමටත් සිය දේශනය යොදා ගැනීම සාරවත් දේශකයකුගේ ලක්‍ෂණයකි. නූතන සමාජය බහුලව මාධ්‍යයය භාවිතයට ගනු ලබන බැවින් ධර්ම සංනිවේදනයේදි ස්වකීය මත ඉදිරිපත් කිරීමෙන් බැහැරව බුදුරජාණන් වහන්සේගේ අදහසම ජනතාව වෙතට ගෙන යෑම මාධ්‍ය භාවිතා කරන්නන්ගේ මූලික වගකීමක්ද වනු ඇත.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි මස 26 වන දා අඟහරුවාදා අපර භාග 09.46 ට ලබයි.
27 වන දා බදාදා අපර භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 27 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 03 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]