UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්මුතියෙන් පරමාර්ථයට

“මම” යැයි කියා ගන්නා තමන්ගේ ශරීරයත්, තමා ඉදිරියේ සිටින තවත් කෙනෙකුගේ ශරීරයත්, එම දෙදෙනා අතර පවතින වාතයත් මෙකී පරමාර්ථ සත්‍ය ධර්මතාව අනුව එකම මූල ධාතු සතරක සමවායෙන් නිර්මිත සමස්ථානික බව මෙයින් පෙනෙනු ඇත.

මේසය සහ පුටුව යන වචන දෙක ඇසෙන විට කිසිදු කල්පනා කිරීමකින් තොරව ක්‍ෂණිකව අපේ සිතට උපකරණ දෙකක් අරමුණු වෙයි. ඒ දෙක වෙන් වෙන්ව හඳුනා ගැනීමද කිසිදු අපහසුවකින් තොරව අපට කළ හැකි ය. මක්නිසාද යත්, මේ මේසයය මේ පුටුවය යනුවෙන් ගැනෙන සංඥා බහුලීකත ධම්මාරම්මණයක් ලෙස මනෝ ධම්ම ධාතුවෙහි තැන්පත් වී ඇති බැවිනි.

අකුරු තුනක් අනුපිළිවෙළකට එකතු කර මේසය යන වචනය නිර්මාණය වී ඇත. මේ අකුරු වෙන්ව ගත් විට හෝ මාරු කර යෙදූ විට මේසය යන සංඥාව ඇති නොවේ. තවද එක් එක් භාෂාවලද වෙනස් අකුරු යෙදේ. අකුරු එකතු කර වචන සාදා ගැනීම මිනිසා විසින් කරන ලද්දකි. වචනය තුළින් අර්ථයක් උපදී. අර්ථය මඟින් අදහසක් උපදියි. අදහස හට ගන්නේ සිතෙහි ය. ඒ අදහස නැවත මතුකර ගැනීම සංඥාවයි, හෙවත් හඳුනා ගැනීමයි.

සියල්ලෝම එක්ව මේසයට පුටුව යනුවෙන් ද, පුටුවට මේසය යනුවෙන්ද යෙදීමට අප සම්මත කර ගෙන එලෙස භාවිතා කළහොත් කුමක් වේද? කුඩාතර අවදියේ සිට ගබඩා කරගෙන තිබූ පූර්ව සංඥාවෙන් ඉවත් වීමට අපට බලවත් අපහසුතාවයක් ඇතිවන නිසා ලොකු පටලැවිල්ලක් එවිට ඇති වෙයි. නමුත් භාෂිත, ලිඛිත යන දෙකෙහිම ආයාසයෙන් මේ මාරුව යොදාගෙන පරපුරෙන් පරපුරට ඉදිරියට යන විට දුර අනාගතයේ දී මේසයට පුටුවත් පුටුවට මේසයත් යන ව්‍යවහාරය එනු ඇත. මෙලෙස පූර්වයෙහි වෙනස් කළ නම් අද භාවිතා කෙරේ. මිනිසුන්ගේ නම් ද වෙනස් කරන බව අපි දනිමු.

මෙලෙස ඉන්ද්‍රිය බද්ධව හඳුනා ගැනීම පිණිස යොදන නම් සම්මුති නාම වෙත්, එමගින් මතු කෙරෙන සංඥාව සම්මුති සංඥාවයි. අර්ථාවබෝධය පිණිස භාෂාව උපයෝගී වන්නේ මේ සම්මුති පිළිවෙළ අනුව බව පෙනෙනු ඇත. මනුෂ්‍ය නොවන වෙනත් සතුන්ට ද සංඥා උපදී. ඒ සඳහා ඔවුනට ප්‍රධාන වන්නේ ඉන්ද්‍රිය සංවේදතාවයත් ශබ්දයත් යන දෙකයි. සම්මුතියෙන් ගන්නා දේ සත්‍යයයි ගත් විට එය සම්මුති සත්‍යය වෙයි. යම් තැනෙක සිට දැන් වේලාව පෙරවරු 9යි කිවහොත් එතැනට එය සත්‍යයකි. නමුත් පෘථිවිගෝලයේ අනෙක් පැත්තේ තැනකට එය සත්‍ය නොවේ. ඒ අනුව සම්මුති සත්‍යය ඒකාන්ත සත්‍යය නොවේ.

ඊළඟට මේසය නමින් අප හඳුනන දකින උපකරණයේ ව්‍යුහය විමසන විට එය ක්‍රමවත්ව සකස් කර ගත් ලී දඬු කිහිපයකත් ඇණ කිහිපයකත් එකතුවක් බව පෙනී යයි. එනම්, තවත් සම්මුති නාම කිහිපයකින් හැඳින්වෙන උපාංග සමූහයක එකතුවක් බව පෙනෙයි. ඒවා ගළවා වෙන්කර ගොඩ ගැසුවොත් මේසය යන සංඥාව අහෝසි වෙයි. මේසය යන්නෙන් ධ්වනිත, අර්ථයත් අදහසත් එම ලී ගොඩ මඟින් ජනිත නොවේ. ඒ නිසා මේසය යනු සත්‍ය වශයෙන්ම නැත්තා වූ අර්ථයකි. මේ අනුව අර්ථය වශයෙන් ගත් කළ සත්‍ය වශයෙන් නොපවතින්නේ නම් ඒවා හීනාර්ථ නමින් විස්තර කෙරේ.

මෛත්‍රිය යන සම්මුතිනාමයෙන් දැක්වෙන චිත්ත ස්වභාවය ගනිමු. මෙය වැඩිය යුතු මානසික ස්වභාවයකි. එනිසා එහි අඩු වැඩි තත්ත්වයන් තිබේ. නමුත් අඩු, වැඩි, කුඩා, මහත් කවර ආකාරයකට විමසා බැලුවත් මෛත්‍රිය මෛත්‍රියමය. එනිසා එහි අර්ථය සත්‍යවශයෙන් පවතින්නේම වෙයි. මෙසේ සත්‍ය වශයෙන් ලැබෙන අර්ථය පරමාර්ථ ලෙස හැඳින්වේ. ඒ සඳහා යොදා ඇති නම සම්මුති නාමයකි. අර්ථ වශයෙන් පරමාර්ථ වේ. ආචාර්ය වල්පොල රාහුල හිමියෝ පවසන අන්දමට, රෝසමලට මිණී මලයයි කීවත් රෝස මලෙහි සුවඳ එසේම පවතින්නා සේය. ලෝභය, ද්වේෂය, මෝහය, කරුණාව, ශ්‍රද්ධාව වැනි අර්ථයෝ පරමාර්ථ වෙත්. පරමාර්ථ ධර්මයෝ ඉන්ද්‍රිය ගෝචර නොවෙත්.

පරමාර්ථ ධර්මයන් විස්තර කිරීම සඳහා ද වචන අවශ්‍ය වෙයි. අක්‍ෂර, වචන, වාක්‍ය මගින් අදහසක් ප්‍රකාශ කිරීම භාෂාවක ප්‍රධාන වූ කෘත්‍යයයි. වචන වනාහි මිනිසාගේ සම්මුති නිර්මාණය නිසා, සම්මුති ව්‍යවහාරයෙන් තොරව පරමාර්ථ ධර්ම විස්තර කළ නොහැකි බව මෙයින් පෙනේ. මේසය යන හීනාර්ථ ව්‍යවහාරයෙන් දැක්වෙන උපකරණය පිළිබඳව ප්‍රමාණවත් සංඥාව ඇති කර ගැනීමට එම සම්මුති වචනයම සෑහෙන නමුත්, මෛත්‍රිය යන පරමාර්ථ ධර්මය පිළිබඳ ප්‍රමාණවත් සංඥාව ඇති කර ගැනීම සඳහා එම වචනය ප්‍රමාණවත් නොවේ. භාෂාවේ වචන රාශියක් ඒ සඳහා යොදා ගත යුතු වෙයි. එහෙත් එපමණකින්ම ඒ අවශ්‍යතාව ඉටු කර ගත නොහැකිය. ඉන්ද්‍රිය ගෝචර නොවන ධර්මයක්, සම්මුති වචන සමූහයකින් විස්තර කරන විට ඒ ධර්මය ඉන්ද්‍රිය ගෝචරව ගැනීමට උත්සාහ කෙරෙයි. නමුත් එය කළ නොහැකිය. එනිසා පරමාර්ථ ධර්ම සංඥා ස්වකීය සන්තානය තුළම උපදවා ගත යුතු වූ සාන්දෘෂ්ටික හා ඕපනයික ධර්මතා වෙති. ඒ නිසා පරමාර්ථ ධර්ම විස්තර කිරීමට භාෂාවක වචන හෙවත් සම්මුතිය ප්‍රමාණවත් නොවේ.

ඊළඟට සම්මුතියෙන් සංඥා වේදයිත වූ මේසය යන හීනාර්ථයෙන් ගත් උපකරණය තව දුරටත් විමසීමේ දී එහි ඇත්තේ ලීදඬු සහ ඇණ කිහිපයක් බව කලින් දැක්වුණි. ඒවාද හීනාර්ථයෝ ය. ඒවා තවදුරටත් බිඳ විමසා බැලුවහොත් ලී දඬු සහ ඇණ යන සංඥා අහෝසි වෙයි. එවිට ලී කුඩු සහ ඇණ (යකඩ) කුඩු සම්මුති උපදී. ඉදිරියට තවත් විමසන විට ඒ සංඥා ද අහෝසි වෙයි. මේ විමසුම අනන්තය කරා ද නොඑළඹෙයි. අභිශූන්‍යත්වයට ද පත් නොවෙයි. එනම් කිසි විටකත් කෙළවර නොවන හෝ කිසිවක් ඉතිරි නොවන ස්වභාවය නොගනී. මේ දෙකෙන්ම වියුක්ත වූ ඉන්ද්‍රිය ගෝචර භාවය ද ඉක්ම වූ, තවදුරටත් බිඳිය නොහැකි වූ, එහෙත් සත්‍ය වශයෙන් පවතින්නා වූද ධාතු සතරකට හෙවත් නූතන ව්‍යවහාරය අනුව ශක්ති හතරකට පත්වීමෙන් මේ විමසුම කෙළවර වෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනු ඒ ධාතු ස්වරූප සතරයි. ඒවා පරමාර්ථ ධර්මයෝ වෙත්. මේ ධාතු සතර ඉන්ද්‍රිය ගෝචර නොවන නිසා, ඒවා පිළිබඳ යම් ආකාරයක සංඥාවක් ඇති කර ගැනීම සඳහා පඨවි යනු පස් ලෙස ද ආපෝ යනු ජලය ලෙසද තේජෝ යනු ගිනි ලෙසද වායෝ යනු වාතය ලෙසද දැක්වෙන අවස්ථා ඇත. නමුත් පසෙහි ද ජලයෙහි ද ගින්නෙහිද වාතයෙහි ද මේ ධාතු සතරම අඩු වැඩි ලෙසින් පවතී.

යම් කිසි ක්‍රියාවකින් අප බලාපොරොත්තු වන ඵලය හඳුන්වනු ලබන තල කිහිපයක් වෙත්. ඒවා අභිමතාර්ථ, අපේක්‍ෂණ, අරමුණු හා පරමාර්ථ වශයෙන් ප්‍රධාන කොටස් හතරකින් යුක්තය. එහි අවසාන ඵලය පරමාර්ථ වේ. එම උපරිමයෙන් එහාට තවත් ප්‍රතිඵලයක් ලද නොහැකි ය. පරම සතුරා කිවහොත් ඊට වැඩි සතුරෙක් නැත. පරම මිත්‍රයා, පරමාදර්ශය, පරම ප්‍රේමය, පරම සුන්දරත්වය, පරමානන්දය, පරමාභිලාශය, පරම පවිත්‍රත්වය, පරම නිෂ්ටාව වැනි යෙදුම් අපට හුරු පුරුදු ය. ඒ අනුව පරමාර්ථ යන්නෙහි තේරුම ද නිරවුල් ව ගත හැකි ය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ට පරමාර්ථ ධර්මයෝ යැයි කීවේ එහෙයිනි. සමස්ත විශ්වයම රූප ධාතු සංස්කරණයකි. ඉර, හඳ, තාරකා, වළාකුළු, පෘථිවිය, වාතය, ගස්, ගල්, ඇළ, දොළ, ගංගා, ආලෝකය, ශබ්දය, ගඳ, සුවඳ, රසය ආදී සත්ත්ව අසත්ත්ව අවිඤ්ඤාණක සවිඤ්ඤාණක සියල්ලම රූප ධාතු වෙත්, මේ සියල්ලේම මැවුම්කරු (දෙවියන් වහන්සේ) ඉහත කී ධාතු සතර ය. ඒ නිසා ඒවා මහා භූත රූප ලෙස හැඳින්වේ.

“මම” යැයි කියා ගන්නා තමන්ගේ ශරීරයත්, තමා ඉදිරියේ සිටින තවත් කෙනෙකුගේ ශරීරයත්, එම දෙදෙනා අතර පවතින වාතයත් මෙකී පරමාර්ථ සත්‍ය ධර්මතාව අනුව එකම මූල ධාතු සතරක සමවායෙන් නිර්මිත සමස්ථානික බව මෙයින් පෙනෙනු ඇත. ඒ ඒ ධාතු කොටස්වල අඩු වැඩිතාව අනුව පැවතුම් ත්‍රිත්වයක් මිස රූප ධාතු වශයෙන් වෙනසක් නැත. ඒ කෙබඳු ද යත් ජලය මත පාවෙන අයිස් කැටයත් ජලයත් වෙන් වෙන්ව පෙනෙන්නාක් මෙනි. අයිස් කැටයත් ජලයම බව සත්‍ය වශයෙන් අපි දනිමු. මේ වෙන් කොට දැකීම හා වෙන්ව දැකීම සිදු වන්නේ ඉන්ද්‍රිය බද්ධව, ඒවා සම්මුතියෙන් ගන්නා නිසාය. තවත් අයුරකින් කිවහොත් ප්‍රඥප්තියෙන් ගැනීම නිසා ය. මෙකී පරමාර්ථ සම සම්බන්ධතාව නොපවත්නේ නම් කෙනෙකුට තවත් අයෙකු කෙරෙහි මෛත්‍රිය පැතිරවිය නොහැකිය යන කාරණය සත්‍යයක් යැයි පිළිගත හැකි ය.

ප්‍රඥප්තියෙන් හෙවත් සම්මුතියෙන් ගන්නා දේ සත්‍ය වශයෙන්ම පවතින ධර්මතා නොවන නිසා හීනාර්ථ ලෙස ගැනෙන බව මුලින් සඳහන් කෙරිණි. ඒ අනුව සත්‍ය වශයෙන්ම නොපවතින එහෙත් පවතින්නේයැයි දැනෙන දේ හීනාර්ථ වෙත්, සත්‍ය වශයෙන්ම පවතින එහෙත් පවතින බව නොදැනෙන දේ පරමාර්ථ වෙත්, නමුත් සම්මුතියෙන් තොරව පරමාර්ථ ධර්ම විස්තර කළ නොහැකි ය.

සත්ත්වයා යනු හුදෙක් රූප කලාප සමුච්චයක් පමණක් නොවේ. එකිනෙකට ප්‍රත්‍ය වූ නාම රූප ධර්මයන්ගේ සන්ධානයක් බව බුදුදහම අපට පෙන්වා දෙයි. නාම ධර්මයෝ කැලම පරමාර්ථ ධර්ම වෙත් ස්කන්ධ වශයෙන් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ලෙසද චෛතසික පිළිවෙළ අනුව ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර ලෙසද විස්තර කෙරෙන නාම ධර්මයන් පංචේන්ද්‍රයන්ට ගෝචර නොවේ. අසූනවයක් වූ සිත් ද දෙපනසක් වූ චෛතසිකයෝ ද පරමාර්ථ ධර්ම වෙත්, නමුත් ඒවා දැක්වීමට යොදාගෙන ඇති සියලුම නම් සම්මුතියෙන් යොදා ගත් ඒවා ය. ඒ නම් මඟින් ප්‍රකාශ කෙරෙන අර්ථ හීනාර්ථ නොවේ. නමුත් ඒ නම් සඳහා යොදා ඇති වචන වල අර්ථ පරමාර්ථ නොවේ. ඒ නිසා එක් වචනයකින් දැක්වෙන සම්භාව්‍ය වූ පරමාර්ථය තේරුම් කර දීමට තවත් සම්මුති වචන රාශියක් අවශ්‍යවෙයි. ඒ වචන රාශිය මඟින් අප තුළ උපදවන්නේ සම්මුති සංඥාවය අර්ථයන් පමණි. නිවන යන පරමාර්ථ අවබෝධය ඇති කරවනු පිණිස වචන රාශියක් උපකාරකරගෙන නිවන කොපමණ විස්තර කළත් ඒ පිළිබඳ පරමාර්ථ සංඥාව නොඑළඹෙයි. එහිදී ඇතිවන්නේ සම්මුති දෘෂ්ටියකි. ඒ දෘෂ්ටිය මඟින් නිවන යනු තවත් එක්තරා පැවැත්මක් ය යන සංඥාවක් අප්‍රකටව ගොඩ නැඟෙයි.

නිවන යනු සාක්ක්‍ෂාත් කළ යුතු පරමාර්ථ ධර්මයක් ලෙස දැක්වෙන්නේ මේ නිසා ය. සතර මග සතර ඵලයද එසේමය. එබැවින් සම්මුතියෙන් ප්‍රකාශ කෙරෙන පර්යාප්තියෙන් සෘජුව ප්‍රතිවේදය නොලැබෙයි. ප්‍රතිවේදය පිණිස මාර්ගය වන්නේ ප්‍රතිපදාවයි. හෙවත් ප්‍රතිපත්තියයි.

ප්‍රතිපදාවෙන් අවබෝධ කර ගත යුතු ලෝකෝත්තර තත්ත්වයන් පර්යාප්තියෙන් වටහා ගත්තේ යැයි ගත හොත් එය ද සම්මුතියෙන් ම ගැනීමක් වෙයි. සම්මුති වූ පර්යාප්තියත් පරමාර්ථ වූ ප්‍රතිවේදයත් යා කෙරෙන පාලම ප්‍රතිපත්තියයි. ඇසූ පමණින් මාර්ග ඵල ප්‍රාප්ති ලත් උසස් ලාභීන් ගැන ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ.

එසේ වූ ඇත්තෝ කවර නම් ප්‍රතිපත්තියක් පිරුවේදැයි කුකුසක් අපට ඇතිවිය හැකිය. අධිගමනය ලබන භවයෙහිම ඒ සඳහා ප්‍රතිපත්ති පිරිය යුතුයැයි ඒකාන්ත කොට දැක්වීමක් බුදු දහමෙහි නොඑයි.

“මම” යැයි ගත හැකි පදාර්ථයක් නැතැයි වදාරන සර්වඥයන් වහන්සේ භික්‍ෂූන් අනුශාසනා කරන විටත් දහම් දෙසන විටත් “මම” යනුවෙන් ව්‍යවහාර කරන බවද, මම යැයි කෙනෙකු නැතැයි කියමින් එසේ ප්‍රකාශ කරන්නේ කෙසේදැයි සමහරු ප්‍රශ්න කරති. සම්මුති හා පරමාර්ථ ධර්ම පිළිබඳව ඉහතින් සඳහන් කාරණ මඟින් මේ අවුල ලිහා ගත හැකි ය. සම්‍යක් සම්බෝධි ප්‍රාප්තියේ දී උන්වහන්සේ සාක්ක්‍ෂාත් කළ අර්හත් ඵලය මඟින් නැති කළේ ‘මම’ නමැති සම්මුති සංඥාව නොවේ. සක්කාය දිට්ඨිය හෙවත් පංච උපාදානස්කන්ධයන් මඟින් නිර්මාණය කෙරෙන මමය, මාගේය, යන පරමාර්ථ ක්ලේශ ධර්මතාවයයි. සෝපාදිශේෂපරිනිර්වාණයේ දී මෙම දෘෂ්ටිය සහමුලින් ම විද්වංශනය කෙරේ. සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතැයි පරමාර්ථ වශයෙන් දැක්වෙන ඉගැන්වීම ඇත නැත යන අන්ත දෙකට නොගෙන වටහා ගැනීමට උත්සාහ කළ යුතු බව පෙනේ. ඇත්තේ ද නොවේ. නැත්තේ ද නොවේ යන යෙදුම් දෙකක් ද ඇත. සම්මුතියත් පරමාර්ථයත් යන දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරව හෙවත් හාත්පසින්ම එකිනෙකට වෙනස් ධර්මතා වශයෙන් නොගෙන තේරුම් ගැනීම අවශ්‍යය. පෘථග්ජන චින්තය සැම විටම සියල්ල සම්මුතියෙන් ගෙන හීනාර්ථයෙන් දැකීමට හැරී පවතී. ඒ හීනාර්ථයන් විනිවිද ගොස් පරමාර්ථය දැකිය හැකි වන්නේ සිතටමය. මක්නිසාද යත් සිත පරමාර්ථ ධර්මයක් බැවිනි.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]