UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චිත්ත දමනය

මිනිස් මොළය යනු අපූරු ශක්තියක් ඇති ආශ්චර්යවත් අරුම පුදුම වස්තුවකි. මෙයට හානිකර දෙයක් නොකොට එහි ඇති ශක්තීන් මතුවන අයුරින් ක්‍රියාත්මක කළහොත් ඉන් නොකළ හැකි කිසි දෙයක් භෞතික ලෝකය තුළ නොදත හැකිවෙයි.


මිනිස් මොළය යනු අපූරු ශක්තියක් ඇති ආශ්චර්යවත් අරුම පුදුම වස්තුවකි. මෙයට හානිකර දෙයක් නොකොට එහි ඇති ශක්තීන් මතුවන අයුරින් ක්‍රියාත්මක කළහොත් ඉන් නොකළ හැකි කිසි දෙයක් භෞතික ලෝකය තුළ නොදත හැකිවෙයි. එහෙත් ඉන්ද්‍රිය මාර්ගයෙන් මේ මොළයට ඇතුළුවන බලවේගයන් නිසි ලෙස පාලනය නොකළහොත් එය හුදෙක් දොර, ජනෙල් හා සියලු කවුළු හැර දැමූ මහවන මැද පිහිටි ගෙයකට සමාන නිදැල්ලේ හැසිරෙන සර්පයන් ගේ වාසභූමියකට සමාන වනු නොවැලැක්විය හැකිය. මොළයේ ඇති ශක්තීන් රැක ගන්නටත් ඒවා උපරිමයෙන් දියුණු තත්ත්වයට පත්වන්නටත් කිසියම් සැලසුම් සහගත අත්‍යාවශ්‍ය පාලනයක් තිබිය යුතුමය.


මේ සදහා කරුණාව, මෛත්‍රිය පෙරටු කොට ගත් ආචාර ධර්ම පද්ධතියකුත්, සිහිය පෙරටු කොටගත් භාවාන ක්‍රමයෙකුත් තිබිය යුතුය. ඊට අනුකූලවන චිත්ත භාවනාවක් පුරුදු කරන විට ආසය ආනුශය වශයෙන් හඳුන්වනු ලබන විවිධ ආසාවන් ප්‍රතිඝයන් අවිද්‍යාවන් දෘෂ්ටීන් මාන්න ආදිය දුරුවී මොළය ප්‍රභාස්වර තත්ත්වයට පත්ව මිනිසා පරිපූර්ණත්වය කරා ගෙන යනු ලබයි. මේ ප්‍රතිපදාව බ්‍රහ්මචරියා , ශ්‍රේෂ්ඨ චරියා උත්තම චරියාව අනුපුබ්බ පටිපදා ආදි වශයෙන් ඉතා ක්‍රමික පැවැත්මක් ලෙස සැලකිය හැකිය. විසිතුරු උපමාවන්ද උපයෝගි කර ගනිමින් මේ අනුපූර්ව ශික්‍ෂණය මූලික සුත්‍ර දේශනා කිහිපයකට සිත් ගන්නා අයුරු විස්තර කොට ඇත.

මජ්ඣිම නිකායේ උපරි පණ්ණසකයේ එන “ දත්තභූමි” සූත්‍රය එබඳු එක් නිදර්ශිතයකි. “ජයසේන” රාජ කුමාරයා සහ අවිරවත සමානුද්දේසයන් උපැවිදි වන්නට බලාපොරොත්තුව හිඳින්නා අතර ඇතිවූ සාකච්ඡාවක් මුල් කර ගෙන බුදුන් වහන්සේ විසින් රජගහනුවර වේළුවනයෙහිදී දේශනා කරන ලද දත්තභූ®මි සූත්‍රය හත්ථී දමනය සදහා මෙන්ම චිත්ත දමනය සඳහාද විශිෂ්ට පාඩමක් උගන්වාලයි.

රජතුමා “ දඩ ඇතකු” සමඟ වනයට යවන ලද දක්‍ෂ පුරුෂයකු විසින් අල්වා ගෙනෙන ලද වල් ඇතා පසුව රාජකීය හස්ති දඩකයාට භාරදෙයි. මේ ඇතා කැලයටම ඇළුම් කරන හෙයින් කැලයටම හිත යොමන හෙයින් හස්ති දඩකයා ඌ හීලෑ කරන්නට මහත් ප්‍රයත්නයක් දරයි. බිම තදින් සිටවන ලද කණුවක බෙල්ලෙන් බැඳ අණට කීකරුවන තුරු මෙය තව, ඉදිරියට යාම, පස්සට යාම, නැඟී සිටුව හිඳ ගනුව විධාන දෙමින් ඒ අතර ආහාරපානද දෙමින් අණට කීකරු වන තුරු පුහුණුවක් දෙයි. අණට කීකරු වූ පසු ඔහුට ආනෙඤජ ශිල්පය (නොසැලී සිටීමේ ශිල්පය) පුහුණු කරවයි.

ඇතුගේ හොඬෙහි මහ පුවරුවක් (ලැල්ලක්) බැඳ තෝමර ගත් මිනිසෙක් කුන්තලට (ගෙලමත) නැඟ සිටී. තෝමරගත් අත් ඇති තවත් මිනිස්සු ඇතු වට කොට සිටිති. හස්ති දමකයා අංකුසය (හෙන්ඩුව) ගෙන පෙරටුවෙන් සිටී. මෙසේ තබා ගත් ඇතුට තමාගේ කය, ඉදිරිකය පසුකය හිස, කන්, වලග සොඩය ආදි සැම අවයවයක්ම කවර තත්වයක් යටතේ වුවද නොසොල්වා සිටීමට පුහුණුව ලබාදෙයි. මෙසේ පුහුණුව ලත් ඇතුට භීෂණ සංග්‍රාම භූමියෙහි වුවද රණබෙරහඬ , වංශ , සංඛ නින්නාදයන් මැද අවි පහර, අසිපහර, ඊ පහර වෙඩි පහර වුවද කාගෙන අකම්පාව මුහුණ දෙමින් ඉදිරියට යාමේ ශක්තිය ලැබෙයි.

මෙසේම වන ලැහැබක් වත් ගිහිගෙයින් නික්ම ගත් බඹසර මඟට පිළිපන් භික්‍ෂුව ගතයුතු ගමන් මග (අනුපූර්ව ප්‍රතිපදාව) ලුහුඬින් මෙසේ සඳහන් කළ හැකිය.

1. සිල්වත්ව කය වචනය මනාව හික්මවා ගත් භික්‍ෂුව සුළු වරදෙහි පවා බිය ඇතිව ලොකු කුඩා ශික්‍ෂා පදයන් රැකීමෙහි උත්සුක විය යුතුය.

2. සීලවන්තයකු වූ පසු ඇස කණ ආදී පසිඳුරන් මනා පාලනයකට යටත් කොට ඉඳුරන් අරමුණු ගැනීමේ සංවරතාවයෙන් සකස් විය යුතුය

3. ඉන්ද්‍රිය සංවරණයෙන් සකස් වන භික්ෂුවට බුදුන් වහන්සේ ඊළඟට දෙන උපදේශය “භෝජතේ මත්තඤඤුතාවය ගැනයි. මේ අහර ගැනීම හුදෙක් යැපීම හා ජීවිතය පවත්වා ගැනීමට පමණක් බව ප්‍රත්‍යපේක්‍ෂාවෙන් කළ යුතුය.

4. ඊළඟ ආචාර ධර්මය නින්ද පාලනය කර ගැනීමය. රාත්‍රි මධ්‍යම යාමයේදී සිහිනුවණින් යෙදී දකුණු ඇලයෙන් පශ්චිම යාමයේ අවදිවෙමැයි සිත දකුණැලයෙන් නින්දට පත්ව අළුයම අවදිව සක්මන් ඉරියව්වේ ගෙවමින් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරගත යුතුය.

5. නින්ද පාලනය පුරුදු වූ භික්‍ෂුවට බුදුන් වහන්සේ ඊළඟට දෙන උපදේශය මෙයයි. භික්‍ෂුව ඔබ දැන් හැම දෙයක්ම කිරීමේදී එනම් යාම්, ඊම්, සිටීම්, හිඳීම්, සැතපීම්, අවදිවීම්, නිහඬව සිටීම්, අවයව හැකිලීම් , දිගහැරීම්, කෑම් බීම් මළ මුත්‍රා කිරීම් ආදි කුදු මහත් සියලු කටයුත්තකදී සිහිනුවණින් යෙදී සියල්ල කිරීමට හුරුවන්න

6. සිහි නුවණින් කටයුතු කරන අතර වන සෙනසුන්, රුක්මුල් ගිරිගුහා ආදි ඕනෑම විවේක සෙනසුනක් ඇසුරු කරද්දී විසම ලෝභය ව්‍යාපාදය, දුරුකොට සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීවීම සිහි නුවණින් කටයුතු කිරීම මීළඟ ප්‍රතිපදාව විය යුතුය.

7. ඊළඟ පියවර විය යුත්තේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ උද්ධච්ච, කුක්කුච්ච විචිකිච්ඡා යන පංච නීවරණයන් තාවකාලිකය. හෝ ඔබා තබන්නට ශක්තිමත් ධ්‍යාන බලයක් ලබා ගැනීමට උත්සාහ ගැනීම විය යුතුය. පිළිවෙළින් ප්‍රථම, ද්විතීය, තෘතීය , චතුර්ථ, පංචම යන ධ්‍යාන චින්තනයන්ගේ බලයෙන් සිත ඉතාම කර්මන්‍ය පවිත්‍රතාවට යොමු කිරීමයි.

මෙසේ පංචම ධ්‍යාන චිත්තය දක්වා සිත සකසා ගත් සිත දියුණු කරගත් පුද්ගලයාට ලැබෙන

ඉද්ධි විධ, දිබ්බසෝත , පරචිත්ත විජානන අභිඥා නුවණ පංච ස්කන්ධයන් ලත් ලෞකික ජීවිතයක ලැබිය හැකි ඉතා උතුම් තත්ත්වය බව සලකතත් ඉන් නොනැවතී ආසවක්ඛය සඳහා මනස මෙහෙය විය හැකි වෙයි.

මේ ‘බ්‍රහ්මචරියා ශික්‍ෂණ ක්‍රමය’ සදහා බුදුන් වහන්සේ විසින්ම අනාගත ලෝකය සඳහා පෙන්වාදි ඇති අගනා මාර්ගය ඉතා කෙටියෙන් සඳහන් කරතොත් මෙසේ කරුණු 4 කින් පෙන්වාදිය හැකිය.

1. සප්පුරිස සංසේවා (උදාර පුද්ගල ඇසුර)
2. සද්ධම්ම සවනං (යහපත් මාර්ගෝප දේශ )
3. යෝනිසෝ මනසිකාරං (නුවණින් සැලකිය යුතු චින්තනය)
4. ධම්මානු ධම්ම පටිපත්ති ( උගත් දේ තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේද යහපත පිණිස යෙදවීම

මේ මග අනුගමනය නොකළහොත් වන්නේ බුදුන් වහන්සේ ‘දන්තභූමි’ සූත්‍රයෙහි දක්වා ඇති පරිදි කැලෑ සතුන් ශීඝ්‍රයෙන් බිහිවීම පමණක් විය හැකියි.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]