UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර දුක නිවූ ශාන්තිනායකයාණෝ

බුදුරජාණන් වහන්සේ මනාව ඉවසීම ප්‍රගුණ කළ උතුමන් වහන්සේ නමකි. රෝගපීඩා සීත, උෂ්ණ මෙන්ම සා පිපාසා පවා බුදුරජාණන් වහන්සේ සම සිතින් අකම්පිතව විඳදරා ගත්හ. අන්‍ය මතවාද වලට මනාව ඇහුම්කන් දෙමින් ඒවා ඉවසූහ. එපමණක් නොව ඇනුම් බැණුම් නින්දා අපහාස සතුරු කුමන්ත්‍රණ, සතුරන්ගේ විවිධ තාඩන පීඩන හොඳින් ඉවසා දරා සිටියහ.

නිසි නායකත්වයකට කදිම නිදසුනක් වන්නේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලබා දුන් නායකත්වයයි.

බුදුරජාණන් වහන්සේගේ නායකත්වය අන් කිසිවෙකුට කිසි දිනක සම කළ නොහැකිය. බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින් මතු වූ නායකත්ව ලක්ෂණ මෙසේය.

1. ඉවසනසුලුබව
2. යථාවාදී තථාකාරීබව
3. අනුකම්පා සහගත බව
4. සුහදශීලී බව
5. නිවැරැදි දර්ශනයක් තිබීම
7. චරිතවත් බව
8. ආදර්ශවත් බව
9. සමානාත්මතාවෙන් යුතු බව
10. සුදුසු පරිදි වගකීම් පවරන බව
11. අනුගාමිකයන්ගේ ආරක්ෂාව සැලසීම.

බුදුරජාණන් වහන්සේ මනාව ඉවසීම ප්‍රගුණ කළ උත්තමයෙකි. රෝගපීඩා සිත, උෂ්ණ මෙන්ම සා පිපාසා පවා බුදුරජාණන් වහන්සේ සම සිතින් අකම්පිතව විඳදරා ගත්හ. අන්‍ය මතවාද වලට මනාව ඇහුම්කන් දෙමින් ඒවා ඉවසූහ. එපමණක් නොව අනුම් බැණුම් නින්දා අපහාස සතුරු කුමන්ත්‍රණ, සතුරන්ගේ විවිධ තාඩන පීඩන හොඳින් ඉවසා දරා සිටියහ. දෙව්දත් ගේ සතුරුකම් ඉවසීම මාගන්දියාගේ කුමන්ත්‍රණය ඉවසීම, සුන්දරී පරිබ්‍රාජිකාවගේ අවමන් ඉවසීම තුළ කැපී පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ කොතෙක් ඉවසීම නම් ගුණාංගය ප්‍රගුණකළාද යන්නයි.

2. යථාවාදී තථාකාරී බව
බුදුරජාණන් වහන්සේ තුළ පැවැති ප්‍රබලම නායකත්ව ගුණාංගයක් වූයේ යථාවාදී තථාකාරීබවෙන් යුක්ත වීමයි. යථාවාදී තථාකාරී බව තුළ ප්‍රතිපත්තිගරුක බව වර්ණය වේ.

3. අනුකම්පා සහගත බව
පූතිගත්ත තිස්ස තෙරුන්ට සියතින්ම උවැටැන් කිරීම, මහාකාශ්‍යප මහරහතන් වහන්සේට උපස්ථාන කිරීම, මුගලන් මහරහතන් වහන්සේට පිහිටවීම, බුදුරජාණන්වහන්සේ තුළ පැවති අනුකම්පා සහගත බවේ නායකත්ව ලක්ෂණය මැනවින් විදහාපාන නිදසුන්ය.

4. සුහදශීලි බව
එක් අවස්ථාවක ධර්ම ශ්‍රවණය සඳහා නිරාහාරව කුස ගින්නේ පැමිණි ගොවියෙකු දුටු බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමට පෙර සුවදුක් අසා කුසගිනි නිවා පසුව ධර්ම දේශනා කිරීම තුළින් තහවුරු වන්නේ සුහදශීලි බවේ ලකුණුය. වරක් බුදුරජාණන් වහන්සේ ගෝසිංහ නම් සල් වනයට වැඩම කළේ ශ්‍රාවක පිරිසක් සඳහා දහම් දෙසීමටය. එහෙත් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කිරීමට ප්‍රථම ශ්‍රාවකයින්ගේ සුවදුක් බැලීමට අමතක නො කළහ.

5. නිවැරැදි තීරණ ගන්නා බව
අභිනිෂ්ක්‍රමණයේ සිට බුද්ධත්වය දක්වා ද බුද්ධත්වයෙන් පසු දහම් දෙසීමේ සිට මහාපරිනිර්වාණය දක්වාද බුදුරජාණන්වහන්සේ ගත් සියලු තීරණ නිර්වද්‍ය විය.

6. නිවැරදි දර්ශනයක් තිබීම
අනවශ්‍ය ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු සැපයීමට ඉදිරිපත් නොවීම තුළ පැහැදිලිවන්නේ බුදුරජාණන් වහන්සේ තුළ නිවැරදි දැක්මක් පැවති බවයි.

7. චරිතවත් බව
එම ලක්ෂණය බුදුරජාණන්වහන්සේ තුළ මැනවින් පැවතුනි. බුදුරජාණන් වහන්සේ රහසිගතව හෝ පාප සිතුවිල්ලක වහලෙකු නොවූ නිසා ‘අරහං’ යනුවෙන් හැඳින්වීම තුළම එකී නායකත්ව ගුණාංගය මැනවින් ඔප්පු කර ඇත.

8. ආදර්ශවත් බව
නායකයා ආදර්ශවත් වනවිට අනුගාමිකයින්ද නිරායසයෙන් ආදර්ශවත් වෙති. බුදුරජාණන් වහන්සේ ගිලාන උපස්ථානයේ අගය දේශනා කර නිහඬ වූයේ නැත. එය ක්‍රියාවෙන් සනාථ කිරීමට සමත් විය. විශාල පිරිසකට අනුකම්පා සහගතවීම, මෛත්‍රිය වැඩීම තුළ සැබෑ නායකත්ව ලක්ෂණයක් වූ ආදර්ශමත් බව පිළිබිඹු කළහ.

9. සමානාත්මතාවයෙන් යුතු බව
බුදුරජාණන් වහන්සේ වැඩවිසූ දඹදිව ඉතා දැඩි ලෙස කුල භේදය කුල පීඩනය පැවතීයේ ය. එහෙත් බුදුරජාණන් වහන්සේ එම කුලභේද පසෙකලා කුඩා තරාතිරමේ කුඩා කුලයකට අයිති වූ කාහට වුවද සිය සසුනේ පැවිදි වීමට අවසර ලබා දුනි.

ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පංචමහා නදීන්හි මහා ජලකද සමුද්‍රයට පිවිසි කල්හි එම ජලය වෙන් වෙන් වශයෙන් නොසලකා මුහුදු ජලය ලෙස හඳුන්වන්නාක් පරිදි කවර වර්ගයකට, අයත් පිරිසක් වුවද සසුන්ගත වූ විට ශාක්‍යපුත්‍රීය ශ්‍රමණ යන නාමයෙන් හැඳින්වෙන බැව් බුදුරජාණන් වහන්සේ පැවසුහ.

10. සුදුසු පරිදි වගකීම් පවරන බව
තම ශ්‍රාවකයන්ට නිසි කල්හි සුදුසු පරිදි වගකීම් පැවරීමට බුදුරජාණන් වහන්සේ නොපසුබට වූහ. ප්‍රඥාවන්තයින් අතරින් අග තනතුර සැරියුත් තෙරුණුවන්ටද සෘද්ධිමතුන් අතර අග තනතුර මුගලන් තෙරුණුවන්ටද ධූතාංගධාරීන් අතර ප්‍රමුඛ තැන මහාකාශ්‍යප තෙරුන් වහන්සේට ද පවරා තිබූහ. ධර්ම භාණ්ඩාගාරික තනතුර ආනන්ද තෙරුන් වහන්සේටද දීර්ඝ කාලීන ශාසනික අත්දැකීම් සම්භාරයක් ඇති භික්ෂූණියක් ලෙස චිරාරාත්‍රඥ භික්ෂුණිය ලෙස මහා ප්‍රජාපතී ගෝතමියටද බුදුරජාණන් වහන්සේ නිසි කළ නිසි ලෙස වගකීම් පවරා ඇත.

11. අනුගාමිකයින්ගේ ආරක්ෂාව සැලසීම
බුදුරජාණන් වහන්සේ සිය අනුගාමිකයින්ට එල්ල වූ චෝදනා උවදුරුවලින් අනුගාමිකයන් නිදහස් කර ඔවුනට නිසි රැකවරණය සැපයුහ. ශ්‍රාවක පිරිස් නොමගට පත් අවස්ථාවන්හිදී අවවාද දී නිසි මහට ගැන්මට පියවර ගත්හ. මේ සඳහා උපක්‍රමශීලිව ක්‍රියාකළ බුදුරජාණන් වහන්සේට නන්ද තෙරුණුවන්ට ඛේමා බිසවට කාල සිටුපුත්හට නිසි මග පෙන්වීම් කර ඒ මග පෙන්වීම් ඔස්සේම අවශ්‍ය ඉලක්කය කරාද රැගෙන යාමට සැබෑ නායකයෙකු ලෙස බුදුරජාණන්වහන්සේ මනා ශාක්‍යතාවයක් දැක්වූ බව මැනවින් තහවුරු වේ.

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]