UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බදුල්ලගම්මන ගුණරතන හාමුදුරුවෝ

ඓතිහාසික කොටසර පියංගලු රාජමහා විහාරය, බදුල්ලගම්මන පුරාණ විහාරය, වෑගම ශ්‍රී නන්දාරාම විහාරය යන විහාරයන්හි අධිපති, වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙන්හි කෘත්‍යාධිකාරී, විශ්‍රාමලත් පිරිවෙන්පති, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ඌව පළාත් පිරිවෙන්) ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ, අධ්‍යාපන දර්ශනවේදී, සාමවිනිසුරු බදුල්ලගම්මන ගුණරතන නා හිමියන්ට වෙල්ලස්ස, බින්තැන්න හා මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනැමීමේ උළෙල නිමිත්තෙනි.

සිය උපන් බිමේ නිදහස පතා සටන් බිමට පිවිසීමේ වරදට ජීවිත හා දේපල අහිමි කරගත් වෙල්ලස්සේ අපේ මුතුන්මිත්තෝ අකමැත්තෙන් වුවද තම දරු මුණුපුරන් වෙත දායාද කළේ ඉරි තැළුණු බිමකි. එ පසුබිම මතින් වීර්යයෙන් නැගී සිටින වෙල්ලස්සට යෝධ ශක්තියක් සපයන්නේ වෙල්ලස්සේ සඟ පරපුරයි. උන්වහන්සේලා ජාතියේ සැබෑ මුර දේවතාවුන් ලෙස නායකත්වය ගෙන ක්‍රියා කරති. එකී සඟ පරපුරෙහි දීප්තිමත් සඟ රුවනකි අභිනව අධිකරණ සංඝ නායක ධූරයෙන් පිදුම් ලබන බදුල්ලගම්මන ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

උන්වහන්සේ ඓතිහාසික කොටසර පියංගල රාජ මහා විහාරය, වෑගම ශ්‍රී නන්දාරාමය, බදුල්ලගම්මන පුරාණ විහාරය යන විහාරයන්හි අධිපතිත්වය දරති. වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙන්හි පරිවේණාධ්‍යක්‍ෂ ධූරය ද හොබවති. එසේම ඌව පළාතේ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ වරයෙකි.

මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවියෙන් පිදුම් ලැබූ අතර සාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ යන ගෞරව නාමයට ද හිමිකම් කියති. ප්‍රදේශයේ ආගමික, සාමාජයීය, සංස්කෘතික කාර්යන්හිදී නායකත්වය දරන හිමි නමකි.

1949 සැප්තැම්බර් 15 වැනි දින බිබිල කුඩා බදුල්ලගම්මන දී උපන් ජයසුන්දර ආරච්චිලාගේ මුතුබණ්ඩා දරුවා සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියාය. කුඩා කිවුලේ පරපුරේ ජයසුන්දර ආරච්චිලාගේ සුදුබණ්ඩා මහතා හා සිටිසේකර මුදියන්සේලාගේ සුදු කුමාරිහාමි මහත්මිය දෙමාපියන් වූහ.

බිබිල මධ්‍ය මහා විද්‍යාලයෙන් 5 ශ්‍රේණිය දක්වා අකුරු කළ ඔහු වෑගම සිය ලොකු අම්මාගේ නිවසේ විසීම බෙහෙවින් ප්‍රිය කළේ, දෛවයට අත දීමක් ලෙසය. මෙම අවධිය වෑගම ගම් පියසේ ශ්‍රී නන්දාරාමය නමින් මනරම් විහාරස්ථානයක් ඉදිවෙමින් පැවති කාලයයි. එවකට එහි වැඩ විසූයේ වෙල්ලස්ස, බින්තැන්න දෙපළාතේ හා මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මල්ලැහැවේ ශ්‍රී ධම්මපාල නාහිමිපාණෝය. විහාරස්ථානයේ ඇසුර ප්‍රිය කළ මෙම දරුවා එහි ප්‍රතිඵලයක් ලෙස 1963 සැප්තැම්බර් මස 05 වැනි දින බදුල්ලගම්මන ගුණරතන නමින් ඓතිහාසික කොටසර පියන්ගලු රාජමහා විහාරස්ථානයේ දී පැවිදි බිමට පත්විය. ඒ මල්ලැහැවේ ශ්‍රී ධම්මපාල ගුරු හිමියන් වෙතිනි.

වත්තේගම ශ්‍රී විද්‍යාදර්ශන පිරිවෙන, නාපේ ශ්‍රී සීලානන්ද පිරිවෙන යන විද්‍යස්ථාන වලින් අධ්‍යාපනය හැදෑරූ ගුණරතන පොඩිහාමුදුරුවෝ 1972 ජුනි මස 14 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ. උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළුව සිංහල විෂය පිළිබඳව ගෞරව උපාධියක් ලදහ.

ඉමහත් පරිශ්‍රමයකින් තමා ලද ශාස්ත්‍ර ඥානය දැයට දායාද කරන්නට මුලින්ම උන්වහන්සේ වරම් ලද්දේ කැප්පෙටිපොළ ශ්‍රී සෝමානන්ද පිරිවෙනෙහිය. මේ අතර සිය ගුරුහිමියන් වූ ධම්මපාල හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු වෑගම ශ්‍රී නන්දාරාමයේ භාරකාරත්වයට පත් වූහ.

ඓතිහාසික කොටසර පියංගලු රාජමහා විහාරස්ථානය පිරිවෙන් ආයතනයක් ආරම්භ කිරීමට යෝග්‍ය පින්බිමක් බව විහාරස්ථ ආදි කර්තෘ හිමිවරුන් අවබෝධ කරගෙන සිටි නමුදු එය යථාර්ථයක් කරන්නට හැකිවූයේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේටය. ඒ 1982 වර්ෂයේ එවක තම ගුරු හිමියන් වූ මල්ලැහැවේ ශ්‍රී සෝභිත හිමිපාණන් සමඟ එක්වීමෙනි. මෙසේ ඇරඹි ශ්‍රී සද්ධර්මාලංකාර මූලික පිරිවෙනෙහි පරිවේණාධිපති ධූරයට පත්වූහ. 2006 – 02 – 21 දින අවුරුදු 29 ක් වූ සිය විශිෂ්ට ගුරු සේවයෙන් විශ්‍රාම ගන්නා විට නැණ ගුණ පිරි ගිහි පැවිදි විශාල සිසු පිරිසක් ජාතියට දායාද කරන්නට උන්වහන්සේ සමත් වූහ.

1982 වර්ෂයේ කොටසර දී ඇරඹි ශ්‍රී සද්ධර්මාලංකාර මූලික පිරිවෙන 1986 වෑගම ශ්‍රී නන්දාරාමයේ යළි ස්ථාපිත කොට 1999 වර්ෂය වන විට එය මහ පිරිවෙනක තත්වයට හා වර්තමානයේ විද්‍යායතන පිරිවෙනක තත්ත්වයට හා ශ්‍රී සෝභිත ධර්මායතන මූලික පිරිවෙන දක්වා දියුණු කරන්නට උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හේතු විය.

සිය ගුරු හිමියන් ඇරඹූ වෑගම ශ්‍රී නන්දාරාමය සියලු විහාරංගයන්ගෙන් සමලංකෘත කළහ.

උන්වහන්සේ සිය යුග මෙහෙවර විහාරස්ථානයට, පිරිවෙනට සීමා නොකළහ. ප්‍රදේශයට ප්‍රජා නායකත්වය සපයමින් වෑගම සණස සමිතිය, එක්සත් අවමංගල්‍යාධාර සමිතිය, සුමුදු පෙර පාසල, ශ්‍රී ධම්මපාල ගුණානුස්මරණ පුස්තකාලය විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ඇරඹූහ.

ගුරු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ආයතනික කටයුතු සිසු හිමිවරුනට පවරා පසෙක සිට සතුටු වූයේ දරුවන්ගේ දස්කම් බලා තුටුවන පියෙකු විලසිනි. සිය ගුරුදේවයාණන් වූ මල්ලැහැවේ ශ්‍රී සෝභිත නාහිමියන් ගිලන් වූ පසු ගුණරතන හිමියෝ වැඩි කාලයක් ගත කළේ කොටසර පියන්ගලු රාජමහා විහාරස්ථානයේ ය. ගුරු හිමියන් රැක බලා ගන්නා අතරම “ කොටසර පුනරුදය” වැඩසටහන මඟින් එහි සංවර්ධන කටයුතු දියත් කළහ. ගුණරතන හාමුදුරුවෝ උන්වහන්සේගේ ගුරුහිමිවරුන්, දෙමාපියන් දඹදිව පිටත් කරවා පින් රැස් කරවූහ. මහා පින්කම් කළහ. මල්ලැහැවේ ශ්‍රී සෝභිත නාහිමිපාණන් වහන්සේ අපවත් වන තුරුම ළඟින් සිට සියතින්ම උවටැන් කළහ.

2009 වර්ෂයේ ඇරඹි වාර්ෂිකව පැවැත්වෙන කොටසර ඇසළ පෙරහර රුදුරු ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම අනුස්මරණය කරනු වස් ඇරැඹි ලක්දිව පළමු ඇසළ පෙරහර මංගල්‍ය ලෙස ද හැඳීන්විය හැක. මේ නිසාම අවිවේකි දිවියක් ගෙවීමට සිදු විය. සෑම තත්පරයක්ම ඵලදායි කාර්යයක් සඳහා යොදවන්නට එතුමෝ ප්‍රිය කරති.

කොටසර පියංගලු රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ මල්ලැහැවේ ශ්‍රී සෝභිත නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ වෙල්ලස්ස, බින්තැන්න, දෙපළාතේ හා මඩකලපු දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝනායක පදවිය උන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය රත්නය වන බදුල්ලගම්මන ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමීමට සුදුසු බව ප්‍රදේශයේ මහ සඟරුවනගේ ඒකමතික යෝජනාවක් ලෙස මල්වතු මහා විහාරය වෙත ඉදිරිපත් විය. එම යෝජනාව අනුමත කළ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අතිගරු මහා නාහිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභාව එකී අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 01 වන දින මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී ශ්‍රී සන්නස් පත්‍රය පිරිනමනු ලබන අතර අභිනව නාහිමියන් පිළිගැනීමේ උළෙල සැප්තැම්බර් මස 02 වන දින ඓතිහාසික බිබිල කොටසර පියංගලු රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ.


අභිනව නාහිමි පදවි ප්‍රාප්ති උපහාර පූජා මහෝත්සවය

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ නාහිමියන් ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් “ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාල සෝභිත” යන ගෞරව නාමය සහිතව වෙල්ලස්ස , බින්තැන්න සහ මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පදවිය ඓතිහාසික කොටසර පියංගල රාජමහා විහාරය, බදුල්ලගම්මන පුරාණ විහාරය, වෑගම ශ්‍රී නන්දාරාමය යන විහාරයන්හි අධිපති වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙන්හි කෘත්‍යාධිකාරි, විශ්‍රාමලත් පිරිවෙන්පති හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ අධ්‍යාපන දර්ශනවේදී , සාම විනිසුරු බදුල්ලගම්මන ගුණරතන ස්වාමින් වහන්සේ වෙත පිරිනැමීමේ ශාසනික මහෝත්සවය සැප්තැම්බර් මස 01 වන දින පස්වරු 2.30 මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදි සිදු කෙරේ.

එම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර කුමාර රාජපක්‍ෂ, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගාමිනී විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රීවරු මේ සඳහා සහභාගි වෙති.

සන්නස් පත්‍රය පිළිගැන්වීමේ හා අභිනව නායක ස්වාමින් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය සැප්තැම්බර් මස 02 වන දින පස්වරු 2.30 මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය, චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්‍ෂිත විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඌව ශ්‍යාම වංශික නිකායේ මහානායක මහෝපාධ්‍යාය ශ්‍රී සද්ධර්ම භාරතීස්වරාචාර්ය ශාස්ත්‍රවේදි පණ්ඩිත අඹේවෙල ශ්‍රී සෝමානන්ද ප්‍රඥාසාරාභිධාන ස්වාමින් වහන්සේ සහ ඓතිහාසික මහියංගන රාජමහා විහාරයේ භාරකාර ධුරන්දර සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශාසන කීර්ති ශ්‍රී සංඝසෝභන සද්ධර්ම වාගිෂ්වරාචාර්ය පණ්ඩිත උරුලෑවත්තේ ධම්ම රක්ඛිත ස්වාමින් වහන්සේගේ සහභාගිත්වයෙන් බිබිල කොටසර පියංගල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.


ඉටු කළ සේවය උදාරයි

ඓතිහාසික කොටසර පියංගලු රජ මහා විහාරය, බදුල්ලගම්මන පුරාණ විහාරය, වෑගම ශ්‍රී නන්දාරාම විහාරය යන විහාරත්‍රයාධිපති, වෑගම, ශ්‍රී ධම්මාලංකාර විද්‍යායතන පරිවේණාධ්‍යක්‍ෂ හා හිටපු ඌව පළාත් පිරිවෙන් අධ්‍යක්ෂ, ශාසන කීර්ති ශ්‍රී‍්‍ර සද්ධර්ම විභූෂණ, අධ්‍යාපන දර්ශනවේදී, සාම විනිසුරු, ගෞරවාර්හ බදුල්ලගම්මන ගුණරතන ස්වාමීන් වහන්සේ වෙත, ශ්‍යාමෝපාලිවංශික මහා නිකායික මල්වතු පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංසද් වර්ගික කාරක සංඝ සභාව මගින් “ ශ්‍රී ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාල සෝභිත “ යන ගෞරවනාම සම්මුතිය සහිත වෙල්ලස්ස , බින්තැන්න හා මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇති බව අසා මම බලවත් සතුටට පත්වීමි.

උන්වහන්සේ වත්තේගම ශ්‍රී විද්‍යාදර්ශන පිරිවෙනින් හා නාපේ ශ්‍රී සීලානන්ද පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා පේරාදෙණිය විශ්ව විද්‍යලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධිය ලබා ගත්හ.

දක්ෂ ගුරුවරයෙකු ලෙස පරිවේණාස්ථාන දියුණු කරමින් උදාර ශාසනික මෙහෙවරක් ඉටු කළහ.

සමාජ මෙහෙවරට ද කැප වූ උන්වහන්සේ, ප්‍රදේශයේ ජනතාවට ඉටුකළ සේවය ද උදාරය.

උන්වහන්සේ ලැබූ අභිනව තනතුර තම කාර්යයන් තවදුරටත් ශක්තිමත්ව කරගෙන යාමට මහත් රුකුලක් වනු ඇතැයි මම විශ්වාස කරමි.

ගෞරවාර්හ බදුල්ලගම්මන ගුණරතන අධිකරණ නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීභාවයත් චිරජීවනයත් මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


චිර ජීවනය ලැබේවා

ඓතිහාසික කොටසර පියංගලු රජමහා විහාරය, බදුල්ලගම්මන පුරාණ විහාරය, වෑගම ශ්‍රී නන්දාරාම විහාරය යන විහාරත්‍රයන් හි විහාරාධිපති, වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතනයේ පරිවේනාධ්‍යක්‍ෂ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ අධ්‍යාපන දර්ශනවේදී සාමවිනිසුරු අතිගෞරවාර්හ බදුල්ලගම්මන ගුණරතන පණ්ඩිත නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත “ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාල සෝභිත” යන ගෞරවනාමය සහිත වෙල්ලස්ස බින්තැන්න හා මඩකලපුව තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ පුවත අසා මම අතිශය සතුටට පත්වීමි.

විනයධර, ධර්මධර, බහුශ්‍රැත, ශික්ෂාකාමි සංඝපීතෘන් වහන්සේ නමක්වන අතිගෞරවාර්හ බදුල්ලගම්මන ගුණරතන පණ්ඩිත නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත සියම් මහා නිකායේ මල්වතු මහා විහාරයීය මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් මෙසේ නායක පදවියක් පිරිනැමීම ශාසනයේ අභිවෘද්ධිය පිණිස ගනු ලැබූ නිවැරදි තීරණයකි.

දීර්ඝ කාලයක් මෙම සසුන්කෙත ඔපවත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා කටයුතු කරනු ලබන ආදර්ශ සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක් බව උන්වහන්සේ ගේ ශාසනික කටයුතු වලින් පැහැදිලි වේ.

ප්‍රදේශයේ සැමගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීමේලා ලා කැපවී කටයුතු කළ අතිගෞරවාර්හ බදුල්ලගම්මන ගුණරතන පණ්ඩිත නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ උතුම් වූ ගුරු සේවාවට පිවිසෙමින් පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශාල වූ සේවයක නිරත වෙමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි අපමණ වූ වෙහෙසක් දරමින් කටයුතු කළ බව ප්‍රකටය.

2600 සම්බුද්ධත්ව ජයන්ති කාලසීමාව තුළ සමස්ත බෞද්ධ ජනතාව පිළිවෙතින් පෙළගැසෙන මේ මොහොතේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන මහා සංඝරත්නය වෙනුවෙන් මෙවැනි නායක පදවි පිරිනැමීම අතිපූජනීය කටයුත්තකි.” ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාල සෝභිත” යන ගෞරවනාමය සහිත වෙල්ලස්ස බින්තැන්න හා මඩකලපුව තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද අතිගෞරවාර්හ බදුල්ලගම්මන ගුණරතන පණ්ඩිත නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සිදු කරනු ලබන ආගමික සාමාජීය සේවාවන් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ! යි ප්‍රාර්ථනා කරමි.


සුභාශිංසන පිරිනැමීමට ලැබීම සතුටක්

ඓතිහාසික කොටසර පියංගල රජමහා විහාරය, බදුල්ලගම්මන පුරාණ විහාරය, වෑගම ශ්‍රී නන්දාරාම විහාරය යන ත්‍රිත්ව විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ අධ්‍යාපන දර්ශනවේදී, සාම විනිසුරු අති ගෞරවාර්හ බදුල්ලගම්මන ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ “ ශ්‍රී ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාලි සෝභිත” යන ගෞරව නාමයෙන් පිදුම් ලබන අවස්ථාවේදී උන්වහන්සේට සුභාශිංසන පිරිනැමීමට ලැබීම ගැන සතුටු වෙමි.

අපේ හාමුදුරුවන් වහන්සේ 48 වසරක පැවිදි දිවි පෙවෙත තුළ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලෙමින් සිදු කළ සේවය අතිමහත්ය.

බිබිල, වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙන උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්කළ පූජ්‍ය බදුල්ලගම්මන ගුණරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තම ගුරු දේවයාණන් වහන්සේට උපහාර වශයෙන් ශ්‍රී සෝභිත ධර්මායතනය ආරම්භ කරමින් දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදී සිටින සුසිල්වත් ශිෂ්‍ය භික්‍ෂූන් පිරිසක් බිහිකිරීමටද මූලිකත්වය ගෙන කටයුතු කළ බව සිහිපත් කරන්නේ ගෞරවයෙණි.

ගුණරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරලීම සඳහා ගන්නා වෙහෙස අගය කළ යුතුය. ආගමික කාර්යයන්ට අමතරව විවිධාකාර සමාජ සේවා වැඩ සැලසුම් රාශියක්ද උන්වහන්සේගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.මේ නිසා උන්වහන්සේගේ ශාසනික හා සාමාජික සේවාවක් පිළිබඳව ඌව පළාත් වාසින් තුළ ඇත්තේ ගෞරව අභිමානයකි.

ශ්‍රී ධර්මකීර්ති ශ්‍රී ධම්මපාල සෝභිතාභිධාන උපාධිය පදවිය සහිත වෙල්ලස්ස බින්තැන්න සහ මඩකලපුව තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන පූජ්‍යපාද බදුල්ලගම්මන ගුණරතන නායක ස්වාමීන්ද්‍රයාණන්ගේ ආගමික හා සමාජයීය සේවාවන් තව තවත් සාර්ථකව ඉටු කිරීම උදෙසා ශක්තිය, ධෛර්ය හා ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායි ගෞරව පූර්වකව ප්‍රාර්ථනා කරමි.


විනයධර ධර්මධර යතිවරයාණන් වහන්සේ නමක්

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් කොටසර පියංගල, බදුල්ලගම්මන, වෑගම් ශ්‍රී නන්දාරාම යන විහාරත්‍රයාධිපති පණ්ඩිත බදුල්ලගම්මන ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත වෙල්ලස්ස, බින්තැන්න හා මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය සමග “ ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාල සෝභිත” යන ගෞරව නාම සම්මුතිය පිරිනැමීම නිමිත්තෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කරනුයේ දැඩි බුද්ධාලම්භන ප්‍රීතියෙනි.

වත්තේගම ශ්‍රී විද්‍යාදර්ශන පිරිවෙන් සහ නාපේ ශ්‍රී ශීලානන්ද පිරිවෙනින් උගත මනා මූලික බණ දහම් ප්‍රගුණ කර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබාගත් උන්වහන්සේ අනතුරුව ධර්මශාස්ත්‍රීය හා අධ්‍යාපනික සේවා කටයුතු වලට පිළිපන්හ. කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද මහපිරිවෙනේ උපගුරු හිමිනමක් ලෙසද නියෝජ්‍ය පරිවෙනාධිපති වශයෙන් ද වසර 07 ක පමණ සේවා කටයුතු වල යෙදුනු උන්වහන්සේ බිබිලේ වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙන ආරම්භ කර වෙල්ලස්සේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් බවට එය පත් කළහ. ගුරු උපහාරයක් ලෙස අනතුරුව ශ්‍රී සෝභිත නමින් ධර්මායතන මූලික පිරිවෙනක් ද ඇරඹූහ. මේ වනවිට මෙම විද්‍යස්ථාන දෙකෙහිම ගුරුවරුන් 35 ක් සහ ගිහි පැවිදි ශිෂ්‍ය පිරිස 600 ක් පමණ වන බව තොරතුරු අධ්‍යයනයේදී දැනගතිමි.

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක හිමිනමක් ලෙස ද සේවය කොට ඇති උන්වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් රටට වැඩදායක ගිහි පැවිදි උගත් පරපුරක් රටට දායාද කළහ. විදේශීය රටවල ධර්ම ප්‍රචාරක කටයුතු වලටද සහභාගි වී ඇති නාහිමිපාණෝ ආගමික හා ශාසනික වශයෙනුත් ප්‍රජා සේවාත්මක වශයෙනුත් ගමටත් රටටත් උදාර සේවාවක් සැලසූ උගත් විනයධර ධර්මධර යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ප්‍රදේශයේ කොයි කාගේත් ගෞරවාදරයට බඳුන් වී ඇත. ප්‍රදේශයේ සමිති සමාගම් කිහිපයක නිලතල උසුලමින් ගම් වැසියන්ට කරන ලද විවිධ සේවාවන් ගැන අදත් ගොදුරු ගම් වල වැසියෝ ප්‍රශංසා පූර්වකව සිහිපත් කරති.

අභිනව අධිකරණ සංඝනායක පණ්ඩිත බදුල්ලගම්මන ගුණරතන මාහිමිපාණන් වහන්සේට ස්වකීය ආගමික ශාසනික හා ප්‍රජාසේවාත්මක සේවාවන් තවදුරටත් ඉදිරියට කරගෙන යාම සඳහා දළදා සමිඳු සරණින් නිදුක් නිරෝගී සුව සම්පත්තිය සමග චිරජීවනය උදාවේවායි මම ප්‍රාර්ථනා කරමි.


වැඩසටහන් විස්තරය

2011.09.01 ප.ව.2.30 ට මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදි විංසත්වර්ගීය කාරක මහා සංඝ සභාව වෙත ප්‍රසාද පූජා පැවැත්වීම හා ශ්‍රී සන්නස් පත්‍රය ලබා ගැනීම.

2011.09.02 –ප.ව. 1.30 අභිනව නායක මාහිමිපාණන් වහන්සේ බිබිල නගරයේදී පිළිගැනීම හා රිය පෙරහරින් මල්ලැහැව දක්වා වැඩමවීම. ප.ව. 2.00 ට පිළිගැනීමේ පෙරහැර ආරම්භ වීම – (විහාර පිවිසුම් මාර්ගයේ තොරණ අබියස දී) ප.ව. 2.30 ට උත්සව සභාව ආරම්භය – (කොටසර පියංගල රාජමහා විහාරය) පංචසීලයේ පිහිටුවීම –අභිනව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ කතාව -අභිනව නාහිමි පදවි ප්‍රාප්ති උපහාර පූජා සංවිධායක කමිටුවේ සභාපති බිබිල ප්‍රාදේශීය මහලේකම් එම්.ජී. ඒ. තිලකසිරි මහතා ශ්‍රී සන්නස් පත්‍රය කියවීම :- ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ගෞරවාර්හ පහමුණේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම - ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විජිනිපත පිළිගැන්වීම - බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා ප්‍රසාද පූජා පැවැත්වීම :- මහාභාරකාර තැන්පත් එන්.එස්. ඒ.එස් .සෙනෙවිරත්න මහතා අනගාරික ධර්මපාල භාරයේ ගරු සභාපති නොයෙල් විජේනායක මහතා ,ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ,පී.බී. අමරසේකර මහතා

පැවිදි අනුශාසනා :- ඌවේ ශ්‍යාමවංශික නිකායේ මහානායක, මහෝපාධ්‍යාය ශ්‍රී සද්ධර්ම භාරතීස්වරාචාර්ය ශාස්ත්‍රවේදි පණ්ඩිත අඹේවෙල ශ්‍රී සෝමානන්ද ප්‍රඥාසාරාභිධාන ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඓතිහාසික මහියංගණ රාජමහා විහාරයේ භාරකාර ධුරන්දර සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශාසන කීර්ති ශ්‍රී සංඝසෝභන සද්ධර්ම වාගීශ්වරාචාර්ය , පණ්ඩිත අතිගෞරවාර්හ උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමින්ද්‍රයන් වහන්සේ, ගිහි කතාව :- ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, පී.බී. අමරසේකර මහතා විශේෂ දෙසුම :- පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා මුලසුන දෙසුම :– මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ පුණ්‍යානුමෝදනාව :- අභිනව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]