UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යහපත් විවාහය

සිඟාලෝවාද සූත්‍රයේ දි පෙන්වාදෙන අඹුසැමි යුතුකම් ජීවමාන බුදුරදුන්, දවස මෙන්ම කවරදාටත් ඕනෑම සමාජයකට ද එක ලෙස වැදගත් වනු පෙනේ. සමාජයේ පවුල් වල ඇතිවන අවුල් තත්ත්වයන් නිසා ප්‍රශ්න රැසක පැටලී සිටින අඹු සැමියන් වෙතින් මේ යුතුකම් ඉටුකරලීමට ක්‍රියාකරන්නේ නම් තම තමන්ගේ ජීවිත මගින් දෙලොව යහපත උදාකරගත හැකිවෙයි.

බෞද්ධ දර්ශනය මගින් පුද්ගලයාගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ලබාදෙන උපදෙස් අපමණ වේ. පුද්ගලයාගේ ජීවිතයක මෙලොව අභිවෘද්ධිය, යහපත දියුණුව ගොඩනැඟීමට උරදෙන ප්‍රධාන සාධකයක් ලෙස විවාහය හඳුන්වා දිය හැකිය. පවුලක අඹු සැමි දෙපාර්ශ්වය සතු ගුණධර්ම එහිලා ඍජුවම බලපෑම් ඇති කරනු ලැබේ. විවාහ ජීවිතයක් යහපත්ව පවත්වාගෙන යමින් දියුණු විය හැකි කරුණු රැසක් සිඟාලෝවාද සූත්‍රයේද අන්තර්ගතය. සිඟාලෝවාද සූත්‍රයෙහි සමාජය කණ්ඩායම් කිහිපයකට බෙදා දක්වමින් ඒ එක් එක් සමාජ කණ්ඩායමට අදාළ යුතුකම් හා වගකීම් හඳුන්වා දී ඇත. ඒ අතර එක් සුවිශේෂ සමාජ කණ්ඩායමක් වන්නේ අඹුසැමියන්ය.

සමාජයක් ගොඩනැගෙන්නේ පවුල් ඒකක එකතුවෙනි. සමාජයේ ඉදිරි ගමනට යහ පැවැත්මට පවුල් ඒකක බලපානු ලැබේ. සමාජයක් පිරිහීමට පත්වන්නේද අඹුසැමි දෙපාර්ශ්වය අතර ඇතිවන පරිහානිය තුළිනි.

සිඟාලෝවාද සූත්‍රයේ දි පෙන්වාදෙන අඹුසැමි යුතුකම් ජීවමාන බුදුරදුන්, දවස මෙන්ම කවරදාටත් ඕනෑම සමාජයකටද එක ලෙස වැදගත් වනු පෙනේ. සමාජයේ පවුල් වල ඇතිවන අවුල් තත්ත්වයන් නිසා ප්‍රශ්න රැසක පැටලී සිටින අඹු සැමියන් වෙතින් මේ යුතුකම් ඉටුකරලීමට ක්‍රියාකරන්නේ නම් තම තමන්ගේ ජීවිත මගින් දෙලොව යහපත උදාකරගත හැකිවෙයි.

සිඟාලෝවාද සූත්‍රයෙහි ස්වාමියා - භාර්යාව විෂයෙහි ඉටුකළ යුතු යුතුකම් පහක් හඳුන්වා දෙයි. එනම්

බිරිඳට ගරු කිරීම
අවමන් නොකිරීම
පරදාර සේවනය නොකිරීම
.බිරිඳට ගෙදර වගකීම් පැවරීම
ඇඳුම් පැළඳුම් සපයාදීම

බිරිඳ ස්වාමියාගේ සේවිකාවක ලෙස නොසලකා ඇයට ඇයගේ නිදහස ලබාදිය යුතුය. ස්වාමියා කෙරෙහි පැහැදීමක් ඇතිවන්නේ බිරිඳට ගරුසරු ඇතිව ස්වාමියා පි‍්‍රයශීලි වදන් තුළින් කථාකරන කල්හිය.

ස්වාමියාගේ කටයුතු වලට සහාය වෙමින් නිවසේ කටයුතු ඉටුකරන යහපත් බිරිඳට අවමන් නොකළ යුතුය. නොගැලපෙන රළු, වචන වලින් බිරිඳ ඇමතීම ස්වාමියෙකු නොකළ යුත්තකි. බිරිඳගේ සිත ආතතියට ලක්කිරීම නිසා නිවසේ කටයුතු අඩාල වීමද සිදුවනු ඇත.

පවුල් ජීවිත අර්ථාන්විතව පවත්වාගෙන යාමට නම් ස්වාමියා තම බිරිඳ ඉක්මවා නොයා යුතුය. බිරිඳ කෙරෙහි සැබෑ ආදරයක් ගෞරවයක් ඇති ස්වාමියෙක් කිසිවිටෙක අයහපතෙහි නොයෙදේ. පාපකාරී ක්‍රියාවන්හි නිරත වන ස්වාමියෙක් කෙරෙහි විශ්වාසයක් බිරිඳ තුළ ඇති නොවේ.

බිරිඳට නිවසෙහි වගකීම් පවරා දීමට යහපත් ස්වාමියා පසුබට නොවේ. කාන්තාව අලංකාර වස්ත්‍රාභරණයන්ට නිතැතින් ඇලුම් කරන් නේ යැයි සමාජ මතයක් ද පවතී. එබැවින් ස්වාමියා තමන්ගේ ආර්ථික ශක්ති ප්‍රමාණයට වස්ත්‍රාභරණ රැගෙන දෙමින් බිරිඳ සතුටට පත්කරලීමද යහපත් ස්වාමියෙකුගේ යුතුකමකි.

මෙලෙස යුතුකම් ඉටුකරමින් ක්‍රියාකරන ස්වාමියා විෂයෙහි බිරිඳ ද ඉටුකළයුතු යුතුකම් වෙයි. බිරිඳ විසින් ස්වාමියාට ඉටුකළ යුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ මෙලෙසිනි.

නිවසේ කටයුතු මැනවින් සංවිධානය කිරීම
ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම
පරපුරුෂ සේවනය නොකිරීම
උපයන ලද ධනය ආරක්ෂා කිරීම
.සෑම කටයුත්තකම දක්ෂවීම හා අනලස වීම

ස්වාමියා ගෙදර වගකීම් තම බිරිඳට පවරන්නේ දැඩි විශ්වාසයකිනි. නිසි පරිදි නිවසේ කටයුතු සංවිධානය කිරීමට බිරිඳ පසුබට නොවිය යුතුය. නිවස පිරිසුදුවත්, අලංකාරවත්ව පවත්වාගැනීමද දරුවන්ගේ කටයුතු සොයා බැලීමද ආහාරපාන පිළියෙල කිරීමද, අරපිරිමැස්මෙන් කටයුතු කිරිමාදිය සංවිධානාත්මක අයුරින් ඉටුකළ යුතු වෙයි. මේවා නිසි ලෙස සිදුකිරීම සැමියාට මහත් අස්වැසිල්ලකි.

ස්වාමියා නිවසෙහි සිටියත්, නොසිටියත් ස්වාමියාගේ මව්පියන්ගේ කටයුතු සොයාබලා ඉටුකරදීම නිවසට පැමිණෙන හිත මිතුරන්ට මැනවින් සංග්‍රහ කිරීමාදිය යහපත් බිරිඳකගේ වගකීමකි. උදව්වක් උපකාරයක් ඉල්ලන ඥාති හිත මිතුරන්ට හැකි අයුරින් උදව් කිරීමද බිරිඳකගේ යහපත් චාරිත්‍රයකි. ඒ තුළින් ලැබෙන ප්‍රශංසාව බිරිඳට මෙන්ම සැමියාටද සතුටක් ගෙනෙයි.

ස්වාමියා කෙරෙහි පවතින විශ්වාසය බිරිඳ ද ආරක්ෂා කරගත යුතුය. බිරිඳක් අනාචාරයෙහි හැසිරෙන කල්හි නිවසෙහි සියලු කටයුතු බිඳ වැටේ. ස්වාමියා උපයන ධනය නැති නාස්ති වී යයි. දරුවන් නොමඟ යයි. විවාහ සබඳතා දෙදරා යන එම ක්‍රියාදාමයෙන් වෙන්වී කටයුතු කරන බිරිඳ නිවසට ශි‍්‍රයා කාන්තාවකි.

අරපිරිමැස්මට හුරු වීමද බිරිඳකට අත්‍යවශ කාරණයකි. සැමියා උපයන ලද ධනය ගෙදර කටයුතු සඳහා ක්‍රමානුකූලව වියදම් කරන කළමනාකාරිය බිරිඳයි. එබැවින් දුසිරිතෙන් වෙන්ව අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට බිරිඳක් පුරුදු විය යුතුමය.

අනලස්ව නිවසේ වැඩකටයුතු වල නියැළීමද බිරිඳක අතින් සිදුවිය යුත්තකි. අලස බිරිඳක් ඇති විටෙක නිවසේ කටයුතු අඩාල වෙයි.තම සැමියා සේම බිරිඳ ද තම යුතුකම් හා වගකීම් නිසිපරිදි ඉටුකළ යුතුය. එකිනෙකට පැවරෙන යුතුකම් අනෙකාගේ අයිතිවාසිකම් වේ. තම තමන්ගේ යුතුකම් ඉටුවන විට කාගේත් අයිතිවාසිකම් කඩ නොවෙයි. එකිනෙකාගේ යුතුකම් ඉටුවන ගෘහය යහපත් ය. අංගුත්තර නිකායේ සංවාස සූත්‍රයෙහි පෙන්වා දෙන පවුල් සංස්ථා හතරක් වෙයි. එනම්

ජවෝ ජවාය සද්ධිං සංවසති
මළමිනියක් මළමිනියක් හා එක්ව වාසය කිරීම

ජවෝ දේවියා සද්ධිං සංවසති
මළමිනියක් දෙව්දුවක සමඟ වාසය කිරීම

දේවෝ ජවාය සද්ධිං සංවසති
දෙවියෙක් මළමිනියක් සමඟ වාසය කිරීම

දේවෝ දේවියා සද්ධිං සංවසති
දෙවියෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම

මළමිනියක් මළමිනියක් සමඟ ජීවත්වනවා යනු ස්වාමි – භාර්යා දෙදෙනාම පස් පවට නැඹුරුව අකටයුතු කම් සිදුකරමින් දුශ්ශීලව ජීවත්වීමයි. මළමිනියක් දෙව්දුවක සමඟ වාසය කිරීම නම් ස්වාමියා නොයෙක් දුරාචාර සිදුකලත් භාර්යාව ගුණගරුකව සිල්වත්ව සිටිමින් ගත කරන පවුල් ජීවිතයයි. දෙවියෙක් මළමිනියක් සමඟ විසීම නම් ස්වාමියා ගුණගරුක නමුත් භාර්යාව ගුණ හීන දුශ්සීල තැනැත්තියක් වීමයි.

දෙවියෙක් දෙව්දුවක සමඟ වාසය කිරීම නම් දෙදෙනාම සීලාදී ගුණයන්ගෙන් යුක්තව වාසය කිරීමයි. බුදුරදුන් අගය කළේ එම පවුල් සංස්ථාවයි. බුද්ධ කාලයේ සිටි නකුල මාතා නකුල පිතා බුදුරදුන්ගේ ප්‍රසාදයට පත්වූයේ ඔවුන් දෙදෙනා තුළ පැවැති සීලාදී ගුණධර්ම නිසාය. විවාහ ජීවිතයක් සාර්ථකව පවත්වා ගෙන යාමට නම් අඹුසැමි දෙපාර්ශ්වයේ යුතුකම් හා වගකීම් නොපිරිහෙළා මනා ලෙස ඉටුවිය යුතුමය. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන යුතුකම් ඉටුකිරීම තුළින් ලෞකික දිවියේ පවුලේ සාර්ථකභාවය ඇති කරගනිමින් පරලොව සුගතිගාමීත්වයද ළඟාකරගත හැකිය.

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]