UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මාරයාගෙන් ගැලවී නිවන් මඟට පිවිසෙමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

 

අපි නිතරම මාරයාගෙ හමුදාව එක්කයි වාසය කරන්නෙ. ඒ මාර සේනාවට කොටු වෙලා අපි හිටියොත්, අපිව නොමගට යන්න පුළුවන්. ඒ මාර සේනාවෙන් අපිට නිදහස්වෙන්න , ගැළවෙන්න බොහෝ උපකාරවෙන්නේ  නුවණින් කල්පනා කිරීම මයි. නුවණින් කල්පනාකරන කොට,  ඒ මාර සේනාවෙන් නිදහස් වෙන්ට අවස්ථාව පෑදෙනවා.

එවිට එයා ධර්මය ඉගෙන ගන්නවා. එකිනෙකාට උපකාර කරනවා. ධර්මය කියා දෙනවා. වත් පිළිවෙත් කරනවා. මේ කටයුතු නිසා සංවරකම වෙනවා. එවිට සේඛ ධර්ම යම් ප්‍රමාණයකින් ඇති වෙනවා. ඒ සේඛ ධර්ම ඇතිවෙන ප්‍රමාණයට සරිලන විදියට සීලය පිරෙනවා. යම් සමාධියක් ඇතිවෙනවා.

යම් ප්‍රඥාවක් ඇතිවෙනවා .ඔන්න ටික කාලෙකින් එයා කල්‍යාණ මිත්‍ර ඇසුරේ එකිනෙකාට ගරු සරු ඇතිව වාසය කිරීම අතහරිනවා. එයා කල්පනා කරනවා. දැන් ඉතින් මම ධර්මය දන්නකෙනා, දැන් ඉතින් මම බණ භාවනා ටිකක් පුළුවන් කෙනා. දැන් ඉතින් මම ධර්මය අනිත් අයට කියල දෙන කෙනා. දැන් මමයි ගරු සරු ලැබිය යුතු කෙනා. මම මේ විදියට කටයුතු කරන නිසා, මම ගරුසරු ලැබිය යුතු කෙනා කියල, යම් කාලෙක එයාට හිතෙනවා. දැන් එතකොට එයා මාර්ගයෙන් පැත්තකට පැන්න නේද?

මේ දේවල් තෝර බේරගන්න පුළුවන් වෙන්නෙ කොහොම කළොත්ද? ප්‍රත්‍යවේක්‍ෂා කළොත්. මම කළ යුතු දේ ද කරන්නේ, නොකළ යුතු දෙයක්ද කරන්නෙ? කියල අපි හොයල බැලුවොත් , අපිට තේරෙයි. මට වැරදුනා කියල. අන්න එතකොට ආපහු එයාට පුළුවන්කම තියෙනවා නිවැරැදි වෙන්න. එවිට බලන්න මේ නිවන් මගේ කොතනකවත් අපට ඉඩක් තියෙනවද තමාට ගෞරව ලබාගැනීම පිණිස, කොතනකවත්, කවදාවත් නෑ. තමා ගෙරවය අපේක්ෂා කිරීම කොතනකවත් නෑ.අන් අයට ගරුකරන්න සිත නැමෙනව නම්, එයාට නිවන් මග විවෘතවෙන්ට පටන් ගන්නවා. එහෙනම් හොඳට තමා ගැන නුවණින් කල්පනා කරල බලන්න. මම අන් අයගෙන් ගෞරවය බලාපොරොත්තු වෙන කෙනෙක්ද? මම අන් අයට ගරු කරන්ට කැමැති කෙනෙක්ද? කියල. අන්න එතන අපිට නිවන් මගට ප්‍රවේශ වෙන්නට පුළුවන් ඉඩ කඩක් තියෙනවා.

අපේ සිත කැමැතියිනම් අන් අයට ගරු කරන්න. නිවන් මගට පිවිසෙන්න අවස්ථාවක් තියෙනවා. අපේ සිත කැමැතිනම්, අන් අයගෙ ගෞරවය ලබන්න. අපිට නිවන් මගට පිවිසෙන්නට තියෙන ඉඩකඩ ඇහිරෙනවා.අපි ආරම්භයේදි අන් අයට ගරු සරුව වාසය කළා කියල, ටික කලකින් ඒ ගරුසරුභාවය අත්හැරියොත්, අපි ප්‍රමාදයට ගොදුරු වෙනවා. ඒ නිසා ආරම්භයේ සිට, පිරිනිවන්පාන තෙක්, අපි අන් අයට ගරු සරු ඇතුව වාසය කරන අය බවට පත්වෙන්ට ඕන. අන් අයගෙන් ගෞරවය අපේක්ෂා නොකරන අය බවට පත්වෙන්ට ඕන. අපි අන් අයට උපකාරයක් කරල, ප්‍රතිඋපකාර විදිහට ගෞරවය බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් අපි ඉගෙනගත්තු දෙයක් මුල්කරල, අපි ගෞරවය බලාපොරොත්තු වෙනවා නම් අපි නිවන් මගින් ඈතට යනවා. ප්‍රමාදයට ගොදුරු වෙනවා. ඒ නිසා කුමන කරුණක් මුල් කරගන්න හෝ වේවා.

තමන්ට ගෞරවයක් අපේක්ෂා කරන හිතක්, ඇතිකර ගන්ට එපා. ඒ ගෞරවය කියන එක අපිට නිවන පිණිස උපකාර වෙන්නෙ නෑ. නිවන පිණිස උපකාර වෙන්නේ අන් අයට ගරු කරන හිතක් ඇති කර ගැනීමයි.

එහෙමනම්, අපි කවුරුත් හොඳට කල්පනා කරල, ඒ නිවන් මග නුවණින් තේරුම් ගන්නට ඕනෑ. ඒ වගේ්ම, ඒ නිවන් මගේ අපි පුරුදු වෙනවද? කියන කාරණාව, ඒ විදිහට තෝරා බේරා ගැනීම පිණිස අපිට ප්‍රත්‍යවේක්ෂා කිරීම බොහෝ උපකාරී වන දෙයක්. අපි යම් කාලෙක ප්‍රත්‍යවේක්‍ෂා කිරීම අතහැරියොත්, අපි දන්නෙ ම නැතුව ප්‍රමාදයට ගොදුරු වෙන්නට පුළුවන්. දැන් වැටහුණා නේද? කාරණාව. අපි නිතරම මාරයාගෙ හමුදාව එක්කයි වාසය කරන්නෙ. ඒ මාර සේනාවට කොටු වෙලා අපි හිටියොත්, අපිව නොමගට යන්න පුළුවන්. ඒ මාර සේනාවෙන් අපිට නිදහස්වෙන්න ,ගැළවෙන්න බොහෝ උපකාරවෙන්නේ නුවණින් කල්පනා කිරීම මයි. නුවණින් කල්පනාකරන කොට, ඒ මාර සේනාවෙන් නිදහස් වෙන්ට අවස්ථාව පෑදෙනවා. ප්‍රත්‍යවේක්‍ෂාව ඒ තරම් බලවත් දෙයක්. ප්‍රත්‍යවේක්‍ෂා කිරීම මත තමයි නිවන් මග පිරිසුදු කරගනිමින් ඉස්සරහට යන්ට පුළුවන්කම තියෙන්නෙ. ප්‍රත්‍යවේක්‍ෂාවෙන් ඈත්වුණ ගමන් අප මාරසේනාවට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. ප්‍රත්‍යවේක්‍ෂාව කියන්නේ මේ ජීවිතයට ආලෝකය සපයන දෙයක් කියල කිව්වේ ඒකයි.

ඒ නිසා ප්‍රත්‍යවේක්‍ෂා කිරීම හොඳට පුරුදු කරගන්න කෙනාට, ප්‍රඥාව පරිපූර්ණ කර ගැනීම දක්වා ම, නිවන් මඟ දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. අද දවසේ ඉගෙන ගත්ත කාරණා මුල් කරගෙන, සියලු දෙනාටම, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද නිවන් මඟට බොහෝ උපකාර වන්නා වූ , ප්‍රත්‍යවේක්‍ෂා කිරීම හොඳින් පුරුදු කර ගැනීමට වාසනාව, ධෛර්ය , හැකියාව, ඉපදේවා, එමඟින් ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම දක්වාම, නිවන් මඟ ගමන් කරන්නට, සියලු දෙනාටම දුර්ලභ වු භාග්‍ය උදාවේවා!

මතු සම්බන්ධයි

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]