UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර පසළොස්වක 2012.01.08

නිබඳව සැනසෙන සැදැහැති බොදු දන

ගෞතම මහ බෝසතාණන් වහන්සේ සිවු අසංඛෙය්‍යකුත් කල්ප ලක්‍ෂයක් පුරා පිරූ පාරමී බලය අනන්ත ය. අප්‍රමාණ ය.ඒ පිරූ පාරමී බලයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්ව පුරා වසර 2600 ක් ද ගත වී හමාර ය. සම්මා සම්බුද්ධත්වයට පත්ව පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තිලොවටම කළ මෙහෙවර බුදු මුවකින් මිස අන් කවරකු හට වත් කියා හෝ ලියා නිම කළ නොහැකිම ය.

සම්බුදු රජාණන් වහන්සේ අසරණයන්ට සරණ වූහ. දුකට පත් හැම දෙනාටම පිහිට වූහ. පිළිසරණ වූහ.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ මහා කරුණා මහා මෛත්‍රී ගුණ මහිමයත්, මහා ප්‍රඥා ගුණ මහිමයත් සිහි කරන ඕනෑම හදවතකට දැනෙනුයේ අප්‍රමාණ වූ සැනසිල්ලකි.

සසර සයුරේ ඇලී ගැලී වෙලී දුකෙන් අත් මිදීමට නොහැකිව සිටි අපමණ සත්වයාට සෙත සැදූ ඒ සම්බුදු අසිරිය එදා නෙත් දෙකෙන් දැකීමට අපි අපොහොසත් වීමු. එහෙත් උන්වහන්සේ දුකට පත් සත්වයාට පිහිට වී පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙසූ ශ්‍රී සද්ධර්මය අදටත් ජීවමාන ය.

පරම සත්‍ය වූ දහම මගින් සෙත ශාන්තිය ලබන අපමණ දෙනා ලබනුයේ මහත් වූ සැනසිල්ලකි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා දෙදහස් පන්සිය පනස් පස් වසරක් ද ඉක්ම ගොස් ඇත. එහෙත් එදා මෙන් අදත් ඒ බුදු අසිරිය ගැන මොහොතක් සිතා බැලිය යුතුව ඇත.

අනාදිමත් කාලයක් පුරා පිරූ පාරමී දම් බලය ගැන මොහොතක් මෙනෙහි කළ යුතුව ඇත.

ලොව පුරා වෙසෙන බොදුනුවෝ සෑම දිනකම උදේ සවස ජීවමාන බුදුරදුන්සේ සිතමින් බුද්ධ පූජා පවත්වති.

අපේ රටේ සෑම විහාරස්ථානයක් පාසාම දිනපතා එකම වේලාවකදී උදේ සවස ජීවමාන බුදුරදුන්ට පුද පූජා පවත්වති.

ඒ අපමණ බුදු ගුණ සිහි කරමිනි.

අපේ බුදුපියාණන් වහන්සේට හැර ලොව වෙනත් කිසිදු ශාස්තෘවරයකු වෙත එවන් පුද පූජා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් පිළිගන්වයි ද?

මාගේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. කෙලෙස් සතුරන් නැති කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුන සේක. රහසින් වත් පව් නොකළ සේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේමටම බුදුපියාණන් වන සේක. මට ම බුදුමෑණියන් වන සේක. ආදී ලෙසින් ශ්‍රද්ධාවන්ත බෞද්ධයා බුදුගුණ සිහි කරමින් බුදුගුණ හදවතේ මවා ගනිමින් ජීවමාන බුදුරදුන්ට කරන පූජාවන් සේ සළකා බුද්ධ පූජා, වන්දනාමාන සිදු කරති.

අපට බුදු පිහිට හැර වෙන පිහිටක් තිබේද? බුදුසරණ හැර වෙන සරණක් තිබේ ද?

මෙසේ සිතන බොදු සැදැහැතියන් බුද්ධ පූජාව තබනුයේ වසර 2600 ක් පුරාම ය.

අද දුරුතු පුර පසළොස්වක පොහොය දිනය යි. ගෞතම බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් නව වැනි මස සිරිලකට පළමුවරට වැඩම කළ ඓතිහාසික පොහොය දිනය වන්නේ ද අද ය.

මේ පූජනීය වූ දිනයේ සැදැහැති බෞද්ධයන් දාන පාරමිතාව පිරීමට යොමු කළ අනුස්මරණීය පින්කමක් මහියංගන පුද බිමේ දී පැවැත්වෙන බව අද බුදුසරණ පුවත් පතෙහි 19 වන පිටුවෙහි වාර්තා කැරේ.

කොළඹ ග්‍රොගරි පාරේ සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජලයේ නිර්මාතෘ හා සභාපති දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ මහ පින්කම සංවිධානය කළහ.

මියුගුණ මහා සෑ වන්දනාවට අසදෘශ්‍ය මහ පින්කමට දායක වන්නැයි උන්වහන්සේ කළ ඉල්ලීමට අපේ බොදුනුවා දැක් වූ ප්‍රතිචාරය ප්‍රසාද ජනක ය. තරුණ, මහලු, ලොකු, කුඩා දහස් සංඛ්‍යාත දෙනා විසි හතර පැය පුරාම සම්බෝධි විහාරය වෙත පා නගන්නට වූයේ මොනයම් හෝ පරිත්‍යාගයක් රැගෙනය.

ඉල්ලීම කර දින ගණනකින් ලොරි රැසක් පිරවීමට අවශ්‍ය පුද පිරිකර එකතු විය. ඒවායෙන් බොහෝමයක් උතුරු, නැඟෙනහිර වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සඳහා යෙදවීමට දරණාගම කුසලධම්ම හිමියෝ කල්පනා කළහ. ඒ කාලෝචිත අදහස එළෙසින්ම මල්ඵල ගැන්වීමට මෙරට බොදුනුවෝ පරිත්‍යාගශීලී වූහ. දායක වූහ.

සැබැවින්ම පරිත්‍යාගයට බොදුනුවා තරම් අන් කවරෙකුවත් ඇප කැප වන්නේ ද? එය අන් ආගම් අදහන අයට අවමානයක් නොවේවා!

කොළඹ සම්බෝධි විහාරය වෙත පිය නැඟූ අපමණ බොදු සැදැහැවතුන් ඒ කළ මහා පරිත්‍යාගයන් සදා මතකයේ රැඳෙන මහත් ඵල මහානිශංස ලැබෙන උතුම් පින්කමකි.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]