UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අමාවක - 2011.8.28

යක්‍ෂාවේශය

කිසිවකුට අල්ලා ගැනීමට අපහසු වනු පිණිස සිරුරේ ගී‍්‍රස් තවරා ගෙන රාත්‍රි කාලයේ ගම්බද නිවෙස්වලට රිංගා සොරකමේ යෙදෙන්නන් හෝ කාන්තාවන් වැළඳ ගන්නා පුද්ගලයන් ගී‍්‍රස් යකුන් යැයි හැඳින්වීමට ජනතාව පුරුදු වී සිටිති. ඉතා කලාතුරකින් අසන්නට ලැබුණු එ බඳු පුවත් අද වන විට ජාතික අර්බුදයක් බවට පත් ව තිබේ. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ වියපත් කාන්තාවන් කිහිප දෙනකු ඝාතනය කළ පුද්ගලයා (සැබවින් ම එම ඝාතන එක් පුද්ගලයකු විසින් කළ ඒවා නො වන බව පසු ව අනාවරණය විය.) හැඳින්වීමට යොදාගත් කහවත්තේ භූතයා යන්න සමඟ ම භීතියක් රටපුර පැතිර ගියේ ය. ඉන් පසු ගී‍්‍රස් යකුන් පිළිබඳ භීතිය බිබිල, සියඹලාන්ඩුව, අලවතුගොඩ, බදුල්ල, රඹෑව, ගිරාඳුරුකෝට්ටේ, මහියංගණය යන ප්‍රදේශවල ද පැතිර යන අයුරු දක්නට ලැබිණ.

මේ ගී‍්‍රස් යකුන් පිළිබඳ කතා ඛේදවාචකයක් බවට පත්වූයේ හපුතලේ කොටලාගල වත්තේ කම්කරුවන් විසින් සෝමසුන්දරන් මහේන්ද්‍රන් (අවු. 35) හා සිල්වෙස්ටර් ඩග්ලස් (අවු. 37) යන දෙදෙනා ඝාතනය කිරීමත් සමඟ ය. වෙළෙඳාමේ ගිය අහිංසකයන් දෙදෙනෙකු ගී‍්‍රස් යකුන් යැයි පවසා මෙසේ ඝාතනය කිරීමට එරෙහි ව ප්‍රදේශවාසීහු දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත් වූ හ.

තොටලාගල සිද්ධියෙන් දින හතරකට පසු (පසුගිය 15 වන දා) නැඟෙනහිර පළාතේ කින්නියා ප්‍රදේශයෙන් බරපතළ සිදුවීමක් වාර්තා විය. කින්නියා නාවික හමුදා කඳවුරෙහි ගී‍්‍රස් යකෙකු සඟවා සිටිතැයි චෝදනා කොට ප්‍රදේශවාසීන් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා කඳවුරේ ආරක්‍ෂාවට ගුවන් හමුදාව, යුද හමුදාව හා පොලීසිය කැඳවා තිබිණ. එහි දී කලහකාරී ලෙස හැසිරුණු විසිහතර දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් නිදහස් කරන ලෙස ද ප්‍රදේශවාසීහු කලහකාරී ව හැසිරුණ හ. එය ගී‍්‍රස් යක් සංකල්පය උපයෝගී කැර ගෙන සිදු කළ සැලැසුම් සහගත ප්‍රහාරයක් යැයි පැවැසේ. එම ප්‍රදේශයේ නීති විරෝධී ජාවාරම් කරුවන් ඊට නායකත්වය දී ඇති බව ද, තමන් ගේ නීති විරෝධී ජාවාරම් පවත්වා ගෙන යෑමට නාවික හමුදා කඳවුර බාධකයක් ලෙස සලකා එම වැඩපිළිවෙළ දියත් කැරැ ඇති බව ද ප්‍රකට ය.

කෙ සේ වූව ද ගී‍්‍රස් යකුන් පිළිබඳ පුවත් එයින් අවසන් වී නැත. එ බඳු සිදුවීම් කිහිපයක් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත මෙ සේ වාර්තා කැර තිබිණ.

“හොරොව්පොතාන පොලිස් වසමේ පුහුල්වැව ගම්මානයේ තරුණ මවක් සිය දරුවන් දෙදෙනා සමඟ නිදා සිටියා ය. ඇස්බැස්ටස් තහඩු වහල මත යමකු ඇවිදිනවා මෙන් ඇයට දැනිණ. රාත්‍රී 11 ද පසු වී ඇති මේ මොහොතේ වහල මත ඇවිදින්නේ ගී‍්‍රස් යකෙකු යැයි ඇය සිතුවා ය. සැලෙන හදින් ඇය පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා විස්තරය කීවා ය. සැතපුම් හයක් දුරකතර ගෙවා මහ රෑම පොලීසිය ආවේ ය. වහල සෝදිසියට ලක් කෙරිණ. වහල මත සිටියේ ගී‍්‍රස් යකෙකු නො ව කලවැද්දෙකි.”

“තල්දෙණ බොලියද්ද ගම්මානයේ ජනයා ද ගී‍්‍රස් යකාට බියෙන් රැය පහන් කරමින් සිටිය හ. අවදානමකට වඩා සූදානම හොඳ යැයි කියන්නාක් මෙන් ගී‍්‍රස් යකුන් දෙදෙනකු බලවත් පරිශ්‍රමයක් දරා අල්ලා ගැනීමට ගම්මු සමත් වූ හ.එක් ගී‍්‍රස් යකෙකුගේ ජංගම දුරකතනයෙහි එම තරුණයාගේ ම අපූරු ඡායාරූපයක් විය. සුදු සහ රතු පැහැය යොදාගෙන යක්‍ෂයකු ගේ විලාසයෙන් එම තරුණයාගේ රුව එහි තිබිණ. පොලිස් පරීක්‍ෂණවල දී අනාවරණය වූයේ ප්‍රදේශයේ වෙළෙඳසැල් තුනක් කොල්ලකෑමේ චෝදනා මේ තරුණයන් ට තිබෙන බව ය. හොරු ගී‍්‍රස් යකුන් බවට පත්් ව යළිත් හොරු බවට පත් වූයේ එ සේ ය. හාළි ඇළ දික්වැල්ල වතුයායේ තේ දළු නෙළමින් සිටි කතුන් බියට පත් කළ ගී‍්‍රස් යක්කු සිටිය හ. ඉන් එක් ගී‍්‍රස් යකෙක් අල්ලා ගැනීමට ගම්මු සමත් වූ හ. හේ යකෙකු නො ව සාමාන්‍ය මනුෂ්‍ය තරුණයෙකි.”

මේ තත්ත්වය කෙතරම් බරපතළ දැයි කිවහොත් ගී‍්‍රස් යකුන් මුවාවෙන් නීති විරෝධී ක්‍රියාවල නිරත වූවන් හා ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පුද්ගලයන් 286 දෙනකු පසුගිය සතිය වන විට අත්අඩංගුවට ගෙන තිබිණ. ගී‍්‍රස් යකුන් පිළිබඳ මිථ්‍යාව ජනතාවට පැහැදිලි කිරීම සඳහා පොලිසීයට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබේ. ඒ අනුව පසුගිය සතිය වන විට ගම්මාන 1886 ක රැස්වීම් පවත්වා මහජනතාව දැනුවත් කළ බව පොලීසිය පවසයි.

මේ තරම් බරපතළ අර්බුදයක් නිර්මාණය වූයේ කෙ සේ ද?

විකෘති මානසිකත්වයෙන් යුත් පුද්ගලයන්, සමාජ විරෝධී කණ්ඩායම් හෝ වංචනික පුද්ගලයන් මේවා පිටුපස සිටිය හැකි ය. එහෙත් ඊට අවශ්‍ය දුබල සමාජ පරිසරයක් නොමැති නම් මේවා මෙ සේ පැතිරී නො යනු ඇත. එ පමණක් ද නො ව මේ සෑම සිදුවීමකදීම පාහේ දක්නට ලැබුණු සාමූහික ප්‍රචණ්ඩත්වය හා නීතිය නො සලකා මහජනයා ක්‍රියා කිරීම අවධානය යොමු කළ යුතු කරුණකි.

ගී‍්‍රස් යකුන් පිළිබඳ සිද්ධීන් ගෙන් ප්‍රකාශ වන දුබල සමාජ මානසිකත්වය, පරපීඩා කාමුකත්වය, විකෘති ලිංගික චර්යාවන්, නීතියේ අධීපත්‍ය බිඳ දැමීමේ රුචිකත්වය ආදියට විසැඳුම් අවශ්‍ය කැරේ. මේ තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාව පොලීසියට හා හමුදාවට ඇතත් ඒවා සමාජයෙන් ඉවත් කිරීමේ හැකියාව එම අංශවලට නොමැත. එ බඳු හැකියාවක් ඇත්තේ පන්සල වැනි විශිෂ්ට සමාජ ආයතනයකට පමණි.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]