UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර අටවක 2011 ජුලි 08 වන දා සිකුරාදා

බෞද්ධ උපදේශනය

 

බෞද්ධ උපදේශන සේවාවක් කොළඹ තුන්මුල්ල හන්දියේ පිහිටි 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියන් කටයුතු යොදා ඇතැයි 2011 ජූලි මස 01 වන දා ඩේලිනිව්ස් පුවත්පතෙහි පළ විය. ළමයින්ට, විවාහ දිවියට පා තැබීමට අපේක්‍ෂා කරන්නන්ට, දෙමාපියන්ට හෝ ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයකුට මේ උපදේශන සේවාව ලබා ගැනීමට පුළුවන. මෙය අතිශයින් වැදගත් කාලෝචිත පියවරක් ලෙස හැඳින්විය හැකි ය.

බොහෝ දෙනා මානසික අසහනයෙන් පෙළෙන වර්තමාන ලෝකයට මෙහි ඇති වැදගත්කම අමුතුවෙන් කිව යුතු නැත. විශේෂයෙන් ම, දශක තුනක් පුරා ඇදී ගිය අභ්‍යන්තර යුද්ධයකින් පීඩා විඳි අප සමාජයට මෙ බඳු උපදේශන සේවාවක් ඉතාමත් අවශ්‍යව තිබේ. වෛද්‍ය රුවන් එම්. ජයතුංග ලියූ ‘යුද ආතතියේ මනෝවිද්‍යාත්මක බලපෑම’ නමැති කෘතියෙහි එය විග්‍රහ කැරැ ඇති ආකාරය උපුටා දැක්වීමට කැමැත්තෙමු.

“ඊළාම් යුද්ධය නිසා හමුදා සහ සිවිල් වැසියන් 50, 000 කට ආසන්න සංඛ්‍යාවක් මියගිය අතර, ආබාධිතයන් රැසක් ද යුද්ධය විසින් ඇති කරන ලදී. යුද ආතතිය සහ ශ්‍රී ලාංකික ගැටුම අනිවාර්යයෙන් ම අධ්‍යයනය කළ යුතු ය. යුද ආතතිය අප සමාජයට බලපාන ආකාරය සහ ඒ ආතතිය අවම කර ගැනීම සඳහා පිළියම් යෙදීම වහා ම කළ යුත්තේ ය. නැතහොත් වියට්නාම යුද්ධය නිසා ඇමෙරිකානු සමාජයේ ඇති වූ සංකූලතාවලට වඩා දරුණු අර්බුද අප සමාජයේ ඉදිරි කාලයේ ඇති වනු ඇත.”

‘වියට්නාම් යුද්ධය ඇමෙරිකාවට ආනයනය කරන ලද්දේ ය. ඒ ගැටුම ඇමෙරිකානු භූමියේ සිදු වූ යුද්ධයක් නො වේ. නමුත් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය මුල් බැසගෙන තිබුණේ අප ගේ පොළොවේ ය. උතුරේ සහ දකුණේ ව්‍යසනයන් අප ගේ දෑස් හමුවේ සිදු වූයේ ය. මේ ගැටුම නිසා සිවිල් වැසියෝ රැසක් ද යුද ආතතියේ ගොදුරු බවට පත් වී සිටිති. මහබැංකු බෝම්බයෙන් සහ දෙහිවල බෝම්බ නිසා පශ්චාත් ව්‍යසන ක්ලමථා අක්‍රමතාවට ගොදුරු වූ රෝගීන් කිහිප දෙනකු මට හමු වී තිබේ. යුද ආතතිය සඳහා අප විසින් පිළියම් යෙදවීම පමා කළහොත් පහත දැක්වෙන දුර්විපාකයන් ගෙන් අප සමාජය පිරී ඉතිරී යනු ඇත.’

‘සමාජ ප්‍රචණ්ඩත්වය, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමයින්ට කුරිරු ලෙසින් සැලකීම, මධුලෝලිතාව, දිවිනසාගැනීම් හා අඩු ඵලදායිතාව එම දුර්විපාකයන් ය.’

එහෙත් මෙ බඳු මානසික ගැටලුවලට විසැඳුම් සොයා ගැනීමට ඇති පහසුකම් අවම මට්ටමක පවතී. උතුරේ යුද අනාථයන් යළි පදිංචි කිරීම සඳහා ප්‍රමුඛත්වය දීම හා දරුස්මාන් කමිටු වාර්තාව, බ්‍රිතාන්‍යයේ චැනල් - 4 රූපවාහිනී සේවය මෑතක දී විකාශය කළ ‘ශ්‍රී ලංකා ඝාතන භූමිය’ නමැති රූපමාලාව ආදියට පිළිතුරු දීමට ශ්‍රී ලංකා රජයට සිදු වී තිබේ.

එ පමණක් ද නො ව බෞද්ධ රටක් වන අප, බෞද්ධ උපදේශන සේවාවක් ජාතික මට්ටමෙන් පවත්වා ගෙන යෑමට තවමත් අපොහොසත් ව සිටිමු. සෑම පන්සලක් ම උපදේශන මධ්‍යස්ථානයක් බවට පත් විය යුතු යුගයක එය සිදු නො වීම කනගාටුවට කරුණකි. එහෙත් සාංදෘෂ්ටිකවාදියකු වන වික්ටර් ෆ්රෑන්කල් ගේ අධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රමය බටහිර රටවල් බොහෝසෙයින් භාවිත කරනු ලැබේ. පුද්ගල මානසික ගැටලු හා වික්ටර් ෆරෑන්කල් ගේ අධ්‍යාත්මික ප්‍රතිකාරය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යාපාරත්න වීරසේකර මෙ සේ විස්තර කර යි.

‘මිනිසා ගේ සිතුම්, පැතුම්, කල්පනා විශ්වාස ආදියෙන් ඔහු ගේ මනෝවිද්‍යාත්මක ලෝකය සකස් වේ. පුද්ගලයා ගේ මානසික අංශය යහපත් ව පවත්වා ගැනීම සඳහා අන්තර් පුද්ගල සම්බන්ධතා ඉතා වැදගත් ය. නමුත් ෆ්රෑන්කල් විශේෂයෙන් අවධාරණය කළේ අධ්‍යාත්මික ලෝකය යි. ෆ්රෑන්කල් දක්වන අධ්‍යාත්මික ලෝක උපදේශනය මනෝ ප්‍රතිකාරයේ දී ඉතා වැදගත් ය. අධ්‍යාත්මිකත්වය බොහෝ මනෝවිද්‍යාඥයන් ගේ අවධානයට ලක් වූවක් ද නො වේ. ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක හා අධ්‍යාත්මික යන ලෝක තුන අතර මනා සම්බන්ධතාව පුද්ගල පැවැත්ම සම්බන්ධයෙන් සලකන විට ඉතා වැදගත් ය. එයට හේතුව මේ සම්බන්ධතාව බිඳී යෑම පුද්ගලයා සම්බන්ධයෙන් ගැටලු ඇතිවීම කෙරෙහි බලපෑම යි.’

‘ධර්ම ප්‍රතිකාරයේ දී (Logotherapy) අවධානය යොමු කරනුයේ පුද්ගලයා ගේ අධ්‍යාත්මික ලෝකය කෙරෙහි ය. එයට හේතුව අධ්‍යාත්මික හිඩැස මිනිසාට ස්වකීය පැවැත්මේ අර්ථය තේරුම් ගැනීමට බාධාවක් වීම යි. භෞතිකවාදී විශ්වාස විසින් පුද්ගලයා අධ්‍යාත්මික ලෝකයෙන් ඈත් කරනු ලබ යි. ‘

පටාචාරා, කිසාගෝතමී වැනි සිද්ධීන් ගෙන් හෙළිවන විශිෂ්ට ධර්ම ප්‍රතිකාර ක්‍රමය වත්මන් සංකීර්ණ සමාජයට වඩාත් අවශ්‍ය ය. එ බැවින් කිරම විමලජෝති හිමියන් ගේ ප්‍රයත්නය සාර්ථක වේවා යි පතමු.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 08 වන දා සිකුරාදා පූර්ව භාග 01.10 ලබයි.
එදිනම අපර භාග 10.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 08 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 14 වනදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]