UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වේරඤ්ජක සූත්‍රය

මේ දේශනාව අසා වේරඤ්ජාවේ වැසියන් බොහෝ සතුටට පත්වුණා. ඔවුන් කියනවා ස්වාමිනි, බොහොම ලස්සනයි. යටිකුරු කර තිබූ දෙයක් උඩුකුරු කරලා තැබුවා වගේ. අන්ධකාරයේ සිටි කෙනෙකුට පහනක් දල්වා ආලෝකය දුන්නා වගේ. ඔබ වහන්සේ වදාළ ධර්මය අපට තේරුණා. අද සිට අප ඔබවහන්සේ දිවි හිමියෙන් සරණ යනවා.

තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ වේරඤ්ජා වැසි බමුණන් උදෙසා මෙම සූත්‍රය වදාළා.

මජ්ඣිම නිකායට මෙම සූත්‍රය ඇතුලත් වන්නේ.

වේරඤ්ජා බමුණන් කිසියම් කාරණයකට සැවැත් නුවරට පැමිණියා. එහිදී ඔවුන්ට ආරංචි වුණා තථාගතයන් වහන්සේගේ කීර්ති රාවයක් ගැන. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මේ ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. උන්වහන්සේ කියාදෙන ධර්මයේ මුලත් මැදත් අගත් හොඳයි. එහි ඇත්තේ යහපත් දේමය කියා ඔවුන් දැන ගත්තා. එනිසා ඔවුන්ටද බණ අසන්නට ඇත්නම් කියා ආශාවක් ඇතිවුණා.

දිනක් ඒ සියලු දෙනා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ගියා. තොරතුරු කතාබහ කරලා අහනවා ගෞතමයන් වහන්ස, මේ ලෝකයේ සමහර සත්ත්වයෝ කය බිඳුණාට පස්සේ දුගති ස්ථානයක උපදිනවා. ඒ වගේම සමහර අය මියගියාට පස්සේ සුගති ලෝකවල ඉපදෙනවා. සමහර අය අපායට යන්නත් සමහර අය දිව්‍ය ලෝකයට යන්නත් හේතුව කුමක්දැයි විමසුවා.

එවිට තථාගතයන් වහන්සේ වදාළා යම් කෙනෙක් අධර්මයේ හැසිරෙනවා නම් නරක විදියට හැසිරෙනවා නම් දුරාචාරයෙහි යෙදෙනවා නම් විෂම විදියට තම චරිතය හැඩ ගස්සවා ගන්නවා නම් ඒ අය දුගති ලෝකවල ඉපදෙනවා. නරක තැන්වල ඉපදෙනවා. යම් කෙනෙක් සදාචාර සම්පන්නව ජීවත් වෙනවා නම් ධර්මයෙහි හැසිරෙනවා නම්, සීලවන්ත ජීවිත ගත කරනවා නම් ඒ තැනැත්තන් සුගති ලෝකවල උපදිනවා කියලා කෙටියෙන් උත්තර දුන්නා. එතකොට අර පිරිස කියනවා ‘තථාගතයන් වහන්ස අපට මේ කරුණු තවත් විස්තරව දේශනා කරන සේක්වා’ කියා.

එවිට තථාගතයන් වහන්සේ වදාළා කයෙන් අධම්මචාරීව හැසිරෙන ක්‍රම තුනක් තිබෙනවා. වචනයෙන් අධම්මචාරීව හැසිරෙන ක්‍රම හතරක් තියෙනවා. මනසින් අධම්මචාරීව හැසිරෙන ක්‍රම තුනක් තියෙනවා. මේවාට දස අකුසල් කියා කියනවා.

කයෙන් කරන වැරදි තුන තමා යම් කෙනෙක් සතුන් මරනවා නම්, අන්සතු දෙයක් සොර සිතින් ගන්නවානම්, වැරැදිකාම සේවනයෙහි හැසිරෙනවා නම් එය කායික වැරැදි.

ඒ වගේම වචනයෙන් වන වැරැදි තමා කෙනෙක් බොරු කියනවා නම්, කේළාම් කියනවානම්, පරුෂ වචන කියනවානම්, හිස් වචන කියනවානම් එය වචනයෙන් සිදුවන වැරැදියි.

ඒ වගේම තථාගතයන් වහන්සේ වදාළා කෙනෙක් සිතිනුත් අකුසල් කරනවා. ඒ තමයි අනුන්ගේ් දෙයට ආශා කරනවා, බලවත් දේවේෂයෙන් යුක්තනම්, මිත්‍යාදෘෂ්ඨකනම්, ඔහු සිතින් අකුසල් කරන පුද්ගලයෙක්.

තථාගතයන් වහන්සේ වදාළා බොහෝ දෙනෙක් කයෙන් වචනයෙන් සිතින් අකුසල් කර එහි විපාක ලෙස අපායගාමී වෙනවා. ඒ වගේම තවත් පිරිසක් හොඳ දේවල් කරනවා. සතුන් මරන්නේ නැහැ. සතුන්ට දයානුකම්පාව දක්වනවා. නොදුන් දේ සොර සිතින් ගන්නේ නැහැ. තමන්ගේ දේ විතරක් නොවෙයි පොදු දේපල සුරකිනවා. කාම මිත්‍යාචාරයෙන් වළකිනවා පමණක් නොවේ බ්‍රහ්මචාරී ජීවිතද ගත කරනවා. බොරු නො කියනවා මෙන්ම සත්‍යවාදී ද වෙනවා. කේළාම් නො කියනවා මෙන්ම අන් අය සමඟි සම්පන්න කරනවා. ඵරුස වචන නොකියා බොහෝම ආදරයෙන් පි‍්‍රයශීලි වචන කථා කරනවා. හිස් බස් නොදොඩා නිතරම හරවත් යමක් පමණක් පවසනවා.

ඊළඟට පිදූ දෙයෙහි විපාක තියෙනවා. හොඳ කළාම හොඳ විපාක ලැබෙනවා. නරක කළාම නරක කර්ම විපාක ලැබෙනවා. මෙලොවක් තියෙනවා. පරලොවක් තියෙනවා. දෙමව්පියන්ට සැළකීමේ විපාක තියෙනවා. ඉබේ පහළවන ඕපපාතික කියා සත්ත්ව පිරිසකුත් මේ ලෝකයේ ඉන්නවා. ඒ වගේ අය දිව්‍ය ලෝකවල ඉපදෙනවා. ඒ වගේම පිළිවෙත් පුරන ගුණ සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ලෝකයේ ඉන්නවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයට කියනවා දස වස්තුක සම්මා දිට්ඨිය කියලා. එසේ විශ්වාසයක් නැති පුද්ගලයාට ඇත්තේ මිච්ඡාදිට්ඨියයි.

මේ විදිහට බොහෝ දෙනා කයෙන් වචනයෙන් සිතෙන් වැරදි කරලා එහි විපාක හැටියට අපායගාමී වෙනවා. තවත් සමහරු කයෙන් හොඳ දේවල් කරනවා. ඒ සතුන් මරන්නේ නැහැ. සතුන්ට දයානුකම්පාව දක්වනවා. නොඳුන් දේ සොර සිතින් ගන්නේ නැහැ. තමන්ගේ දේ විතරක් නොවෙයි පොදු දේපළ සුරකිනවා.

කාම මිථ්‍යාචාරයෙන් වළකිනවා පමණක් නොවේ බ්‍රහ්මචාරී ජීවිත ද ගත කරනවා. බොරු නො කියනවා මෙන්ම සත්‍යවාදී ද වෙනවා. කේළාම් නො කියනවා මෙන්ම අන් අයව සමඟි සම්පන්න කරනවා ඵරුස වචන නො කියා බොහෝම පි‍්‍රයශීලි වචන කථා කරනවා. හිස්බස් නො දොඩා නිතරම හරවත් යමක් පමණක් පවසනවා.

ඒවගේම මනසින් ධම්මචාරී වන්නේ කොහොමද? අභිධ්‍යා කියන අනිත් අය සතු සම්පත් දැකලා ඒ ඇත්තන්ගේ දේවල්වලට ආශා කරන්නේ නැතිව සතුටු වෙන්න පුළුවන්කමක් ඇතිකරගන්න ඕනෑ. එසේ හොඳ සිතුවිලි ඇතිකර ගැනීම මුදිතාවයි. ඒ වගේම ව්‍යාපාදය නැතිකරලා අව්‍යාපාදය ඇතිකර ගන්න ඕනෑ. වෛර නැත්තෙක් තරහා නැත්තෙක් වෙන්න ඕනෑ. මිථ්‍යාදෘෂ්ටිය නැති කරලා කර්මඵලය පිළිබඳව පරලොව පිළිබඳව අම්මාට තාත්තාට සැළකීමේ විපාක පිළිබඳව මේ සියල්ල තිබෙන බව, පවතින බව සිතුවොත් ඔහු මනසිනුත් හොඳ කර්ම රැස් කරනවා. එසේ කර ඔහුට සුගති ස්ථානයක උපත ලබන්නට පුළුවන්.

නමුත් යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේ භවයෙන් භවය ඉපදීම නිසා වන්නේ තව තවත් සසර දිග වෙන එක විතරයි. මේ තාවකාලික සැප විඳින විට සංසාරිකව ඊට ආවේනික වූ දුක් විඳින්න සිදු වෙනවාමයි. මේ ආවේණික දුකෙන් මිදෙන්න පුළුවන් වන්නේ මේ ඉපදීම නැති කළ දවසටයි කියලා කල්පනා කරලා මේ හිත කය වචනය යන තුන් දොර සංවර කර ගැනීම තුළ දස කුසලයන් වැඩීම තුළ මම සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරගෙන ධර්ම මාර්ගයේ ගමන් කළොත් ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ඨ කරගන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ වදාළා.

මේ දේශනාව අසා වේරඤ්ජාවේ වැසියන් බොහෝ සතුටට පත්වුණා. ඔවුන් කියනවා ස්වාමිනි, බොහොම ලස්සනයි. යටිකුරු කර තිබූ දෙයක් උඩුකුරු කරලා තැබුවා වගේ. අන්ධකාරයේ සිටි කෙනෙකුට පහනක් දල්වා ආලෝකය දුන්නා වගේ. ඔබ වහන්සේ වදාළ ධර්මය අපට තේරුණා. අද සිට අප ඔබවහන්සේ දිවි හිමියෙන් සරණ යනවා.

එනිසා ඔබත් ඔබේ සිත කය වචනය යන තුන් දොරින් වන දුර්වලකම් අඩුකරගෙන ගුණ නුවණින් පොහොසත් වෙලා සසර ගමන කෙටි කරගන්නට අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]