UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවි ප්‍රාප්ත බුදුලෙන රජමහා විහාරය, කිරිවැල්දෙණිය පුරාණ විහාරය යන උභය විහාරාධිපති හා ගණේගම අරමණපොළ රන්කොත් රාජ මහා විහාරයේ භාරකාර

ශාස්ත්‍රවේදී පාතකඩ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සංඝරක්‍ඛිත විමලරතන නා හිමියන් පිළිගැනීමේ උත්සවය

සහ පියරත්න ලේකම්ගේ විශ්‍රාම ශාලාව විවෘත කිරීම පැල්මඩුල්ල ගණේගම අරමණපොළ රන්කොත් රජ මහා විහාරස්ථානයේ දී

ශාසනික ජාතික මෙහෙය ඉටුකරනු ලබන යතිවරයන් වහන්සේ නමක්

බුදුලෙන රාජමහා විහාරය හා කිරිවැල්දෙණිය පුරාණ විහාරය යන විහාරද්වයාධිපති පාතකඩ විමලරතන ස්ථවිරයන් වහන්සේගේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සංඝරක්ඛිත යන ගෞරව නාම සම්මුතිය සහිතව අස්ගිරි මහාවිහාර පාර්ශ්වීය ඌව සබරගමු දෙපළාතේ අභිනව ප්‍රධාන සංඝනායක පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අපගේ ශුභාශිංසන පණිවුඩයක් ලබාදෙන්නේ ඉමහත් සතුටිනි.

අතීතයේ පටන් ජාතික, ආගමික හා සමාජීය සියලු කටයුතුවල දී නායකත්වය ගෙන ක්‍රියා කළේ අපේ භික්‍ෂූන් වහන්සේලාය. එය ආගමික වශයෙන් මෙන්ම ජාතික වශයෙන්ද චිරස්ථිතිය පිණිස හේතුවී ඇත. එය අනාගතයේදී ද එලෙසම සිදුවනු ඇත. ඒ අනුව බලන විට භික්‍ෂූන් වහන්සේ යනු ජාතියේ හා ආගමේ චිරස්ථිතිය ඇති කරන ජීවමාන සාධකයයි. අභිනව නායක පදවියෙන් පිදුම් ලබන අපේ පාතකඩ විමලරතන ස්ථවිරයන් වහන්සේගේ ද එම ශාසනික හා ජාතික මෙහෙය ඉටුකරනු ලබන වැදගත් යතිවරයන් වහන්සේ නමකි.

1957 දී ගණේගම, අමණපොළ රන්කොත් විහාරස්ථානයේ දී ප්‍රවෘජාභූ®මියට පත් උන්වහන්සේ පැල්මඩුල්ල රූප අරුණ පිරිවෙන් විද්‍යාස්ථානයෙන් මූලික අධ්‍යාපනය ලබා 1968 දී මහනුවර අස්ගිරි මහාවිහාරීය උපෝසථාගාරයේ දී අධිශීල, සංඛ්‍යාත උපසම්පදාව ලබාගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදි උපාධිය ලබාගත් උන්වහන්සේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු වශයෙන් විශ්‍රාම ගන්නා තෙක් රත්නපුර ඉඹුලමුර විද්‍යාලය, පැල්මඩුල්ල ධර්මාශෝක විද්‍යාලය, පාතකඩ නවෝද්‍යා බෞද්ධ මහා විද්‍යාලය ආදි විද්‍යාල කිහිපයකම ආචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිදුකොට ඇත්තේ වැදගත් ජාතික මෙහෙවරකි.

පැල්මඩුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපතිවරයන් වහන්සේ වශයෙන් දීර්ඝකාලයක් සේවය කොට ඇති පාතකඩ විමලරතන ස්ථවිරයන් වහන්සේ වසර දොළහක් මුළුල්ලේ සමස්ත ලංකා සාමවිනිසුරුවරයෙකු වශයෙන් ද සේවය කරති. විහාරස්ථාන කිහිපයකම අධිපතිත්වය මෙන්ම භාරකාරත්වය දරමින් වැදගත් ශාසනික මෙහෙවරක් ඉටුකරන මෙවැනි යතිවරයන් වහන්සේලාට භික්ෂූන් වහන්සේලා අතර නායකත්වය ලබාදීම ප්‍රශංසනීය කටයුත්තකි. එබැවින් අස්ගිරි මහාවිහාර පාර්ශ්විය ඌව සබරගමු දෙපළාතේ අභිනව ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේට මෙම නායක පදවියත් ශක්තියක් කොට ගනිමින් තව තවත් ජාතික, ආගමික මෙන්ම සමාජීය සේවාවන් කරගෙන යෑමට ශ්‍රීමත් දළදා වහන්සේගේ පිහිට හා ආරක්‍ෂාව ලැබේවායි ආශිංසනය කරම්හ.


කාර්යශූර දැන උගත් ශික්‍ෂාකාමී හිමිනමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ඓතිහාසික බුදුලෙන රජමහා විහාරය, කිරිවැල්දෙණිය රජමහා විහාරය යන උභය විහාරාධිපති සහ ගණේගම, අරමණපොළ රන්කොත් රජමහා විහාරයේ භාරකාර, සමස්ත ලංකා සාමවිනිසුරු ශාස්ත්‍රවේදී පාතකඩ විමලරතන නායක ස්ථවිරයන් වහන්සේට අප අස්ගිරි මහා විහාරීය ඓතිහාසික මූලස්ථානයේ රාජුපස්ථානීය පරම ධම්ම සභා නම් වූ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සංඝරක්ඛිත යන ගරුනාමය සහිතව ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පත් කළ අතර ඒ වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානේත්සවය සඳහා සුබාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ මහත් ප්‍රසාදයෙන් යුතුවය.

ධර්මධර, විනයධර, භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඉමහත් ශක්තියකි. අභිනව නායක පදවි ප්‍රාප්ත පාතකඩ විමලරතන ස්ථවිරයන් වහන්සේ ද ඌව සබරගමු දෙපළාතට පමණක් නොව සමස්ත සම්බුද්ධ ශාසනයටම අතිශය ප්‍රයෝජනවත්, කාර්යශූර දැන උගත්, ශික්ෂාකාමී ස්ථවිරයන් වහන්සේ නමකි. අඩසියවසක් ඉක්මවන උන්වහන්සේගේ ශාසනික සේවාව වත්මන් තරුණ භික්ෂූන් වහන්සේලාට ආදර්ශ ගැනීමට තරම් අර්ථවත්ය. 1957 දී උතුම් පැවිද්ද ලබා එවකට කීර්තිමත් විද්‍යාස්ථානයක් වූ පැල්මඩුල්ල රූපඅරුණ මහා පිරිවෙණින් මූලික අධ්‍යාපනය හදාරා 1968 දී මහනුවර අස්ගිරි මහා විහාරයේ දී උපසම්පත්තියට පැමිණි පාතකඩ විමලරතන නායක ස්ථවිරයන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය හිමි කරගනිමින් දැන උගත් භික්ෂූන් වහන්සේ නමක් ලෙස අධ්‍යාපනික සේවාවට පිවිස සබරගමුව පළාතේ සුප්‍රසිද්ධ පාසල් කිහිපයක ආචාර්යවරයාණ කෙනෙක් හා විදුහල්පතිවරයෙකු ලෙස විශ්‍රාම ගන්නා තුරුම සිදු කල ශාස්ත්‍රිය සේවය අතිශයින්ම ප්‍රශංසා කටයුතුය. ස්වකීය ආචාර්යන් වහන්සේගේ ඇවෑමෙන් බුදුලෙන රජමහා විහාරය හා කිරිවැල්දෙණිය රජමහා විහාරය යන විහාරස්ථාන දෙකෙහි ආධිපති්‍යයට පත්ව එකී විහාරස්ථානවල දියුණුව උදෙසා මහත් කැපවීමකින් මේ දක්වා කටයුතු කරන උන්වහන්සේ පැල්මඩුල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති සහ සමථ මූල මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් ද තමාගෙන් ඉටුවිය යුතු ශාසනික මෙන්ම සාමාජීය යුතුකම් නොපිරිහෙලා ඉටුකර ඇත.

පාතකඩ විමලරතන නායක ස්ථවිරයන් වහන්සේගේ ලෝක ශාසනික සේවාව පිළිබඳ ප්‍රසාදයට පත් අප අස්ගිරි මහා විහාරීය සංඝ සභාව උන්වහන්සේට 1980 දී සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියද 2009 වසරේදී සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියද 2011 වසරේදී ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියද පිරිනැමීමෙන් ප්‍රකට වන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවුණු ආදර්ශමත් යතිවරයන් වහන්සේ නමකට ලැබුණූ කෘතවේදී ඇගයීමක් බව සඳහන් කරනු කැමැත්තෙම්හ.

අභිනවයෙන් මෙම නායක පදවියට පත් වූ ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පාතකඩ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල විමලරතනාභිධාන නායක ස්ථවිරයන් වහන්සේට ස්වකීය ශාසනික හා සාමාජික මෙහෙවර චිරාත් කාලයක් සිදු කිරීමට තෙරුවන් සරණින්, ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය සහ චිරජීවන සැලසේවායි ආශිංසනය කරම්හ.


සුපේශල ශික්‍ෂාකාමී මහ තෙර නමක්

සම්මා සම්බුද්ධ ශාසනය සියවස් විසිපහකටත් අධික කාලයක් අඛණ්ඩව පැවත ආවේ භික්ෂු, භික්ෂුණී ,උපාසක,උපාසිකා යන සිව්වනක් පිරිස නිසාය.ලක්දිව මහා විජයබාහු රාජසමය වනවිට පරසතුරු උවදුරු නිසා භික්ෂුණී ශාසනය මෙරට අභාවයට ගොස් පැවති නමුදු, ඒ බරත් මේ දක්වා දරාගෙන ආවෝ, භික්ෂූන් වහන්සේලාය. උපාසක උපාසිකා දෙ පක්ෂය උන්වහන්සේලාට නිසි පරිදි කරදුන් නිසා ලංකා සම්බුද්ධ ශාසනය මෙවන් අයුරින් දැනුදු පවත්නේය. ඒ සඳහා ඒ ඒ කාලවල ඒ ඒ වකවානුවල පහළ වූ සංඝ නේතෘන් වහන්සේලාගේ උපදෙස් පරිදි, උපාසක උපාසිකා දෙපක්‍ෂයට අයත් රාජ රාජ මහාමාත්‍යවරු ද දානපති ප්‍රභූ®වරු ද රාජ දේවිවරු ද මහජන පවුල්වල පිනට ඇප කැප වුණ සැදැහැවත්හු ද මේ මහා සේවාවට අත හිත දුන්හ. එනිසා ම රටේ පොදු ජනතාවද ඔවුන් අනුගමනය කරමින් ශාසනෝන්නතිය වෙනුවෙන් සිදුකරන ලද සේවාව කියා නිම නොකළ හැකි තරම් අතිවිශාලය.

ඉහත සඳහන් සේවාවන්ට මූලිකත්වය ගෙන සැමදා ක්‍රියා කළෝ, අපේ ගරුතර මහා සංඝයා වහන්සේය. දැනුදු උන්වහන්සේලා තම තමන්ගේ දැන උගත්කම්, සහජ කුසලතා උපයෝගී කොට ගෙන ආගමික වතාවත් සමාජ සේවාමය කටයුතු දේශීය විදේශීය ධර්මදූත සේවාවන් ශබ්ද ශාස්ත්‍ර දියණු කිරීම් දේශීය සංස්කෘතිය රැකීම් සහ විහාරස්ථානයන් ද සංවර්ධනය කරන අතර අධ්‍යාපන ක්ෂේත්‍රය ද ඔපවත් කරමින් මහගු සේවාවක යෙදී සිටිති.

එනයින් සලකා බලන විට සබරගමුව සහ ඌව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන, පැල්මඩුළු, ගනේගම රාජමහා විහාරාධිපති, ශාස්ත්‍රවේදි පාතකඩ විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද කැපී පෙනෙන සේවයක යෙදී සිටින මහතෙර නමක් වශයෙන් සඳහන් කළ යුතුය. ප්‍රදේශයේ යහපත පිණිස සසුන්කෙත පැහැපත් කරනු පිණිස දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නංවා ලනු පිණිස විමලරතන නාහිමියන්ගෙන් සිදුවී ඇති සේවය උසස් අයුරින් අගය කළ යුතුව ඇත.

සුපේශල ශික්ෂාකාමී මහතෙර නමක් වශයෙන්, බුදුරදුන් වදාළ පරිදි, මහා සංඝයා වහන්සේගේත් දායක දායිකාවන්ගේත් අභිවෘද්ධිය පිණිස වෙහෙස මහන්සියෙන් සේවය කරන පාතකඩ විමලරතන නාහිමිපාණෝ කෘතෝපකාරයට මුල්තැනක් දෙමින් කටයුතු කරන සංඝ පීතෘන් වහන්සේ නමක් වශයෙන් ද සඳහන් කළ යුතුය. දිනපතා වන්දනාව පිණිස ගනේගම පුරාණ රාජ මහා විහාරස්ථානයට පැමිණෙන අපේ බෞද්ධ ජනතාවගේ සිත් සතන් පිනවන පරිදි, මුන්වහන්සේ සිසුවරයන් වහන්සේලා සහ දායක භවතුන් සමග අවශ්‍ය ආගමික කටයුතු ද ආගන්තුක සත්කාරය ද උසස් අයුරින් ම ඉටුකරන මහතෙර නමකි.

විහාරස්ථානයේ උන්නතිය පිණිස මහඟු සේවාවක දීර්ඝ කාලයක පටන් යෙදී සිට, හදිසි හෘදයාබාධයකින් අභාවයට පත් තම කල්‍යාණ මිත්‍ර ශාස්ත්‍රවේදි පියරත්න ලේකම්ගේ මහතාණන් සිහිපත් කරනු සඳහා මේ නායක උත්සවයට ම සම්බන්ධ කොට අංග සම්පූර්ණ දෙමහල් සුවිශාල විශ්‍රාම ශාලාවක් ද විවෘත කිරීමට නියමිත ය.

මෙවන් ජාතික ආගමික මහඟු සේවාවක යෙදී සිටින ශාස්ත්‍රවේදී “සද්ධර්ම කීර්ති ශ්‍රී රත්නපාල සංඝරක්ඛිත” යන ගෞරව නාමය සහිතව සපරගමු ඌව දෙ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමෙන් අස්ගිරි පාර්ශ්වයීය අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාවට ද අප කාගේත් ගෞරවය හිම විය යුතුය. ඌව සපරගමු දෙ පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සංඝරක්ඛිත නාමොපලක්‍ෂිත පාතකඩ විමලරතන ප්‍රධාන සංඝ නායක මහාස්ථවිරයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායු සම්පත් ලැබේවා! යි ප්‍රාර්ථනා කරම්හ.


ඉතා පි‍්‍රයශීලී යතිවරයන් වහන්සේ නමක්

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අනුනායක කාරක මහා සංඝ සභාව විසින් ශාස්ත්‍රවේදි පූජ්‍ය පාතකඩ විමලරතන මහා ස්ථවිරයාණන් වහන්සේ වෙත ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇති බව දැනගැනීමට ලැබීමෙන් මා අතිශය පී‍්‍රතියට පත්වීමි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා වැදගත් පෞරාණික විහාරාරාම කීපයකම අධිපතිත්වය හොබවමින් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා විශාල මෙහෙවරක් ඉටුකරන අප හිතෛෂි පාතකඩ විමලරතන නායක මහා ස්ථවිරයාණන් වහන්සේ ඉතා පි‍්‍රයශීලි යතිවරයාණන් වහන්සේ නමකි.

රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ මහාචාර්ය අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණාවාස රාජකීය පණ්ඩිත මඩිතියවල විජිතසේන යන නායක ස්ථවිරයාණන් වහන්සේලා සමග සමීප ඇසුරක් පවත්වමින් උන්වහන්සේලා සිදුකළ විවිධ වූ සේවාවන් විෂයෙහි ස්වකීය උපකාරය නිතැතින්ම ලබාදුන් අපේ පාතකඩ විමලරතන නායක ස්ථවිරයාණන් වහන්සේ වර්තමානයේද එම ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුර සමගින්ද සහෝදරත්වයෙන් යුතුව ආශ්‍රය කරමින් අවශ්‍ය සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදෙමින් ක්‍රියා කරන බව මා හොඳීන් දනිමි.

පළාතේ සම්භාවනීය සඟ පරපුරක පැවිදි බව ලබා තමා උපන් ප්‍රදේශයේම වැඩ හිඳිමින් දැන උගත් භික්‍ෂුවක් ලෙස ගිහි පැවිදි දෙපක්‍ෂයටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් නිරහංකාර නිහතමානි දිවිපෙවෙතක් ගත කරන අප නායක මහා ස්ථවිරයාණන් වහන්සේට ලැබූ පදවිය තුළින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සුවිශාල මෙහෙවරක් කිරීමට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවායැයි ආශිර්වාද කරම්හ.


සතුටට හේතුවක්

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඌව සපරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියට රත්නපුර ලෙල්ලොපිටිය බුදුලෙන් රාජ මහා විහාරය සන්නස්ගම පුරාණ විහාර යන උභය මහා විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රවේදි පාතකඩ විමලරතන නායක ස්ථවිර පාදයන් වහන්සේ පත්වී සිටීම අපගේ අමන්දානන්දයට හේතුවෙයි.

යතෝක්ත විමලරතනාභිධාන නායක ස්ථවිරයන් වහන්සේ ශාසනික හා ජාතික කටයුතු වලදී ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන්නාවූද ගිහිපැවිදි බොහෝ දෙනා අතර පි‍්‍රයමනාප කෙනෙකු බවද අවංකව ප්‍රකාශ කරමි.

ඉහත කී සංඝනායක පදවිය පිරිනැමීම ගෘහස්ථ ප්‍රවෘජිත උභය පක්ෂයේම සතුටට හේතුවකි.


පාතකඩ විමලරතන නා හිමි

උත්තරීතර මාර්ගයකට ප්‍රවිශ්ඨ වීමේ වාසනා මහිමය ඇති මේ පුණ්‍යවන්ත කුමරුවා 1943 11 වැනි මස 28 දා සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික් බද නවදුන් කෝරළයේ උඩපත්තුවේ පාතකඩ ග්‍රාමය එවකට සිටි අභාවප්‍රාප්ත හේනක ආරච්චිගේ පොඩි අප්පුහාමි හා මයිලන්ගේ ලේකම්ගේ සොයිදො හාමි දම්පතීන්ට දාව ජන්ම ලාභය ලත් හේනක ආරච්චිගේ විමලදාස කුමරුවා ර/නාරංගොඩ පාඨශාලාව කේන්ද්‍රිය කැර මූලික අකුරු ශාස්ත්‍රය ප්‍රගුණ කළ සමයේ ලෙල්ලෝපිටිය බුදුලෙන රජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කර්ම වාගාචාර්ය සන්නස්ගම ශ්‍රී රතනපාල හා ගණේගම සංඝරක්ඛිත මහා තෙරවරුන්ගේ ආචාර්යත්වය ඇතිව පාතකඩ විමලරතන සාමණේර භික්ෂු නාමයෙන් ශාසන ගත වූහ.

සාමණේර භික්ෂුවගේ භික්ෂුත්වය ආරක්‍ෂා කැරලීමට මූලික වශයෙන් අවශ්‍ය කරන සාමණේර බණ දහම් වත් පිළිවෙත් පිළිවෙළින් පෙළ ගැස්සූ මේ භික්ෂුව පිරිවෙන් අධ්‍යාපනයේ අත්පොත තැබීම සඳහා එකළ පැරැණි අධ්‍යාපනයට මුල්තැනක් දී කටයුතු කළ පැල්මඩුල්ල රූප අරුණ පරිවෙණස්ථානය ගුරු තන්හි තබාගෙන භික්ෂුවකට අදාළ සියලු විෂයන් මැනවින් අධ්‍යයනය කැර ශ්‍රී ජයවර්ධනපුර (විද්‍යෝදය) විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී විභාගය සමත් වූහ.

අධිෂ්ඨාන පූර්වක භික්ෂු සමාජයේ පැවැත්ම අපේක්‍ෂා කළ මේ හිමියෝ 1968 මැයි මස 4 වැනිදා මහනුවර හයගිරි අස්ගිරි විජය සුන්දරාරාමස්ථ පෝය සීමා මාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අමතරව දීර්ඝ කාලයක් වෙහෙස මහන්සිවී ලබාගත් පොත පතේ දැනුම මේ රටේ දරුදැරියන්ට දායාද කිරීමේ අරමුණ පෙරටු කැර ගෙන දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරන, විද්‍යස්ථාන ගණනාවක උප ගුරුවරයෙකු හා පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු ලෙස වර්ෂ 33 කට අධික කාලයක් ගුරුවෘත්තියේ නියැළී සිදු කළ සේවය සදානුස්මරණීය වේ.

අධ්‍යාපන හා අධ්‍යයන කටයුතුවලට සමගාමිව ස්වකීය විහාරාරාම ස්ථාපිත කිරීම වස් ගණේගම අරමණපොළ රන්කොත් රාජ මහා විහාරස්ථ ශ්‍රී රතනපාල දහම් පාසල ආරම්භයට අමතරව ඊට අනුබද්ධිත සෙසු විහාරස්ථානයන්හි සියලු දහම් පාසල් නඟා සිටුවීම ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන සම්පත් දායකත්ව මෙන්ම ධන පරිත්‍යාගයන් සිදු කළ වාර ගණන අපමණ ය.

එසේම පෞරාණික විහාරාරාම කාලයාගේ ඇවෑමෙන් නටබුන් බවට පත්වන අයුරු සියැසින් දුටු ඒ හිමියෝ සිය විහාරස්ථාන සතු සියලු සංඝාරාම ධර්මශාලා, ළිං පොකුණු, වැසිකිලි, කැසිකිලි අතුරු මාර්ග ප්‍රාකාර බැම් පියගැට පෙළ බෝධි ප්‍රාකාර නව විහාර මන්දිර බුද්ධ ප්‍රතිමා යුගයේ අවශ්‍යතාවයට උචිත ආකාරයට නිර්මාණය කැරලීමට උත්සුක වූහ.

විහාරස්ථාන හා බැඳුණු සමිති සමාගම් නව මුහණුවරකින් යුතුව ඒකරාශී කිරීම විශේෂයෙන් කැපී පෙනේ.

සමාජයේ යහපැවැත්ම උදෙසා වරින්වර සිදු කළ ජාතික ආගමික මෙහෙවර මැනවින් අවබෝධ කැර ගත් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරස්ථ මහානායක සානුනායක විංශත් වර්ගික කාරක සංඝ සභාව 1980 සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය, 2009 දී සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය, 2011 දී ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය යන පදවි තානාන්තර පිරිනැමීම මහඟු ආශිර්වාදයක් වූහ.


සැම දෙනාගේ අතිශය ගෞරවයට පාත්‍රව ඇත

අස්ගිරි විහාර පාර්ශ්වයේ අති සම්භාවනීය ඓතිහාසික රජමහා විහාරයක් වන බුදුලෙන රජමහා විහාරය. ගණේගම අරණපොළ රජමහා විහාරය, හා කිරිවැල්දෙණිය පුරාණ විහාරයන්හි අධිපතීත්වය ද දරමින් ශාසනික වශයෙන් ප්‍රදේශයේ මහා සංඝයා වහන්සේගේත් බෞද්ධ ජනතාවගේත් ඉමහත් ගෞරවයට පාත්‍රව සිටින සබරගමු පළාතේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ඌව සබරගමු දෙපළාතේ සංඝනායක පදවිය දරන ශාස්ත්‍රවේදි පාතකඩ විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උක්ත පදවිය සඳහා ඉතාම සුදුසු බව අපගේ පිළිගැනීමයි.

ප්‍රදේශයේ අනෙකුත් නිකායික මහා සංඝයා වහන්සේ සමග ද සමීප සම්බන්ධතාවෙන් හා අන්නෝන්‍ය සහයෝගිතාවෙන් උන්වහන්සේ කටයුතු කරති.

ශාසනික පැවැත්ම සඳහා ශිෂ්‍ය බාලාදීන් පැවිදි කරමින් මහජනතාවගේ ප්‍රසාදවට පත්ව සිටින දීර්ඝ කාලයක් රජයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කොට ර/පාතකඩ බෞද්ධ මහා විද්‍යාලේ විදුහල්පති වශයෙන් සේවාව නිම කොට විශ්‍රාමිකව සිටී. භික්‍ෂුත්වයේ ගෞරවය මැනවින් ආරක්‍ෂා කරමින් සංඝ සෝභානතාවෙන් පිරිපුන් මහා තෙරනමකි. සම්භාවනීය විහාර පරපුරක දැනට සිටින නායක තෙරනමක් වූ මුන්වහන්සේ පැවිදි ගිහි සැම දෙනාගේ අතිශය ගෞරවයට පාත්‍රව ඇත.


එදින වැඩ සටහන

ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානෝත්සවය ජුනි මස 07 දින පස්වරු 3 ට මහනුවර අස්ගිරි විහාරයේදී ද ජුනි මස 09 දින පස්වරු 3 ට පැල්මඩුල්ල ගණේගම අරමණපොළ රන්කොත් රාජමහා විහාර ස්ථානයේදී පියරත්න ලේකම්ගේ ගුණානුස්මරණ විශ්‍රාම ශාලාව විවෘත කිරීම හා අභිනව නා හිමි පිළිගැනීම අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. එම උත්සව සභාවට අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනු නායක මහියංගණ රාජමහා විහාරාධිපති ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන අනු නා හිමි, මල්වතු විහාර පාර්ශ්වයේ අනු නායක නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිතාභිධාන විජිතසිරි අනු නා හිමි, අස්ගිරි මහා විහාර සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි කුරුණෑගල ඇත්කද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති ආනමඩුවේ ධම්මදස්සි නා හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි සම්භාවනීය අමුත්තෝ රැසක්ම සහභාගි වෙති.

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා පූර්වභාග 03.49 ට ලබයි. 12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]