UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 “මං මුළාවූවෙකුට නියම මඟ පෙන්නුවා වගෙයි”

“එන්න රජතුමනි ... මම ඇඳීන ගත්තෙමි දුර තියාම ... ඔබ තුමන් කොසඹෑ නුවර උදේනි රජ තුමන් බව... අසුන්ගත මැනව.. රජ තුමනි...”

‘එසේය ...’ පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්ස.. අසුන් ගන්නෙමි... මට අවසරයි ස්වාමීනි...’

‘ සුවපත් වේවා... සුවපත් වේවා...’

‘ කෙසේද රජ තුමනි... ඔබතුමා යහතින් රට පාලනය කරගෙන යන බව ආරංචියි...’

‘ ස්වාමීනි.. භාරද්වාජයන් වහන්ස, රට පාලනය කිරීම මහත් භාරදූර කාරියක්.. එහෙත් ස්වාමීනි... කොතරම් කාර්ය බහුල වුනත් ඔබ වහන්සේලා අමතක කළ නොහැකියි... ඒ නිසයි තකහනියක් මෙම ‘ඝෝෂිතාරාමය’ වෙත පැමිණෙන්ට අදහස් කළේ... ස්වාමීනි! භාරද්වාජයන් වහන්ස, මා මෙම විහාරස්ථානයට පැමිණෙන විට අපූරු වූත්, ආශ්චර්යමත් වූත් දර්ශනයක් දුටුවෙමි.

‘ කුමක් ද රජ තුමනි, ඔබ තුමා දුටු අපූරු වූත්, ආශ්චර්යමත් වූත්, දසුන ... ? අප ඉදිරියේ ප්‍රකාශ කරනු මැනවි...’

‘ස්වාමීනි ! මම මෙම ඝෝෂිතාරාමයට එන විට බොහෝ තරුණ භික්ෂූන් වහන්සේ දුටුවෙමි. උන් වහන්සේලාගේ දර්ශනය මා දෙනෙතට රසදුනක් වැනිය ස්වාමීනි ! ...

රජතුමනි, තරුණ වුව ද උන් වහන්සේ පැවැත්මෙන් සංවරයි... ගමන බිමන ශාන්තයි... දකින කාගේත් සිත් සතන් වලට පහන් හැඟුමක් ඇති වන්නේ ඒ නිසාවෙනි.

‘එසේය ස්වාමීනි,... එක්තරා අයුරකින් මසිතට පුදුමයක් ඇතිවෙයි..ඒ අනෙකක් නිසා නොවෙයි ස්වාමීනි ! භද්‍ර යෞවනයේ සිටින අනෙක් තරුණයන් තුළින් මෙබඳු ශාන්ත බවක් තැන්පත් බවක් දැකීම ඉතා අපහසුයි ස්වාමීනි... එම වයසෙහි බොහෝ තරුණයන් විනෝදාශ්වාදයට වඩාත් නැඹුරුව සිටිති. පස්කම් සැප කෙරෙහි ඇලුම් බවක් දක්වති. ඒවා කෙරෙහි එල්බ සිටිති... ඒවා අපේක්ෂාවෙන්ම කටයුතු කරති. ඒවා අපේක්ෂාවෙන්ම හැසිරෙති...’

‘ එය පරම සත්‍යයකි රජ තුමනි... ගිහි ජීවිතය ගත කරන තරුණයන් එසේ ලෞකිකත්වයට බර වීම ස්වාභාවිකයි.

‘පින්වත් භාරද්වාජයන් වහන්ස... මෙම භික්ෂූන් වහන්සේ සියලු දෙනාම භද්‍ර යෞවන වියේ පසුවෙති. එසේම කලු පැහැයෙන් යුත් කෙස් ඇති පිරිසකි... ජීවිතයේ සුන්දරතම වයසෙහි පසුවෙති... උන් වහන්සේ තවම පංච කාම සම්පත් අනුභව කර නොමැත.

එහෙයින් ස්වාමීනි... මෙම තරුණ භික්ෂූන් ජීවිතාන්තය දක්වාම පිරිපුන් පිරිසුදු බ්‍රහ්ම චරියාව නොවෙනස්ව නොසිඳා ආරක්ෂා කර ගන්නේ නම් එයට හේතු ප්‍රත්‍ය වන කරුණු මොනවාද හිමියනි... එයයි මට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය... එය මට පැහැදිලි කර ගත යුතුව ඇත ස්වාමීනි’

‘ පින්වත් රජ තුමනි, ඔබ තුමාට ඇතිවී තිබෙන ප්‍රශ්නය සාධාරණයි. එම ප්‍රශ්නයට සාධාරණ හේතු ඉදිරිපත් කළ හැකියි. අපගේ ශාස්තෘ වූ බුදු රජාණන් වහන්සේ සියල්ල දන්නා සේක. උන් වහන්සේ සර්වඥ වන සේක. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ අයුරින් දේශනා කර ඇත්තාහ. ඒ කෙසේද යත්... ? එන්න පින්වත් මහණෙනි,.. ඔබ මවකගේ වයසෙහි කාන්තාවක් දුටුවහොත් ඇය පිළිබඳ මාතෘ චිත්තය ඇති කර ගන්න. සහෝදරිය සමාන කාන්තාවක් දුටු විට, සොහොයුරියක් වශයෙන් සලකා සිත පිහිටුවා ගන්න. දියණිය සමාන කාන්තාවක් දුටු විට දියැණියක් පිළිබඳ සිතන අයුරින් සිත පිහිටුවා ගන්න...’ යනුවෙනි. මෙහි වැඩ වසන තරුණ භික්ෂූන් වහන්සේ එම අවවාදය අකුරටම පිළිපදිති. උන් වහන්සේ කලු කෙස් වලින් යුක්ත වනවා තමයි... භද්‍ර යෞවන වයසෙහි ඉන්නවා තමයි.... ජීවිතයෙහි පළමු වයසෙහි ඉන්නවා තමයි.... කිසි දිනක පංච කාම සම්පත් අනුභව කර නැතුවා තමයි... රජතුමනි, එසේ වූ නමුත් මෙම තරුණ භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වා පිරිසුදු, පිරිපුන් බ්‍රහ්ම චරියාව දිගු කලක් පවත්වාගෙන යාමේ ප්‍රධානතම හේතුව එයයි රජ තුමනි...’

‘ පින්වත් භාරද්වාජයන් වහන්ස.... මේ සිත කියන්නේ බොහෝ සෙයින් ඇළීම් ඇතිවන දෙයකි. තේරුම් ගැනීම පවා අපහසුයි. ඇතැම් අවස්ථා වල දී මව් සමාන ස්ත්‍රීන් කෙරෙහි පවා ලෝභ සිතක්, ආශාවක් ඇති වෙනවා.. දියණිය සමාන ස්ත්‍රීන් කෙරෙහි පවා ලෝභ සිතක්, ආශාවක් ඇති වෙනවා. එබැවින් පින්වත් භාරද්වාජයනි, මෙවැනි කලු කෙස් වලින් යුක්ත භද්‍ර යෞවනයේ තරුණ භික්ෂූන් වහන්සේලා දිගු කලක් බඹසර ආරක්ෂා කරගෙන සිටිනවා නම් එයට වෙනත් හේතුවක් ඇත්ද ස්වාමීනි... වෙනත් ප්‍රත්‍යයක් ඇත්ද කියා පැහැදිළි කැර දෙනු මැනවි...’

‘ මහරජ තුමනි, අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ විදිහටත් දේශනා කර තිබෙනවා... ඒ කෙසේද යත් ... එන්න පිංවත් මහණෙනි, පාද තලයෙන් උඩ, කෙස් වැටියෙන් යට, සම සීමා කොට නානාප්‍රකාර අසූචියෙන් පිරුණු මේ කය ගැන මෙනෙහි කරන්න... නුවණින් මෙනෙහි කරන්න... මේ ශරීරයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පෙනහැල්ල, අතුණු, අතුණුබහන්, නොපැසුනු ආහාර, අසූචි, පිත, සෙම, සැරව, ලෙය, ඩහදිය, මේද තෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍රා යන මේවා පිරී ඇත. මේ සියල්ල පිළිකුල් සහගතයි. අනිත්‍යය යි. මේ අනුව පිළිකුල් භාවනාව වඩන්න... මෙලෙස උන් වහන්සේ දේශනා කැර ඇත්තාහ. පිංවත් රජතුමනි, මෙම භද්‍රයෞවන වයසෙහි සිටින භික්ෂූන් එම කරුණු පිළිබඳ මෙනෙහි කරති. එම නිසා උන් වහන්සේලාට දිගු කලක් තිස්සේ බඹසර රැකීමෙහි අපහසුතාවයක් නොමැත...’

එසේනම් පිංවත් භාරද්වාජයනි, අපි මෙලෙස සිතමු... යම් ලෙසකින් එලෙස කය ගැන සිතමින් බවුන් වඩන භික්ෂූන් සිටිය හැකියි... ඔවුන් ශීලයත් හොඳින් ආරක්ෂා කරති... සිතත් දියුණු කර ගෙන සිටිති... ප්‍රඥාවත් දියුණු කර ගෙන සිටිති... එවැනි භික්ෂූන්ට නම් එලෙස බඹසර විසීම දුෂ්කර නොවනු ඇත. එහෙත් යමෙක් කය පිළිබඳ බවුන් වඩා නැහැ... එසේම සිල් වඩලත් නැහැ... සිත දියුණු කරගෙනත් නැහැ... ප්‍රඥාව වඩලත් නැහැ... ඔවුන්ට බඹසර විසීම දුෂ්කරයි. ස්වාමීනි, ඇතැම් විට අසුභ වශයෙන් මෙනෙහි කරන්නෙමු’ යි කියමින් සුභ වශයෙන් මෙනෙහි කිරීමට පිළිවන.... ඇතැම් විට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නෙමු ‘ යි නියම වශයෙන් මෙනෙහි කිරීමට පිළිවන. ‘ එසේනම් මෙම තරුණ භික්ෂූන් දිගු කලක් බඹසර විසීමට වෙනත් හේතුවකුත් ඇත්ද ස්වාමීනි... එය මට පහදා දෙනු මැනවි...’

රජතුමනි, දත යුතු සියල්ල දත් ඒ සම්මා සම්බුදු පියාණන් මෙලෙස වදාරා ඇත්තාහ. එන්න පිංවත් මහණෙනි.... අකුශලයෙහි වැළැක් වූ දොරටු සහිත ඉන්ද්‍රියයන් තුළ වාසය කරන්න... ඇසින් රූප දැක නිමිති ගන්න එපා... නිමිත්තක් තබා ඉන් කොටසක්වත් ගන්න අය වෙන්නට එපා.... යම් ලෙසකින් ඇස නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත් පාපී අකුශල සිතිවිලි ඇතිවී අර්බුදයක් හට ගන්නවා නම් එහි සංවරය පිණිස පිළිපදින්න... ඇස රැක ගන්න... ඇස නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න... එලෙසම කනෙන් ශබ්දයක් ඇසීමෙන් අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයක්, පාපී සිතිවිල්ලක් ඇතිවී අර්බුදයක් හට ගන්නවා නම් එහි සංවරය පිණිස පිළිපදින්න. කන රැක ගන්න. නාසය නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයක් , පාපී සිතිවිල්ලක් ඇතිවී අර්බුදයක් හට ගන්නේ නම් එහි සංවරය පිණිසම පිළිපදින්න. නාසය රැක ගන්න, දිව, ශරීරය ආදී පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නා පුද්ගලයන් බවට පත් වෙන්න එපා. යම් ලෙසකින් මනස නමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසල සිතිවිලි ඇතිවී අර්බුදයක් හට ගන්නේ නම් එහි සංවරය පිණිසම පිළිපදින්න. මනස රැක ගන්න. මනස නමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න... මෙලෙස පංච ඉන්ද්‍රියයන් මැනවින් සංවර කර ගන්නා මෙන් අනුශාසනා කර ඇති බැවින්, ඒ අනුව පිළිපදින තරුණ භික්ෂූන් දිගු කලක් බඹසර ආරක්ෂා කර ගනිති...,

පිංවත් භාරද්වාජයන් වහන්ස... ආශ්චර්යයි... ස්වාමීනි... පුදුම සහගතයි... ඒ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කර තිබෙන්නේ මොන තරම් සුභාෂිතයෙක් ද? ... මේ සුන්දර යොවුන් වයසෙහි සිටින, ජීවිතයෙහි පළමු වයසෙහි සිටින... කම් සැප අනුභව නොකළ, තරුණ භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වාම පිරිපුන් වූත්, පිරිසුදු වූත් බඹසර රැකීමේ හේතුව මේකයි... ප්‍රත්‍යය මේකයි ස්වාමීනි,... එකරුණ මම මැනවින් වටහා ගත්තෙමි. එසේම භාරද්වාජයන් වහන්ස, මම වුව ද ඇතැම් වෙලාවන්හි අසංවර ශරීරයෙන්, අසංවර වචනයෙන්, අසංවර සිහියෙන් යුතුව ඉඳුරන් සංවර කර නොගෙන ඇතුළු නුවරට පිවිසෙනවා නම්, එම අවස්ථාවලදී බලවත් ලෙස ලෝභ සිත මාව පීඩාවට පත් කරයි.. එනමුත් භාරද්වාජයන් වහන්ස, කිසියම් වෙලාවක රක්නා ලද කයින්, රක්නා ලද වචනයෙන්, රක්නා ලද මනසින්, සිහියත් පිහිටුවා ගෙන ඉඳුරන් ද සංවර කැර ගෙන ඇතුලු නුවරට යන්නේ නම් ඒ වෙලාවේ දී ලෝභ සිත් මාව පීඩාවට පත් නොකරයි....

භාරද්වාජයිනි.... ඉතා සුන්දරයි... ඉතා සුන්දරයි... යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබූ දෙයක් විවෘත කර පෙන්නුවා වගෙයි. මං මුළා වූවෙකුට නියම මාර්ගය පෙන්නුවා වගෙයි.. ..ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. පිංවත් භාරද්වාජයන් වහන්සේ නොයෙක් අයුරෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කළාහු ය. පිංවත් භාරද්වාජයිනි... මම ද භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නෙමි. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝ රත්නයත් සරණ යන්නෙමි. අද පටන් මාව තෙරුවන් සරණ ගිය උපාසකයකු වශයෙන් සලකනු මැනව.

(සංයුක්ත නිකායෙහි සලායතන වර්ගයෙහි “භාරද්වාජ” සූත්‍රය ඇසුරෙනි )

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා ඉරිදා ය

මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]