UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර

කතරගම සිදු වූ තවත් ඓතිහාසික සිදුවීමක් වන්නේ අෂ්ඨඵල බෝධි රෝපණයයි. අනුරාධපුර යුගයේ දී දේවානම්පියතිස්ස රජු දවස සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මුහුදු මඟින් අනුරාධපුරයට වැඩමවන ලදී. දේවානම් පියතිස්ස රජතුමා මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ උත්සවය රාජ්‍ය උත්සවයක් බවට පත් කර ඇත. මහා වංශය ඇතුළු වංශ කතාවල සඳහන් වන අන්දමට කතරගම රජදරුවන්ටද ආරාධනා කර ඇත. මේ අනුව සහභාගී වූ ක්ෂත්‍රීය රජ දරුවන්ට එම පැළයෙන් හටගත් බෝ අංකුර අටෙන් එකක් ලබා දී ඇත. දේවානම්පියතිස්ස රජතුමා විසින් ලබා දෙන ලද මෙම බෝ අංකුරය අදත් කතරගම මහා දේවාලයේ අභියස පූජාවන්ට ලක් වෙමින් පවතී.

කතරගම පැරණි ලේඛන වල සඳහන් වන්නේ කාවරගාම, කදරගාම ආදී නම් වලිනි. එකී නම් වලින් බිඳී වර්තමාන කතරගම යන නාමය සකස් වී ඇත. මේ පිළිබඳ ඓතිහාසික විස්තරයක් ධාතුවංශය සහ මහාවංශය ආදී ලේඛන වල සඳහන් වේ. වර්තමාන මැණික් ගංගාවද අතීතයේ නම් කර ඇත්තේ කප්කදුරු ඔය, කුඹුක්කන් ඔය ආදී නම් වලිනි. වර්තමාන මැණික් ගඟ යන්න යෙදුනේ කෙසේද යන්න අදත් ගවේෂණ මට්ටමේ පවතී. කතරගම පිළිබඳ ලේඛනගත ඉතිහාසය ඉතා වැදගත් ය.

බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී කතරගමට ද වැඩම කර මෙහි ප්‍රාදේශීය පාලකයාව සිටි මහසෙන් හෙවත් මහාඝෝෂ රජතුමාට ද දහම් දෙසා සෝවාන් ඵලයට පත් වූ බවද සඳහන් ය. බුදුරජාණන් වහන්සේ සිහිවීම වස් වැඩසිටි භූමිය මුල්කර ගෙන කිරිවෙහෙර දාගැබ ගොඩනංවා ඇත. කිහිරි ගස් සහිත මෙම භූමිය නම් කර ඇත්තේ කිහිරි වනය නැතහොත් කිහිරි උයන යනුවෙනි. දා ගැබ එදා හඳුන්වා ඇත්තේ එම වනය මුල්කරගෙන කිහිර වෙහෙර් යනුවෙනි. කියවීමේ පහසුව සඳහා වර්තමානය වන විට කිරි වෙහෙර යනුවෙන් නම් කර ඇත.

කතරගම සිදු වූ තවත් ඓතිහාසික සිදුවීමක් වන්නේ අෂ්ඨඵල බෝධි රෝපණයයි. අනුරාධපුර යුගයේ දී දේවානම්පියතිස්ස රජු දවස සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දඹදිව සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මුහුදු මඟින් අනුරාධපුරයට වැඩමවන ලදී. දේවානම් පියතිස්ස රජතුමා මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ උත්සවය රාජ්‍ය උත්සවයක් බවට පත් කර ඇත. මහා වංශය ඇතුළු වංශ කතාවල සඳහන් වන අන්දමට කතරගම රජදරුවන්ටද ආරාධනා කර ඇත. මේ අනුව සහභාගී වූ ක්ෂත්‍රීය රජ දරුවන්ට එම පැළයෙන් හටගත් බෝ අංකුර අටෙන් එකක් ලබා දී ඇත. දේවානම්පියතිස්ස රජතුමා විසින් ලබා දෙන ලද මෙම බෝ අංකුරය අදත් කතරගම මහා දේවාලයේ අභියස පූජාවන්ට ලක් වෙමින් පවතී.

රුහුණු පුරවරයට ඉමහත් ආශිර්වාදයක් වූ මහා දේවාලය අතිශය වැදගත්ය. කතරගම දේවාලය පිළිබඳ පවතින බොහෝ තොරතුරු ජනප්‍රවාදයේ පවතී. විදේශික ආක්‍රමණිකයෙකු වූ එළාර අනුරාධපුරයේ සිට මෙරට පාලන බලය ලබාගෙන තිබුණි. කාවන්තිස්ස යුගයේ දී එතුමා මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසු විය.

ගැමුණු කුමරු කුඩා කල සිටම දේශය පිළිබඳව දැඩි අවධානය යොමු විය. රජතුමා සිය පුතු එළාර සමග ඉක්මනින් යුද වැදීම භයානක ඉරණමක් අත්වන බව දැක කාලය පැමිණෙන තෙක් දස මහා යෝධයන් යටතේ සේනාව සංවිධානය කර ඇත. පුතු එළාර සමඟ ඉක්මනින් යුද වැදීම නැවතීමේ අරමුණෙන් මහා සංඝරත්නයට දානයක් දී බත් ගුලි තුනක් ගෙන භික්‍ෂූන් ඉදිරියේ පොරොන්දු තුනකට බැඳ තැබීමට උත්සාහ දරා ඇත.

එක් පොරොන්දුවක් වූයේ මෙම බත් පිඩ අනුභව කොට භික්‍ෂූන් ඉදිරියේ එළාර සමඟ සටන් නොවදින ලෙස ඉල්ලීමයි. ගැමුණු කුමරු බත් ගුලිය පැත්තකට දමා ඇඳෙහි වැතිර සිය මව සමඟ කරන ප්‍රකාශය හැඟීම් දනවන සුලු ය. පියාගේ අභාවයෙන් පසු එළාර සමඟ සටනට තිස්සමහාරාමයේ සිට අනුරාධපුරයට පිටත්ව යන අතර කතරගමට පැමිණ කතරගම දෙවිඳුන් උදෙසා බාරයක් වූ බවට ජනප්‍රවාදයේ එයි.

එම බාරය නම් තමාට මෙම යුද්ධයෙන් ජයග්‍රහණය ලබා දීමට ආශිර්වාදය ලබා දෙන ලෙසත් එසේ ජය ලැබූ පසු කතරගම දෙවිදුන් වෙනුවෙන් දේවාලයක් සාදා පූජා කරන බවත් ය. යුද්ධයෙන් ජය ලැබූ රජතුමා රුහුණු මහා කතරගම දේවාලය සාදා පූජා කර ඇත. රජ අණ පරිදි එදා සිට අද දක්වා මහ දේවාලයේ වතාවත් සිදුවේ. මේ අනුව පෙරහර පැවැත්වීම, දිනපතා දෙවියන්ට තුන් වරක් සහිත පුද පූජාව පැවැත්වීම් ආදිය ප්‍රධාන තැනක් ගෙන ඇත.

කතරගම මහා දේවාලයේ පෙරහර අතර බක් මහ පෙරහර, ඇසළ පෙරහර, ඉල් මහා පෙරහර යනුවෙන් ප්‍රධාන පෙරහර ඇත. බක් මහා පෙරහර යනු අප්‍රේල් මාසයේ අවුරුදු දිනයේදී දේවාලය ඉදිරිපිට කිරි උතුරවා දේවාලය වසා පසුව එදිනම රාත්‍රී කතරගම දේවාලයෙන් පිටවන පෙරහර පිටවීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට පිවිස එදින විශේෂ පුද පූජාවන්ට සම්බන්ධ වී නැවතත් මහවීදිය ඔස්සේ කතරගම මහා දේවාලයට පිවිසීමෙන් මෙම පෙරහර නිමාවට පත්වේ. මෙය එක්දින පෙරහරකි. මෙම පෙරහරේ අරමුණ වන්නේ වර්ෂයේ මුල්ම පෙරහර ලෙස චාරිත්‍ර ඉෂ්ඨ කර දෙවියන් සතුටු කිරීමයි. ඉන්පසුව පැමිණෙන්නේ ඇසළ මහා පෙරහර වෙනුවෙන් කරනු ලබන කප් සිටුවීමේ පෙරහරයි. ඇසළ පසළොස්වක පෝයට දින 45 කට පෙර රත් කරවි නමැති ගසක් කපා වල්ලි අම්මා දේවාලයේ තැන්පත් කර හිමිදිරි උදෑසන ඉතා චාම් පෙරහරකින් මෙම කද මහා දේවාලයට ගෙනැවිත් දේවාලය ඉදිරි මාලයේ සිටවන ආකාරයෙන් තැන්පත් කිරීමයි. එම අවස්ථාව නම් කරන්නේ කප් සිටුවීම යනුවෙනි. කප් සිටුවා දින 45 කට පසුව කතරගම දේවාලයේ ඇසළ මහා පෙරහර පැවැත්වේ. මෙම පෙරහරේ විශේෂතා රැසක් දැකිය හැකි ය. දින 15 ක් පුරා අඛන්ඩව පෙරහර පැවැත්වේ.

පළමු පෙරහර ගමන් කරන්නේ මහවීදිය දිගේ වල්ලි අම්මා දේවාලයට ගොස් එම මාවත ඔස්සේම මහා දේවාලයට පිවිසීමෙනි. මෙය නම් කර ඇත්තේ මංගල පෙරහර වශයෙනි. මින් පසු ගමන් කරන සියලුම පෙරහර පිටවීදිය ඔස්සේ ගමන් කර වල්ලිඅම්මා දේවාලයට පිවිස මහවීදිය ඔස්සේ මහ දේවාලයට ගෙවදීම සිදු කරයි. පෙරහර පහක් ගමන් කිරීමෙන් පසු පෞරාණික චාරිත්‍ර ඉටු කිරීමක් සිදුවේ. එනම් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ නිල නිවසෙහි සුවිශේෂී කාමරයක් ඇත. එම කාමරය ගොම මැටි ගා ඇති අතර බිත්තිද වරිච්චි බිත්තීන්ය.

හයවන පෙරහර දින සධාතුක කරඬුව සහිතව මහා සංඝරත්නය සඳහා දානයක් පිරිනමා සෙත් පිරිත් දේශනා කරවා ගනී. මෙම පින්කමේ මූලික දායකත්වය බස්නායක නිලමේතුමාය. දානය දිනම මහා දේවාලය ඉදිරිපිට අතුපන්දලම නමැති කොටසට අලුතින් අතු දමා වසරකට වරක් කරන චාරිත්‍රමය කටයුත්ත ද සිදුවේ.

මෙදින සිදුවන වැදගත්ම සිද්ධිය වන්නේ දේවාලයේ බස්නායක නිලමේතුමා සිය නිල ඇඳුම ඇඳ පෙරහරේ ගමන් කිරීමයි. මෙම පෙරහරේ තවත් වැදගත් අංගයක් එක්වන්නේ පෙරහර 12 ක් ගමන් කිරීමෙන් පසුවයි. දොළොස්වන පෙරහර දේවාලයට ගෙවදීමෙන් පසු මහා දේවාලය ඉදිරිපිට රාත්‍රී විශාල ගිනි මැලයක් දල්වා අඟුරු බවට පත් වීමෙන් පසු බැතිමතුන් මැලය මැදින් තරණය කරති.

මෙය ත්‍රාසය, භීතිය උපදවන සුළු ය. මෙම දිනය පසු කරත්ම ඉදිරි දින තුන එක් රැයකට පෙරහර දෙක බැගින් ගමන් කරයි. පළමු පෙරහර අවසන්ව දෙවියන්ට පූජා තබා මධ්‍යම රාත්‍රියෙන් පසුව දෙවන පෙරහර ගමන් කරයි. මුල් පෙරහරට වඩා මඳ වේගයෙන් ගමන් කරන බැවින් දුවන පෙරහර නමින්ද හඳුන්වයි.

අවසාන මහා පෙරහර කිරිවෙහෙර මාවත ඔස්සේ ගමන් කර සුපුරුදු ගමන් මඟෙහි පෙරහර ගමන් කරනු ලබයි. පසළොස්වක පෝ දිනට පසු දින දිය කැපීමේ පෙරහර උදෑසන කාලයේ දේවාලයෙන් පිටත්ව වල්ලිඅම්මා තොටුපළින් ගඟට බැස දිය කපන තොටුපළ දක්වා ගමන් කර දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරයි.

දිය කැපූ කපු මහතා වල්ලි අම්මා දේවාලය තුළ සිට සවස් වරුවේ චාම් පෙරහරකින් මහා දේවාලය කරා රැගෙන එයි. රාත්‍රී සිදුවන වස් ඇරීමේ කටයුත්ත අවසන් කිරීමෙන් පසු පෙරහරේ සියලු කටයුතු නිමාවට පත් වේ. පෙරහර අවසන්ව සතියක් ගත වෙත්ම කතරගම අභිනවාරාම විහාරස්ථානය මඟින් දෙවියන්ට පින් දීම සඳහා සිදු කරනු ලබන මහා ගම් පිරිත ආරම්භ වේ.

මෙවර ඇසළ උත්සවය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරයි. කතරගම ඇසළ මහා පෙරහර සාර්ථකව පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මැතිතුමා දරනු ලබන උත්සාහය ඉතා අගය කළ යුතු ය.


කතරගම ඉතිහාසය

ඉපැරැණි ස්ථානයක් වන කතරගම පිළිබඳව වංශ කථා ශිලා ලිපි, බෞද්ධ හා හින්දු පුරාවෘත්ත ජනප්‍රවාද ආදියෙන් ද තොරතුරු ලැබේ. විවිධ මුලාශ්‍රයන්හි එය කාචරගාම, කාජරගාම, කතරගම සහ කදරගම යනුවෙන්ද හැඳින්වී ඇත.

ක්‍රි.පූ. තෙවන සියවසෙහි රෝහණ දේශයේ කාජරගාම සහ චන්දනගාම යන ස්ථානයන්හි විසූ ක්ෂත්‍රිය පවුල් දෙකක් ගැන මහාවංසයෙහි සඳහන් වේ. මෙම ක්ෂත්‍රිය පවුල් දෙක අනුරාධපුර රාජ වංශයෙන් පැවත ආයේ යැයි කීමට සාධක නැත. මොවුන් ලංකාවට සංක්‍රමණය වූ ආර්ය කණ්ඩායමක නායකයන් වූහයි සිතිය හැකිය.

එහෙත් ඔවුන් භාවිත කළ නම්, ශිලාලිපිවල එන ඔවුන්ගේ භාෂාව හා ඒවායින් පිළිබිඹු වන ඔවුන්ගේ සංස්කෘතිය විසින්ද අනුරාධපුර ක්ෂති‍්‍රයයන්ගෙන් මොවුන් වෙනස් වූ බවක් නොපෙනේ. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය දැක්වෙන ධාතුවංශ විස්තරයෙහි කතරගම (කදරගම) ගැන සඳහන්වේ. එහෙත් මහා වංසයෙහි කතරගම මුලින්ම සඳහන් වන්නේ සංඝමිත්තා මෙහෙණීන් වහන්සේ විසින් වැඩම වන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව රෝපණය කිරීම නිමිත්තෙන් පැවති උත්සවයට කතරගම ක්ෂිති‍්‍රයන් සහභාගි වූ බව දක්වන අවස්ථාවෙහිය.

කතරගම ක්ෂත්‍රියයන් එම උත්සවයට සහභාගි වීමෙනුත් එම බෝධි ශාඛාවෙන් පැන නැඟි අංකුර අටෙන් එකක් කතරගම රෝපණය කිරීමෙන් පෙනී යනුයේ මේ අවධිය වන විට අනුරාධපුර රාජධානිය හා කතරගම අතර යහපත් සම්බන්ධයක් පැවති බවත් කතරගම සැලකිය යුතු මධ්‍යස්ථානයක් ලෙස ගැනුණු බවත්ය. තව ද කතරගම මුල් අවධියේම බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් වු බවද ඉන් පෙනේ. වංශ කථාවන්හි සහ ශිලාලිපිවල එන තොරතුරු සසඳමින් කතරගම පාලකයන් ගැනත් ඔවුන් සමඟ පැවැත්වූ සම්බන්ධතා ගැනත් ඔවුන් රෝහණයේ තවත් මධ්‍යස්ථානයක් වූ මාගම සමඟ පැවැත්වු සම්බන්ධතා ගැනත් ඉතිහාසය ගොඩනඟාගැනීමට හැකි වී තිබේ.

දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරකු වූ මහානාගගෙන් ඇරඹුණ මාගම රාජවංශය කතරගම රජ පවුලට දෙවන තැනක් ගත් බව පැහැදිලිය. එකිනෙකට සමීප වූ මධ්‍යස්ථාන දෙකක විසූ මේ රජ පවුල් අතර නොබෝ කලකින් ගැටුම් ඇතිවිය.

දුටුගැමුණු රජතුමා කතරගම සමඟ කුමන සම්බන්ධයක් පැවැත්වූවා දැයි වංශ කථාවල සඳහන් වන්නේ නැත. කඳ උපත නම් කාව්‍යයේ දුටුගැමුණූ රජතුමා පිළිබඳ තොරතුරු දැක්වේ. මෙම රජතුමා කතරගම දෙවියන්ගෙන් වරම් ලැබ එළාර රජු පරාජය කළ බවත් ඊට කෘතගුණ සැලකීම්වස් කතරගම දේවාලය ඉදිකළ බවත් ජනප්‍රවාදයෙහි එයි. කෙසේ වුවත් ඉන් පසු කතරගම දේශපාලන අතරින් එතරම් වැදගත් නොවීය.

යළි කතරගම පිළිබඳව මහාවංසයෙහි සඳහනක් ලැබෙන්නේ ක්‍රි.ව. 7 වන සියවසේ රුහුණේ පාලක මහාතිස්සගේ පුත් අග්ගබෝධි විසින් කතරගම විහාරය කරවීම සම්බන්ධයෙනි. අනුරාධපුර රාජධානිය චෝල ආධිපත්‍යයට නතු වූ පසු සිංහල සහ දකුණු ඉන්දීය ඇතැම් කුමාරවරුන්ට ද ආරක්ෂක ස්ථානය වූයේ රෝහණ දේශයයි. දේශපාලක මධ්‍යස්ථානයක් ලෙස කතරගම ඇතැම් කුමාරවරුන් විසින් තෝරාගත් බව පෙනේ.

ක්‍රි.ව. 18 වන සියවස්හි කෙරුණු කහකුරුළු , කැටකිරිලි, නීල කොබෝ ආදී සංදේශ කාව්‍යයන්හි කතරගම ගැන සඳහන් වේ. තවද මේ වන විට එය බෞද්ධ සහ හින්දු පූජ්‍ය ස්ථානයක් වශයෙන් පත් වී තිබුණු බව ද එම තොරතුරුවලින් අනාවරණය වේ.

කතරගම බෞද්ධයන්ට මෙන් ම හින්දූන්ටද අතිශයින් වැදගත් වු සිද්ධස්ථානයකි. බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනයේදි උන්වහන්සේ වැඩ සිටි සොළොස්මස්ථානයන්ගෙන් එකක් ලෙස බෞද්ධයන් විසින් කතරගම සලකනු ලැබේ. කිරිවෙහෙර හා බෝධීන් වහන්සේ අනාදිමත් කාලයක් සිට අඛණ්ඩව බෞද්ධයන් විසින් රැක ගන්නා ලදී. ස්කන්ධ දෙවිඳුගේ දෙවොල ලෙස සැලකෙන කතරගම දකුණු ටිබෙටයේ කෛලාස දේවාලයේ සිට ඇරඹෙන බරණැස්, පූරී, රාමේශ්වරම්, තිරුවන්නාමලෙයි යන හින්දු දේවාල මාලාවේ ඉතාම දකුණු කෙළවරේ පිහිටි දේවාලය සේ සැලකේ. කතරගම වසරක් පාසා පැවැත්වෙන උත්සව තුනකි. එනම් ඇසළ පෙරහර, ඉල්මහා කැති (කාර්තිකෝන්සවය) සහ අලුත් අවුරුදු යන මේ උත්සව තුනයි.

දැනට කතරගම ප්‍රධාන වශයෙන්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ මහසෙන් දෙවි රජුගේ දෙවොල නිසාය. කතරගම ප්‍රධාන පූජනීය වස්තුව කිරිවෙහෙර බව සිංහල බෞද්ධයන්ට අමතක වී ඇති සෙයකි. කතරගම දෙවියන් හින්දු පුරාණ කථා සම්බන්ධ දෙවියකු බවට පෙරළී ඇතත් මේ තාක් සිංහල බෞද්ධ බස්නායක බෙත්මේ, කපුරාළලා ආදි නිලධාරීන් යටතේම දේවකාරිය සිදුකරනවා විනා ශිව භක්තික පූජකයන් අතට ඒ කටයුතු පත් වී නැත. සිංහල අලත්ති අම්මලා මෙහි ආවැඩීම කරතත් නළඟනෝ මෙහි නැත.

පසුගිය ශතවර්ෂයේදී දේවාල ගොඩනැගිල්ල කුඩාවට පැවතිණ, ගර්භය අයමින් විතරින් අඩි 18 ක් හා 18 ක් පමණක් වී යැයි කියති. මේ දේවාලය සාදා ඇත්තේ පුරාණ බුදුගෙයි අඩිතාලම මත යනු ජනප්‍රවාදයයි . මහා දේවාලය අලුතෙන් ලොකු කර සාදන ලද්දේ මෑතකදීය. පෙරහැර මංගල්‍ය සමයේ දී දේවාල මන්දිරය ඉදිරියේ අතු මැස්සක් ගසනු ලබන අතර එසේ කරන්නේ දුටුගැමුණූ රජු විසින් කළ දේවාල පැළ සිහිවීම සඳහා යැයි කියනු ලැබේ.

කතරගම දේවාලය හා කිරිවෙහෙර පිහිටි පෙදෙස ආදි කාලයේ පටන්ම ජනාවාස වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍යයක් වශයෙන් මැණික් ගඟත් කිරිවෙහෙරත් අතර ප්‍රදේශයෙන් ලැබෙන පැරණි වලන් කැබලිති පෙන්විය හැකියි. දේවාලය අසල භූ®මියේ පැරැණි ගොඩනැගිලිවලට අයත් ගඩොල් සමත් වේ. මැණික් ගඟ දෙපැත්තේ භූමි ප්‍රදේශයක් වර්ෂ 1964 දී පමණ පූජනීය පෙදෙසක් වශයෙන් වෙන් කරන ලදී.

අභිනව නගරය ගඟේ වම් ඉවුරේ ඉදි කරනු ලැබේ. අමුතු පාරවල් පාලම් ආදිය තැනීමද අභිනව යෝජනා ක්‍රමයට අයත්ය.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]