UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බිබිල ඓතිහාසික කොටසර පියංගල පුදබිම


ටැම්පිට විහාරය සහ චෛත්‍යය

පහළ ඌවේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික පූජනීය ස්ථානයක් ලෙස කොටසර පියංගල රජමහා විහාරය හැඳින්විය හැක. මෙම පුදබිම ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයෙ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන්නකි.


 බුද්ධ ප්‍රතිමා වහන්සේ

කොටසර පියංගල වෙහෙර, දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ පටන් කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය දක්වා දිවෙන කාල පරාසයකට හිමිකම් කියන නටබුන් හා ආරාම සංකීර්ණයකින් සමන්විත ස්ථානයකි. දැනට සොයාගත් නටබුන් අතර අභිලේඛන ගත තොරතුරක් දක්නට නැතත් මහාවංශය, ථූපවංශය, කුඩපත් වැනි ඓතිහාසික මූලාශ්‍රවල මෙම පුද බිම පිළිබඳ ලේඛන ගත සාක්‍ෂි ජීවමානව පවතී.

බුදු සසුනේ දියුණුව උදෙසා විශාල සේවාවක් කළ දුටුගැමුණූ රජතුමා විසින් සාදවන ලද රුවන්වැලි මහා සෑයත් කොටසර විහාරවාසි භික්‍ෂූන් වහන්සේ නමක් අතරත් සම්බන්ධතාවයක් පිළිබඳ ථූපවංශයේ සඳහන් වේ.

“කොටසර විහාරයෙහි වැඩ වසන එක් තෙර කෙනෙකුන් වහන්සේ දාගැබ බදනා උළුවඩුවාට කුළුපග සේක. එසේ හෙයින් තෙරුන් වහන්සේද නුවරට අවුත් වඩුවානන්ට කථා කොට දාගැබ බඳීනා උළෙහි දිග බොල පළල මැනගෙන ගොස් තමන් වහන්සේගේ සියතින් සකස් කොට මැටි මැඩ බොරළු හැර සකස් කොට මැටි ඉදි කොට උළු කපා ඒ උළු වියලා..........

නුවරට අවුත් ඉක්බිති උන්වහන්සේ ඒ කළ ක්‍රියාව රජ්ජුරුවන්ට සැලවී ගියේය.


සීමා මාලකය

රජ්ජුරුවෝ එපවත් අසා වඩුවා විචාරා කොල එක් තෙර කෙනෙකුන් වහන්සේ මාගෙන් මිල නොගෙන උලක් මාගේ දාගැබෙහි ලන ලදැයි විචාරා උපාසකය අපි ආගන්තුකයමිහයි වදාළ සේක. ස්වාමින් කවර රටක වසන සේක දැයි විචාළේය. බලතාට වදාරන සේක් කොටසර පියංගලු විහාරයෙහි වසමිහ උපාසක යැයි වදාළ සේක”

මෙසේ දුටුගැමුණු රාජ්‍ය සමයේ ද කොටසර පියංගල රජමහා විහාරය රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පූජෝපාහාරයට ලක්ව ඇති අයුරු ඉහත උපුටාගත් ථූපවංශ විස්තර කොටසින් පැහැදිලි වෙයි.


විහාරස්ථානයේ දසුනක්

දේවානම්පියතිස්ස රජු ලක්දිව පුරා යොදුනෙන් යොදුන ස්ථූප කළ බව මහා වංශයේ සඳහන් වේ.

“ මහා විහාර කරවනුයේ රුහුණු රට කොටසර ශිලා කඳු තීරයෙහි ඉතා උන්නත භාගයෙහි තිස් රියන් උස මහ දාගැබක් කරවා “ (තුඩපත)

ඉහත සඳහන් ඓතිහාසික මූලාශ්‍ර අනුව දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද යෝජන ථූපයක් කොටසර පියංගල රාජමහා විහාරයේ ඇති බවට හඳුනාගෙන ඇත.

දැනට සොයාගෙන ඇති නටබුන් අතරින් මේ පුද බිමේ ඇති සුවිශේෂ නටබුන් අතර පුරා විද්‍යාත්මක වටිනාකමක් හිමි වන්නේ පධානඝර නම් ගොඩනැගිල්ලටයි. දිගින් මීටර් 13 ක් ද පළලින් මීටර් 11 ද වන මෙය මනරම් ශිලා නිර්මාණයකි.


නටබුන්ව ඇති දළදා වහන්සේ වැඩසිටි මන්දිරය

මෙම පධානඝරය සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ 137-119) දවස තිස්ස නම් ඇමතියෙකු රජුගේ නියමය පරිදි මෙහි දෙමහල් පායක් හා තෙමහල් පායක් කළ බව විහාරස්ථ තුඩපතෙහි සඳහන් ය.

ජනප්‍රවාද අනුව බොහෝ දෙනා මෙය දළදා මාලිගාවක් ලෙස සලකනු ලබයි. පළමුවැනි විජයබාහු රජුගේ පාලන සමයෙන් අනතුරුව ලක්දිව රාජ්‍ය භාර ගනු ලැබුවේ පළමුවැනි වික්‍රමබාහු රජුය. (ක්‍රි.ව. 1111-1113) මොහුගේ පාලනයට එරෙහිවූ සුගලා බිසව දළදා වහන්සේ රැගෙන රුහුණු ප්‍රදේශයට පළා ගිය බව සඳහන් වේ.


බෝධීන් වහන්සේ

රුහුනේ දළදාව සඟවාගෙන සිටි කාලයේ මෙම දෙමහල්පායේ තැන්පත් කරන්නට ඇතැයි සැළකේ. මෙම පුදබිම ආසන්නයේ ඇති උඩ මල්ලැහැව සහ පල්ලේ මල්ලැහැව යන ග්‍රාම නාම අනුව දළදා මාලිගාවේ උඩු මහලට හා පහළ මහලට මල් ලබා දී ඇති නිසා එම ගම් වලට මෙම ග්‍රාම නාම ලැබුණු බව ගම්මු අදටත් විශ්වාස කරති.නුවර යුගයේ ඉදිකරණ ලද ටැම්පිට විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කර ඇත.

මෙම විහාරය නුවර යුගයේ ප්‍රතිමා කලාව හා චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යයනය කිරීමට අවැසි මහගු ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. ටැම්පිට විහාරයේ ප්‍රවේශ මණ්ඩපයේ ඇති මඩොල් කුරුපාව තවත් සුවිශේෂී නිර්මාණයකි.

මහනුවර යුගයේ ඉදිකරන ලද සංඝාවාසය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කර ඇත. නුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම උපයෝගී කොට නිර්මාණය කර ඇති මෙම සංඝාවාසය මැද මිදුල් දෙකකින් සමන්විතය. දොර ජනෙල් උළුවහු පැරණි වාස්තු විද්‍යානුකූ®ලව නිර්මාණය වී ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ කොටසර සඟ පරපුර යනුවෙන් සඟ පරපුරක් ඇරඹි අතර එහි මූලස්ථානය කොටසර විහාරස්ථානය විය.

එහි භික්‍ෂූන් වහන්සේලාට විනය කර්ම කිරීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ මංගල සීමා කණු පිහිටුවා කළ පැරණි සීමා මාලකය මෙම විහාරස්ථානයේ දැනට ද දක්නට ඇත.

වර්තමානයේද වෙල්ලස්ස බින්තැන්න දෙපලාතෙට අයත් පන්සල් 75 ක් පමණ කොටසර සඝ පරපුරට අයත් ය.කොටසර පාර්ශ්වීය සංඝ සභාව ඌව වෙල්ලස්සේ දීප්තිමත් සඟ පරපුරකි.

මෙම ආරම භූමිය තුළ කළුගල් කුට්ටි යොදා නිර්මාණය කරන ලද ඉපැරණි ළිඳක් දක්නට ඇත. දැඩි නියන් සමයක වුවද එහි ජලය සිඳී නොයයි.

මෙය විශ්මිත නිර්මාණයකි. මෙම පුදබිම තුළ පුරා විද්‍යාත්මක වටිනාකමින් අනූන කැඩී බිඳී ශේෂව ගිය නටබුන් අක්කර 12 ක පමණ භූමිභාගයක් පුරා විසිරී ඇත. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අතීතයේ ශ්‍රී විභූතිය සගවා සිටින තෝතැන්නක් ලෙස බිබිල කොටසර පියංගල පුද බිම හැඳීන්විය හැක.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]