UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විශ්වය අතැඹුලක් සේ දුටු බුදුරදුන්

පසුගිය ජුනි 1 වැනිදා පළ වූ , ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ, කැම්බල්ෆීල්ඩ්හි, සමාධි බෞද්ධ විහාරවාසී හොරොව්පොතානේ සතින්ද්‍රය හිමියන්ගේ Gautama Buddha The Light of the Universe නම් ලිපියේ පරිවර්තනයයි.

“ආයුෂ්මත්නි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝ දෙනාගේ සොම්නස පිණිස,ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් පහළ වූ යමෙකු සිටී. හෙතෙම නම් කවරෙක්ද? එනම් තථාගතවූ, අර්හත්වූ සම්මා සම්බෝධිය ලත් තැනැත්තාය. මම වනාහි ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වූයෙම් වෙමි” (අංගුත්තර නිකාය)

අදින් සියවස් විසි හයකට පෙර, සිද්ධාර්ථ ගෞතම හෙවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණි දිනයෙන් නව යුගයක් ඇරැඹිණ.වෙසක් හෙවත් වෛශාඛ යනු බුදුන් වහන්සේ උපත ලද, බුදු බව ලත් සහ පිරිනිවන් පෑ දිනය යි. උන්වහන්සේ බුද්ධත්වය ලැබීම පිළිබඳ 2600 වැනි සංවත්සරයේ දී එය අනුස්මරණය කරන්නට සහ උත්සව පවත්වන්නට තරම් මෙවන් යුගයක උපත ලබා සිටීම පිළිබඳ අපි වාසනාවන්තයෝ වී සිටිමු.

බොහෝ කලකට පෙර සිට අපරදිග වියතුන් විසින් පවා ආසියාවේ ආලෝකය ලෙස සලකනු ලබන මේ අසමසම සහ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණෝ වත්මනෙහි මානව සංහතිය විසින් විශ්ව ආලෝකය ලෙස සලකනු ලබන්නෝද, ගුරු බුහුමන් කරනු ලබන්නෝද වෙත්. උන්වහන්සේ ඓතිහාසික ආසියානු රටක උපත ලැබූවත් එතුමන්ගේ වංශය, වර්ණය, සංස්කෘතිය, භාෂාව සහ ජාතිකත්වය ගැන නොතකා මුළුමහත් ලොව පුරා ජන සමූහයා මුළු හදවතින්ම සිය ගෞරවය පෙරටු ප්‍රණාමය පුද කරත්. එසේ ම හුදෙක් අන්ධ භක්තියෙන් නොව ඒකායන අවබෝධයෙන් ම, උන්වහන්සේගේ දේශනාවට අනුරූප පරිදි උන්වහන්සේ අනුගමනය කරත්.

බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද පරමාර්ථ සත්‍යය වන ධර්මය මෙතෙකුත් අසමසම අධ්‍යාත්මික බලවේගයක් ලෙස ප්‍රායෝගිකව පවතී. එය කෙසේවත් ආක්‍රමණශීලි හෝ සටන්කාමී ආකල්පයකින් නොව මහා කරුණාවෙන් සහ මානවහිතවාදි පිළිවෙතින් නුූතන යුගයේ පෙරමුණ ගෙන මානව සංහතිය සමඟ බැඳී සිටී.

උන්වහන්සේ ව්‍යක්තව සහ යථාර්ථවාදිව ඉගැන්වූ ආධ්‍යාත්මික ශාස්තෘන් වහන්සේය. උන්වහන්සේ අවිද්‍යා අන්ධකාරයෙහි මංමුළා වූ ජනතාව ප්‍රඥාලෝකය වෙත මෙහෙයැවූ අතර, පසිඳුරනට ගෝචර වන සමස්තයේ යථා ස්වභාව හඳුනා ගන්නට ඔවුනට මඟ පෙන්වූහ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්හි ක්‍රම විද්‍යාත්මක විශේෂ ලක්ෂණ එකී අරමුණ සමඟ බැඳී පවතී. එම ඉගැන්වීම්හි වන අත්‍යන්තයෙන් ආකර්ෂණීය ලක්ෂණයක් නම්, එහි ඇති මනෝවිද්‍යාත්මක මුහුණුවර යි. එය පුද්ගලයාගේ මානසික ශක්තියට ප්‍රමුඛතාව දෙයි. පුද්ගලයාගේ ස්වාධීනත්වයට දොරටුව වන්නේ මානසික පාරිශුද්ධිය සහ නිවැරැදි අවබෝධය යි. එනම් සම්මා දිට්ඨියයි. තවත් කෙනකුගේ කරපිට නැඟ හෝ අතේ එල්ලී අපට විමුක්තිය ලබන්නට හැකි වෙතැයි යන අදහස බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති. එසේම තමා විෂයෙහි කවර හෝ දිව්‍යමය තත්ත්වයක් ආරෝපණය නොකරන අතර තමා පෞද්ගලික ගැලවුම්කරුවකු බව කියා නොසිටිති. උන්වහන්සේ කියා සිටින්නේ තමා විමුක්ති මාර්ගය පෙන්වන්නකු ද , එය උගන්වන ගුරුවරයකු ද වන බවයි. එසේ පෙන්වා දෙනු ලබන මාර්ගය අනුගමනය කිරීමේ වගකීම අසන්නා හෙවත් ශ්‍රාවකයා සතුය.

බුදුන් වහන්සේ විසින් ගිහියන් සඳහා අනුදැන වදාරන ලද සහ අනුබල දෙන ලද සදාචාරාත්මක පිළිවෙත පඤ්ච ශීලයෙන් දැක්වෙයි. එනම් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමේසු මිච්ඡාචාරය, මුසාවාදය සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැකීමයි. ජන සමාජයේ මවුපිය දූදරු, අඹු, සැමි, සේවක, සේව්‍ය ආදීන් සඳහා සහජීවනය සාමය සහ මිත්‍රත්වය මඟින් අනුබල දෙන ලද සමාජ ප්‍රගතිය අරමුණු කර ගත් උපදෙස් උන්වහන්සේ ලබාදුන්හ. තවද බුදුන් වහන්සේ පොදු සමාජ ස්ථරයේ සාමාන්‍ය සාමාජිකයන් සඳහා පමණක් නොව රාජ්‍ය නායකයනට පවා සිය පුරවැසියන් කෙරෙහි වන තමන්ගේ පරමාදර්ශි යුතුකම් සහ වගකීම් විවරණය කරමින් උපදෙස් දුන්හ.

බුදුන් වහන්සේගේ දේශනාවලින් උන්වහන්සේ, රාජ්‍ය පාලකයන් ජනතාවගේ පොදු කැමැත්තට සලකමින්, ඔවුන්ගේ යහපත පිණිස, එයට මුල්තැන දී පාලනය ගෙන ගියහොත් පමණක්, රජය සහ ආර්ථිකය සමෘද්ධි සම්පන්න වෙතැයි දේශනා කළ සේක. බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුවරයකු ලෙස ධර්මාවබෝධය ලද සිය ශ්‍රාවක පිරිස අමතා බොහෝ ජනතාව කෙරෙහි කරුණාවෙන් ඔවුන්ගේ හිතසුව පිණිස ධර්මය දේශනා කරනු සඳහා චාරිකාවෙහි හැසිරෙන ලෙස වදාළහ.

හතළිස් පස් වසරක අප්‍රමාණ සේවාවකින් පසු අසු වැනි වියෙහිදී පිරිනිවන් පෑමට සූදානම්ව පිරිනිවන් මඤ්චකයෙහි සැතපුණු උන්වහන්සේ තමාගෙන් පසු තමන් වෙනුවට පුද්ගල අනුප්‍රාප්තිකයකු නම් කිරීම ප්‍රතික්ෂේප කර, ඒ වෙනුවට තමන් දෙසූ ධර්මය ම සිය මාර්ගෝපදේශකයා ලෙස තබාගත යුතුයැයි භික්ෂූන්ට අනුශාසනා කළ සේක.

නූතන විද්‍යාව සහ තාක්ෂණය දේවත්වයට පත්වී ඇතැයි අද ඇතැම්හු සිතා සිටිති. එසේ අඥාන ලෙස විශ්වාස කළද විද්‍යාව හා තාක්ෂණයට හෝ වෙනත් ඕනෑම අදෘශ්‍යමාන බලවේගයකට මිනිසා පිළිබඳ නොයෙක් මනෝවිද්‍යාත්මක දුර්විපාකයන්ටද ඔවුන් සැමදා පෙළෙන අතෘප්තියටද විසැඳුමක් සොයන්නට නොහැකිව තිබේ.

බුදුරජාණන් වහන්සේ වනාහි අපේ මේ නන්විධ ගැටලුවලට මූලික හේතුව වන අප තුළ සැඟවුණු ලෝභය, ද්වේෂය, සහ මෝහය හෙළිදරවු කර විවරණය කළ එකම ශාස්තෘවරයාණෝ ය. එම ක්ලේශයෝ වනාහි සත්වයා අත්විඳින දුක්ඛ දෝමනස්ස සහ තාඩන පීඩන සම්භාරයන්ගේ මෙහෙයුම් බලවේගයෝය. එම ක්ලේශයන් මඩිමින් ආධ්‍යාත්මික සාමය සහ සන්තුෂ්ටිය සාක්ෂාත්කරණය පිණිස සියලු ආකාර මානසික දුබලතා පලවා හරිනු සඳහා නන්විධ පිළියම් සහ මනෝචිකිත්සක ක්‍රම භාවිතයට ගන්නට බුදුන් වහන්සේ මහා කරුණාවෙන් අපට අවධාරණය කර ඇත. මේ මහා කාරුණිකයාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත්වීම අනුස්මරණය කරන්නට උත්සව පැවැත්වීම අතිශයින් වැදගත්ය. එහෙත් එහිලා තීරණාත්මක යථාර්ථය නම්, බුදුන් වහන්සේ වදාළ පරිදි, අප කළ යුත්තේ කුමක් ද යන්න කෙරෙහි අවධානය යොමු කිරීමයි. මේ වනාහි තීරණාත්මක මොහොතකි. නියතයෙන් සැම කෙනෙකු ම තම තමන්ගේ සිත් තුළ වන අකුසල සිතුවිලි බැහැර කළමනා ය. තමන්ගේ චිත්ත සන්තාපයට හේතු වන දුබලතා හෝ පසුබටවීම් නැති කර ගත යුතු ය. ඒ වෙනුවට දැහැමි සන්තුෂ්ටිය සහ සදාචාරාත්මක ගුණවගාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

දැන් අපි ධම්මපදය දෙසට හැරෙමු. “වේදනා, සංඥා, සංස්කාර යන ස්කන්ධ තුනට අයිති ධර්ම සංඛ්‍යාත චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තෝය. සිතින් ම උපන්නෝය. ඉදින් ලෝභාදි අකුසල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින්, මුසාවාදාදි සතරාකාර වාග් දුසිරිත් අතරින් යමක් කියයි ද, ප්‍රාණඝාතාදී කායික දුසිරිත් අතරින් යමක් කරයි ද, ලෝභ, ද්වේෂ, මෝහ ආදි තුන් ආකාර මනෝ දුශ්චරිතයන් අතරින් යමක් සිතයි ද, ඒවා හේතුකොට ගැල අදින ගොනාගේ පය අනුව ගමන් කරන රිය සක මෙන් ඒ අකුසල කර්මයෙහි විපාකයවු දුක ඔහු පසුපස ගමන් කරයි, “ධම්මපදය යමක වග්ග”

“ චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තෝය. සිත උතුම් කොට ඇත්තෝය. සිතින් ම උපන්නෝ ය. ඉදින් අලෝභ ආදි ගුණයෙන් හා යෙදීමෙන් පැහැදුණූ සිතින් යම්කිසි මනා තෙපුලක් කියයි ද, සුචරිතයක් කරයි ද, හොඳ සිතිවිල්ලක් සිතයි ද, ඒ හේතුකොට ගෙන කය අත් නොහැර ගමන් කරන සෙවණැල්ල මෙන් ඒ කුසලයෙ ආනිශංසයවූ සැපය ඔහු අත් නොහැර ඔහු පසම එයි. “ (ධම්මපදය යමක වග්ග 2)

ගෞතම බුදුන් වහන්සේගේ මේ උත්තරීතර දේශනාව පෙර නොඇසූ විරුවකි. එය අනුගමනය කරන්නාහු ද, ප්‍රගුණ කරන්නාහු ද නියතයෙන් ආධ්‍යාත්මික සාමය සහ සන්තුෂ්ටිය සාක්ෂාත් කරන්නාහු ය.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සතුටු සිත් ඇත්තෝ වෙත්වා!

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]