UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සෙන් දහමෙන් වර්ණවත් වූ එච්.ඒ. කරුණාරත්නයන්ගේ බෞද්ධ චිත්‍ර

එච්.ඒ.කරුණාරත්න නම් ප්‍රවීණ සිත්තරා 1929 අපේ‍්‍රල් 20 වනදා හොරණ බණ්ඩාරගමදී උපත ලැබීය. මොහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ හොරණ තක්ෂිලා මහ විදුහලෙනි. පාසල් යන අවධියේ කරුණාරත්නයන්ගේ චිත්‍ර කලා ගුරුවරයා වූයේ සිංහල ප්‍රධාන චිත්‍ර කලා අධ්‍යාපන ප්‍රථම නිලධාරි වූ බී. එස්. විජේරත්න මහතායි.


එච්.ඒ. කරුණාරත්න

පසු කාලීනව 1952 දී කලායතනයට ඇතුළු වී පින්තාරු කිරීමේ පාඨමාලාව කරුණාරත්නයන් විසින් 1958 දී අවසන් කරන ලදී. පසුව 1959 - 61 අතර කාලය තුළ චිත්‍ර කලාව පිළිබඳ පර්යේෂණ කරමින් ජපානයේ ටෝකියෝවේ ලලිතකලා හා සංගීතය පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලයෙන් මේ විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගත්තේ ය. පසුව එයින්ද නොනැවතුන කරුණාරත්නයන් 1965 - 1966 වසර වල ඇමරිකාවේ නිව්යෝක්හි ප්‍රාට් (PRATT) ආයතනයේ ලිතෝග්‍රැපි චිත්‍ර කලාව හැදෑරුවේ ෆූල්බ්‍රයිට් ශිෂ්‍යයත්වයක් ද දිනා ගනිමින්.

කෙසේ වෙතත් රජයේ කලායතනයේ ඉගෙනුම ලබන අවධියේ කරුණාරත්නයන්ගේ චිත්‍ර කා ගුරුවරයන් වූයේ මහා කලාගුරු ජේ.ඩී. ඒ. පෙරේරා, ඩේවිඩ් පේන්ටර් හා ආචාර්ය ස්ටැන්ලි අබයසිංහ යන අයයි. පසු කාලීනව කරුණාරත්නයෝ 1975 සිට 1989 දක්වා කාලය තුළ රජයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර කලාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු  වශයෙන් සේවය කළහ.

මොහුගේ් බෞද්ධ චිත්‍ර අතර පසුකාලීනව අර්ධ ව්‍යක්ත (SEMI ABSTRACT) අයුරින් සිතුවම් කරන ලද “මායා දේවියගේ සිහිනය’’ නමැති කෘතිය අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙස අපට හැඳින්විය හැකිය. එම චිත්‍රය තම ගුරු බී.එස්. විජේරත්න මහතාට පරිත්‍යාග කළ අතර අදටද එය ඔහුගේ නිවසෙහි දක්නට ඇත.

ජපානයේ අධ්‍යාපනය ලබන අවධියේ ජපන් සෙන් දහමත්, ජපන් හයිකු කවිවල ආභාෂයත් කරුණාරත්නයන්ගේ චිත්‍රවලට බෙහෙවින් බලපා ඇති වග බොහෝ විචාරකයින්ගේ මතය වේ. එම නිසාම එම ආභාෂයෙන් ඇඳි ‘සඳපායා’ නම් චිත්‍රයත්, ‘රිද්මය’ නම් චිත්‍රයත් ජපන් රජය විසින් අති විශාල මුදලකට මිලදී ගැනීම ශ්‍රී ලාංකික සිත්තරෙකුට කළ විශාල ගෞරවයක් වැනිය. එයට අමතරව මොහු අතින් නිර්මාණය වූ ‘නිවන’ නම් චිත්‍ර පෙළද මොහුගේ බෞද්ධ චිත්‍ර කලා එකතුවේ ඇති අතිවිශිෂ්ට චිත්‍ර ලෙස හැඳින්විය හැකිය.

අඳුරෙන් ආලෝකයට යන බෞද්ධාගමේ උසස් ඉගෙනීම් හරඹය එකම වර්ණ මාලාවල ප්‍රභේද භාවිතා කරමින් නිර්මාණය කිරීමට තරම් කරුණාරත්නයන් උත්සාහ ගෙන තිබෙන්නේ බෞද්ධාගමෙහි තිබෙන අධ්‍යාත්මික ගුණය විනාශ නොවන පරිද්දෙනි. මෙම චිත්‍ර ඇතැම් අවස්ථාවල බෞද්ධාගමික ග්‍රන්ථවල මුල් කවර සැරසීමටද යොදාගෙන ඇත්තේ කරුණාරත්න චිත්‍ර ශිල්පියාට ගරු කිරීමක් වශයෙනි.

කරුණාරත්නයන්ගේ බෞද්ධ චිත්‍ර අතර තවත් වැදගත් චිත්‍රයක් වනුයේ ලී කැපුම්  ( WOOD CUT ) ක්‍රමයට නිර්මාණය කළ සමාධි බුදුරුවක් පෙන්නුම් කරන චිත්‍රයයි. සරල ලී කැපුම් රටාත් ඒ තුළින් විදහා දැක්වෙන ගැඹුරු බෞද්ධ හැඟීම් සියල්ලක් පෙන්නුම් කිරීමට මෙම චිත්‍රය කදිම උදාහරණයකි.

ඒ අතරම කරුණාරත්නයන්ගේ චිත්‍රවල තිබෙන විශේෂ ලක්ෂණය නම් සරල හා චාම් බවයි. ජනකලාවයන්හි සීමිත වර්ණත් ළමා හැඩතලවල සරල බවත්, සෙන් දහමේ අධ්‍යාත්මිකබවත් හයිකූ කවිවල ගැඹුරු බවත් කරුණාරත්නයන්ගේ චිත්‍රවල නිතරම දකින්නට ලැබෙන කලා ලක්ෂණ ය. එමනිසාම, මොහුගේ උසස් චිත්‍ර අතරට චන්ද්‍රකාන්ත පාෂාණය, මල් සුවඳ, සුදු වලාකුළු, සඳපායා, මලෙක සුවඳ, ආරවුල් මැදින් ජීවත්වීම, අස්වැන්න යන කලා කෘති ඇතුළත් ය.

ඒ වගේම පසුකාලයේ මොහු මූර්ති කලාවට ද යොමු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තහඩු උපයෝගී කරගෙන නිර්මාණය වුණු බුදුපිළිමය දක්වන මූර්තියද මොහු අතින් බිහි වූ උසස් කලා කෘතියක් ලෙස අපට හැඳින්විය හැකිය.

ඇලවීම්කරණය සඳහා කැන්වසය යොදා ගනිමින් පසු කාලයේ නිහඬව නිර්මාණ බිහි කරන කරුණාරත්නයන්ගේ බොහෝ චිත්‍ර වලට වර්තමානයෙහි තේමාවන්ද යොදනු නොලැබේ. නරඹන්නා කළ යුත්තේ එම කෘතින් දෙස බලා සමාධිගත වීමයයි. කරුණාරත්නයෝ වැඩිදුරටත් පවසති.

කලාවට මහත් සේවාවක් කරන කරුණාරත්නයන්ට ශ්‍රී ලංකා රජය විසින් සම්මාන ගණනාවක් පුදා ඇත. ඒ අතර 1987 කලාපති සම්මානයෙන් ද 1994 කලාශූරී සම්මානයෙන් ද 1996 විශ්ව ප්‍රසාදිනී සම්මානයෙන් ද 1998 බූන්කා සම්මානයෙන්ද පුදන ලදී. චිත්‍ර ශිල්පියෙකු වශයෙන්ද, මූර්ති ශිල්පියෙකු වශයෙන්ද, දෘශ්‍ය කලා ශල්පියෙකු වශයෙන් කටයුතු කරන එච්. ඒ. කරුණාරත්නයන්ට ගරු කිරීමක් වශයෙන් ලාංකීය දෘශ්‍ය කලා පීඨය වෙතින් ආචාර්ය උපාධියක්ද පසුගිය දිනෙක පුදන ලදී. කෙසේ වෙතත් අපූර්ව හැකියාවකින් හෙබි මෙම චිත්‍ර ශිල්පියා ලාංකීය කලා කෙතට මහඟු සම්පතකි.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]