UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරි අම්මලාගේ කඳුළු කතාව

මුවින් හඬනගා කිව හැකි යමක් ඇතිමුත් කියාගන්න බැරි පාටයි. අපි උඹලා වෙනුවෙන්ම සේවය කරන අහිංසක සත්තුනේද? ඇයි අපිව මස් කරන්න හදන්නෙ කියලා මිනිසුන්ගෙන් අහන්න ශක්තියක් නැති නිසා තමයි, දෑසින් ඒ දුක පවසන්නෙ


සෙත් පිරිත් සජ්ඣායනාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේගෙන් කොටසක්

අභය දානමය පින්කමට සහභාගි වූ පිරිසෙන් කොටසක්

ප්‍රධාන අනුශාසක මිරිහානේ නන්ද හිමියන් පිරිත් නූල් බදිමින්...

අභය දානය ලැබූ කිරි ගවයන්

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමය

වේගයෙන් ඉදිරියට ඇදෙන ලොරියක්. ලොරිය ඉදිරියට ඇදෙන්නෙ ගවයෝ රෑනකුත් අරගෙනයි. කඹ වලින් උන්ගේ අත් පා බැඳලා. අනේ හෙල වෙන්නටත් බැහැ. ලොකු වරදක් කරලා වගේ කාත් කවුරුවත් නැති අසරණ වූ දරුවෝ අසරණකම කියාගන්න බැරිව අඬනවා වගේ මේ ගවයන්ගේ දෑසින් කඳුළු බිඳු කඩා වැටෙනවා. බැඳි කඹේ හිර වැඩි හින්දා වේදනාවත් වැඩියි වගේ, දගලන්න උත්සාහ කරන්නෙ ලෙහෙසියෙන් ගැලවෙන්න බැරි බව දන්නේ නැති නිසාම වෙන්න ඇති.

මුවින් හඬනගා කිව හැකි යමක් ඇතිමුත් කියාගන්න බැරි පාටයි. අපි උඹලා වෙනුවෙන්ම සේවය කරන අහිංසක සත්තුනේද? ඇයි අපිව මස් කරන්න හදන්නෙ කියලා මිනිසුන්ගෙන් අහන්න ශක්තියක් නැති නිසා තමයි, දෑසින් ඒ දුක පවසන්නෙ. ඉවෙන් මෙන් යමක් වටහා ගැනීමේ ශක්තියක් ඇති මිනිසුන්ට ඇයි? ඒ දුක නොදැනෙන්නෙ අපේ කිරි අම්මාවරුන්ට දස වදදීම හොඳ නැහැ නේද? අපි හැමෝම මානුෂික හදවතක් තිබෙන මිනිස්සු. ඇයි? ඒ මිනිසුන්ගේ හදවතේ අහිංසක සතෙක් වෙනුවෙන් කඳුලක් උනන්නෙ නැත්තේ.

ඔබ මම වගේම අහිංසක තිරිසන් සතුනුත් මරණයට බයයි. නිරන්තරේ බුදුබණ ඇහුවත් ඇතැම් මිනිසුන්ගේ සිතිවිලි යහපත් වෙලා නැහැ. භාරතයේ දේවත්වයෙන් සලකන ගවයා අපේ රටේ සමහර මිනිසුන්ට රසවත් ආහාරයක් වුණේ අපේම අභාග්‍යයයි. දුරාතීතයේ සිටම අද වන තෙක් ගවයා උදවු උපකාර සිදුකළේ මිනිසාටයි. පස් ගෝ රස ලබාදෙන පොහොර ටික ලබාදෙන නුහුලනා බර අදින අහිංසක ගවයෙකුගේ හිසක ට කුළුගෙඩියකින් පහරක් ගැසිය හැකිද? නමුත් එලෙසින් ගවයන් මරා දැමීමට තරම් අමනුෂ්‍ය සිත් ඇතැම් මනුෂ්‍යයා තුළින් පහළ වෙලා. මිනිසාට අසීමිත ලෙස උදවු කරන ගවයා මිනිසාට අහිතකර දේවල් කිසිම විටෙක කරන්නෙ නැහැ. කලාතුරකින් මනුෂ්‍ය මවකට දරුවෙක් මහ මඟ දමා යාමට හෝ මරා දැමීමට හැකි වුවත් එළදෙනක් එලෙස කරන්නෙ නැහැ.කිරිගොවියා දොවන කිරෙන් කොටසක් සඟවා සිටිමින් තම පැටවා පෝෂණය කරන ආදරණීයම අම්මා කිරි අම්මාම නොවේද?

මරණයට කැප වූ අහිංසක ගවයන් එකිනෙකා පෙළට මරණය කරා ඇදෙන විට උන්ගේ හදවත් හඬා වැටෙනවා ඇති තම දෑස් ඉදිරිපිට සගයන් මැරුම් කන විට වසුපැටවා ඉදිරියේ මව මැරුම් කන විට තමන්ට අත්වන ඉරණමත් එය බව අහිංසක සතාට දැනෙනවා ඇති. මරණය දැක දැක අනෙක් වධ වේදනා විදින ගවයාගේ මරණ බය මුළු සිරුර පුරා පැතිරී යනවා. ඒ නිසා වේදනාවෙන් මරණයට පත්වන සතාගේ මස් විෂ වෙනවා. ඔබ ගව මස් අනුභව කරන්නෙක් නම්, විෂමස් අනුභවය ඔබට සුදුසුදැයි මොහොතක් සිතන්න. මරණයේ දොරකඩ අභියස සිටින ස්වකීය අසරණකම කිව නොහැකිව දෑසින් කඳුළු කඩා හැළෙන අහිංසක සතුන් මරණයෙන් නිදහස් කරන මොහොතක් සිතන්න. සංවේදී මොහොතක්. දහසක් මිනිස් ප්‍රජාවගේ සාධුකාර හඬ මධ්‍යයේ කිරිඅම්මාවරු දරු පැටව් මරණයෙන් නිදහස් කරනවිට, අහිංසක සතාගේ දෑසින් හෙළන කදුළු බිංදු ජීවිතදානය දුන් සැමට තුති පුදනවා ඇති.

ජීවිත දානය දාන අතුරෙන් උත්තුංග දානයක් වශයෙන් ලොව්තුරා බුදුරදුන් දේශනා කළා. මනුෂ්‍යයා, පරමායුෂ භුක්තිවිදීමටත් හේතු කාරණාව සතුන්ට හිංසා නොකිරීමත්, අභය දානය නැතහොත් ජීවිත දානය ලබාදීමත්ය. එලසම මනුෂ්‍යයාට අල්පායුෂ ලැබීමට සත්ව හිංසනයත්, ඝාතනයත් හේතුවෙනවා. ඔබ යහපත් හදවතක් ඇති පුද්ගලයෙක් නම් කවදාවත් සතෙකුට හිංසා කරන්න හිතෙන්නෙ නැහැ.

කිරි අම්මාවරුන්ට ලබාදෙන අභය දානය මහත් ආනිසංස ඔබට ගෙනෙනවා. සැම වසරකම ජනවාරි 01 වනදාත් අගෝස්තු 14 වනදාත් කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ සිදුකරන අභයදානමය පින්කම කිරිඅම්මාවරු රැසක් අසීමිතව සතුටට පත්වන අවස්ථාවක්.

අපවත් වී වදාළ කෝට්ටේ දේවානන්ද හිමියන් වසර හතළිහකට පමණ පෙර ආරම්භ කළ මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමේ අභය දානමය පුණ්‍ය කර්මය ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණ නොකඩවා සෑම වසරක් පාසාම සිදුකරනවා.

මෙවරත් එම පුණ්‍ය කටයුත්ත මහත් හරසරින් මිරිහානේ නන්ද හිමියන්ගේ අනුශාසනා මත සිදුවුණා. ගොවිජන සේවා ඇමැති තුමාගෙත් යාපනේ ආඥාපතිතුමාගේ සහායද කැට ව්‍යාපාර තුළින් ලද මුදල්ද ලබාගෙන ලක්ෂ 25 ක් පමණ මුදලක් වැය කරමින් මරණයට කැප වූ ගවයන් 126 දෙනෙකුට අභයදානය පිරිනැමුණා. එලෙස නිදහස ලැබූ කිරි අම්මාවරු දිවයිනේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා හැරීමද සිදුකළා.

මෙවන් උදාර පුණ්‍ය කටයුතු තව තවත් මේ දහම් දිවයිනේ සිදුවන බව අපි දන්නවා. එවන් මානුෂීය හදවත්වලට නිරන්තරයෙන් ගරු කරනවා. මේ ධර්මද්වීපයේ වසන සියලු සත්වයෝ තුළ මානුෂීය කාරුණික හදවත් ඇතිවේවා!, අසරණ අහිංසක සතුනට උන්ගේ නිදහස උරුමකරදීමේ භාග්‍ය උදාවේවා!

 

 

 

 

 

 
නවම්පුර අටවක පෝය

නවම්පුර අටවක පෝය ජනවාරි 30 වන දා සඳුදා අපර භාග 8.21 ට ලබයි.
31 වනදා අඟහරුවාදා අපරභාග 11.00 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම ජනවාරි 31 වන දා අඟහරුවාදා ය.

මීළඟය පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]