UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උරුවෙල් කාශ්‍යප දමනය

අප ගෞරවයෙන් සරණ ගිය ඒ අසමසම ගුණ ඇති ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළයුතු පුද්ගලයන් අනුශාසනා ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්ද, ඍධි ප්‍රාතිහාරයෙන්ද දමනය කළා. උන්වහන්සේ අනුත්තරපුරිසදම්ම සාරථි ගුණයෙන් යුක්තවන සේක.තමා රහතන් වහන්සේ නමක යැයි සිතා සිටි උරුවෙල් කාශ්‍යප දමනය වූ සැටි මෙසේය.

බරණැස මිගදායේ පස්වග රහතන් වහන්සේලාගෙන් පසුව ක්‍රමයෙන් සඟ පිරිස වැඩිවෙලා ලෝකයේ රහතන් වහන්සේ හැට එක් නමක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා මහණෙනි! යම් දිව්‍යමය වූද, මානුෂික වූද, කෙළෙස් උගුල්වලින් ඔබත් නිදහස් වුණා. මමත් නිදහස් වුණා. ඒ නිසා මහණෙනි, බොහෝ ජනයාට හිත සුවපිණිස ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි වචන ඇති පැහැදිලි අර්ථ ඇති බ්‍රහ්ම චරියාව ප්‍රකාශ කරන්න. ඒ වගේම උන්වහන්සේ වදාළා කෙලෙස් අල්ප සත්ත්වයන් ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් ඒ අය පිරිහී යනවා. ධර්මය අවබෝධ කරන අය ඇතිවන්නේ ඒ ධර්මය කීමෙන් පමණයි. ඒ අවස්ථාවේ එතැනට මාරයා පැමිණ කියනවා යම් දිව්‍ය හෝ යම් මානුෂීය හෝ කෙළෙස් බන්ධන ඇද්ද ඒ සියලු බන්ධනයන්ගෙන් ඔවුන් බන්ධනවා. මහ බන්ධනයෙන් ඔබ බඳිනවා. ඒ නිසා ශ්‍රමණය නුඹ මගෙන් නිදහස් වූ කෙනෙක් නොවේ.

භාග්‍යවතුන් වහන්සේ එවෙලෙහි වදාළා දිව්‍ය වූූ හෝ මානුෂික වූ හෝ යම් බන්ධන ඇද්ද ඒ සියලුම බන්ධනයන්ගෙන් මම නිදහස් වෙලා ඉන්නේ. ඒ නිසා මාරය නුඹ මේ කාරණයේ දී පරාජයට පත්වෙනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි සුගතයන් වහන්සේ මාව දැක්කා යැයි සිතූ මාරයා එතැනින්ම සිත අසතුටු වෙලා නොපෙනී ගියා. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ අවවාද කළා මහණෙනි, ඒ ඒ තැන්වල භික්ෂූන් වහන්සේලා පැවිදි කරන්න. ඒ ඒ තැන්වලම උපසම්පදා කරන්න. එය උන්වහන්සේගේ සරණාගමන පැවිදි සහ උපසම්පදාව ලෙස. එහිදී සිල්පද පනවා තිබුණේ නැහැ.

ඊටපසුව භාග්‍යවතුන් වහන්සේ බරණැසින් පිටත්ව උරුවෙල් බලා වැඩියා.ඒ අතර මගදී භද්දවග්ගිය කුමාරවරු මුණ ගැසී ඒ පිරිසත් පැවිදි වුණා.

ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩියා. සේනානි ගමේ තමයි උරුවෙල් ජනපදය තිබෙන්නේ. උරුවෙල් ජනපදයේ ප්‍රධාන ජටිලයන් තිදෙනෙක් වාසය කළා. ඒ උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යපය. ජටිල කියන්නේ ජටාදර තවුසන්. අදත් ඉන්දියාවේ වැඩිපුර ඉන්නේ ජටිලයන්. ඒ පිරිස හිස රැවුල් බාන්නේ නැහැ. සිය රැවුල් කොණ්ඩා පීරන්නේත් නැහැ. කාලයක් යනවිට ඒවා රැළි වෙනවා. ඒ දිගට වැවුන කෙස් ජටාවක් වගේ උඩට බඳිනවා. ඒ අය තමයි ජටිල. මේ පිරිස හුගක් තපස් රකින අයයි. මේ උරුවෙල් කාශ්‍යප 500 දෙනාට නායක. ගයා කාශ්‍යප 300 දෙනාට නායක. නදී කාශ්‍යප 200 දෙනාට නායක. එහි සියලුම පිරිස දහසක් වෙනවා.

එදින භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ ආශ්‍රමයට වැඩියා. උන්වහන්සේ මේ පිරිස සොයා වැඩියේ මොවුන් සංසාරේ බොහෝ ආත්මවල විමුක්තිය පතාගෙන ශ්‍රාවක පාරමි ධර්මයන් සම්පූර්ණ කළ අය බව දන්නා නිසා.

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට කියනවා “කාශ්‍යප, ඔබට බරක් නැත්නම්, කරදරයක් නැත්නම් මම මේ ගිනිහල් ගේ වාසය කරන්නද?” කියා. කාශ්‍යප කියනවා “මහ ශ්‍රමණය මට නම් එහි බරක් නැහැ. හැබැයි ඉතාමත් රෞද්‍රවූ ඍධිමත් වූ විෂ සහිත නාගයෙක් මෙහි ඉන්නවා. ඒ නාගයාගෙන් නම් ඔබට කරදර සිදුවෙයි” යනුවෙන්. එවිට භාග්‍යවනතුන් වහන්සේ “කාශ්‍යප එය කම් නැත” කියා ඒ ගිනිහල් ගෙයි තිබු ඇතිරිල්ලක භාවනාවෙන් වාඩි වී සිටියා. මෙහි සිටි ඒ නාගයා උන්වහන්සේ දැක අසතුටු වෙලා දුම් පිට කරන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා මේ නාගයා තමන්ගේ තේජසින් මත්වෙලා ඉන්නේ, එනිසා මේ නාගයාට පීඩාවක් ඇති නොවන ලෙස උන්වහන්සේගේ ශරීරයෙන් දුම් පිටකළා. මේ ක්‍රියාවට කිපුන නාගයා තම ශරීරයෙන් ගිනිදැල් පිට කළා. භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතුවට සම වැදී උන්වහන්සේගේ ශරීරයෙන්ද ගිනිදැල් පිටකළා. මෙය ඈතට මහ ගිනි ජාලාවක් වගේ ජටිලයන්ට පෙනුනා. ගිනිහල් ලේ ගිනි ගන්නවා සේ ජටිලයන් දුටුවා. ඔවුන් කථාවුණා ‘අහෝ! භවත්නි, සොඳුරු රූ ඇති ශ්‍රමණ ගෞතමයන් ඒකාන්තයෙන්ම විපතට පත්වෙලා’ කියා. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍධි බලයෙන් නාරජුගේ තේජස යට කොට දමනය කර පාත්‍රයට දැම්මා. පසුදින “මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයා” යැයි උරුවෙල් කාශ්‍යපට පෙන්වූවා. නමුත් මේ ප්‍රාතිහාරයට උරුවෙල් කාශ්‍යප දමනය වූයේ නැහැ. ඔහු කල්පනා කළා “යමෙක් චණ්ඩ වූ මහ ඍධි ඇති වහා පැතිරෙන දරුණු විස ඇති මහ නාග රාජයෙකු ගේ තේජස තමන්ගේ තේජසින් වනසයිද ඒ මහ ශ්‍රමණ තෙමේ ඒකාන්තයෙන්ම ඍධිමත්, මහානුභාවසම්පන්න කෙනෙක්.” නමුත් මා වැනි රහත් කෙනෙක් නොවේ කියාලා.

උරුවෙල් කාශ්‍යප දමනය නො වූවද භාග්‍යවතුන් වහන්සේට පැහැදුණා. ඔහු කියනවා ශ්‍රමණයනි “ඔබ මෙහිම වාසය කරන්න. මම ඔබ වහන්සේට දානයෙන් උපස්ථාන කරන්නම්” කියා.

භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යපගේ ආශ්‍රමයේ සමීපයේ වාසය කරද්දී රාත්‍රීයේ සතරදිගට අධිපති දෙවිවරු සතර දෙනා මහා ආලෝක ධාරාවක් පතුරවමින් ඉතා දීප්තිමත්ව දිලිසෙමින් භාගවතුන් වහන්සේ සමීපයට ආවා. උරුවෙල් කාශ්‍යප මේ රැස්මාලා දැක පසුදින අසනවා, මහ මහණ, ඊයේ රාත්‍රියේ වනයේ ආලෝක කරගෙන ඔබ වෙත පැමිණියේ කවරහු ද? ‘කාශ්‍යප ඒ සතරවරම් දෙවිවරු දහම් ඇසීමට පැමිණියා’. කාශ්‍යප සිතනවා සතරවරම් දෙවි මහ රජ දරුවෝ ධර්මය අසනු පිණිස යමෙකු වෙත යයිද මේ ශ්‍රමණතෙමේ ඒකාන්තයෙන්ම මහත් ඍධිසම්පන්නයි. මහානුභාව සම්පන්නයි. නමුත් මා වැනි රහත් නොවේ.

ඊට පසුදින වනලැහැබ කලින් දුටු ගිනි කදම්බයට වඩා මහත් වූ ආලෝක ධාරාවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ගිනිහල් ගෙට එන ආකාරය උරුවෙල් කාශ්‍යප දුටුවා. පසුදින අසනවා ‘ඒ ආලෝකය කුමක්ද?’ තථාගතයන් වහන්සේ පවසනවා ඒ ශක්‍ර දේවේන්ද්‍රයා දහම් සාකච්ඡාවකට පැමිණි බව. මහ ඍධිබලසම්පන්න සක්දෙවිදු යම්තැනක යමෙකුගෙන් ධර්මය අසන්නට පැමිණෙයිද ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා මහඍද්ධිමත්. නමුත් මා වැනි රහත් නොවේ.

ඊළඟ දිනයේ පෙර දිනයන්ට වඩා මහත් වූ පැහැපත් වූ ආලෝක ධාරාවක් උරුවෙල් කාශ්‍යප දුටුවා. පසුදින අසනවා ‘’ඒ ආලෝකය කුමක්ද?’’ කියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ‘’කාශ්‍යප ඒ සහම්පති බ්‍රහ්මරාජයා’’ කියා. කාශ්‍යප එවෙලෙහිද සිතනවා සහම්පති බ්‍රහ්මරාජයා යමෙකුගෙන් බණ අසයිද ඔහු මහනුභාවසම්පන්න කෙනෙකි. නමුත් මම වගේ රහත් නැහැ නෙව කියා.

එක් දිනක් මගධ ජනපදයේ මිනිසුන් දානයකට සූදානම් වුණා. දානය දවසේ උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා අංග මගධ ජනපදවල අය බොහෝ හොඳට දානය දෙනවා. නමුත් මේ පිරිස මැද මහ ශ්‍රමණයන් වහන්සේ ඍධි ප්‍රාතිහාරයක් පෑවොත් මේ ලාභ සත්කාර සියල්ලම ශ්‍රමණයන් වහන්සේට යනවා. මට ලැබෙන්නේ නැහැ. එනිසා මේ ශ්‍රමණයන් හෙට දානයට වඩින්නේ නැත්නම් හොඳයි කියා සිතුවා. භාග්‍යවතුන් වහන්සේ මේ කල්පනාව දිවසින් දැක එදා දානයට නොගිහින් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය සඳහා වැඩියා.

පසුදා තථාගතයන් වහන්සේ වෙත ගිය උරුවෙල් කාශ්‍යප අසනවා ‘’මහ මහණ ඇයි ඊයේ ඔබ නො පැමිණියේ? ඊයේ දානය බොහෝ ලැබුණා. අපි ඔබ සිහි කළා’’. ‘ඇයි කාශ්‍යප ඔබ ඊයේ සිතුවා නේද මහ මහණ මේ දානයට නො පැමිණියොත් හොඳයි කියලා’’ යැයි තථාගතයන් වහන්සේ වදාළ විට කාශ්‍යපට ලැජ්ජා වුණා. නමුත් කාශ්‍යප සිතනවා “යමෙක් තමන්ගේ සිතින් අනුන්ගේ සිතේ චිත්ත ස්වභාව දැන ගනීද ඒකාන්තයෙන්ම මේ ශ්‍රමණ තෙමේ මහත් ඍධිමත්.” නමුත් මා වගේ රහත් නොවේ කියා සිතුවා.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]