UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවසක සතුට සැනසුම

යෞවනයන් වශයෙන් ජීවිතයේ දුක සැප සමසේ බෙදාගන්නට අතිනත ගත් ඔබ ඒ තුළින් ලෞකික ආස්වාදයට හිමිකම කියන්නෙහි ය. එහෙත් අසීමිත ආශාවන් හා අසංවිධිත පැවැත්ම නිසා ඔබගේ සුව සහනය සදහටම වැනසී යා හැකිය. එබැවින් ස්වාමි භාර්යාවන් වශයෙන් ඔවුනොවුනට විශ්වාස වන්තව පැවතීම ඉතා වැදගත්ය.

මාර්තු 30 වැනිදා පත්‍රය හා සම්බන්ධයි

ඔබ විවාහ ජීවිතයකට එළඹීමත් සමගම ඔබට සිටි දෙමාපියන් සිවු මාපියන් බවට පරිවර්තනය වෙති. ඔබගේ මාපියන්ගේ මෙන්ම ඔබ සැමියාගේ මාපියන්ගේ ද සියලු කටයුතු සොයා බැලීම අනලස්ව කළ යුතුය.ඇතැම් ලේලිවරුන් මෙන් නැන්දනියගේ වැරදි සොයමින් සිය ස්වාමි පුරුෂයාට පැමිණිලි කොට ඔහු අසරණ කරවන භාර්යාවක් නොවිය යුතුය. ඔබ තුළ යම් යම් දුර්වලතාවන් පැවතියද ඔහුගේ දෙමාපියන් කෙරෙහි ඔබ වඩාත් සෙනෙහසින් ගරු සැලකිලි දක්වන්නේ නම් ඔබට ස්වාමියා වඩාත් ආදරය දක්වනු ඇත. ඔවුන් ඔබ හැදූ වැඩූ මව්පියන් නොවුණද ඔබගේ ආදරබර ස්වාමියාගේ මාපියන් ය. ඔහුගේ යුතුකමක් වශයෙන් ඔවුන් ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම ඔබ විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කටයුත්තක් බව තරයේ මතක තබාගන්න. ස්වාමියා පොළඹවා ඔවුන් වැඩිහිටි නිවාස ආදි තැන්වලට කොටුකර සිය නිදහස අපේක්‍ෂා කරන කාන්තාව මව් පදවියකට නුසුදුසුය. ඔවුන්ගේ ඇසින් රූරා වැටෙන සෑම කඳුළු බිඳුවක්ම ඔබට ශාපයක් වන බව තරයේ සිහිතබා ගන්න.

අන් පුරුෂයන් නොපැතීමෙන්
(අනතිචාරිනී)

ඔබගේ ආදරබර සැමියා හෙළන සෑම දහඩිය බිඳුවක්ම ඔබ වෙනුවෙනි. ඔබගේ ජීවිතය වඩාත් සැපවත් කරදීම වෙනුවෙනි. ඇතැම් විට ඔහුගේ මිතුරන් සමග ඔබගේ ගුණ පවසනුයේ ඔබ කෙරෙහි ඇති මහත් භක්තියෙනි. විටෙක ඔබට බැන වදිනුයේ ද තරවටු කරනුයේ ද ඔබ කෙරෙහි වන සෙනෙහස නිසාවෙනි. එසේ ඔබ වෙනුවෙන් ම සිය ජීවිතය කැපකොට සිටින ස්වාමිපුරුෂයා දෙවියෙකු කොට සැලකීමට ඔබ තරයේ ඉටාගත යුතුය. දෙවියන්ට නොදැනෙන සේ රහසින් කරන හැසිරීමක් නැත. ඔබගේ දෙවියා වන සැමියාට රහසේ කළ හැකි දෙයක් ඔබට නොතිබිය හැකිය. නොතිබිය යුතුය.

රාගයෙන් මත්ව සල්ලාලයන් කෙරෙහි බැඳි සිය ජීවිතය ම අපායක් කොටගත් කාන්තාවන් පිළිබඳ තොරතුරු ඔබ ඕනෑ තරම් අසා ඇතිවාට සැක නැත. එවන් පුරුෂයෙකු හා බැඳීමෙන් ලබන ස්වල්ප කායික තෘප්තියට වඩා දහස්වර ඔවුහු මානසිකව තැවීමට පත්වෙති. තම ස්වාමි පුරුෂයා වෙත පමණක් වසන භාර්යාව පිරිසුදු නොකැලැල් චරිතයක් ඇත්තීය. එවන් කාන්තාව ආදරණීය දරුවන් විසින් දොහොත් මුදුන් දී වැඳීමට තරම් යෝග්‍ය තැනැත්තියකි. ස්වාමියා නොමැති තැන සල්ලාලයන් සමග පෙම්බස් දොඩන ඔවුන් හා අනග රැඟුම් දක්වන කාන්තාව මුලු මහත් කාන්තා සංහතියටම නිගාවකි.

තම ස්වාමියා ඉක්මවා හැසිරෙන කාන්තාව මෙලොවදී අතිශයින් තැවෙන්නීය. නින්දාවට පරිභවයට ලක්වන්නීය. කෙතරම් මුදල් හා බලතල පැවතිය ද ඇගේ එම කැලල මැකීමට සමත් කිසිවක් මේ මිහිතලය මත නැත. එවන් අවාසනාවන්ත කාන්තාවන් අවසන ලෙඩ රෝගාදියට පත්වෙති. සිය යෞවන මදය ටික දිනකින් මැකි ගිය දා පටන් ම තමාගේ අපිරිසිදු ජීවිතය ගැන කල්පනා කරමින් දිවි ඇති තෙක් දිනෙකට දහස්වර මිය යමින් ඔවුහු ජීවත් වෙති. එබැවින් සැපවත් ජීවිතයක් අපේක්‍ෂා කරන ඔබ විසින් පරදාර සේවනය කරනු තබා වෙනත් පුරුෂයන් කෙරෙහි සිතින් සිතීමද නොකළ යුත්තකි. එවන් ඔබ මුතු මැණික් රන් අබරණ නොපැළඳි කල්හි ද වෙනත් කාන්තාවන් අතර කාන්තා රත්නයක් මෙන් බබලන්නීය.

ස්වාමියා විසින් රැස්කරනු ලබන ධනය රැකීමෙන්
(සම්භතං අනුරක්ඛන්ති)

ධනය ඇත්තේ වියදම් කිරීමටය. එහෙත් උපයන සියලුම ධනය නිකරුණේ විය පැහැදම් කරන භාර්යාව නිවසක දියුණුව වලකන්නීය. ඔබ ස්වාමි පුරුෂයා ඉතා වෙහෙස වී ධනය උපයයි .ඒ උපයන සියලුම මුදල් වියදම් කිරීමට මාතෘකාවන් සපයා ගැනීම එතරම් අපහසු නැත. එහෙත් ඔබට පැවරී ඇති වගකීම වනුයේ ඔහු උපයන මුදල අරපිරිමැස්මෙන් යුක්තව භාවිතා කොට ගෙදර දොර කටයුතු සිදුකිරීම හා අනාගතය සඳහා යමක් ඉතිරි කිරීමත් ය. ස්වාමියා අද සොයන මුදලම හෙටත් එලෙසින්ම ඔහුට ඉපයීමට හැකියැයි නොසිතිය යුතුය. එවන් අවස්ථාවකදී අසරණ වනුයේ ඔබ ඔහු පමණක් නොවේ. ඔබගේ අහිංසක දරුවෝ ද එහිලා අසරණ වෙති. එබැවින් වනිතාවක විසින් සකසුරුවම් බව අනිවාර්යයෙන්ම උගත යුතුය. වනිතාවගේ සනසුරුවම් කම පිළිබඳව එන ඉතා වැදගත් කථා ප්‍රවෘත්තියක් බෞද්ධ සාහිතයේ එයි. එය මෙහිලා කෙටියෙන් දැක්වීම වඩාත් ප්‍රයෝජනවත් බව සිතේ. ජීවක තරුණයා සිය අධ්‍යාපනයෙන් අනතුරුව ගුරු ගෙදර සිට සිය උපන් ගම බලා පැමිණෙයි.ඒ අතරතුර එක්තරා නගරයක සිටු කුමරියකගේ නොනවතින හිසේ වේදනාවක් පිළිබඳ ඔහුට අසන්නට ලැබී එයට ප්‍රතිකාර කිරීමට අවස්ථාව සලසා ගනී.බෙහෙත් කිරීමේදී ප්‍රමාද දෝෂයකින් ගිතෙල් ස්වල්පයක් බිම ඉහිරීගිය අතර සිටුදේවිය එය පුළුන් ස්වල්පයක පොඟවා මතු ප්‍රයෝජනය සඳහා තබන ලෙස සේවිකාවකට අණ කරයි. මෙහිදී ජීවක තරුණයා කල්පනා කළේ ඉවත ගිය ගිතෙල් ස්වල්පය ගැන පවා සිතන මෙතරම් ලෝභ තැනැත්තික විසින් සිය ගාස්තුවත් නිසි පරිදි නොගෙවනු ඇත කියායි. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. ඇය ඔහුගේ පොරොන්දු ගාස්තුවටත් වඩා වැඩි මුදලක් ලබාදුන්නාය. මෙහිදී ඉහත සිදුවීම සිහිපත් කළ ජීවක වෛද්‍යවරයාට ඇය පවසනුයේ ගෘහණියක වශයෙන් තමා කිසිවක් නාස්ති නොකරන බවත් වියදම් කළ යුතු තැන සුදුසු පරිදි වියදම් කරන බවත් ය. මෙය වත්මන් ගෘහණියන්ට ඉතා අගනා ආදර්ශයක් නොවේද?

සියලු කටයුතුවල දක්‍ෂව අනලස්ව යෙදීමෙන්
(දක්ඛා ච හොති අනලසා සබ්බ කිච්චේසු)

නිවස යාත්‍රාවක් නම් එය ඉදිරියට පදවන නියමුවා ගෘහණියයි. ගෘහණිය නිරන්තරයෙන් අනලස්ව කටයුතු කළ යුතුය. දහවල් වන තුරු නිදිමත්, අසල්වැසි කාන්තාවන් සමග නිරන්තර ඕපාදූප කථාවෙන් කල්ගෙවීමත් කාන්තාවකට නුසුදුසුය. එයින් ගෙදර දොර කටයුතු අතපසු වීමටත් තමාගෙන් ස්වාමියාට හා දරුවන් ආදීන්ට ඉටුවිය යුතු යුතුකම මගහැරිමටත් ඉඩ ඇත. එවන් කාන්තාවක නිවසන ගෘහය මූදේවිය අරක්ගත් සොහොන් බිමක් වැනිය. එසේම කාන්තාව තමාට අයත් ගෙදරදොර සියලු කටයුත්තෙහි දක්‍ෂ විය යුතුය.ඇය විසින් පිසිනු ලබන ආහාරය නිවැසියන්ට අමාවකි. සේවිකාවක විසින් පිසදෙන ආහාරය හෝ ආපනශාලාවකින් රැගෙනවිත් ආහාර ගැනීමට ස්වාමිපුරුෂයා හෝ දරුවන් කැමැති නැත. ඇතැම් විට ඔබගේ අදහස් ගරුකොට හෝ ඔබට මද විවේකයක් ලබාදීමේ අටියෙන් ස්වාමියා ඔබ ආපන ශාලාවකට කැඳවාගෙන ගොස් ආහාර ලබාදීමට කාරුණික වනු ඇත. එහෙත් කිසිදු විටෙකත් ඔබ ඒ කෙරෙහි බලාපොරොත්තු තැබීම සුදුසු නොවේ.

ගෘහණියක වශයෙන් අනිවාර්යයෙන්ම උගත යුතු ආහාර සැකසීම් මැහුම් ගෙතුම් ආදි ගේ දොර වැඩ කටයුතු ඔබ ඉතා සතුටින් උගත යුතුය. ඔබ රැකියාවක් කළත් එම වගකීමෙන් නිදහස් වීමට ඔබට නොහැකිය.ඇතැම් විට ඔබගේ ස්වාමියාත් ඔබත් එකවිට නිවසින් පිටව යනවා ඇත. එමෙන්ම ඔහුත් ඔබත් එකවිට නිවසට පැමිණෙනවා ඇත. ඒ අවස්ථාවන්හි සැමියාගෙන්ද නිවසේ කටයුතු සඳහා උදව් ලැබේ නම් එය අගය කිරීමෙන් පිළිගත යුතුය. කිසි විටෙකත් එය ඔහුගේ වගකීමක් කොට නොසැලකිය යුතුය. වැඩ අවසන් වී නිවසට පැමිණ පුවත්පතක් හෝ රූපවාහිනිය නරඹන ඔබේ ස්වාමි පුරුෂයා ගැන කාන්තාවක වශයෙන් ඔබ ආඩම්බර විය යුතුය. මක්නිසාද යත් ඔබගේ මනා පැවැත්ම නිසා ම ඔහු නිවසට පැමිණි නිසාය. එසේ නොවන කල්හි ඔහුට රෑ බෝවන තුරු රැඳී සිටීමට තවත් බොහෝ තැන් නිර්මාණය වීමට ඉඩ ඇති බැවිනි.

ඉහතින් දක්වන ලද සිඟාලෝවාද සුත්‍රයේ අඩංගු ස්වාමි භාර්යා යුතුකම සැපවත් පවුල් ජීවිතයකට අගනා උපදේශයන්ය. යෞවනයන් වශයෙන් ජීවිතයේ දුක සැප සමසේ බෙදාගන්නට අතිනත ගත් ඔබ ඒ තුළින් ලෞකික ආස්වාදයට හිමිකම කියන්නෙහි ය. එහෙත් අසීමිත ආශාවන් හා අසංවිධිත පැවැත්ම නිසා ඔබගේ සුව සහනය සදහටම වැනසී යා හැකිය. එබැවින් ස්වාමි භාර්යාවන් වශයෙන් ඔවුනොවුනට විශ්වාස වන්තව පැවතීම ඉතා වැදගත්ය. එවන් විශ්වාසවන්ත සමසීල, සමචාග, සමපඤ්ඤාවන්ගෙන් සමන්විත යුවතිපතින් මුළුමහත් සමාජයට ම ආලෝකයකි. එවන් නිවස දෙවඟනක හා දිව්‍යපුත්‍රයෙකු අරක්ගත් විමානයක් වැනිය. එවන් දෙමාපියන් ලබන දරුවෝ ද ඉතා යහපත් වෙති. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම මෙලොව සුව හා පරලොව සුව ලැබීමට හේතුවෙයි. එවන් ජීවන පැවැත්මක් ඇත්තවුන්ට නිවනට මං හෙළිකර ගැනීමද ඉතා පහසුය.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]