UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුමන දිසානායක ලකුණ

සුමන දිසානායක 1922 ජූලි 23 වන දින දකුණු පළාතේ මාතර කඹුරුපිටියට නුදුරු ගතාර නම් ගමෙහි උපත ලැබීය. කුඩා කාලයේ සිටම දිසානායකයන් චිත්‍ර කලාවට මහත් වූ කැමැත්තක් දක්වා ඇත. පසුව මෙතුමා තම පියා සමඟ දිනපතාම ගමේ විහාරයට යෑමත් සමඟ චිත්‍ර කලාවට ඇති කැමැත්ත තව තවත් වඩාත් වර්ධනය වී ඇත.

එකල ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ ඇම්. සාර්ලිස් හමුවී චිත්‍ර කලාව ඉගෙන ගැනීමට මොහු ගත් උත්සාහය ද අසාර්ථක වීය. පසුව මෙතුමා ශාන්ති නිකේතනයට ඇතුළත් වීමට ගත් උත්සාහයත් අසාර්ථක වූ අතර තම හැකියාවන් ස්වෝත්සාහයෙන්ම දියුණු කර ගැනීමට දිසානායකයෝ වෙහෙස ගත්තෝය. පසුව එවකට අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ මැදිහත් වීමෙන් ලංකා කාර්මික විද්‍යාලයට බැඳී චිත්‍ර කලාව වැඩිදුරටත් හැදෑරීමට අවස්ථාව උදා කරගත්තේය. ක්‍රම ක්‍රමයෙන් තම හැකියාවන් වර්ධනය කර ගත් දිසානායක ශූරීන් යුනෙස්කෝ අධි ශිෂ්‍යත්වයක් මත එංගලන්තයේ “හොන්සි “ චිත්‍ර කලායතනයෙන් චිත්‍ර කලාව වැඩිදුරටත් ඉගෙන ගැනීමේ වාසනාව හිමි කර ගත්තේය.

සුමන දිසානායක චිත්‍ර ශිල්පියා ලාංකික නිර්මාණාත්මක බෞද්ධ චිත්‍ර කලාවට මහත් පිටුවහලක් ඇති කර දුන් ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පියෙකු බවට පසුකාලීනව පත්විය.

මිහින්තලයේ කණ්ඨක චෛත්‍යයේ ධාතු ගර්භය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේ එම ධාතු ගර්භයට අවශ්‍ය චිත්‍ර හතරක් නිර්මාණය කළේය. හතරැස් කොටුවේ ද අඩි  8 X8 ප්‍රමාණයට ගැලපෙන පරිදි චිත්‍ර ඵලකයක් නිර්මාණය කිරීමේ මහඟු කාර්යය අත්පත් කර ගත්තේද දිසානායක චිත්‍ර ශිල්පියා ය. ආසියාවේ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් මුද්‍රිත ආසියාවේ ජන කතා පොතෙහි චිත්‍ර ඇඳීම සිදු කළේ ද මේ අපූර්ව චිත්‍ර ශිල්පියායි.

1967 දී කැනඩාවේ පැවැත්වූ විශාල බිතුසිතුවම් තරගයකින් ප්‍රථම ස්ථානය ද මෙතුමා ලැබීය. 1985 වර්ෂයේ සිංගප්පූරුවේ බෞද්ධ පර්යේෂණ සංගමය මගින් ප්‍රසිද්ධ කළ මෙතුමා කතාව ලියා චිත්‍ර ඇඳි “THREE PRINCES”නම් ළමා පොතෙහි චිත්‍ර ද ඉතා ඉහළ මට්ටමක පවතියි. බෞද්ධ කතාවක් මුල් කරගෙන ඇඳි මේ පොතෙහි චිත්‍ර සියල්ලම පාහේ ඉතා නිර්මාණාත්මකය. දිසානායක ශූරීන්ට ආවේණික වූ චිත්‍ර කලා ශෛලියකින් මෙම චිත්‍ර ළමා මනසට ගැලපෙන අයුරින් නිර්මාණය වී තිබීම ද ඉතාමත් වටිනා තත්ත්වයකි. 1985 දී බෞද්ධ ජාතක කතාවක් ඇසුරෙන් ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මහත්මියගේ අදහස් මත ලියූ “THREE FRIENDS” නම් ළමා පොතට චිත්‍ර ඇන්දේ ද මේ විශිෂ්ට චිත්‍ර ශිල්පියායි. සුමට වර්ණ හා අව්‍යාජ හැඩතල විවිධ තාක්ෂණ ක්‍රම ද උපයෝගී කර ගනිමින් ජාතක කතාවේ සාරය කුළු ගැන්වෙන අයුරින් නිර්මාණය කළ මේ අපූර්ව චිත්‍ර සමූහය සහිත ළමා පොත රටවල් රැසක භාෂා කිහිපයකට පරිවර්තනය කර ඇත.

ප්‍රකට ලේඛකයෙකු වන කේ. ජයතිලක මහතාගේ රුවන් කුමාරි ළමා පොත කුස ජාතකය මූලික කර ගත්තකි. මෙහිද චිත්‍ර ඉතා අපූර්ව ආකාරයට බෞද්ධ මූල ධර්මයන්ට අනුකූලව ළමා මනසට කා වදින සේ නිර්මාණය කිරීමට දිසානායක ශූරීන් සමත් වී ඇත.

දිසානායක ශූරීන්ගේ ජීවිතයෙහි සැදෑ සමයේ ඇඳි ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් ශූරීන්ගේ “ලයිට් ඔප් ඒසියා” ( The Light of Asia – By Sir Edwin Arnold )බෞද්ධ පොතෙහි චිත්‍ර සමූහය දිසානායක චිත්‍ර ශිල්පියාගේ බෞද්ධ චිත්‍ර එකතුවේ විශිෂ්ටතාව හා වටිනාකම තව තවත් වැඩිවන බව අවිවාදයෙන්ම අපට ප්‍රකාශ කළ හැක.

මේ චිත්‍ර මාලාවට පච්ච වර්ණ කොළ පැහැයත්, නිල් සහ අඳුරු නිල් මිශ්‍ර දුඹුරු හා දම් පැහැයත්, දුඹුරු, ගඩොල් පැහැ රත හා කහ වර්ණත් බොහෝ චිත්‍ර වලට යොදා ඇත. මේ චිත්‍රවලට සුදු පැහැය එක් කිරීමෙන් එහි අධ්‍යාත්මික රසය හා හැඟීම් උච්ච බවට පත් කිරීමට ද දිසානායක ශූරීන් සමත් වී ඇත. මානව රූපවල සරල හැඩත් සුදු වර්ණය මුසු වූ වර්ණවල සුමට බවත්, නව්‍ය හැඟීම් රසිකයා තුළ ඇති කිරීමට තරම් මේ චිත්‍ර ශිල්පියා උත්සාහ දරා ඇත.

සුමන දිසානායක නම් වූ මේ අපූර්ව චිත්‍ර ශිල්පියා කැනඩාව, බ්‍රසීලය, ජපානය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල චිත්‍ර ප්‍රදර්ශන ද පවත්වා අන්තර්ජාතික කීර්තියට පත් විය. එයට අමතරව ජර්මනියේ ඩ්‍රස්ඩන් කෞතුකාගාරයේ ද, මොස්කව්හි ඔරියන්ටල් කලා කෞතුකාගාරයේ ද මෙතුමාගේ චිත්‍ර රැසක් ස්ථිර ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

බෞද්ධ චිත්‍ර කලාවටත්, අවාජ්‍ය වූ ළමා චිත්‍ර කලාවටත්, නිර්මාණාත්මක භාවාත්මක චිත්‍ර කලාවටත් අපූර්ව සේවයක් කළ සුමන දිසානායක චිත්‍ර ශිල්පියා 1995 සැප්තැම්බර් 06 වනදා අප අතරින් සදහටම සමුගෙන ගියේය.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]