UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යහපත් සන්නිවේදනයක් කරා

ධර්ම කරුණු පරලොව ජීවිතය සඳහා පමණක්ම නොව මෙලොව ජීවිතයට බද්ධවන අයුරු පිළිබඳව පුහුදුන් ජනතාව දැනුම්වත් කළ යුත්තේ යහපත් ධර්ම සන්නිවේදකයන්ය. වර්තමාන ලොකයේ අපේ ජීවිත සාර්ථක කරගැනීමට අවශ්‍ය විද්‍යාත්මක පරිසරය බෞද්ධ දර්ශනයේ පෙන්වාදෙන කරුණු හරහා ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ යුගයේ අවධානය යොමු කළ යුත්තේ ඒ සඳහායි.

ජනතාවගේ ජීවිතය වඩාත් ප්‍රායෝගිකව වෘත්තිමය වශයෙන් තිබෙන ක්‍රියාකාරකම් සකස් කර ගැනීමට නිවැරදිව පවත්වාගෙන යාමට අනුබල දෙන බලපෑමක් කරන ආගමක් “බුදුදහම” කියන්නේ එහි ප්‍රායෝගික පැත්ත වඩාත්ම අපට දැනගන්න පුළුවන්කම තිබෙන්නේ බෞද්ධ දර්ශනය අධ්‍යයනය කිරීම තුළින්, පුද්ගලයාගේ ජීවිතයට අවශ්‍ය කරන අංගෝපාංග බෞද්ධ දර්ශනය තුළ අඩංගු වෙනවා. පුද්ගලයා සමාජය තුළ ජීවත් විය යුතු ආකාරය, එකිනෙකාගේ යුතුකම් ඉටුකළ යුතු ආකාරය පිළිබඳව, නිවැරැදි දැක්මක් බුදුදහම තුළින් ලබාදෙනවා.

විශේෂයෙන් සූත්‍ර පිටකය තුළ මෙහිදී සිහිපත් වෙනවා. ඒ තුළ ඉතාමත් ගැඹුරු දර්ශනයක් තිබෙනවා. නිතරම බණ කියන බණ අහන රටක් ශ්‍රී ලංකාව. ආගම සමඟ සමීප සම්බන්ධයක් ලංකාවේ බෞද්ධයෝ තුළ තිබුණත් අපේ සමාජය තුළ තිබෙන විෂමතාවන් සහ ගැටුම්, අර්බුද, අරගල දෙස බැලූ විට අපට බුදුදහම තුළින් නිවැරැදි දැක්මක් ජනතාව ලබාගෙන තියෙනවද? කියන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙනවා. බෞද්ධ දර්ශනයේ කියැවෙන කාරණා ජනතාවගේ හදවතට කාන්දුවෙලා තියෙනවද කියන කාරණය ගැටලුවක්. ප්‍රායෝගිකව මෙය දකින්න ලැබෙන්නෙ නැහැ.

සමාජ සුබ සිද්ධිය සඳහා එහෙමත් නැත්නම් එකිනෙකාගේ යහපැවැත්ම සඳහා අවශ්‍ය කරුණු කාරණා පිළිබඳ අධ්‍යයනය කරන විට සූත්‍ර පිටකය තුළ විවිධ සූත්‍ර තිබෙන බව පෙනෙනවා. අප සමාජය තුළ ජීවත්වන විට ජීවිතය කුමක්ද කියන කාරණය පළමුව අවබෝධ කරගත යුතු වෙනවා. විශේෂයෙන් මහාපරිනිබ්බාන, සිඟාලෝවාද පරාභව ආදී සූත්‍ර ගත්විට මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා වෙනවා. තමාගෙන් පවුලට, සමාජයට ඉටුවිය යුතු, යුතුකම් පිළිබඳව එහෙම නැත්නම් සමාජය නිවැරැදිව අවබෝධ කර ගැනීම පිළිබඳව මේ සූත්‍ර වල ඇති ගැඹුරු කරුණු නිරීක්‍ෂණය කිරීම තුළින් අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා.

ධම්මචක්කපවත්තන සූත්‍රය ගත්විට ජීවිතයේ යථාර්ථය බොහොම පැහැදිලිව අවබෝධ කරගත හැකි වෙනවා. ධම්මචක්ක පවත්තන සූත්‍රය තුළ උගන්වන කාරණා ගත්විට චතුරාර්යය සත්‍යය ආර්යය අෂ්ටාංගික මාර්ගය වැනි කාරණා ජීවිතය විද්‍යාත්මකව අවබෝධ කර ගැනීමට ඉවහල් වෙනවා සමාජය තුළ ජීවත්වන විට ජීවිතය, දුක පිළිබඳව ද දුක් ඇතිවීමට හේතුව, දුක් නැතිකිරීම, ඊට අදාළ මාර්ගය යනාදී කාරණා විද්‍යාත්මකව අධ්‍යයනය කරන්න ඕනෑ. මොකද? සමාජය තුළ ජීවත්වීමට ජීවිතය පිළිබඳව නිවැරැදි දැක්මක් අවශ්‍යම නිසා.

ලංකාවේ බුදුදහම පැවතිය ද, ඉන්දියාව, නේපාලය, ආශි‍්‍රතව බුදුදහම ප්‍රභවය වුනාට ඒ රටවලට වඩා විශේෂ අවධානයක්, උනන්දුවක් ලොව බටහිර රටවල දකින්න ලැබෙනවා. එම රටවල විද්‍යාත්මකව බුදුදහම තුළ තිබෙන යථාර්ථවාදී බව අවබෝධ කර ගැනීමට සහ ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ ඒවා ප්‍රායෝගිකව භාවිතයට ගැනීමට විශාල උනන්දුවක් දකින්න ලැබෙනවා. අවාසනාවකට අපේ රටේ ආගම ඇදහීම විලාසිතාවක් බවට පත්වෙලා. බුදුදහමේ ඇති විද්‍යාත්මක සත්‍යය, යථාර්ථය, ගැඹුර පිළිබඳව නොසිතා විලාසිතාවක් බවට පත්කර නොගැනීමෙන් ආගම ඇදහීමක් මෙරටේ තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. එනිසා යම් දෙයක් අපි නිවැරැදිව සිතන්නේ ද දකින්නේ ද කරන්නේ ද යනාදි කාරණා පිළිබඳව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා වාචා යනාදි නිවැරැදි ක්‍රියාකාරකම් අටක් ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සාකච්ඡා කැරෙනවා. එම නිවැරැදි ක්‍රියාකාරකම් පුද්ගල ජීවිතයට බද්ධ කරගත්තොත් අපට අපේ ජීවිත සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඉහළම පරිසරය නිර්මාණය වෙනවා කියන කරුණයි මාගේ අදහස.

ඉගෙන ගන්න ළමයි වශයෙන් රැකියා කරන අය වශයෙන් එහෙමත් නැත්නම් ගෙදර වගකීම්, යුතුකම් ඉටුකරනු දෙමව්පියන් වශයෙන් ජීවිතය පිළිබඳව, වගකීම් පිළිබඳව නිසි අවබෝධයක් මේ හරහා ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. එනිසා එහි ප්‍රායෝගිකත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ. අපේ සමාජයේ ජනතාව තුළ මේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් නොමැතිබව ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින් පෙනෙනවා. මෙය අපේ රට අගාධයට යාමත්, එනිසා හොඳ බෞද්ධ සන්නිවේදනයක් ඇති කළ යුතු වෙනවා.

බෞද්ධ දර්ශනයේ සඳහන් වන යහපත් පිළිවෙත් සමාජයේ භාවිතයට ගතයුතු ආකාරය, වර්තමානයට උචිත ලෙස ලබා දිය යුතු වෙනවා. බෞද්ධ යහපත්, නිවැරැදි ප්‍රතිපත්ති පුද්ගල ජීවිත තුළට යොමු කරලීමෙන්ම පමණයි නිවුණු, දියුණු සමාජයක් ගොඩනඟාගත හැකි වන්නේ.

පවුල් ඒකකය තුළ ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීමේදී සිඟාලෝවාද සූත්‍රය ඉතා වැදගත්. දෙමාපියන්ගෙන් – දරුවන්ටත්, සැමියාගෙන් – බිරිඳටත් බිරිඳගෙන් - සැමියාටත් ආදි වශයෙන් ඉටුවිය යුතු යුතුකම් කෙරෙහි අවධානය යොමුකළ යුතුවෙනවා. පවුලේ ඇතිවන දෙමාපිය – දූදරු, ස්වාමි – භාර්යා ගැටලු වලට සෘජුවම හේතුවෙන්නේ එකිනෙකාගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුනොවීමයි.

ඇත්තටම ශ්‍රී ලාංකික බෞද්ධයෝ මෙකී කාරණා දන්නවා. මේ කාරණා ප්‍රායෝගික භාවිතයට නොගැනීම තමයි වරද, එනිසා විය යුත්තේ යහ ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගැනීමට ක්‍රියාකාරීවීමයි. වර්තමානයේ බෞද්ධ අබෞද්ධ ආගමික නායක පිරිස් අතින් විශාල කාර්යයභාරයක් ඉටුවිය යුතු වෙනවා පුද්ගලිකත්වය, ධනය බලය යන බාහිර සාධක නිසා ගුණධර්ම ඇතැම්විට යටපත් වෙලයි තියෙන්නෙ. නොපෙනෙන මිරිඟුවක් පසුපස හඹායන ජනතාවක් නිර්මාණය වෙලා. බලාපොරොත්තු පැතුම් ඉටුකර ගැනීමට අසහනයෙන් දඟලනවා යහපත් බෞද්ධ සන්නිවේදනයක් හරහා ජනතාවගේ ප්‍රායෝගික ජීවිතය යහපත් කළයුතු වෙනවා. ආගමික ජන, නායකවරු වගකීමෙන් කටයුතු කළයුතු කාලයක් එළඹ තියෙන්නේ. ධර්මය ජනහදවත් තුළට සමීප කළයුතු වෙනවා. තම තමන්ගේ පෞද්ගලික ජීවිතය ගොඩනඟාගත යුතු ආකාරය, සංවර්ධනය කරගත යුතු ආකාරය යන කාරණා පුද්ගලයින්ට විහිළුවක්ව පැවතීම සමාජය පිරිහීමේ ලකුණුයි. එනිසා පරාභව ආදී සූත්‍ර දේශනා ජීවිතයේ සාර්ථකත්වයට ඉවහල්වන අයුරු පැහැදිලි කළයුතුයි. ධර්ම කාරණා කියන විට කියවන, අසාසිටින, ජනකායක් නොව ඇතිකළ යුත්තේ ඒවා ප්‍රායෝගිකව භාවිතයට ගන්නා පිරිසකි.

ධර්ම කරුණු පරලොව ජීවිතය සඳහා පමණක්ම නොව මෙලොව ජීවිතයට බද්ධවන අයුරු පිළිබඳව පුහුදුන් ජනතාව දැනුවත් කළ යුත්තේ යහපත් ධර්ම සන්නිවේදකයන්ය. වර්තමාන ලොකයේ අපේ ජීවිත සාර්ථක කරගැනීමට අවශ්‍ය විද්‍යාත්මක පරිසරය බෞද්ධ දර්ශනයේ පෙන්වාදෙන කරුණු හරහා ලබා ගන්න පුළුවන්කම තිබෙනවා.

මේ යුගයේ අවධානය යොමු කළ යුත්තේ ඒ සඳහායි. සමාජය නිවැරැදි කරගත හැක්කේ එවිටයි. අවබෝධය සහ භාවිතය යන කාරණා දෙකම ගුණයහපත් නම් කිසිම පුද්ගලයෙකු අතින් වැරැදි සිදුවන්නෙ නැහැ. තමන් නිවැරැදි නම් සමාජයත් නිවැරදියි. හැමෝම එලෙස හිතනවා නම් සමස්ත සමාජයම නිවැරදි වෙනවා.

සටහන එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]