UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිහි පැවිදි සබඳතා ශක්තිමත් විය යුතුයි

සම්බුද්ධත්ව ජයන්ති වසර තුළ දී දහම් පාසල් සහ ශාසනාරක්‍ෂක මණ්ඩල ආදී සියලු බොදු ආයතන සම්බන්ධ කරගෙන විශාල බෞද්ධ ප්‍රබෝධයක් රට තුළ ඇති කිරිම සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේත් පොදුවේ ලක්වාසී සියලුදෙනාගේත් බලාපොරොත්තුවයි.

විශේෂයෙන්ම සියලු විහාරස්ථානවල දහම් පාසල් පවත්වාගෙන යෑමට මෙහිදී දැඩි පරිශ්‍රමයක් දරනු ඇත. එසේම දැනට අඩපණව ඇති දහම් පාසල් පණ ගැන්වීම, උපකරණ හිඟයෙන් අපහසුතා ඇති දහම් පාසල් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම වැනි කටයුතු තුළින් දහම් පාසල් සේවාව දියුණු කිරීමට කටයුතු කෙරේ.එමඟින් දැනට දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු පිරිස වැඩි කිරීමටත් අපේක්‍ෂිතය. මේ වන විට මෙරට පාසල් සිසුන් ලක්‍ෂ 42 ක් පමණ වන පිරිසෙන් දහම් අධ්‍යාපනයට යොමුවී ඇත්තේ ලක්‍ෂ 18 ක් පමණක් බව දැනගන්නට ඇත. එම සංඛ්‍යාව ලක්‍ෂ 22 ක් දක්වා වැඩිකර ගැනීම අපේක්‍ෂාවයි.

උසස් පෙළ සිසුන් දහම් පාසල් කෙරෙන් ඈත් වීම නිසා ගැටලු රැසක් සමාජයට මතු වී ඇති බව පෙනේ. එපමණක් නොව දැන් දැන් සාමාන්‍ය පෙළ සිසුන්ද ක්‍රමයෙන් දහම් පාසල් අධ්‍යාපනයෙන් ගිලිහී යන පිරිස් බවට පත්ව ඇත. දහම් පාසල යනු තවත් ටියුෂන් පන්තියක් නොවන බව සමස්ත සමාජයම තේරුම් ගත යුත්තකි.

අද බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ දහම් පාසල බුදු දහම උගන්වන තවත් පාසලක් පමණක් බවය. එය එසේ නොවිය යුතු ය. දහම් පාසල සදාචාර වර්ධනයේ ආරම්භක ස්ථානය ලෙස සැලකීම අවශ්‍ය ය.

දහම් පාසලේ දී මුල් තැන දෙනු ලබන්නේ, ලබා දිය යුත්තේ විෂය දැනුමට නොව ගුණ ධර්ම වර්ධනයට ය. ස්වාමීන් වහන්සේ නමක සමග කතා කරන්නේ කෙසේද මවට, පියාට සෙසු වැඩිහිටියන්ට ගරු කරන්නේ කෙසේද, ඔවුන්ගේ ආදරයට පාත්‍රවන ලෙස හැසිරීම් පවත්වාගන්නේ කෙලෙසින්ද, තමාගෙන් ගෙදරට හා සමාජයට ඉටු විය යුතු යුතුකම් මොනවාද? වැනි කරුණු ගැන දහම් පාසලේ දී අවධානය යොමු කෙරේ. පාංචශීල ප්‍රතිපදාව රැකීමේදී ඒ ගැන මනා අවබෝධයෙන් හෘදයාංගම ලෙස, අවංකවම සිල් රැකීමට දරුවන් පුහුණු කර යුත්තේ ද දහම් පාසල ඇසුරෙනි. සතුන් මැරීමෙන් වළකිමි, යනාදී වශයෙන් පන්සිල් සමාදන් වීම හුදෙක් පාලි පාඨ කියැවීමකට සීමා නොකර නියම ලෙස සිල් රැක්ම දරුවන් යොමු කිරීමෙහි වටිනාකම අප්‍රමාණය.

දරුවන් කුඩා කාලයේ සිටම මේ සඳහා පෙළඹවීමක් ඇති කළ යුතු ය. විහාරස්ථානය යනු දරුවන් එසේ යහපත් අරමුණු කරා යොමු කරවන ස්ථානයයි. තම ගති පැවතුම්හි සංවර බව ඇතිකර ගැනීම, දහමෙහි අවබෝධය ලබා ගැනීම සහ එදිනෙදා ජීවිතයේ ගැටලුවලට ධාර්මික විසඳුම් සෙවීම සඳහා උපදෙස් ලබා ගැනීම ආදියට මෙන්ම භාවනා කර්ම ඔස්සේ අධ්‍යාත්මික සංවර්ධනය වැඩිදියුණු කර ගැනීම සඳහා ද විහාරස්ථානයෙන් ලැබෙන්නේ නොමඳ දායකත්වයකි. විශේෂයෙන්ම මානසික සහනය සලසන මෙත් අරණකි විහාරස්ථානය.

විහාරස්ථානයක වත් පිළිවෙත් ඉටු කිරීම තුළින් තමන්ගේ දිවියද ක්‍රමානුකූලව සකස් කරගත හැකි ය. බුදුරජාණන් වහන්සේ ‘වත්තං න පරිපූරෙන්තො - සීලං න පරිපූරති’ යනුවෙන් දේශනා කළ සේක. වතාවත් නොකරන තැනැත්තාගෙන් සිල් නොපිරේ යනු එහි අර්ථයයි.

මල් ආසන පිරිසුදු කිරීම, බෝමළුව ඇමැදීම වැනි කාර්යයන් කුඩා කළ සිටම පුරුදු පුහුණු කරගත යුතු ය. විහාරස්ථාන භූමිය යනු සංවරශීලි ජීවිතයක හැඩගැස්මේ කේන්ද්‍රස්ථානයයි. සමාජයේ කුමන තරාතිරමක පුද්ගලයන් වූවද විහාරස්ථානයට පැමිණීමෙන් පසු ඒ සියලු දෙනා එකම ජන කොටසක් බවට පත්වේ. සියලු දෙනා අසුන් ගත්තේ උසින් අඩු ආසනවලය. නොඑසේ නම් බිම අසුන් ගැනීම සිදු කෙරේ. සියලු දෙනා විහාරස්ථානයේ දී පොදු හැඟීමෙන් කටයුතු කළ යුතු ය. එකාවන්ව වතාවත් කළ යුතු ය. දරුවන් දහම් පාසල් යැවීමෙන් බලාපොරොත්තු වන එක් කරුණක් වන්නේ ද මේ සමානාත්මතා ගුණාංගය ඔවුන් තුළින් ඉස්මතු කරවීමයි. ගාථා ඉගෙන ගැනීම පමණක් නොව ඒවා නිසි අයුරින් උච්චාරණය ද වැදගත් වන්නකි. භාවනා කිරීම සඳහා එරමිණියා ගොතා ගැනීම, පසඟ පිහිටුවා වන්දනා කිරීම, දොහොත් මුදුන් තබා වැඳීම ආදී ගුණ දහම් නිසි අයුරින් උගත හැක්කේ දහම් පාසලෙනි. වයෝවෘද්ධ භාවයට පත්ව මෙම ගුණ දහම් හෝ ක්‍රමවේදයන් උගැනීම දුෂ්කරය. භික්‍ෂූන් වහන්සේ නිසි අයුරින් නැමැදිම වැනි ගුණ ධර්මයන්ද කුඩා කළ සිටම උගැනීම වැදගත් ය.

මේ වසරේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ තවත් විශේෂ වැඩසටහනක් වනුයේ විහාරස්ථානවල සිටින උපාධිධාරී භික්‍ෂූන් වහන්සේචගේ සේවය ලබාගෙන සිංහල, ඉතිහාසය වැනි විෂය කරුණු සිසුන්ට ඉගැන්වීමයි. එවැනි පන්ති පැවැත්වීම තුළින් දහම් අධ්‍යාපනයට බාධා පමුණුවන ටියුෂන් පන්ති ඉරිදා දින හෝ නැවැත්වීමට යම් රුකුලක් වන අතරම විහාරස්ථ ස්වාමීන් වහන්සේ හා ගිහියන් අතර සුහදතාව වර්ධනය වීමට ද හේතුවක් වනු ඇත. එසේම සිසු දරුවන් ද ගුණ ගරුක දරු පිරිසක් බවට පත්වනු ඇත.

ඉරිදා දින උදය වරුවේ ටියුෂන් පන්ති නැවැත්වීම රජය මඟින්ම තහනම් වීමක් ගැන සම්බුද්ධත්ව ජයන්ති කමිටුව අපේක්‍ෂා නොකරයි. එය හුදෙක් ප්‍රාදේශීය මට්ටමෙන් සිදු විය යුත්තකි. මේ වන විට සබරගමුව පළාත් සභාව ඉරිදා උදෑසන පෞද්ගලික උපකාරක පන්ති හෙවත් ටියුෂන් පන්ති පැවැත්වීම තහනම් කර ඇත. එය ප්‍රශංසා කටයුතු ය. එසේම ප්‍රාදේශීය මට්ටමෙන් තවත් පළාත් රැසක ටියුෂන් පන්ති ඉරිදා උදෑසන පැවැත්වීම නතර කර ඇත.

අද ටියුෂන් පන්ති යෑම දරුවන්ගේ දැනුම වඩවනවාට වඩා එක්තරා ආකාරයක මෝස්තරයක් බවට පත්ව ඇත. උදෑසන පාසල් යන සිසුවා දහවල් 3.00 පමණ වන විටවත් නිවෙසට පැමිණ විඩාව සංසිඳුවා ගත යුතු ය. සවස් භාගය කායික හා මානසිකව විවේකයක් ලැබිය යුතු ය. එසේ සිටියහොත් පමණක් තමාගේ දැනුම වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එහෙත් උදෑසන පාසල් ගොස් සවස් වරුවෙත් යළිත් උපකාරක පන්තියකට සහභාගිවන සිසුවාගේ මනැස යන්ත්‍රයක් හා සමානවනු ඇත. එය ඔහුගේ දැනුම වැඩීමට එතරම් හිතකර නොවේ.

එසේම බොහෝමයක් උපකාරක පන්තිවල කිසිදු විනයක් නොමැති නිසා එම පන්තිවලට සහභාගි වන සිසුන්ගේ ගුණ ධර්ම ගිලිහී යාමට ඇති ඉඩකඩ බොහෝ වැඩි ය. එමෙන්ම අනවශ්‍ය සබඳතා කෙරෙහිද සිසු සිසුවියන් යොමුවේ. දරුවන්ගේ කාලය ටියුෂන් පන්තිවලට වැයවීම නිසා මවුපියන් හා දරුවන් එක්ව ගෙවන කාලය අඩුවීමද දක්නට ලැබේ. එමඟින් මවුපිය දූ දරු සබඳතා ද දුරස් වේ. දරුවන්ගේ මානසික ආතතිය වැඩිවේ. මේ නිසා කායික මානසික වශයෙන් පිරිහීමට පත්වුණු දරුවන් සමාජයට බිහිවේ.

අපේ බහුතර මවුපියන්ගේ අඩුපාඩුවක් වී ඇත්තේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සෙවීමට ඔවුන්ට කාලයක් නොමැතිවීමය. දරුවන් නිසි ලෙස අධ්‍යාපනය ලැබුවාදැයි ඔවුහු නොදනිති. එම නිසා මවුපියෝ තම දරුවන් පෞද්ගලික අධ්‍යාපන ආයතන කරා යොමුකර හෝ අධ්‍යාපනය ලබා දීමට උත්සුක වෙති. එසේම තරගකාරීත්වය නිසාද මේ තත්ත්වය හට ගෙන ඇත.

ලොව කිසිම රටක මෙවන් ටියුෂන් ව්‍යසනයක් දක්නට නැත. අවම වශයෙන් අසල්වැසි ඉන්දියාවේ හෝ තායිලන්තයේ හෝ දක්නට නැත. එසේම අපේ පාසල් දරුවන්ට ඉගෙනීමට ඇති විෂය ධාරාවද ඉසිලිය නොහැකි තරම් අතිමහත්ය. ටියුෂන් පන්තිකරා ඔවුන් ගිය විට මනැස තවත් පීඩනයට පත්වේ. ඔවුන් ගුණ දහම් කෙරෙත් ඈත් වේ. මේ නිසා දරුවන්ට දහම් අධ්‍යාපනය අනිවාර්යය වීම සුදුසු ය. ගුණ දහම් ඉගෙන නොගන්නා දරුවන් මවුපියන්ට ‘ඔයා මෙයා’ යනුවෙන් ආමන්ත්‍රණය කරනු ද පෙනේ.

ගිහි පැවිදි සබඳතා දුරස්වීම ද අද දරුවන් දහම් පාසල් කරා නොයෑමට හේතු සාධකයක් වී ඇත. විහාරස්ථානයට යන ගිහියා තම වතාවත් සිදුකර ආපසු පැමිණේ. බොහෝ විට ස්වාමීන්වහන්සේ දෙස වත් නොබලයි. ඇතැම් විට දුටුවත් ඒ ගැන තැකීමක් නොමැත. ඇතැම් ස්වාමීන් වහන්සේ ද ගිහියන් පැමිණ කතා බහ කිරීමට උත්සාහ ගත්තද ඉන් ඉවත්වීමට උත්සාහ දරන බව පෙනේ. මෙය ගිහි පැවිදි දෙපාර්ශවයටම අහිතකර බලපෑම් ඇති කරයි.

භික්‍ෂූන් වහන්සේ සිල් සමාදන් කිරීම්, ධර්ම දේශනා කිරීම් වැනි කටයුතු අවසන් කිරීමෙන් පසු තමන්ගේ කාර්යයන් අවසන් යැයි සිතන්නේ නම් එය සුදුසු නොවේ. ගිහියන්ද ධර්ම ශ්‍රවණයෙන් පසු හෝ විහාරස්ථානයේ වතාවත් කිරීමෙන් පසු දහම හා සම්බන්ධ කාර්යයන් අවසන් වූවා යැයි සිතන්නේ නම් එය ද අඩුපාඩුවකි. එමඟින් ගිහි පැවිදි සබඳතා දුරස් වේ.

තම දායක වසමේ සිටින සියලු දෙනා සමගින් ස්වාමීන් වහන්සේ සහයෝගයෙන් කටයුතු කිරීම මැනැවි. ස්වාමීන් වහන්සේ ගිහියන් සමඟ සමීප වනවා මෙන්ම ගිහියන්ද ස්වාමීන් වහන්සේට සමීප විය යුතු ය.

මේ කරුණු සලකා බලමින් දහම් පාසලත්, පන්සලත් සමඟ ගිහි ජනතාවගේ සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සිදුවීම කාලීන අවශ්‍යතාවයකි. එසේ නොවුවහොත් සම්බුද්ධත්ව ජයන්තිය වසරේ දී ඉටුකර ගැනීමට අපේක්‍ෂිත අරමුණු ඉටුකරගැනීමට පහසු නොවනු ඇත.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]