UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උපන් අකුසල් දුරු කර ගනිමු

සේඛ බල පුරුදු කරමු - 3

ශ්‍රද්ධා බලය ඇති කරගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියල, මේ විදියට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා බලය කියල කියන්නේ

අප්‍රේල් 29 වනදා ලිපිය හා සම්බන්ධයි

මේ වන විට පින්වතුන් සේඛ බල ඉගෙන ගත්තා. ඒ වගේම අප ඒ සේඛ බල වල අර්ථය දැන ගන්ටත් ඕනෑ. ඒ විදියට සේඛ බල වල අර්ථය දැන ගත්තොත් තමයි අපට සේඛ බල පුරුදු කර ගන්ට පුළුවන්කම තියෙන්නෙ.මේ සේඛ බල වල අර්ථය භාග්‍යවතුන් වහන්සේ මේ විදියට කෙටියෙන් අපට කියා දෙනවා. කතමඤ්ච භික්ඛවේ සද්ධාබලං” පින්වත් මහණෙනි, කොපමණකින් මේ සද්ධා බලය පවතිනවා ද? “ඉධ භික්ඛවේ අරියසාවකෝ සද්ධෝ හෝති “ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. “සද්දහති තථාගතස්ස බෝධිං” තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. “ඉතිපි සෝ භගවා, අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ’ සුගතෝ, ලෝකවිදූ,අනුත්තරෝ, පුරිසදම්මසාරථී සත්ථා, දේවමනුස්සානං, බුද්ධෝ භගවාති” යන්න ඒ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. “ඉදං වුච්චති භික්ඛවේ සද්ධාබලං” පින්වත් මහණෙනි, මෙය තමයි ශ්‍රද්ධා බලය.

එතකොට ශ්‍රද්ධා බලය ඇති කරගන්නෙ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක කියල, මේ විදියට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධා බලය කියල කියන්නේ.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව හිරි බලය කියන්නෙ කුමක්ද කියල, “ ඉධ භික්ඛවේ අරියසාවකෝ හිරිමා හෝති” පින්වත් මහණෙනි’ ආර්ය ශ්‍රාවකයා ලජ්ජාවෙන් යුක්තයි කියල කියා දෙනවා. “හිරියති, කායදුච්චරිතේන” කාය දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා” වචීදුච්චරිතේත” වචී දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා, “මනෝදුච්චරිතේන” මනෝ දුෂ්චරිතය කෙරෙහි ලජ්ජාවෙන් යුක්තව වාසය කරනවා. පාපකාර අකුසල දහම්වල යෙදී වාසය කරන්නට ලජ්ජාව උපදවා ගෙන වාසය කරනවා. අන්න ඒක තමයි හිරි බලය. එතකොට අප කාය දුෂ්චරිතය ගැන, වචී දුෂ්චරිතය ගැන, මනෝ දුෂ්චරිතය ගැන ලජ්ජාවක් තියෙන්ට ඕන. ඒ වගේම ඒව කරන්ටත් ලජ්ජාවක් තියෙන්ට ඕනැ. ඒවා නොකර ඉන්ට ඕනෑ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඔත්තප්ප බලය “ඉධ භික්ඛවේ අරියසාවකෝ ඔත්තජ්ජී හෝති” ආර්ය ශ්‍රාවකයා පවට බයෙන් යුතුව වාසය කරනවා. කොහොමද වාසය කරන්නේ? ඔත්තප්පති කායදුච්චරිතේන “කාය දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා. “වචීදුච්චරිතේන” වචී දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා. “මනෝදුච්චරිතේන, මනෝ දුෂ්චරිතය කෙරෙහි බයෙන් වාසය කරනවා” ඔත්තප්පතී පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා “පාපී අකුසල ධර්මයන් තුළ නියැළී වාසය කරන්ට බයෙන් යුක්තව වාසය කරනවා. අන්න ඒක තමයි ඔත්තප්ප බලය.

ඊළඟට පෙන්වා දෙනව විරිය බලය කියන්නෙ කමක්ද කියලා. “ඉධ භික්ඛවේ අරියසාවකෝ ආරද්ධවිරියෝ විහරති” ආර්යය ශ්‍රාවකයා ඇරැඹු සිහියෙන් යුක්තව වාසය කරනවා. කුමටද? “අකුසලානං ධම්මානං පහානාය “අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා, “කුසලානං ධම්මානං උපසම්පදාය” කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තව වාසය කරනවා” තාමාවා දළ්හ පරක්කමෝ දැඩි වීරියෙන් යුක්තව වාසය කරනවා. “අනික්ඛිත්තධුරෝ අත් නොහරින විර්යෙන් යුක්තව වාසය කරනවා, “කුසලේසු ධම්මේසු” කියන්නෙ කුසල් ධර්මයන් ඇති කර ගැනීම පිණිස දැඩි වීරිය, අත් නොහැරී වීරියෙන් යුක්තව වාසය කරනවා, “ඉදං වුච්චති භික්ඛවේ වීරිය බලං” ඒක තමයි වීරිය බලය කියල කියන්නේ.

දැන් අපි වීරිය බලය කියල කිව්වේ කුමටද? අකුසල් ප්‍රහාණය කරන්ටත් කුසල් උපදවා ගැනීම පිණිසත් ඇරැඹූ වීරියෙන් යුක්තව. පටන් ගත් වීරියෙන් යුක්තව වාසය කරනවා. එතකොට එයා කුසල් ධර්මයන් ඇතිකර ගැනීම පිණිස ඇරැඹූ වීරියෙන් යුක්තවයි ඉන්නේ. මොකක්ද ඇරැඹූ වීර්ය කියල කියන්නේ? ඇරඹූ වීරිය කියල කියන්නේ නිතර වීරියෙන් යුක්තයි කියන එකයි. ඇයි ඒකට අරැඹූ වීරිය කියන්නේ? අපි යම් වීර්යයක් ආරම්භ කරකවාද ඒ වීර්ය දිගටම පවතින්නේ නෑ. නැතිවෙනවා. විරිය කියන්නේ එහෙම එකක්. ආයේ ආරම්භ කරන්ට ඕන. දැන් පඩිපෙළක් දිගේ උඩට නගින්ට ඕන .කෙනෙකුට එක පඩියකට නගිනවා. ආපහු මොකද කරන්ට ඕනැ? අයිත් නගින්ට ඕනෑ. අන්න ඒ වගේ. එයා එක පඩියකට නැගල දැන් ඉතින් හරි කියලා හිටියොත් මොකද වෙන්නේ? එයාට ගමන සම්පූර්ණ කරගන්ට බෑ. වීරිය කියන එක පටන් ගත්තහම ඒක තියෙන්නේ නෑ. ඒක අනිත්‍යයි. නැතිවෙලා යනවා. ඒ වීරිය කියන්නේ හේතුවකින් හටගන්න දෙයක්. හේතු නැතිවීමෙන් නැති වෙනවා. එහෙනම් පටන් ගත් විරියෙන් යුක්තව වාසය කළ යුත්තේ ඒ නිසයි. එතකොට නිතර වීරිය පවතිනවා.

සමහර අය කියනවා නේද “ඉස්සර නම් මට හොඳ උනන්දුවක් තිබ්බා. දැන් ඒක නෑ කියලා. ස්වාමින් වහන්ස ඉස්සර නම් පොත් බැලුවා. බණ භාවනා කළා. දැන් සිතෙන්නේ නෑනේ කියනවා නේද? ඒ මොකද ඒ කලින් කඩියො වගේ වැඩ කළා. දැන් ඒ හයිය අඩු වෙලා නේද? අන්න ඒකයි ඇරැඹූ වීරිය කියන එක අවශ්‍ය වෙන්නේ. අපි එදා වීරිය ඇරැඹුවා. අප සිතුව වීරිය නිත්‍යයි කියල. එහෙනම් නිත්‍ය සංඥාව තුළ තමයි ඉන්නෙ නේද? ඒකටයි මේ විරිය සම්බන්ධයෙන් තියෙන්නෙ ඇරැඹු විරිය කියල එකක්. නිතර පවත්වන්න නම් ඒක ආරම්භ කරමින් සිටිය යුතුයි. මොකද විරියේ ස්වභාවය තමයි ආරම්භ කළ ගමන් නැති වෙලා යනවා. වෙන දේවල් වගේ නෙවෙයි. දැන් කුසීතකම නම් ස්විච් එක දැම්ම මැෂින් එක වගේ තියෙයි. මනුෂ්‍යයා මැරෙනකල් ම කුසීතකම තියෙයි. මැෂින් එකේ තෙල් ඉවර වෙනකල් මැෂින් එකේ ස්විච් එක දැම්මහම වැඩ කරනවනේ. ඒ වගේ කුසීත කම පටන් ගත්තොත් නම් මැරෙනකල් හරි තියෙයි. විරිය එහෙම නෑ. වීරිය කියන එක පටන් ගන්න ඕනෑ. ආයේ ආයේ පටන් ගන්න ඕනෑ.

අපට මේ තියෙන උතුම් අවස්ථාව ගිලිහෙන්න තියෙන එක් ඉඩකඩක් තමයි මේ පෙන්වා දෙන්නේ. මේ වන විටත් අප යම් යම් ප්‍රමාදයන්ට පත්වුණා නම්,මේ ධර්මයන් නිවැරැදිව වටහා නොගෙනයි. එසේ ප්‍රමාදයට පත්වුණේ. එතකොට හොඳට කල්පනා කරල බලන්න. අප තුළ සේඛ බලයන් හරිහැටි පිහිටලා නෑ නේද? ඇයි සේඛ බල ඇතිවෙලා තියෙන කෙනාගේ ස්වභාවය මොකක්ද? පටන් ගත් විරියෙන් යුක්ත බවත් එයා ළඟ තියෙනවා එහෙනම් එයා ළඟ නිතර වීරිය තියෙනවා. එහෙනම් බලන්න සතර අපායෙන් නිදහස් වීම පිණිස කොතරම් උනන්දුවකින් අප කටයුතු කළ යුතුද කියලා.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා බලය පිළිබඳව පෙන්වා දෙනවා. “කතමංච භික්ඛවේ පඤ්ඤා බලං” පින්වත් මහණෙනි මේ පඤ්ඤා බලය කියනනේ කුමක්ද? කොපමණකින් මේ ප්‍රඥා බලය අපට ඇතිකර ගන්න පුළුවන්ද කියන කාරණය තමයි මේ කියා දෙන්නේ. “ ඉධ භික්ඛවේ අරිය සාවකෝ පඤ්ඤා හෝති “ ආර්යය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්ත වෙනවා මේ විදිහට. “උයදත්ථගාමිනියා පඤ්ඤාය සමන්තා ගතෝ අරියාය නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා “ඉතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස පවතින ආර්ය වු කලකිරීම උපදවන ආකාරය ඇතිවීමත් නැති වීමත් ගැන ප්‍රඥාවෙන් යුක්ත වීමත් තමයි ප්‍රඥා බලය කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට ආර්යය ශ්‍රාවකයාට කෙබඳු ප්‍රඥාවක්ද තිබෙන්නේ ඉතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස පවතින, ආර්යය වු කලකිරීම ඇති කරවීම පිණිස පවතින, ඇතිවීමත් නැති වීමත් ගැන නුවණක් තියෙනවා. යමක හටගැනීම, නැතිවීම ගැන වැටහීමක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රඥා බලය කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන්නේ, “ඉදං වුච්චති භික්ඛවේ පඤ්ඤා බලං” එතකොට ඒවා තමයි සේඛ බල කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ.

දැන් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා සද්ධාබලය. හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය, එතකොට ඒ සේඛ බල වල අර්ථයක් අප ඉගෙන ගත්තා. ඒ සේඛ බල නිතර අප තුළ පවත්වා ගන්න අප පුරුදු වෙන්ට ඕනෑ. එසේ නිතර පැවතුනේ නැත්නම් මොකද වෙන්නෙ? ශ්‍රද්ධා බලය අතුරුදහන් වුණහම අකුසල් සිදුවෙනවා. හිරි බලයෙන් ඈත්වුණ ගමන් අකුසල් සිදුවෙනවා. ඔත්තප්ප බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. වීරිය බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. ප්‍රඥා බලයෙන් ඈත් වුණ ගමන් අකුසල් සිද්ධ වෙනවා. යම් තාක් ශ්‍රද්ධා බලය තුළ සිටින තාක් අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. හිරි බලය තුළ සිටින තාක් අකුසල් සිදුවෙන්නේ නැ. ඔත්තප්ප බලය තුළ සිටින තාක් අකුසල් සිද්ධ වෙන්නේ නෑ. වීරිය බලය තුළ සිටිනතාක් අකුසල් සිද්ධ වෙන්නේනැ. ප්‍රඥා බලය තුළ සිටින තාක් අකුසල් සිද්ධ වෙන්නේනෑ. එතකොට අකුසල් සිද්ධ වෙන්නේ නැත්නම් එයා තුළ කුසල් වැඩෙනවා. එතකොට සතර අපායෙන් නිදහස් වෙන පැත්තට එයාගෙ සිත පිහිටුවා ගන්න අවස්ථාව ඉපදිලා. එහෙනම් අප මේ සේඛ බල ගැන හොඳින් ඉගෙන ගෙන සේඛ බල පුරුදු කරගන්නට මහත් වු කැමැත්තක් ඇතිකරගන්ට ඕනෑ.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]