UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භාරත දේශයේ බුදු දහමේ පුනර්ජීවනය

භාරතයේ බුදු දහමේ පුනර්ජීවනය සඳහා පළමුවැනි කැපකරු සැදැහැවතා වූයේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාපුත්‍ර අනගාරික ධර්මපාලතුමා ය. දහනවවැනි සියවසේ අග හරියේදී ඉන්දියාවට සැපත් එතුමා, බුදුන් වහන්සේ උපත ලද, බුදුබව ලත් සහ පිරිනිවන් පෑ පූජාර්හ සිද්ධස්ථාන දැකබලා හඳුනා ගත්තේ ය.

Mahabodhi Centenary Commemorativa Volume - SAMBHASHA සඟරවේ පළ කරන ලද එස්. එන් ශාස්ත්‍රීගේ Revival of Buddhism in India නිබන්ධනයේ පරිවර්තනයයි. ලේඛකයා විසින් මේ ලිපිය සපයනු ලැබ ඇත්තේ 1959 දී හෙයින් සිදුවීම් ගළපා ගත යුත්තේ එකී කාල පරාසයට අනුරූප වන පරිදිය.

ක්‍රි.ව. දහවැනි සියවසේ අවසානය වන තුරු ඉන්දියාව සපුරා බෞද්ධ දේශයක් විය. එතැන් සිට වසර දහසකට ආසන්න කාලයක එහි බුදු දහමේ පැවැත්මක් දක්නට නොලැබිණ. මේ කාල වකවානුව තුළ ඉන්දියානු ඉතිහාසයෙන් හෙළිවන්නේ බුදු දහම එරටින් තුරන් කරන්නට දරන ලද දුෂ්ඨ සහ පාපිෂ්ඨ ප්‍රයත්නයකි.


කුසිනාරාව

මුස්ලිම් ආක්‍රමණිකයෝ දේශීය බෞද්ධ විරෝධීන්ගේ ද දිරි ගැන්වීම් ලද්දාහු බෞද්ධ භික්ෂුන් සමූල ඝාතනය කළහ. ඉන්දියාව පුරා සියලු බෞද්ධ පූජ්‍ය ස්ථාන කොල්ල කෑහ. ගිනි තැබූහ. විනාශ කළහ. උසස් අධ්‍යාපනය විෂයෙහි කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වූ උතුරු ඉන්දියාවේ වැජඹුණු නූතන පකිස්ථානයේ පිහිටා තිබුණු සුපතල තක්ෂිලා සහ දැනට බිහාර් (විහාර) ප්‍රාන්තයේ පිහිටා තිබුණු එවැනි ම නාලන්දා යන අධ්‍යාපන ආයතන ගිනි තබනු ලැබිණ. ඒවායේ තිබුණු දහස් ගණනින් වූ බෞද්ධ ලේඛකයන්ගේ මුල් පිටපත් දින ගණනාවක් පුරා ගින්නෙහි දැවුණු බව කියනු ලැබේ. මේ අමානුෂික සිදුවීම් නිසා 1891 දී ඉන්දියාවේ මහාබෝධි සමාගම පිහිටුවන අවස්ථාව වනවිට බුදු දහම සිය මාතෘ දේශයෙන් නොපෙනී ගියාක් බඳු වටපිටාවක් දකින්නට ලැබිණ.

බුදු දහමේ පුනර්ජීවනය සඳහා පළමුවැනි කැපකරු සැදැහැවතා වූයේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාපුත්‍ර අනගාරික ධර්මපාලතුමා ය. දහනවවැනි සියවසේ අග හරියේදී ඉන්දියාවට සැපත් එතුමා, බුදුන් වහන්සේ උපත ලද, බුදුබව ලත් සහ පිරිනිවන් පෑ පූජාර්හ සිද්ධස්ථාන දැකබලා හඳුනා ගත්තේ ය. ඉන්දියානු ප්‍රාන්තීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම ඔස්සේ එකී පූජ්‍යස්ථාන හඳුනා ගත් එතුමාට බුදුන් වහන්සේ සිය පළමුවැනි ශිෂ්‍යයන් වූ පස්වග මහණුනට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ තැන ද හඳුනා ගන්නට ලැබිණ. ඉන්දියානු මහබෝධි සමාගමේ නිර්මාතෘවරයා අනගාරික ධර්මපාලතුමා ය. මහාබෝධි සමාගමේ මූලස්ථානය කල්කටාවේ පිහිටුවන ලදී. ඒ අතර ඉන්දියාව පුරා ශාඛා ව්‍යාප්තව තිබේ. බෞද්ධයන් වෙනුවෙන් ඉටු කරන ලද සේවාව විෂයෙහි මහාබෝධි සමාගමට කීර්තිමත් ඉතිහාසයක් ඇත. බුද්ධ චරිතය සමඟ බැඳී ඇති ඇතැම් පූජා භූ®මි මේ විශිෂ්ට ආයතනය විසින් දසක ගණනාවක් තිස්සේ රැකබලා ගනිමින් නඩත්තු කරනු ලැබේ. අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ හැම අස්සක් මුල්ලක් නෑර සංචාරය කළා පමණක් නොව, ජනතාව තුළ මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ පුනර්ජීවනය පිණිස මිත්‍රශීලි හැඟීමක් ද ජනිත කළේය.

සැබවින් ම එහිලා ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් ඉටු කරන ලද මහාර්ඝ වූත්, ආත්මාර්ථයෙන් තොරවූත් සේවාව අවධාරණය කිරීම වුවමනා නැතැයි සිතමි. ප්‍රමාණයෙන් කුඩා වුවත් ශ්‍රී ලංකාව නම් වූ මේ බෞද්ධ දේශය බුදු දහම සිය රට තුළ බබුළුවාලීම විෂයෙහි විශිෂ්ට පරමාදර්ශ දක්වා ඇතිවා පමණක් නොව භාරත දේශය වෙනුවෙන් ද කර ඇති සේවාව අපමණ ය. භාරතය තුළ බුදු දහමේ පුනර්ජීවනයට හානියක් විය හැකි කවර තරමේ අභියෝගයකට හෝ මුහුණ දෙන්නට ශ්‍රී ලංකාව නිරීක්ෂණශීලිව සිටී. එහිලා මෙතෙක් ශ්‍රී ලංකාව තමනට කළ හැකි හැම දෙයක් ම කර ඇත. ඔවුන්ගේ දැඩි උත්සාහයෙන් තොර වන්නට ඉන්දියාව තුළ බුදුදහමේ පුනර්ජීවනයක් ඇති නොවන්නට තිබිණ. බුදුන් වහන්සේ ගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් ව්‍යාප්ත කිරීමේලා ශ්‍රී ලංකාව නම් වූ පුංචි දේශයේ කැපවීම ලොව පුරා හැම බෞද්ධ රටකට ම ආදර්ශයකි.

ඉන්දියාවේ පසුගාමී සමාජ කුලයන්ගේ පිළිගත් නායකයා සහ නිදහස් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ද වූ බෝධිසත්ව බබාසාහිබ් ආචාර්ය අම්බෙඩ්කාර් 1956 ඔක්තෝම්බර් 14 වැනිදා නාග්පූර්හිදී බුදු දහමේ පුනර්ජීවනය පිණිස මහා ජවයක් ලබා දුන්නේ ය. ඔහු 1935 මැයි මස නාසික් දිස්ත්‍රික්කයේ ජවාලාහිදී තමා හින්දුවකු ලෙස ඉපදුණත් හින්දුවකු ලෙස නොමැරෙන බව කියා සිටියේ ය. හින්දුවකු ලෙස ඉපදීම ඔහු සතු වගකීමක් නොවී ය. එහෙත් අහින්දුවකු ලෙස මරණය තමා සතු වගකීමක් හා අයිතියක් බව ඔහු පළ කළේය. ඒ ප්‍රකාශය කළ තැන් සිට ඔහු සිය අනුගාමිකයන්ගේ සිත් තුළට බෞද්ධ අදහස් කා වැද්දු අතර, සමානාත්මතාව පිළිබඳ බුදුන් වහන්සේ ගේ පණිවිඩය ගෙන ගියේ ය.


ලුම්බිණිය

ඉක්බිති ඔහු අශෝක විජයග්‍රහණය පිළිබඳ ඓතිහාසික අනුස්මරණ දිනය නිමිති කර ගනිමින් බුදුදහම වැළඳ ගන්නට තීරණය කළේය. බුදු දහමේ පුනර්ජීවනයේ ඉතිහාසය විෂයෙහි සලකා බලන විට ඒ දිනය රන් අකුරින් සටහන් විය යුත්තකි. ඇයි ද යත්, හුදෙක් එදින ආචාර්ය අම්බෙඩ්කාර්ගේ වචන මාත්‍රයෙන් එක් රැස් වූ ලක්ෂ ගණන් අනුගාමිකයන් පිරිසක් බුදු දහම වැළඳ ගත් හෙයිනි. එතුමා ප්‍රථමයෙන් උත්තර් ප්‍රදේශ්හි කුශි නගරයේ චන්ද්‍රමණී මහ තෙරුන්ගෙන් බුදු දහම වැළඳ ගැනීමේ දික්ෂාව (වරප්‍රදානය) ලබා ගත්තේ ය. ඉක්බිති ආචාර්ය අම්බෙඩිකාර් නාග්පූර්හි ලක්ෂ හයකට වැඩි ජනතාවකට දික්ෂා ප්‍රදානය කළේ ය. පසුදින චන්ද නම් තැනදී තවත් පෙරැළියක් අත්දකින්නට ලැබිණ. එනම් සම්මත කුලහීන තුන් ලක්ෂයක ජනතාවක් බුදු දහම වැළද ගැනීම යි. සැබවින්ම මෙය නම් මානව ඉතිහාසයේ අසාමාන්‍ය සිදුවීමකි. එසේ අසාමාන්‍ය වන්නේ කුමක් නිසා ද යත්, ආචාර්ය අම්බෙඩ්කාර් ලක්ෂ ගණනින් ජනතාව පොළොඹවන්නට තරම් බලයක් ඇති අධිරාජ්‍යයක,ª මහා රාජයකු හෝ ධන කුවේරයකු නොවීම ය.

මේ විශිෂ්ටවූත්, ඓතිහාසිකවූත් සිදුවීමෙන් පසු ආචාර්ය අම්බෙඩ්කාර්, 1956 නොවැම්බරයේදී බුදුන් වහන්සේ උපන් නේපාලයේ පැවැත්වුණු සතර වැනි ලෝක බෞද්ධ සම්මේලනයට සහභාගි වූයේය. එහිදී එයට පැමිණි අතිමහත් ජන සමූහය විසින් එතුමා පිළිගනු ලැබුවේ බෝධි සත්වයකු ලෙසිනි. එයට හේතු වූයේ එතුමාගේ ජීවිත කාලය පුරා දස පාරමිතා පුරන්නට යත්න දරා ඇති බවට පිළිගනු ලැබීම යි.

එහිදී ඔහු අවුරුද්දක් දෙකක් තුළ මිලියන හැටක හරිජන පිරිසක් බුදු දහමට හරවන බව කියා සිටියේ ය. සැබවින්ම ඔහු දිගු කලක් ජීවත් වූයේ නම්, ඉන්දියාවෙන් බහුතරයක් බුදුදහමට, එහි අතිශ්‍රේෂ්ඨ හරපද්ධතීන්ට අනුගත කරවා ගනු නියත ය. කුලවාදීන් විසින් බුදු දහමේ පුනර්ජීවනයට නැවත වරක් බාධා කරනු නොලැබීමට වගබලා ගන්නා ලෙස එතුමා සියලු දෙනාට අවවාද කළේය. සිය අනුගාමිකයන් කුලවාදයේ ග්‍රහණයෙන් මුදාගනු පිණිස එතුමා අලුතින් බුදු දහම වැළඳ ගන්නවුනට රීති හෝ පොරොන්දු විසි දෙකක් සම්පාදනය කළේ ය. 1956 ඔක්තෝම්බර් 14 වැනිදා එතුමා විසින් මේ පොරොන්දු ඉදිරිපත් කරනු ලැබිණ. මේ පොරොන්දු විසිදෙක බුදුන් වහන්සේ ගේ අනුගාමිකයන් වන බවට සහ බුදු දහම පිළිබඳ වැරැදි ප්‍රචාරයන්ගෙන් තමන්ගේ ව්‍යාපාරය මුදා ගන්නා බවටත් පොරොන්දු වන චාරිත්‍ර‍්‍රමය සහ වාරිත්‍රමය ගිවිසුමක් විය. බුදු දහම සර්වබලධාරී දෙවියකු හෝ ඊශ්වරයකු, ආත්මයක් සහ සමාජය කුල වශයෙන් බෙදීමක් නො පිළිගත් අතර බමුණු දහම මේ සියල්ල එක හුස්මට පිළිගත්තේ ය.

ආගමික පෙරැළිය පිළිබඳ පළමුවැනි හා දෙවැනි උත්සව නාග්පූර් හා චන්දාහි පැවැත්වීමෙන් පසු තුන්වැනි වූ සහ විශාලතම උත්සවය 1956 දෙසැම්බර් 16 වැනිදා බොම්බායේදී පවත්වන්නට සැලසුම් කර තිබුණු අතර මුළු ඉන්දියාව පුරා සිටි අනුගාමිකයන් මෙන් දෙගුණයක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු තබා තිබිණ. එහෙත් පුදුමයකි. ඒ උත්සවය පවත්වන්නට ලැබුණේ නැත. දිල්ලියේදී බලාපොරොත්තු රහිත මොහොතක එතුමාගේ වියෝගය පිළිබඳ පුවත දැන ගන්නට ලැබිණ. සමස්ත ඉන්දියාව පුරා මෙන් ම ලෝකය පුරාත් කෝටි ගණනින් වූ එතුමන්ගේ අනුගාමිකන් සහ එතුමා අගය කළ හිතවතුන්ටත් එය බරපතළ කම්පනයට හේතුවක් විය.

තමනට මග පෙන්වා දුන් ගුරුවරයාගේ වියෝගය සියල්ලන්ටම දරාගත නොහැකි විය. ඔවුන්ගේ ආලෝකය නිවී ගියේ ය. ගුරුවරයා නැතිවූයේ ය. ඔවුනට මඟ පෙන්වන්නට සිටි මෙහෙයවන්නා සදහට ම අහිමි වූයේ ය. ඔහු ඉටුකර ගෙන යමින් සිටි සේවාව ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නයෙන් සියල්ලෝ කනස්සල්ලට පත් වූහ. එතුමන්ගේ් මළ සිරුර ගුවනින් බොම්බායට ගෙන එද්දී ආනන්ද කෞශල්‍යායන හිමියෝ ද දිල්ලියේ සිට ඒ එක්ක ම පැමිණියෝ ය. ලක්ෂ ගණනින් යුත් හඬන වැලපෙන දැවැන්ත ජන ගංගාව මේ ගුරුවරයාගේ වියෝ වීමේ දුකෙහි තරම කියා පෑවේය. ඉන් පෙර කිසි දිනක කිසිවකු විසින් එවන් ජන සංහතියකින් යුත් ආදාහන පෙරහරක් බොම්බායේදී දැක නොතිබිණ.

තමන්ගෙන් වියෝව ගිය නායකයාගේ දර්ශනයක්වත් ලද නොහැකි වූ ජනතාව 1956 දෙසැම්බර් 7 වැනිදා රටේ හැම අස්සක් මුල්ලකින්ම අවුත් සිරුර දවන ලද සෑයෙන් භෂ්මාවශේෂ ඉවත් කර ගෙන රාජගෘහ, දදාර් සහ බොම්බාය වෙත යන පෙරහරට එකතු වූහ. පෙරහර පටන් ගන්නට පළමුව හඬා වැලපෙන විශාල පිරිසක් තමන් බුදු දහමට හරවා ගන්නා ලෙස ඉල්ලා සිටියෙන් එය ද ඉටු කරන ලදී.


බුද්ධගයාව

1956 දෙසැම්බර් 12 වැනිදා භාෂ්මාවශේෂවලින් කොටසක් ගුවන් යානයකින් දිල්ලියට ගෙන එන ලද අතර එතැන් සිට නගරයේ ප්‍රධාන වීදි ඔස්සේ පෙරහරෙන් ගෙනවුත්, එතුමන්ගේ අනුගාමිකයන් හා අගය කරන්නන් විසින් නව දිල්ලියේ, එම්.එම්. පාරේ අම්බෙඩ්කාර් භවනේ ප්‍රදර්ශනය සඳහා තබන ලදී. ඉක්බිති දෙසැම්බර් 16 වැනිදා දහස් ගණනින් වූ අනුගාමිකයන් පිරිසක් බුදුදහම වැළඳගැනීමේ තවත් උත්සවයක් දිල්ලියේ සංවිධානය කෙරිණ. ඒ එක්ක ම දෙසැම්බර් 17 වැනිදා මිරුත්හිදී දෙතුන් දහසක පිරිසක් ද බුදු දහම වැළඳ ගත්හ. දිල්ලියේ භෂ්මාවශේෂවලින් කොටසක් අග්‍රාහිදී එතුමන්ගේ අනුගාමිකයනට ප්‍රදානය කරනු ලැබ 1957 ජනවාරි 13 වැනිදා පෙරහරකින් ගෙන යනු ලැබිණ. දැන් ඒවා අග්‍රාහී චක්කිපෙත් විහාරයේ තැන්පත් කර තබා ඇත. ඒ විහාරය ආචාර්ය අම්බෙඩ්කාර් විසින් ම 1956 මාර්තු 18 වැනිදා විවෘත කරන ලද්දකි. තවත් අනුගාමිකයන් පිරිසක් ද බුදු දහම වැළඳ ගැනීමේ උත්සවයක් එතුමන්ගේ භෂ්මාවශේෂ ඉදිරිපිට 1957 ජනවාරි 13 වැනිදා අග්‍රාහි පැවැත්විණ. සාරානාත්හි සංඝරතන සහ ධම්මරක්ඛිත යන හිමිවරු මූලිකව උත්සවය සංවිධානය කළහ.

නගරයේත් අවට ගම්වලත් විහාරස්ථාන කීහිපයක් ආරම්භ කරන ලදී. ජනවාරි මාසය තුළ බොම්බායේ සහ තවත් කිහිප තැනක බුදු දහම වැළඳ ගැනීමේ උත්සව කිහිපයක් පවත්වන ලදී. 1957 ජනවාරි 26 වැනිදා බොම්බායේ බ්රැබෝන් ක්‍රීඩාංගනයේ නැවත වරක් ලක්ෂ පහකට වැඩි ජනතාවක් එක් රැස් වූහ. ඒ භාරතීය බෞද්ධ මහා සභාවේ අනුග්‍රහය යටතේ ය. මෙයට භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ් සහභාගිත්වය ලැබිණ. මූලාසනය දරන ලද්දේ ඒ උදාර පුරුෂයාගේ් එකම පුතා වූ ශ්‍රී වයි. බී. අම්බෙඩ්කාර් විසිනි.

බුදු දහමේ පුනර්ජීවනය නම් වූ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය සාක්ෂාත්කරණය සඳහා 1956 ඔක්තෝම්බර් 14 වැනිදා ආචාර්ය අම්බෙඩ්කාර් විසින් නාග්පූර්හී භාරතීය බෞද්ධ මහා සභා නම් වූ ආයතනය පිහිටුවනු ලැබිණ. එහි ශාඛා ඉන්දියාව පුරා විසිරී ඇත. එහි සභාපති වූයේ ශ්‍රී වයි.බී. අම්බෙඩ්කාර් ය. මේ ආයතනයේ නිලධරයෝ ආචාර්ය අම්බෙඩ්කාර්ගේ බලාපොරොත්තු පල ගන්වනු පිණිස ඉන්දියානු ජනතාව දැනුම්වත් කරන්නට හැකි හැම දෙයක්ම කරති.

බබාසාහිබ් අම්බෙඩ්කාර් විසින් ඉන්දියානුවන් හට නැවත බුදුදහම හඳුන්වාදීමේ ව්‍යාපාරය පටන් ගන්නා ලද්දේ දින දෙක තුනක් තුළ නොවේ. එය එතුමන්ගේ් අඛණ්ඩ චින්තනය, අධිෂ්ඨානය සහ වසර ගණනාවක් පුරා තමා විසින්ම අත්දකින ලද බෞද්ධ පිළිවෙත් මඟෙහි ප්‍රතිඵලයකි. එතුමා පළමුවෙන් ම ඉන්දියානු මහජන අධ්‍යාපන සංගමයේ අධීක්ෂණය යටතේ පිළිවෙළින් 1946 සහ 1948 දී බොම්බායේ සිද්ධාර්ථ විද්‍යාලයත්, අවුරංගබාද්හි මිලින්ද විද්‍යාලයත් පිහිටුවමින් සිය චින්තනයට ප්‍රායෝගික මුහුණුවරක් දුන්නේ ය. එපමණක් නොව බෞද්ධ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමේ අදහසක් ද එතුමා තුළ විය. ඒ අරමුණින් මයිසෝර් මහාරාජා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක් බැංගලෝරය අසලින් ලබා ගත්තේ ය. එතුමා ඒ ආයතනය පටන් ගන්නට බෞද්ධයන් සමග සාකච්ඡා කරමින් ද සැලසුම් කරමින් ද සිටියත් එම සිහිනය සැබෑ වූයේ නැත.

ඒ වනවිට ආසන්න වශයෙන් මිලියන 15 - 20 දක්වා ජනතාවක් බුදුදහම වැළඳ ගත් බවට ගණන් බලා ඇත. ඒ පිළිබඳ සිද්ධින් මහා පරිමාණ වූ හෙයින් නිශ්චිත ලෙසින් ගණන් හිලවු දක්නට නොහැකි ය. කිසිවකුටත් ඒ පිළිබඳ වාර්තා සම්පාදනය කළ හැකි නොවේ. කෙසේ වෙතත් අද ඉන්දියාව පුරා බෞද්ධයෝ හමුවනු හැක්කෝ ය. වසර 1000 කටත් වැඩි කලක් දඹදිව් තලයේ කලඑළියකින් තොරව පැවැති බුදු දහම දැන් කාලයාගේ ඇවෑමෙන් මුල් අල්ලා අංකුරලා අතුඉති විහිදවමින් පල දරන්නට පටන් ගෙන ඇතිවා සේ ය. ආචාර්ය අම්බෙඩ්කාර් වරක් 1954 දී බුදුදහමේ අක්මුල් එතෙක්දු වියැළි ගොස් නැති බව බුරුම (මියන්මාර්) බෞද්ධයනට කීවේ ය. ඒවා තවමත් ශක්තිසම්පන්න ය. අවශ්‍ය ව ඇත්තේ දිය ඉස තෙමා පණ ගැන්වීම පමණි. එතුමා තෙමේ ම බුදු දහම වැළඳ ගෙන ඒ සිහි කටයුතු දිනයෙහි ලක්ෂ ගණන් ජනතාවට දික්ෂා ප්‍රදානය කර ඒ බව ඔප්පු කළේ ය. එදා ඒ දැල් වූ පහන සදහට ම දිදුලනු ඇත. එතුමාගේ අනුගාමිකයෝ මුහුණ පාන්නට සිදුවන ඕනෑ ම බාධකයකට මුහුණ දී ඉදිරියට යන්නට අදිටන් කර ගෙන සිටිති. එහෙත් එතුමාගේ බෞද්ධ ව්‍යාපාරය ඇරැඹුණු දා පටන් බෞද්ධයනට නොයෙක් තන්හි කුරිරු කුලවාදීන්ගේ තාඩන පීඩනවලට ලක් වන්නට සිදුවුණු බව සඳහන් කරන්නට මෙතැන නුසුදුසු තැනක් නොවෙති යි සිතේ. බෞද්ධයන් වර්ජනය කරනු ලැබූ බවත්, ඔවුනට හිමි විය යුතු ගෞරවය අහිමි කරනු ලැබූ බවත් වාර්තා වී ඇත. පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් මේවා නවත්වන්නට බෞද්ධ නායකයන් විසින් යත්න දරනු ලැබ ඇත. එසේ යත්න දරා ඇත්තේ එවන් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවත්, ප්‍රාන්ත ආණ්ඩුත් දැනුම්වත් කරමිනි.

නුදුරු අනාගතයේ ඉන්දියාවේ සියලු දෙනා බුදු දහම වැළඳ ගනු ඇත. එහෙත් දැන් අප ඉදිරිපිට ඇති ප්‍රශ්නය නම්, ජනතාව අතර බුදු දහමේ අධ්‍යාත්මික ගුණය රඳවා තබා ගන්නේ කෙසේද යනුයි. බෞද්ධයන් බෙහෙවින් සැලකිලිමත් විය යුත්තේ ඔවුන් සිතින් පොහොසත් වෙතත් බොහෝ දෙනෙකු දේපොළ අතින් නිර්ධන වීමයි. එහෙත් ඔවුහු එසේ තිබියදී පවා හැකි හැම තැනක ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් බෙදා දෙනු පිණිස ආයතන පිහිටුවීම සඳහා දැඩි අරගලයක යෙදී සිටිති. එසේ වුවත් කාලීන අවශ්‍යතාවලට මුහුණදීමට එය ප්‍රමාණවත් නොවේ. එහිලා භික්ෂූන්වහන්සේ සිය ගණනින් අවශ්‍ය වෙති. 1957 සිට මේ දක්වා (1959 දක්වා) සාරානාත්හි පැවිදි කර ඇත්තේ භික්ෂුන් දුසිම් භාගයක් පමණි. අරමුදල් හිඟය නිසා වැඩිමනත් පිරිස් පැවිදි කර ගන්නට මහාබෝධි සමාගමට ඉදිරි පියවර ගත නොහැකිව තිබේ. බුදු දහමේ පුනර්ජීවනය පිණිස කැප වී සේවාව කරන්නට තරම් පරාර්ථකාමී පුද්ගලයෝ සිය ගණනින් සිටිති. එහෙත් ඒ හැම දෙනාටම සුදුසු ආගමික පුහුණුවක් හා මඟ පෙන්වීමක් වුවමනා ය.

ඇතැම් තන්හි විහාරස්ථාන ආරම්භ කර ඇත. ඒ හැම තැනකටම බුදු පිළිම අවශ්‍ය වෙයි. ඉන්දියානු මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ශ්‍රී දේවපි‍්‍රය වලිසිංහ මේ වසර (1959) මුලදී අග්‍රාහි බෞද්ධයනට සමාගම වෙනුවෙන් පිළිමයක් පරිත්‍යාග කර ඇත. තවත් එකක් දිල්ලියේ බෞද්ධයනට පිරිනමා තිබේ. ළඟදී ම බුරුමයේ බුද්ධ සාසන කවුන්සිලය අග්‍රා විහාරයට කිරිගරුඬ බුදු පිළිමයක් පරිත්‍යාග කරන්නට සූදානමින් සිටී. තායිලන්තයේ කුමාරයෙක් දිල්ලියේ බෞද්ධයනට සහෝදරත්වයේ සංකේතයක් ලෙස නවදිල්ලියේ අම්බෙඩ්කාර් භවනට බුදු පිළිමයක් පරිත්‍යාග කළේය. මෙසේ පරිත්‍යාග කිරීමට බුදු පිළිම සිය දහස් ගණනක් අවශ්‍යව ඇත.

බුදු පිළිම ප්‍රදානය බෞද්ධයන් අතර ශ්‍රද්ධා සම්පන්න ආකල්පයක් ජනනය කරන අතර, සහෝදරාත්මක සබඳතා ද ශක්තිමත් කරනු ඇත. එසේම බෞද්ධ සඟරා කිහිපයක් ද ප්‍රකාශයට පත් වෙමින් තිබේ. එයින් එකක් නම්, සතිපතා බොම්බායේ ප්‍රකාශයට පත් කැරෙන ‘ප්‍රබුද්ධ භාරත්’ ය. එයට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පුරා පුළුල් ප්‍රචාරයක් ඇත. එපමණක් නොව ඉන්දියාව පුරා මරාටි බස කතා කරන ජනතාව අතර ද ජනපි‍්‍රය වී ඇත. එහි කර්තෘත්වය දරන ලද්දේ පා.ම. ඩඩාසාහිබ් ගයික්වාද්, පා.ම. බී.සී කම්බිලේ සහ ආර්.ඩී. භණ්ඩාරි (එම්.එල්.ඒ) ආදීන් විසිනි. එපමණක් නොව හින්දි, උර්දු, දෙමළ සහ වෙනත් ඉන්දියානු භාෂාවලින් තවත් සති, දෙසති සහ මාස්පතා සඟරා කිහිපයක් පළ කැරිණි. පන්ජාබයෙන් ‘භීම් පත්‍රිකා’ අහමදාබාද්වලින් ‘ජ්‍යෝති’, නාග්පූරයෙන් ‘භීමි ජ්‍යෝති’ පූනාවලින් ‘බෝධිසත්ව දිල්ලියෙන් ‘ප්‍රශාන්ත්’ සහ අජ්මිරයෙන් අඪඨඩබ ඍඪඥඹ ද ඒ අතර වෙයි. සත්තකින් ම ආරම්භයෙන් 67 වැනි වසර ගෙවන (1959 දී) ර්චඩච ඕධඤඩඪ ප්‍රකාශනය, ව්‍යාපාරයට විශිෂ්ට සේවාවක් ඉටු කරමින් සිටී. කුඩා වුවත් අලුත් බෞද්ධයන්ගේ ක්‍රියාකාරකම් විෂයෙහි අවබෝධය පිණිස වැදගත් වන තවත් ප්‍රකාශන කිහිපයක් ඇත.

ජනතාව මිලියන ගණනින් බුදු දහම වැළඳ ගැනීම වැදගත් ඓතිහාසික සංසිද්ධියකි. ආචාර්ය බබාසාහිබ් (අම්බෙඩ්කාර්) නාග්පූර්හිදී සිය අනුගාමිකයන්ගෙන් බුදු දහම වැළඳ ගන්නා ලෙස ඉල්ලා සිටීමේදී ආගම වෙනස් කිරීමේ හේතුවෙන්, ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට, සම්මත කුලහීන සමාජයට ප්‍රදානය කරන ලද පහසුකම් හෝ වරප්‍රසාද අහිමි කරනු ලැබේ ද යන්න කෙරෙහි එතුමා සපුරා සවිඥානිකව සිටියේ් ය. එබැවින් එතුමා, ඔවුන් සඳහා නොයෙක් පහසුකම්, අධ්‍යාපනික සහන සහ ප්‍රතිපදාන සලසා දුන්නේ තමා බව මහජන සන්නිපාතයට මතක්කර දුන්නේ ය. බෞද්ධයන් හැටියටත් ඒ පහසුකම් සහ වරප්‍රසාද ඒ හැටියෙන් ම ඔවුන් සඳහා ලබා දෙන බවට එතුමා සහතික විය.

එහෙත් එතුමන්ගේ් හදිසි වියෝගයෙන් එවන් වැදගත් සේවාවක ඉෂ්ටදායක ප්‍රතිඵල ලබන්නට තිබුණු භාග්‍යය ජනතාව වෙතින් ගිලිහි ගියේ ය.

මෙවැනි පසුබිමක් තුළ වුවද මිලියන ගණනින් වූ ජනතාව, එතුමා විසින් ඔවුනට යළි හඳුන්වා දෙන ලද ශ්‍රේෂ්ඨ වූ විමුක්ති මාර්ගය අනුගමනය කළහ. එහෙත් ඇතැමෙක් එතුමාගේ මඟ පෙන්වීම මත බුදු දහම වැලඳ ගැනීම සිදුවුවත් දැන් එසේ කිරීම දුෂ්කර වනු ඇතැයි අවලාද නැඟුහ. එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය කෙරෙහි තැකීමක් නොකළ අය බ්‍රාහ්මණික දෘෂ්ටියෙහි එල්බ සිටින්නෝ ය. එහෙත් ආත්ම ගෞරවය සහ මානව උදාරත්වය ගැන සැලකිලිමත් වන පිරිස් ඕනෑ ම ආකාරයක මදි පාඩුකම් නොතකා බබාසාහිබ්ගේ අවවාදය භාර ගනිති.

සම්මත කුලහීනයකු ලෙස සැලකුණු පුද්ගලයා අද බෞද්ධයකු ලෙස ඔහුගේ ආත්ම ගෞරවය දිනා ගෙන සිටී. සියවස් ගණනාවක් පුරා ඔහුට එය අහිමිව තිබිණ. බබාසාහිබ්ගේ වියෝගයෙන් තාවකාලික පසුබෑමක් ඇති වන්නට පුළුවන. එහෙත් එය සදහටම එසේවේය යනු එවැනි ප්‍රචාර ගෙන යනු ලබන්නෝ හුදෙක් ද්වේෂ සහගත ප්‍රචාරයක් පමණි. බ්‍රාහ්මණික අසමානතාව, මානව සංහතිය සුරාකෑම සහ එය නඩත්තු කිරීමත් කෙරෙහි විශ්වාසය තබන කිසියම් බලවේගයක් විසිනි. සැබවින් ම ඒ හැර අන් කවරක් විය හැකි ද?

එහෙත් ප්‍රශ්නය ගැන සාවධානව සලකා බැලිය යුතු ය. පාර්ලිමේන්තුව තුළ බෞද්ධ නායකයෝ සේ ම අනෙක් අයද බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ගැන සටන් කළහ. මහාබෝධි සමාගමේ උද්යෝගිමත් සහ කැප වූ ප්‍රධාන ලේකම් ශ්‍රී දේවපි‍්‍රය වලිසිංහ විසින් දරන ලද අවංක උත්සාහය ගැන විශේෂ සඳහනක් කළ යුතු ය.

ඔහු සිය දේශන මඟින් බෞද්ධයන්ගේ අයිතිවාසිකම ගැන නිහතමානීව අයැද සිටියේ ය. එසේ ම අදාළ පරිදි ඉදිරිපත් කරන ලදී. බෞද්ධ මන්ත්‍රිවරුන් විසින් පාර්ලිමේන්තුවේදී සහ ප්‍රාන්ත රාජ්‍යසභා වලදීත් ප්‍රශ්නය ඉදිරිපත් කරන ලදී. බෞද්ධයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය සියලු දෙනාගේ අවධානයට ලක් වූයේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශ්‍රී එන්. සිවරාජ් ශ්‍රී බබාසාහිබ් සහ බී.කේ. ගයික්වාද් බෞද්ධ ශිෂ්‍යයනට අවශ්‍ය මුදල් ආධාර සැපයීම සහ බුදු දහම ඉගෙනීමට පහසුකම් සැලසෙන පාසල් විදුහල් පිහිටුවීමේ ප්‍රශ්නය ගැන සලකා බලා ඇත.

අඩු තරමින් එවන් එක ආයතනයක්වත් ළඟදී ම පිහිටුවන ලකුණු පෙනේ. ඒ ප්‍රයත්නය සාර්ථක වුවහොත් අනාගතයේදී දුප්පත් බෞද්ධ ශිෂ්‍යයනට ඔවුන්ගේ අධ්‍යාපන කාර්යාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට ධෛර්යයක් ලැබෙනු ඇත.

දෙවසරක කාල පරාසය අතර බුදු දහමේ පුනර්ජීවන ව්‍යාපාරය වේගවත් ප්‍රගතියක් ලබා ඇත. එය හැම කෙනකුගේ ම ඇස් අරවන්නකි. සිතන්නට නිමිත්තකි. ඉතිහාසඥයනට නව පරිච්ඡේදයකි. අපේ ශ්‍රේෂ්ඨ ශාස්තෘන්වහන්සේ විසින් දේශනා කරන ලද සත්‍යය අකාලික බව ඔප්පු කරන්නකි. ඒ සත්‍යය බුදුන් උපන් දේශය තුළ දහස් වසරක අන්ධකාර යුගයකින් පසු උන්වහන්සේගේ දැන උගත්, කැපකරු උපාසක සම්මානනීය බබාසාහිබ් අම්බෙඩ්කාර් විසින් පුනපුනා දිගින් දිගට විවරණය කරමින් උගන්වනු ලැබ ඇත. බබාසහිබ්ගේ අනුගාමිකයෝ නොයෙක් ආකාරයේ අවාසි, පසුබෑම් දුක්ගැහැට ආදියට මුහුණ දෙමින් ඉදිරියට යන්නට අධිෂ්ඨාන කර ගෙන සිටිති.

ඔහුගේ ජීවිත පරිත්‍යාගයෙන් ඇරැඹුණු ඒ ව්‍යාපාරය දිගු කලක් ඉදිරියට යනු ඇත. ඉන්දියානු ජන සමාජයේ විශාල පිරිසක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිරත්නයේ සරණ යන්නන් බවට පත් වන දිනය ඈතක නොවේ. ඒ අනුව ඉන්දියාව නම් වූ මහා දේශය තිසරණයෙන් සහ පංචශීලයෙන් එළිය වනු ඇත.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]