UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන

දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානොත්සවය

මහරගම ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේ දී 27 වන දා


ඩිප්ලෝමා වැඩසටහන් ග්‍රාමීය මට්ටම දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ

ආගමික හා සදාචාර වර්ධන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමග ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එක් ව ජාතික වශයෙන් වැදගත් වූ දහම් සරසවිය වැඩසටහනේ ඩිප්ලෝමාධාරින්ගේ සහතිකපත් ප්‍රදානෝත්සවයට පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් සේ සලකමි. මෙවර මෙම වැඩසටහන සාර්ථක ලෙස සංවිධානය කර, අප විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලද ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකලාභීන් 1039 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීමට ලැබීම බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමේ රජය සතු වගකීමේ එක්තරා කොටසක් සේ ද සැලකිය හැකිය.

දීප ව්‍යාප්තව පිහිටා ඇති දහම් පාසල් කේන්ද්‍ර කොට දහම් පාසල් සිසුන්ට දැනුම බෙදා දෙන ගුරු භවතුන්ගේ දැනුම පුළුල් කර ඔවුන්ගේ හදවත් තුළ ඇති වන අභිමානය ද දියුණු කර දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට මෙම වැඩ සටහන ඉවහල් වූ බව මේ තුළින් ලැබුණු ප්‍රතිචාර වලින් ප්‍රත්‍යක්ෂ වේ. දැනට සංඛ්‍යා ලේඛන අනුව දහම් පාසල් ගුරුවරු එක්ලක්ෂ පහළොස් දාහක් පමණ සිටින බවට වාර්තාවේ. එම ගුරුවරුන්ට දහම් දැනුම බෙදා දීමේ පුහුණු වැඩ සටහනක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම ජාතික සත්කාර්යයට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දායක වීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම සතුටු වෙමි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණක් වන විද්‍යාර්ථීන්ගේ ආචාර ධර්මානුකූල පැවැත්ම හා මානසික ශික්ෂණය වැඩි දියුණු කිරීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාලීම පරමාර්ථ කොටගෙන මෙම වැඩ සටහන උතුරු නැගෙනහිර පළාත් සහිතව අනෙකුත් දිස්ත්‍රික්ක 19 ක ආරම්භ කරන ලදී. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් ප්‍රථම වරට මෙම පාඨමාලාව පැවැත්වීමේ දී ලැබූ අත්දැකීම් හා ගැටලු තේරුම් ගෙන ඉදිරියේ දී තව දුරටත් මෙවැනි ආකාරයේ ඩිප්ලෝමා වැඩසටහන් ග්‍රාමීය මට්ටම දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.

අද දින සහතික පත් ලබන ඩිප්ලෝමාධාරී 1039 දෙනාට මෙම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාවක් ලැබෙන අතර ඔවුන් තම අධ්‍යාපන කටයුතු තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් පශ්චාත් උපාධි / දර්ශනපති / දර්ශනශූරී / දක්වා උසස් උපාධි ලබා ගැනීමට අවස්ථාවක් ද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ලැබෙන බව සඳහන් කරනු කැමැත්තෙමි. ඒ තුළින් ඔවුන්ගේ දැනුම තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකි වනවා සේ ම ග්‍රාමීය මට්ටමේ දූ දරුවන්ට බුද්ධ ධර්මය පිළිබඳ ගුණාත්මක අධ්‍යාපනයක් ද ලැබෙනු ඇත.


දහම් පාසල ලැබූ තවත් ජයග්‍රහණයකි

ආගමික හා සදාචාර වර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විවිද්‍යාලය මගින් 2011 වසර පවත්වන ලද දහම් සරසවි IV  අදියර බුද්ධ ධර්ම ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සිසුන් 1039 ක් සාමර්ථ්‍යය ලබා, අද දින පැවැත්වෙන බුද්ධ ධර්ම ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුභාශිංසනයක් කරන්නට ලැබීම පිළිබඳ මම ඉමහත් සතුටක් භුක්ති විඳිමි.

මන්දයත්, දහම් පාසලට “ දහම් සරසවියක්” ලැබීමත්, දහම් පාසල් ගුරුභවතුන්ට දහම් දැනුම තව තවත් වර්ධනය කිරීම අරමුණු කොට, බුද්ධ ධර්ම ඩිප්ලෝමාවක් ලැබීමත් වත්මන් රජයේ මහින්ද චින්තනය යටතේ, දහම් පාසල ලැබූ තවත් ජයග්‍රහණයකි. එමගින් දහම් පාසල තුළ, ගුරු කුසලතා වර්ධනය කර, එම අත්දැකීම් ක්‍රමාණුකූලව සහ විධිමත් අයුරින් ප්‍රායෝගිකවත්, විෂයානුබද්ධ දැනුම තුළිනුත් මනා වූ දහම් දැනුමක් හා හැදියාවක් දරුවන්ට ලබා දීමට හැකිය. ඒ තුළින් දැනුම, ආකල්ප හා කුසලතාවලින් පරිපූර්ණ පූර්ණ පෞරුෂයකින් යුක්ත දරු පරපුරක් ලොව දායාද කිරීමට හැකිවනු නො අනුමානයි.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
සියලු සත්ත්වයෝ සුඛිත මුදිත සිත් ඇත්තෝ වෙත්වා !


අධ්‍යාත්මික දියුණුවෙන් යුතු
දරු පරපුරක් බිහි කිරීමට ශක්තිය ලැබේවා

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ දහම් සරසරවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන අදියරේ සහතික ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ හදපිරි අප්‍රමාණ සතුටකිනි.

වර්තමානයේ මව්බිම දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ පෙරට ඇදෙමින් පවතින්නේ අභියෝග රැසක් පරාජය කරමින් බව ඔබ හොඳාකාරව ම දන්නා කරුණකි. භෞතිකව කොතෙක් දියුණු වුවද එය කෙටි කාලීනය.

දහම් පාසල් ගුරු භූමිකාව මඟින් ආධ්‍යාත්මික වශයෙන් දියුණු සදාචාර සම්පන්න දරු පරපුරක් දැයට දායාද කිරීමට ඉටුකරන මෙහෙවර අමිල වේ. ඔවුන්ගේ දහම් දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන ආරම්භ කළ දහම් සරසවිය ඩිප්ලෝමා පාඨමාලාව මම බෙහෙවින් අගය කොට සලකමි.

මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දායක වන සැමට මගේ කෘතඥතාවය පළ කරන අතර, භෞතික හා අධ්‍යාත්මික දියුණුවෙන් යුතු දරු පරපුරක් බිහි කිරීමට එහි පෙර ගමන්කරුවන් වන දහම් පාසල් ගුරුභවතුන් සැමට ශක්තිය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.


සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම උදෙසා සෘජු දායකත්වයක් සපයනවා ඇත

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන දහම් සරසරවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සුබ පැතුම් එක්කරනුයේ හදපිරි සතුටිනි.

අප රට තුළ ක්‍රමානුකූ®ලව සිදුවෙමින් පවතින භෞතික සංවර්ධන ක්‍රියාවලිය අංග සම්පූර්ණ කිරීමට පුද්ගල හා සමාජයීය අධ්‍යාත්මික සංවර්ධනය අත්‍යවශ්‍ය වූවකි. ඒ සඳහා අප රට තුළ පවතින බෞද්ධ දහම් පාසල් මගින්ද සිදු කෙරෙන්නේ අමිල මෙහෙවරකි. දහම් පාසල් අධ්‍යාපනය මඟින් මඩේ පිපුණු නෙළුම් මල මඩෙහි නොඇලී ඉතා පිවිතුරු ලෙස පිපී තිබෙන්නේ යම්සේ ද, විවිධ සමාජ පරාසයන් හි උපත ලැබූ දරුවා සදාචාර සම්පන්න, ගුණවත් දරුවෙකු ලෙස ගොඩනගනු ලබන සුවිශේෂී සමාජ වටපිටාව වන්නේ දහම් පාසලයි. එවැනි සදාචාර සම්පන්න දරුවන් බිහි කරනු ලබන දහම් පාසල් ගුරුභවතුන් දැනුමෙන් පෝෂණය කිරීම අපගේ වගකීම වේ.

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය ඇතිව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංවිධායකත්වයෙන් සිදුවන දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව, සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම උදෙසා සෘජු දායකත්වයක් සපයනවා ඇත. බුද්ධිමත් දැහැමි දරු පරපුරක් රටට උරුම කරදීමේ අදිටනින් මෙම පාඨමාලාව සාර්ථකව හදාරා දහම් සරසවි බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරීන් ලෙස අභිෂේක ලබන දහම් පාසල් ගුරු භවතුන්ට මාගේ හෘදයාංගම සුභ පැතුම් පුද කරමි.

ඔබ සැමගේ සියලු යහපත් අභිප්‍රායයන් සඵල වේවා!


අනෙකුත් ආයතන වෙත සපයන ආදර්ශයක්

දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පැවැත්වෙන ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට ශුභ පැතුම් පණිවුඩයක් එක්කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

රට ජාතිය උදෙසා ශික්ෂිත සමාජ සත්ත්වයකු බිහි කිරීමට ආගම සහ දර්ශනයේ වගකීම සහ කාර්යභාරය මනාව අවබෝධ කර ගනිමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආරම්භ කර තිබෙන මෙම කර්තව්‍යය අනෙකුත් ආයතන වෙත සපයන ආදර්ශයක් බව පළමුව සඳහන් කරමි.

උසස් අධ්‍යාපනය නොලත් දහම් පාසල් ගුරුවරුන් සඳහා අවශ්‍ය දැනුම ලබාදීම සහ ඔවුන් උසස් අධ්‍යාපනය කෙරෙහි යොමුකරවීමෙන් ඒ අයගේ නිපුණතා මට්ටම වර්ධනය කිරීම මූලික අරමුණු කරගනිමින් සිදුකරනු ලබන මෙම සත්කර්තව්‍යය පිළිබඳ පළමුව මාගේ හෘදයාංගම ස්තුතිය සහ නමස්කාරය ශීි‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන්වහන්සේට පුද කරනු කැමැත්තෙමි. දෙවනුව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍යාංශයටත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමා ප්‍රමුඛ එම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි. විශේෂයෙන් ම කිසිදු අයකිරීමක් නොමැතිව දහම්පාසල් ගුරුභවතුන් උදෙසා මෙවැනි ජාතික මට්ටමේ කටයුත්තක් වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කිරීම පිළිබඳ පාඨමාලාව සම්බන්ධ දේශකවරු ඇතුළු සම්පත් දායකයන් සියලු දෙනාට ද මාගේ ආචාරය පුදකරනු කැමැත්තෙමි.

ක්‍රමවත් දහම්පාසල් අධ්‍යාපනයක් උදෙසා මෙන් ම බෞද්ධ ධර්මය පිළිබඳ ඉහළ මට්ටමේ දැනුමක් සහිත අධ්‍යාපනඥයින් බිහි කිරීමට ‘දහම් සරසවිය’ සරසවියක් ම වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


යුගයේ අවශ්‍යතාවයක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත පවත්වනු ලැබූ දහම් සරසවිය හතරවන අදියර – 2010 බුද්ධ ධර්ම ඩිප්ලෝමා පරීක්ෂණයේ සහතික පත් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් මා හට ඉමහත් සතුට ගෙන දෙන්නකි.

බුදු දහමෙහි කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමට ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ බුදු සසුන මෙරට ස්ථාපනය වීමත් සමග එහි චිරස්ථිතිය වෙනුවෙන් අඛණ්ඩව ශ්‍රී ලාංකීය ජන සමාජය විසින් මේ දක්වා බුදු දහමෙහි ප්‍රවර්ධනයට සිදු කර ඇති අනුපමේය මෙහෙවර බව මෙරට පමණක් නොව විදේශයන්හි පවා ප්‍රචලිත කරුණකි.

ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ද බුදු දහම ප්‍රචලිත කිරීම බුදු දහම පිළිබඳ උගතුන් බිහි කිරීම මෙන්ම ධර්මදූත සේවාව ප්‍රවර්ධනය කිරීමේ අභිමතාර්ථය මුදුන්පත් කර ගැනීමේ අටියෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ 1982 පිහිටුවනු ලැබූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් වෙනත් දේශීය විශ්වවිද්‍යාලයන් හි ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යයන කටයුතු හා සමාන අයුරින්ම වූ බෞද්ධ හා පාලි විෂයන් අළලා අධ්‍යාපන පාඨමාලා සාර්ථකව පවත්වාගෙන යනු දැකීම සතුටට කරුණකි.

බුද්ධ ධර්මය ආශ්‍රිත මූලික සුදුසුකම් සහිත අයදුම්කරුවන් සඳහා විශේෂයෙන්ම පදනම් වූ බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාවක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ද අනුග්‍රහය යටතේ මෙම විශ්විද්‍යාලය මගින් හඳුන්වා දී තිබීම මගින් උසස් අධ්‍යාපන සුදුසුකම් නොලත් විශේෂයෙන් දහම් පාසල් ගුරුවරුන් සඳහා අවශ්‍ය දැනුම ලබාදීම තුළින් ඔවුන් නිපුණතා සහිත දහම් පාසල් ගුරු භවතුන් බවට පත් කිරීමට හැකිව තිබීම අගය කළ යුතු මාහැඟි කටයුත්තකි. මෙම කර්තව්‍යය වත්මන් සමාජය යහමගට යොමු කිරීමේ යුගයේ අවශ්‍යතාවයක් බවට මා දකිමි.

මෙවර ඩිප්ලෝමා ලාභීන් දහසකට වැඩි සංඛ්‍යාවක් 2011 ඔක්තෝබර් මස 27 සහතික පත් ප්‍රදානෝත්සවයට සහභාගිවීම පමණක්ම මෙම විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය මණ්ඩලයෙහි කැපවීම හා උනන්දුව විදහා දක්වන කැටපතක් ලෙස සැලකිය හැකිය. මෙම ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානෝත්සවය සංවිධානය කර ඇති මෙම විශ්වවිද්‍යාලයෙහි මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයට මාගේ හෘදයාගම ස්තුතිය පළ කිරීමටත්, මෙදින සහතික පත් ලබන ඩිප්ලෝමාධාරීන්ට මාගේ සුභපැතුම් පිරිනැමීමටත් මෙය අවස්ථාව කරගන්නා අතර, එකී උත්සවය අතිශයින් සාර්ථක වේවා යැයි ද ප්‍රාර්ථනා කරමින් විශ්විවද්‍යාලයෙහි ඉදිරිගමනට මාගේ විශේෂ ශුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.


මෙහෙවර පැසසිය යුතුය

බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලද ශ්‍රී ලාංකේය සමාජය එළඹෙන ඕනෑම අභියෝගයක දී ඉන්ද්‍රඛීලයක් මෙන් නො සැලී ඉදිරියටම පිය නගන්නේ දහම් අධ්‍යාපනය සමග නිරායාසයෙන්ම පවතින අවියෝජනීය සම්බන්ධතාව හේතුවෙනි.

හුදෙක් ගාථා පාඨ පමණක් වනපොත් කරවීමෙන් ඔබ්බට යමින් දහම පිළිබඳව ගැඹුරු අවබෝධයක් අනාගත පරපුරට ලැබ දීමට කටයුතු කිරීම මේ යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවකි. එහි ලා දහම් සරසවිය බුද්ධ ධර්ම පාඨමාලාව මගින් ඉටු කරනු ලබන මෙහෙවර පැසසිය යුතුය.

අද දහම් පාසල මානව හා භෞතික සම්පත් පාර්ශ්වයන්ගෙන් පෙරට වඩා ඉදිරියට ගමන් කරමින් සිටී. එකල දහම් පාසල් ගුරුවරු නිස්සරණාධ්‍යාංශයෙන් ගුරු කාර්යයෙහි නියැලුණ හ. මෙකල දහම් පාසල් ගුරුවරයාට පුස්තකාල දීමනාවක් ලැබේ. නිල ඇඳුමක් නොමිලයේ සැපයේ. ඒ නිසාම සමාජය තුළ විශේෂ පිළිගැනීමක් ද ඇත. දහම් පාසල් ගුරුවරයා මේ තත්ත්වය ප්‍රයෝජනයට ගත යුත්තේ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දීම සඳහා වූ සාධනීය මාර්ගයට පිවිසීම සඳහා ය. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව මේ වනවිට ඌණ සංවර්ධිත දහම් පාසල් 2600 ක් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සැලසුම් සකස් කොට ඇති අතර, එය ක්‍රියාත්මක කිරීමේ මුල් පියවර, 116 වැනි දහම් පාසල් සංවත්සරයේ දී ගරු අග්‍රාමාත්‍ය, බුද්ධශාසන හා ආගමික කටයුතු ගරු අමාත්‍ය දි. මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ ජාතික උරුම මධ්‍යස්ථානයේ දී ඇරඹිණ. අප ඉලක්කය වන්නේ සම්බුද්ධත්ව ජයන්ති වසර තුළ මෙම උත්තම කර්තව්‍යය නිමාවට පත් කිරීමයි.

2600 සම්බුද්ධත්ව ජයන්තියත් සමඟම දෙස් විදෙස්වල, මෑත ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා බෞද්ධ ප්‍රබෝධයක් ඇතිව තිබෙන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. එහෙත් මුදල මුල් වූ සමාජ පසුබිමක් තුළ ආදරය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, ඉවසීම, උපේක්ෂාව, කළගුණ සැලකීම, පිදිය යුත්තන් පිදීම ආදී උත්තම මිනිස් ගුණාංග පසුගාමී තත්ත්වයක පැවතීම සැබෑ යථාර්ථය බව නො කියාම නො හැකිය. මෙහිලා අද්විතීය මෙහෙවරක යෙදෙන දහම් සරසවිය සමාජානුගත නොසැලෙන පෙර ගමන්කරුවා විය යුතුය. හුදෙක් සෛද්ධාන්තිකත්වයෙහිම නො පිහිටා පවතින යථාර්ථයට මුහුණ දීමට හැකි ප්‍රායෝගික අවබෝධයෙන් දහම් අධ්‍යාපනය ලබන දරුවාගේ මනස පුබුදුවා ඔවුන් සමාජයේ මුර ටැම් බවට පත් කිරීමට මේ දහම් සරසවි පෝෂණය ඉවහල් කොට ගතයුතුය. මෙහිදී දහම් පාසල් ගුරුවරයාගේ කාර්ය භාරයට සීමාවක් නැත. මහගල් කුලක් සේ දිනෙන් දින රත්වන තාරුණ්‍යය දහම නමැති සිහිල් දියෙන් නිවාලීමට කටයුතු කිරීම දහම් පාසල් ගුරුවරයාගේ පරම වගකීම වේ. එහිදී ආදර්ශවත් ගුරුවරයෙකු වීම මූලික අවශ්‍යතාවයක් වනු ඇත.

රටක ඉරණම හැඩ ගස්වන දහම් පාසල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටේ නියමුවා බවට පත් කිරීමට අද දින දහම් අධ්‍යාපන ඩිප්ලෝමාවෙන් පිදුම් ලබන දහම් ශාස්ත්‍ර ග්‍රාහකයන්ටත් දහම් ගුරු පරපුරේ සියලුම ගුරු භවතුන්ටත් නැණ ගුණ පහල වේවායි මම ප්‍රාර්ථනා කරමි.


දිගු කාලීන ප්‍රතිඵල ලැබෙනු නො අනුමානය

දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කර සහතිකපත්‍ර ලබන ඔබ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් එක් කරන්නේ හද පිරි සතුටිනි. මෙම පාඨමාලාවට පෙනී සිටි දහම් පාසල් ගුරුභවතුන්ගෙන් 90% ක් පමණ සමත්වීම අපගේ් උත්සාහය සාර්ථක කර ගැනීමේ පළමු පියවර සේ සලකමි. දහම් දැනුමින් පෝෂිත ඔබ විසින් දැයේ දරුවන්ගේ ගුණ නුවණ වර්ධනය කිරීමට දායකත්වය සැපයීම මෙහි දෙවන පියවර සේ සලකමි. ඉහත පියවර දෙක සාර්ථක වීම මගින් තෙවන පියවර ලෙස එහි දිගුකාලීන ප්‍රතිඵල ලැබෙනු නො අනුමානය. එනම් සාරධර්මවලින් පිරුණු ස්ථාපිත දැහැමි සමාජයකි.

ඉහත සඳහන් දෙවන හා තෙවන ඉලක්ක සපුරා ගැනීමට නම් ඔබ ඉතා කැපවීමෙන් වැඩකළ යුතු වෙයි. අප ජීවත්වන්නේ ගෝලීයකරණයට ලක් වූ ඉතා සංකීර්ණ සමාජයක යි. ලොව දසතින් බොහෝ දේ අපේ සමාජයට ද දිනපතා එක් වෙයි. ඒ අතර යහපත මෙන් ම අයහපත ද පවතින බව පැහැදිලි කරුණකි. මෙවන් සමාජ වටපිටාවකට විවෘත වන අපේ දරුවන්ට යා යුතු නිවැරදි ගමන්මඟ මේ යැයි පෙන්වන්නට නම් දහම් පාසල් ගුරුවරයා දැනුමෙන් පොහොසත් විය යුතුය.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හා එක්ව ක්‍රියාත්මක කරන දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව ඉහත අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා වූ ප්‍රමුඛ වැඩසටහනකි. දහම් දැනුම තවදුරටත් වර්ධනය කර ගෙන ජීවිතයට අවශ්‍ය වෙනත් දැනුම ද එකතු කර ගෙන යහපත් දරු පරපුරක් දැයට දායාද කිරීමට දහම් පාසල් ගුරුවරුන් වන ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.


අගය කළ යුතුය

දහම් සරසවිය ව්‍යාපෘතිය යටතේ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදාන උත්සවය වෙනුවෙන් අද දින පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ ව මම බෙහෙවින් සතුටු වෙමි.

දහම් පාසල්වල ගුරුවරුන්ගේ දැනුම හා ඉගැන්වීමේ ආකල්ප වර්ධනය කිරීමටත් ඔවුන්ගේ් හැකියාවන් හා නිපුණතාවන් උසස් මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දෙවන වරට එක්ව මෙම ජාතික වැඩසටහන ක්‍රමවත්ව සංවිධානය කිරීම අගය කළ යුතු ය.

බුදුදහම පෝෂණය කර ආරක්ෂා කිරීම මෙම රාජ්‍ය ආයතන දෙකේ ම වගකීමක් වනු ඇත. ඒ අනුව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මෙම ජාතික වැඩසටහන සඳහා මුල්‍යමය දායකත්වය ලබාදීම මහත් පුණ්‍ය කර්මයකි.

දහම් දැනුම ලබා ගැනීමට දිවයින පුරා විහිදී සිටින ශිෂ්‍ය පරපුර මහත් උනන්දුවක් දක්වති. ගුණාත්මක හා වෘත්තීය මට්ටමට ගැළපෙන ආකාරයෙන් බුදුදහම පිළිබඳව පූර්ණ දැනුමක් දහම් පාසල් ගුරුවරුන්ට ලබාදී ශිෂ්‍ය පරපුර දැනුවත් කිරීම සඳහා දරනු ලබන මෙම ප්‍රයත්නය ඉදිරියට නො කඩවා ක්‍රියාත්මක කිරීම ගම් මට්ටමින් බුද්ධිමතුන් බිහි කිරීමේ ක්‍රියාදාමයක් වනු ඇත.

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම වකවානුව තුළ ඩිප්ලෝමා සහතිකපත්ලාභී ගිහි පැවිදි දහම් පාසල් ගුරුවරුන් 1039 ක් දෙනා හට සිය වෘත්තීය අභිමානයෙන් යුතුව ඉදිරියේදී කරගෙන යෑමට ධෛර්යය හා ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන අතර මෙම සත් කාර්යය සංවිධානය කළ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සියලු ආචාර්ය හා නිලධාරී මණ්ඩලයටද මාගේ ප්‍රණාමය පුද කරමි.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]