UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත ගැන සිතන්න

සමාජයේ බොහෝ දෙනකුගේ පැවැත්ම යාන්ත්‍රිකය. බොහෝ දෙනා දැඩි අසහනයෙන් හා ආතතියෙන් පීඩා විඳිනවා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ සිටම මිනිසාත් මිනිස් සිතත් හඳුනා ගැනීමට උත්සාහ කළා. බෝසත් චරිත සියල්ලෙහිම මිනිසා හඳුනා ගැනීමට කටයුතු කළ බව දක්නට පුළුවන්


“පනින්ට පෙර සිතා බලන්න” කියා අපේ පැරැණි කියමනක් තියෙනවා. යමක් කිරීමට පෙර ඒ ගැන මනස මෙහෙයවා සිතා බලා කටයුතු කළ යුතු බවයි මෙයින් කියැවෙන්නේ. සිතා බැලීම වැදගත් වන්නේ ඇයි? සිතිවිලි හෙවත් සිතට දැනෙන දේ මඟින් අපට ඇති වන වාසි හෝ අවාසි තිබෙනවාද?

අපට කිවිසුමක් ගිය විට කවුරුන් හෝ මතක් කරන බව හිතෙනවා. නාසයේ දැවිල්ලක් ආ විට හිතෙන්නේ කවුරුන් හෝ දොස් පවරන බවකි. ඇතැම් විට හිතවතෙකුට කරදරයක් වී ඇතැයි අපට සිතේ. එවන් සිදුවීම් ගැනද අපට වාර්තා වේ. මේ අපට දැනෙන සිතිවිලිය. අපට දැනෙන සිතිවිලි සත්‍යය වන ඇතැම් අවස්ථා ද දක්නට තිබෙනවා. මෙසේ සිදුවන්නේ කෙසේද?

මේ සියලු ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ අප නොදන්නා අප නොසිතන අපගේ සිතයි. බොහෝ දෙනා මේ පිළිබඳව සිතා බලන්නේ නැහැ. සිත ගැන පැහැදිලි දැනීමක් නැහැ.

උදෑසන අවදි වූ මොහොත් පටන් මුහුණ කට සෝදා ඇඳුම්, පැලඳුම් ඇඟලා කණ්ණාඩිය ළඟට ගොස් හැඩ වැඩ බැලීමට අප පුරුදු වී සිටිනවා. නමුත් කිසිවෙක් උදෑසන තම සිත ගැන කල්පනා කරන්නේ නැහැ.

සිතට ශක්තියක් බලයක් ඇති බව මනෝ විද්‍යාඥයන් අපට පෙන්වා දීමට උත්සාහ ගෙන තිබෙනවා. එම පර්යේෂණයන්ගේ මූලික ප්‍රාථමික අවස්ථා පසුකර අප බොහෝ දුර පැමිණ තිබෙනවා.

නවීන තාක්‍ෂණය පෙන්වා දෙන්නේ ‘සිත’ යනු ගමන් කරන විසිරෙන ප්‍රබල ශක්තියක් බවයි. ඇමරිකාවේ විද්‍යාඥයකු වූ මහාචාර්ය ජේ.බී. රයිට් මනසේ ශක්තිය හොඳාකාරව පිළිගත් විද්‍යාඥයෙකි.

කරුණු එසේ වුවත් මනස පිළිබඳ පූර්ණ විග්‍රහයක් පළමුවෙන් ඉදිරිපත් කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. ධම්මපදයේ ආරම්භක ගාථාව වන

“මනෝ පුබ්බංගමා ධම්මා,
මනෝ සෙට්ඨා මනෝමයා”.......

ගාථාවෙන් මනසේ ඇති වැදගත්කම හොඳින් පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අන්දමට මිනිසා රෝග වර්ග දෙකකින් පෙලෙන බව දැක්වෙනවා.

‘ද්වෙ මේ භික්ඛවේ රෝගා
කායිකෝ ච රෝගෝ
චේතසිකෝ ච රෝගෝ’

කායික හා මානසික වශයෙන් රෝග දෙවර්ගයක් ඇති බව මෙයින් අපට පැහැදිලි වෙනවා. අපට කායික රෝගවලින් නිදහස් වීමට පුළුවන්. එහෙත් මානසික රෝගවලින් නිදහස්වීමට අපට හැකියාවක් නැහැ.

රහතන් වහන්සේට හැර අනෙක් කිසිදු අයෙකුට මානසික රෝගවලින් මිදීමට හැකියාවක් නැහැ. සෝවාන්, සකෘදාගාමී වුවද මානසික පීඩාවන්ගෙන් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහ.

භක්ඛුල මහරහතන් වහන්සේ වයස අවුරුදු 160 ක් දිවි ගෙවූ අතර උන්වහන්සේට ජීවිත කාලය තුළදී කිවිසුමක් හෝ නොගිය බව සඳහන් වනවා.

සමාජය දෙස බලන විට පෙනී යන්නේ මානසික සෞඛ්‍යයෙන් පිරිහී කායික සෞඛ්‍යය ද නැති කර ගත් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවය.

සමාජයේ බොහෝ දෙනකුගේ පැවැත්ම යාන්ත්‍රිකය. බොහෝ දෙනා දැඩි අසහනයෙන් හා ආතතියෙන් පීඩා විඳිනවා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ සිටම මිනිසාත් මිනිස් සිතත් හඳුනා ගැනීමට උත්සාහ කළා. බෝසත් චරිත සියල්ලෙහිම මිනිසා හඳුනා ගැනීමට කටයුතු කළ බව දක්නට පුළුවන්. මහෞෂධ පණ්ඩිත චරිතය මෙහිදී ඉතා වැදගත් වනවා.

බුදුරජාණන් වහන්සේ අන්‍යයන්ගේ සිත විනිවිද දැක තිබෙනවා. ඒ සඳහා උන්වහන්සේට පරචිත්ත විජානන ඥානය හෙවත් අනුන්ගේ සිත දැකගැනීමේ නුවණ තිබුණා. එසේම ඉන්ද්‍රිය පරෝපරියත්ථි ඥානය නමින් හඳුන්වන අන්‍ය පුද්ගලයන්ගේ හැකියාව හඳුනා ගැනීමේ දස්කමද තිබුණ. තමන් ළඟට පැමිණෙන අයගේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කරුණු පහම නිවැරැදිව හඳුනා ගැනීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. එසේම ආසය අනුහසඥානය හෙවත් නූතන මනෝවිද්‍යාව අනුව නම් උඩුහිත හා යටි හිත නිවැරැදිව හඳුනා ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ මේ ඥාන තුනම උපයෝගී කරගෙන මිනිසා දුකින් එතෙර කරවීම සඳහා වසර 45 ක්ම කටයුතු කළා.

බුදුරජාණන් වහන්සේ තුළ තිබූ මේ අසහාය ඥානය නිසා උන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ හැම දෙනාටම ධර්මාවබෝධය ලබා ගන්නට හැකිවුණා.

‘අභික්ඛන්තං භෝ ගෝතම
අභික්ඛන්තං භෝ ගෝතම’

ඔබ වහන්සේගේ ධර්මය ඉතාම හොඳයි, සිත්කලුයි, අඳුරේ යන අයට පහනක් පත්තු කරා වගෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ සෑම අයෙක්ම පැවසුවේ ‘බුදු හාමුදුරුවෝ මටම බණ කිව්ව වගේ’ යන්නයි. මෙයින් අපට පෙනී යන්නේ සෑම දෙනාගේම මනස තේරුම් අරගෙන ඔවුන්ගේ අදහස් අනුව ඔවුන්ගේ ප්‍රශ්න වලට ගැළපෙන අයුරින් ධර්ම දේශනා කළ බවයි.

බුදුරජාණන් වහන්සේ එදා ජනතාවගේ මනස ඒ අයුරින් තේරුම් ගෙන ධර්මය දේශනා කළේ වසර 2600 කට පෙරයි. එහෙත් මෑතක් වනතුරුම නූතන වෛද්‍ය විද්‍යාව මිනිසාගේ මානසික පැතිකඩ ගැන එතරම් අවධානයක් යොමු කෙළේ නැහැ.

මිනිසාට වැළඳෙන බොහෝ රෝග සඳහා මානසික හේතූන් බලපා ඇති බව පෙනෙනවා. මෙහිදී විශේෂයෙන්ම හිසරදය, මල බද්ධය, හෘදය රෝග, රුධිර පීඩනය වැනි රෝගාබාධවලට මානසික පීඩනය ඇතුළු මානසික ගැටලු බලපානවා.

ශරීරයට මනස බලපානු ලබන බව ත්‍රිපිටකයේ එන පහත සිද්ධියෙන් පැහැදිලි කරන්න පුළුවන්.

දිනක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ‘බුදුරජාණන් වහන්ස කැලේට වී බ්‍රහ්මචාරීව දවසට එක් වේලක් පමණ ආහාර ගන්නා ශ්‍රාවකයන් ගැන මා සිතුවේ ඒ අය තනිව ජීවිත ගත කරන නිසා දුර්වල එක වේලක් පමණක් ආහාර ගන්නා නිසා වේලුණු බට දණ්ඩක් මෙන් හැකිලී ගිය ශරීරයන්ගෙන් යුක්තව මැලවුණු මුහුණින් සිටිනු ඇති කියායි, එහෙත් ඔවුන් මෙසේ ප්‍රසන්නව සිටින්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ එම දේවතාවනට වදාළා සිටියේ අතීතානානු සෝචන්ති සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් අතීතයේ සිදුවීම් පිළිබඳ හඬා නොවැලපෙන්නේය.

නප්පජප්පන්ති නාගතං

උදා වී නැති අනාගතයක් ගැන තැවෙන්නේද නැත. තථාගතයන්ගේ ශ්‍රාවකයන් සැමවිටම වර්තමානයේ ජීවත්වන බවත් අතීතය හෝ අනාගතය ගැන හෝ සිත මෙහෙයවන්නේ නැති බවත් වර්තමානයේ සිත මෙහෙයවා කටයුතු කිරීම නිසා තථාගත ශ්‍රාවකයන් ඉඳුරන් ප්‍රසන්නව දිවිගෙවන බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ නිසා මානසික අවුල් බරින් තොරව දිවිගෙවීම උතුම් බව බුදුරජාණන් වහන්සේ එසේ පෙන්වා දුන්හ. මේ මානසික අවුල් නැති කර ගත හැකි ආකාරයන් ත්‍රිපිටකය පුරාම දක්වා තිබෙනවා.

සීලෙ පතිට්ඨාය නරෝ සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආකාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං

ශීලයෙහි පිහිටි ප්‍රඥාව ඇති, සිත හා ප්‍රඥාව වඩන වීර්යය ඇති පුද්ගලයා ගැටලු නිරාකරණය කර ගන්නා බව මෙහිදී දක්වා තිබෙනවා.

මිනිසා තමාගේ චරිතය නිසි අයුරින් හැඩ ගන්වා ගත යුතු බවත් සිත දියුණු කර සමාධි මට්ටමට පත්විය හැකි බවත් එමඟින් සිත අවබෝධතාව ඇති කරගෙන එම සිතේ අසහනය දුරු කර ගත හැකි බව බුදු දහමේ දැක්වෙනවා. අද බොහෝ වෛද්‍යවරු හෘද රෝග හා රුධිර පීඩනයට ආනාපානාසති භාවනාවේ වැදගත්කම පෙන්වා දෙනවා. ආනාපානාසති භාවනාව වඩන තැනැත්තාගේ සිතේ සන්සුන් බව ඇති වී මෙලොව මෙන්ම පරලොවත් දියුණුව සලසා ගැනීමට පුළුවන්.

බුදු දහම අනුව මනසට ප්‍රතිකාර කිරීමේ දී ආත්ම අවබෝධය ඉතාම වැදගත්. මීට හොඳම උදාහරණය කිසාගෝතමී කතා පුවතින් ලබා ගත හැකි ය. මිය ගිය දරුවා රැගෙන බුදු රජාණන් වහන්සේ ඉදිරියට පැමිණ කිසාගෝතමියට බුදුරදුන් පවසන්නේ නැගෙණියනි අබ ඇට ටිකක් රැගෙන එන්න යනුවෙනි.

තම දරුවා අබ ඇට මඟින් සුවපත් කළ හැකි බව යැයි තේරුම්ගත් ඇය අබ ගෙන ඒමට යාමට පිටත් වන විට ඇයට යළි කතා කළ බුදුරජාණන් වහන්සේ වදාළේ කිසිවකු නොමළ ගෙයකින් අබ ගෙන එන ලෙසය. අබ ගෙන ඒමට කිසිවෙක් නොමළ ගෙයක් සොයා යෑමේ දී කිසාගෝතමියට ජීවිතයේ අනියත බව අවබෝධ වුණා.

රූප කායෙන් මත් වූ ඛේමාටත් ජනපද කල්‍යාණයට ලොල් වී සිටි නන්ද කුමාරයාටත් බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ මේ ක්‍රමයයි. තමන්ට ලැබෙන කරුණු වලින් යථා තත්ත්වය අවබෝධ කර ගැනීමය. මේ ආත්මාවබෝධය ඉතාම වැදගත්. වටිනාම ප්‍රතිකාර ක්‍රමයක් අවබෝධය තුළින් විශාල වෙනසකට සිත හරවා ලීමට පුළුවන.

අපේ මනස දුර්වල කරන හැම නීවරණයන්ගෙන් වෙන් වී සිටීම මෙහිලා ඉතාම වැදගත් වනවා. සමාජයේ පවුල තුළ ආරවුල් ඇති වී තිබෙන්නේ මේ අයුරින් නිසි පරිදි සිත මෙහෙයවා නොගන්නා නිසාය. මව්පියන් දරුවන් අතර පවා විශාල ගැටුම් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.

මිනිස් සිත නිවැරැදිව විනිවිද දැක ඊට අදාළ නිසි ප්‍රතිකාර ලබා දුන් ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා ලෙස හඳුන්වා දිය හැක්කේ බුදුරජාණන් වහන්සේයි. සමාජය දෙස බැලූ විට පෙනී යන්නේ සිත නිවැරැදි මට්ටමට මෙහෙයවා ගැනීමට අපොහොසත් වීම නිසා සියලු ගැටලු අර්බුද මතු වී ඇති බවය. එම නිසා සිත නිසි පරිදි හසුරුවා ගෙන තම කටයුතු කිරීමෙන් සමාජයේම යහපත සලසා ගැනීමට පුළුවන්.

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]