UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙහෙණි සසුන ඇරැඹි

බුද්ධ ශාසනය තුළ භික්ෂූණී සමාජය ආරම්භ වීම සිදු වූ දිනය වන බැවින් බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමිවෙයි. බිනර පොහෝදා සිදු වූයේ මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදිවීමයි. එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහිදී මහාප්‍රජාපතී ගෝතමිය උන්වහන්සේ කරා වෙත එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවනට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබාදෙන ලෙසට තෙවරක්ම ආයාචනා කළාය.

අද බිනර මහේ බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි. ඇසළ මහේ සිට වප් මහ දක්වා වූ කාලය වස් සමයට අයත් වේ. වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත් ය. වස් සමයට අයත් මෙම කාලය තුළ ශාසනික ප්‍රතිපදාවන් හි නිරතවෙමින් මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය සලස්වා ගැනීමට ගිහි පැවිදි සැවොම වඩාත් උත්සුක වෙති.

බුද්ධ ශාසනය තුළ භික්ෂූණී සමාජය ආරම්භ වීම සිදු වූ දිනය වන බැවින් බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමිවෙයි. බිනර පොහෝදා සිදු වූයේ මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදිවීමයි. එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය. එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහිදී මහාප්‍රජාපතී ගෝතමිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවනට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබාදෙන ලෙසට තෙවරක්ම ආයාචනා කළාය.

එහිදී බුදුරදුන් දේශනා කෙළේ ‘’අලං ගෝතමී මා තෙරුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති’’ යනුවෙනි. එහි අර්ථය තථාගත ශාසනයේ කාන්තා පැවිද්ද තමන් වහන්සේට රුචි නොවන බැවින් ඒ කැමැත්ත අත්හරින්න යන්නයි. බුදු සසුනේ කාන්තාවන් පැවිදිවීම වැඩුණු හැල් කෙතක වී බොල් වන ලෙඩ බෝවීමක් ලෙස බුදුරදුන් උපමා කළ අයුරු චුල්ලවග්ග පාලියේ භික්ඛුනීක්ඛන්ධකයෙහි දැක්වෙයි.

මෙම ඉල්ලීම සිදුකළ සැණින්ම බුදුර්දුන් ඒ සඳහා අවසරය ලබා දුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදිවන භික්ෂුණීහු නො දකිති. දුකසේ අපහසුවෙන් එය ලබාගත් කළ ශාසනික බ්‍රහ්මචරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මේ කරුණු සලකා භික්ෂුණී සමාජය පිහිටුවන ලෙස පළමුවර කළ ඉල්ලීම පිළිනොගැනීම බුදුරදුන් යෙදූ සම්‍යක් උපායක් බව පෙනේ. ස්වකීය ඉල්ලීම ඉටු නොවූ බැවින් මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන්ට වැඳ ප්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්ම ගියාය.

බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාල මහනුවර මහ වනයෙහි කූටාගාරශාලා විහාරයෙහි ය. එහිදී ද මහාප්‍රජාපතී ගෝතමිය කලින් රෝහිණී නදී තීරයේදී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය - කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස්වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා, මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණිය හ.

මෙම කාන්තා පිරිස පනස් එක් යොදුනක් ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාර ශාලා විහාරයට ළඟා වනවිට ශරීරය දහදියෙන් තෙත්ව දූවිල්ලෙන් ගැවසී දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණ. එබැවින් විහාරගෙය තුළට ඇතුළුවීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කුටාගාර ශාලාවේ දොරටුව අබියස ශෝකීබරව සිටියහ. මෙසේ දෙවනිවරට පැවිදි වෙස්ගෙන මනා සංවිධානයක් ද ගොඩනගාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන්ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලි ය.

ඉක්බිතිව මහා ප්‍රජාපතී ගෝතමිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැල කළහ. එහිදී ද බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් ආනන්ද හිමියන් ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ් පැවිදිවීමට භාග්‍යය උදාවුණි. තවද මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ටගරු ධර්ම පිළිගනී නම් එයම එතුමිය ගේ් පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බවද බුදුරදුන් ආනන්ද හිමියන්ට වදාළ සේක. එම අෂ්ටගරු ධර්ම පිළිබඳව විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ මෙසේ දැක්වේ.

1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුවද එදින උපසපන් වූ භික්ෂූව දැක වැඳුම් හුනස්නෙන් නැගී සිටීම් ආදී ගෞරව කළ යුතුය.

2. භික්ෂුණිය භික්ෂූන් නැති පෙදෙසක වස් විසීම නොකළ යුතුය.

3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලපොරොත්තු විය යුතු ය.

4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.

5. බර ඇවතකට පත් භික්ෂුණිය දෙසතියකට නො අඩු කාලයක් උභතො සංඝයා ඉදිරියෙහි වත් දෙපෝයක්. මානත් පුරා අබ්භාත විනය කර්මය සිදුකළ යුතුය.

6. උපසම්පදාව ලබනු කැමැති මෙහෙණිය දෑ අවුරුද්දක් ම අවශ්‍ය ප්‍රතිපත්ති සික්ඛ මානාවක වශයෙන් ප්‍රගුණ කොට උභතො සංඝයා ඉදිරියේ උපසම්පදාව ලබාගත යුතුයි.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතු ය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නො කළ යුතු අතර භික්ෂූන් විසින් දෙනු ලබන අවවාද පිළිගත යුතුයි.

මෙසේ මෙම ගරු ධර්ම අට බුදුරදුන් වෙතින් අසා දැනගත් ආනන්ද හිමියෝ මහාප්‍රජාපතී ගෝතමිය වෙත පැමිණ එය විස්තර කර දුන්හ. එය ඇසූ මහාප්‍රජාපතී ගෝතමිය අෂ්ටගරු ධර්ම ජීවිතාන්තය දක්වාම කඩ නොකොට ආරක්ෂා කරන බවට පොරොන්දු වූවාය. ඉක්බිතිව ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන් පැවිදි උපසම්පදාව ලැබූ බව ප්‍රකාශ කළහ. භික්ෂුණී සමාජය ආරම්භ කරමින් බිනරපුර පසළොස්වක පොහෝ දිනෙක මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදි උපසම්පදාව ලැබුවේ මේ ආකාරයෙනි. පසුව අනෙක් කාන්තා පිරිස ද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබු හ.

මෙසේ භික්ෂුණී සමාජය ආරම්භ කිරීම පිළිබඳ වූ බලාපොරොත්තුව ඉටු වී පැවිදි උපසම්පදාව ලබාගත් මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියා ය. ඉක්බිතිව බුදුරදුන් දෙසූ ධර්මය ඇසූ ඕ තොමෝ ධර්මාවබෝධය ලබා භාවනා ක්‍රමයන් ඉගෙන විදර්ශනා වඩා රහත් වූහ.

මෙයින් පසුව යශෝධරා දේවිය ආදීහු ද ප්‍රජා ප්‍රතී ගෝතමිය වෙත පැමිණ පැවිදි වූහ. පසුකලෙක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිමින් මෙහෙණින් වහන්සේලා ඒ ඒ තනතුරෙහි පිහිටුවන සේක, මහා ප්‍රජාපතී ගෝතමියට චිරරාත්‍රඥ හෙවත් පැවිදිව බොහෝ කල් වූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රස්ථානය පිරිනැමූ හ.

කාන්තාවන්ට තිබූ පැවිදිවීමේ අවශ්‍යතාව ඔවුන්ටම තදින්ම දැනෙන තුරුම බුදුරදුන් එය ප්‍රමාද කළ සේක. ඒ අනෙකක් නිසා නොව ස්ත්‍රීන් පැවිදිවීම නිසා අනාගතයේ දී ශාසනයට බොහෝ අභූත චෝදනා එල්ලවීමට ඉඩකඩ සැලසීම නිසායි. එබැවින් එසේ නො වන ආකාරයට කාන්තාවන්ගේම බලවත් උත්සාහයෙන් ම බොහෝ සේ ඉල්ලා සිටීමෙන් ම මහත් ඕනෑකමකින්ම පැවිද්ද ලබා දුන්නොත් එය ගරුවන බව සලකා බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් කාන්තා පැවිද්ද අනුමත කළහ.

මේ අනුව බිනරපුර පසළොස්වක පොහෝ දිනය වූ කලී භික්ෂුණී සමාජය ආරම්භ කොට කාන්තා පරපුරට මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය සලසා ගැනීමට මග පෑදු වස් සමයේ ඉතා වැදගත් පොහොය දිනයක් බව වටහා ගත යුතුය.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]