UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කර්මයේ විපාක

පුද්ගලයා සිදුකරන කියන සෑම කටයුත්තක්ම තීරණය වන්නේ යහපත හා අයහපත සමඟයි. වැරැදි ක්‍රියාවක තමන් යෙදුන බවක් හැඟී ගියහොත් ඒ වරද නිවැරැදි කර ගැනීමට උත්සාහ කිරීම බෞද්ධකම මෙන්ම මිනිස්කමද වේ. නැවත නැවතම වැරැද්දෙහි බැඳෙන්නාට සුගතියක් නොමැත. තාවකාලික සුවයක් පමණක් ලබන එවන් පුද්ගලයා මෙලොවත් - පරලොවත් දුක් විපාක උරුමකර ගනු ලබයි.

පුද්ගල ජීවිතයට බලපාන කරුණු අතර කර්මයට සුවිශේෂි ස්ථානයක් හිමිවෙයි. කර්මය යන්නෙහි ක්‍රියාව යන අදහස පවතී. නමුත් ඕනෑම ක්‍රියාවක් කර්ම නාමයෙන් නොගැනේ. බෞද්ධ දර්ශනය කර්ම නමින් හඳුන්වන්නේ හොඳ හෝ නරක හෝ සිතිවිල්ලක් මුල් කරගෙන සිදු කැරෙන ක්‍රියාවන්ය.

චේතනාහං භික්ඛවේ කම්ම වදාමි
චේතයිත්වා
කම්මං කරෝති කායේන වාචාය මනසා’

යනුවෙන් දක්වා ඇත්තේ චේතනාව මුල්කරගෙන සිදුකරන ලබන කායික, වාචසික මානසික ක්‍රියාවන්ගේ ප්‍රතිඵල පවතින බවයි.

ක්‍රියාව කර්මයක් වීම සදහා කරන ක්‍රියාව සිතා මතාම කළ යුත්තක් විය යුතුය. පුද්ගලයා කරන කියන සිතන දේ යහපත් හෝ අයහපත් වීමට චේතනාව සම්බන්ධ විය යුතුමය. එනිසා බුදුදහම තුළ චේතනාව කර්මය ලෙස දක්වයි.

යහපත් කර්ම අයහපත් කර්ම, කුසල කර්ම, අකුසල කර්ම, පුණ්‍ය කර්ම, පාප කර්ම ආදී වශයෙන් කර්මය ප්‍රභේද කළ හැකිය. යහපත් සිතින් කරන කි‍්‍රයා කුසල ගණයටත් අයහපත් සිතින් කරන ක්‍රියා අකුසල ගණයටත් වැටේ. තම තමන් සිදුකරන යහපත් හෝ අයහපත් ක්‍රියාවන්ගේ විපාක විඳීමේ වගකීම පැවරෙනුයේ තමාටමය. එය වෙනත් අයෙකුට පැවැරිය නොහැකියි. ‘ දුක්ඛෝ පාපස්ස උච්චයෝ’ යනුවෙන් බෞද්ධ දර්ශනයේ සඳහන් වන්නේ වැරැදි කළොත් ඒ වැරැද්ද නිරන්තරයෙන් තමන් විසින් විඳවිය යුතු බවයි.

ඇතැම් කර්මයන්ගේ විපාක මේ ජීවිතයේදීම ලැබෙනු ඇත. ඒවා හඳුන්වන්නේ දිට්ඨධම්ම වේදනීය කර්ම ලෙසයි. සමහර කර්මයන්ගේ විපාක ඊළඟ භවය තුළ විපාක ලෙස ලැබෙන අතර ඇතැම් කර්ම විපාක සසර කුමන ආත්මභවයකදී හෝ විඳීමට පුද්ගලයාට සිදුවෙයි. ‘තතොනං දුක්ඛමන්වේති චක්කංව වහතො පදං’ යනුවෙන් ධම්මපද පාලියේ පළමු ගාථාවෙන් පෙන්වා දෙනු ලබන්නේ පුද්ගලයා සිදුකරන අයහපත් කර්මවල දුක්ඛ විපාක ගැලබැඳි ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය මෙන් තමා පසුපස පැමිණෙන බවයි.

එලෙසම ‘තතෝනං සුඛමන්වේති - ඡායාව අනපායිති’ යනුවෙන් දැක්වුයේ පුද්ගලයා සිදුකරන යහපත් ක්‍රියාවන්හි සැප විපාක තම සිරුර අතහැර නොයන සෙවනැල්ල මෙන් තමා පසුපස පැමිණෙන බවයි.

පුද්ගලයාට දුක්ඛ විපාකත් සැප විපාකත් අත්විඳීන්නට ලැබුණ අවස්ථාවන්ට උදාහරණ බෞද්ධ දර්ශනය තුළ නිරන්තරයෙන් සඳහන් වෙයි. කෝපයට පත් වී කාන්තාවකගේ ඇස් අන්ධ කළ වෛද්‍යවරයෙකු සසර නොයෙක් දුක්විඳ අවසාන ආත්ම භාවයේදී ඇස්දෙක අන්ධවීමට භාජනය වීම පිළිබඳ කර්මඵල විස්තරයක් චක්ඛුපාල තෙරුන්ගේ කථාවස්තුවෙන් පැහැදිලි කැරේ. මුගලන් මහරහතන් වහන්සේ සොර කල්ලියකගේ පහරට ලක්වී පරිනිර්වාණයට පත්වීමටද හේතුවූයේ උන්වහන්සේ පෙරභවයක කළ අකුසල කර්මයක විපාක ලෙසය. ඌරන් මැරීම ජීවිකාව කරගත් අයෙකු මෙලොවදී නොයෙක් දුක්විඳ පරලොව අපාගතවීම පිළිබඳ පුවත චුන්දසුකර කථාවස්තු වෙන් පැහැදිලි වෙයි. “කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ “ යන වදන් පෙළෙහි යථාර්ථය ඉහත සඳහන් වූ කර්මඵල දුක්ඛ විපාක අනුව මැනැවින් හෙළිදරව් කෙරේ.

පෙළ දහමේ සඳහන් වන ශ්‍රේෂ්ඨ බෞද්ධ උපාසකවරු වශයෙන් ශාසනයට හිතකාමි ලෙස කටයුතු කරමින් කුසල් දහමින් පෝෂණය වූ බන්දුල මල්ලිකාවන් විශාකාවන් අනේපිඬුසිටුතුමන්, ධම්මික උපාසක තෙමේ යනාදී පිරිස් මරණින් පසු සුගතිගාමිව උපන්බව පිළිබඳ කියැවෙන කථාපුවත් තුළින් කුසල දහම්හි සැප විපාක නිතැතින් පුද්ගලයා වෙතම පැමිණෙන බව අවධාරණය කරගත හැකි වෙයි.

පුද්ගලයා කරන කියන කටයුතුවලට විපාක විඳීමට නියත වශයෙන්ම සිදුවෙයි. කර්මය හා විපාකය අතර සම්බන්ධය වටහාගන්නා තැනැත්තා දුසිරිත් වලින් හැකිතාක් වෙන්ව, සුසිරිත් පුහුණු කිරීමට උත්සාහ ගනී. පුද්ගලයෙක් යම් යහපත් ක්‍රියාවක නියැළෙන්නේ් නම් නැවත නැවත එවන් ක්‍රියාවන්ම සිදුකිරීමට පෙළඹිය යුතුවේ. සමාජීය පුද්ගලයා දූෂණයෙන් වංචාවෙන් තොරව අවංකව, සාධාරණව කරන කියන ක්‍රියාවන්ගේ සාර්ථක ප්‍රතිඵල නියත වශයෙන් ජීවන ඉදිරිගමනේදී හිමිවනු ඇත. පුද්ගලයාගේ යහපත් සිතිවිලි ප්‍රගුණ කිරීම තුළින් පවෙන් අත්මිදි කටයුතු කිරීමේ හැකියාව පුද්ගලයාට අත්වෙයි.

පුද්ගලයා සිදුකරන කියන සෑම කටයුත්තක්ම තීරණය වෙන්නේ යහපත හා අයහපත සමඟයි. වැරැදි ක්‍රියාවක තමන් යෙදුන බවක් හැඟී ගියහොත් ඒ වරද නිවැරැදි කර ගැනීමට උත්සාහ කිරීම බෞද්ධකම මෙන්ම මිනිස්කමද වේ. නැවත නැවතම වැරැද්දෙහි බැඳෙන්නාට සුගතියක් නොමැත. තාවකාලික සුවයක් පමණක් ලබන එවන් පුද්ගලයා මෙලොවත් - පරලොවත් දුක් විපාක උරුමකර ගනු ලබයි.

ජීවිතය අඳුරු කරන අකුසල කර්ම අතහැර ජීවිතය ආලෝකවත් කරන කුසල කර්ම සිදුකළ යුත්තේ එය පුද්ගලයාටත් සමාජයටත් වැඩදායක වන නිසාමය. අතිත කුසලාකුසල කර්මවලට අනුව පුද්ගලයාගේ මේ ආත්මය සැකසේ. ඒ අනුව වර්තමානයේ තමන්ට උරුම වූ ජීවිතය තුළ රැස් කරගනු ලබන කුසලා කුසල කර්ම නිතැනිත් පුද්ගලයාගේ ඊළඟ භවයට හේතුවෙයි.

පුද්ගලයා වැරැදි සංකල්ප බැහැර කරමින් සදාචාරාත්මක ගති පැවැතුම් ඇතිකර ගනිමින් සසර දුකෙහි භයංකාර බව තේරුම් ගනිමින් දුක්ඛිත සසරින් එතෙරවීමට උත්සාහ කළ යුතුය. කර්මයෙහි විපාක නිසිලෙස අවබෝධ කරගත යුතුය. කර්මය ජීවිතය කෙරෙහි බලපාන එක් කරුණකි. ඇතැම් පුද්ගලයෙකු අඩු වයසින් මිය යෑමටත් ඇතැම් පුද්ගලයෙකු දීර්ඝායුෂ විඳීමටත් හේතුව කුමක්දැයි මොහොතක් සිතා බලන්න. ඇතැමෙකු නිතර රෝගීවීමටත් ඇතැමෙකු නිරෝගී විමටත් පුළුවන. මේ අනුව පුද්ගලයාගේ බොහෝ වෙනස්කම්වලට කර්මය බලපානු ලබන බව පෙනේ. යහපත් කර්ම සිදුකරමින් සැප විපාක උදාකර ගැනීමට පුද්ගලයා උත්සාහවන්ත වන්නේ නම් ඉන් තමාටත් මුළුමහත් සමාජයටත් සිදුවන්නේ මහත් සෙතකි. අස්වැසිල්ලකි.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]