UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 17 වන උපාධි ප්‍රදානෝත්සවය

10 වන දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධි ලබති


නිර්මල බුදුදහම රැකගෙන අනාගත පරපුරට දායාද කිරීමේ වගකීම ද පැවරී ඇත

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව පෙළගැසෙන මෙම වසරේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 17 වැනි උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. සම්බුද්ධ ශාසනය පෝෂණය කර එය ආරක්ෂා කිරීමේ වගකීමෙන් කටයුතු කරන ශ්‍රී ලංකා රජයේ විශේෂ පනතකින් පිහිටුවා ඇති මෙම විශ්වවිද්‍යාලය අද ඉතාමත් දියුණු තත්ත්වයකට පත්ව ඇත.

මහා මහින්ද මහ රහතන් වහන්සේගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු බුදුදහම ලක්වැසි ජනතාව තමන්ගේ දිවි දෙවෙනි කොට ආරක්ෂා කර ගෙන ආ බව ඉතිහාසය සාක්ෂි දරයි. ත්‍රිපිටකය මුලින්ම මාතලේ අලුවිහාරයේ දී පොත්වල ලියා එය ආරක්ෂා කර ගත්තේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලා ය. එම නිර්මල බුදුදහම රැක ගැනීමේ ගෞරවය ශ්‍රී ලංකාවාසී භික්ෂූන්වහන්සේලාට සහ බෞද්ධ ජනතාවට ලැබී තිබේ.

එම පරපුරේ භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් වශයෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ධර්ම විනය ඉගෙන පිටව යන භික්ෂූන් වහන්සේලා මෙන් ම ගිහි තරුණ මහත්වරුන් ද අද දින උපාධියෙන් පිදුම් ලබති. අතීත භික්ෂූන් වහන්සේලා සහ ගිහි ජනතාව මෙන් උපාධිය ලබන සියලු දෙනාටම බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත. මෙම නිර්මල බුදුදහම රැකගෙන අනාගත පරම්පරාවට දායාද කිරීමේ වගකීම ද ඔබ වෙත පැවරී ඇති බව සිතට ගන්නා ලෙස ද මෙම අවස්ථාවේදී කාරුණිකව සිහිපත් කරමි.

මෙම උපාධි ලබාදීම සඳහා කැපවීම් කළ සියලු දෙනාටම මාගේ පුණ්‍යානුමෝදනාව පුද කරමි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වීමට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


බුදුදහම හා පාලි භාෂාව ඉගැන්වීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හා ශිෂ්‍යයන් පුහුණු කිරීමද බලාපොරොත්තු වේ

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 17 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි.

1995 අංක 37 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනතින් සංශෝධිතව 1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනත අනුව 1982 අපේ‍්‍රල් 22 දින ප්‍රතිෂ්ඨාපිත මෙම විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර සිසුන් සඳහා අධ්‍යයන පරිශ්‍රය හෝමාගම, පිටිපන උතුර යන ස්ථානයෙහි ද, බාහිර විභාග අංශය කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 214 සහ ගාලුපාර, කොල්ලුපිටිය මුම්ටාස් මහල් යන ස්ථානයන්හි ද පිහිටා ඇති අතර දැනට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයෙහි හිටපු මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ මෙම විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් වර්ධනය කිරීමට ඉමහත් උද්‍යෝගයෙන් ක්‍රියා කරමින්, තම නිල කාල සීමාව තුළ මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හා පරිපාලන කටයුතු විධිමත් ව පවත්වා ගෙන යමින් විශේෂ ව්‍යාපෘතියක් යටතේ් රජයෙන් මිලියන 512 ක ප්‍රතිපාදන වෙන් කරවා ගෙන විශ්වවිද්‍යාලයේ දියුණුවට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වේගවත් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගත්හ.

හෝමාගම, පිටිපන උතුර පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් භූ®මි භාගයෙන් ලැබුණ අක්කර පහක ඉඩමෙහි දෙමහල් දේශන ශාලා පහක්, පීඨ පරිපාලන ගොඩනැගිල්ල, නව පුස්තකාල සංකීර්ණය, ශ්‍රවණාගාරය, පොදු පහසුකම් ගොඩනැගිල්ල දැනට ඉදිකිරීම් කටයුතු නිමවා පරිහරණය කරන අතර හයිලෙවල් පාරට ආසන්නව මොරගහහේන පාරට මුහුණ ලා ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර එම ගොඩනැගිලි ඇතුළු හෝමාගම පරිශ්‍රයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි සංකීර්ණය ගරු ජනාධිපතිතුමාගේ් ප්‍රධානත්වයෙන් 2010.08.12 දින විවෘත කරන ලදී.

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි බුදුදහම පතුරුවාලීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීම සඳහා බෞද්ධ ධර්මය සහ විනය පිළිබඳ ශාස්ත්‍රධරයන් පුහුණු කිරීම මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථයයි.

ඒ සඳහා පාලි භාෂාව, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය හැදෑරීම ප්‍රවර්ධනය කිරීම ද, පිරිවෙන්වල, පාසල්වල සහ ඒ සමාන ආයතනවල බුද්ධාගම සහ පාලි භාෂාව ඉගැන්වීම සඳහා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිමි ශිෂ්‍යයන් පුහුණුකිරීම ද බලාපොරොත්තු වේ.

දැනට අප විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විදේශ ආයතන සිංගප්පුරුව, මැලේසියාව, දකුණු කොරියාව, ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්කොට්ලන්තය, එංගලන්තය සහ ඇමෙරිකාව යන රටවල ආරම්භ කර ඇත. අන්තර්ජාල පහසුකම් තුළින් විදේශීයයන්ට බුදුදහම පිළිබඳ දැනුම ලබාදීමට ද සැලසුම් කරගෙන යනු ලබයි. දේශීය සහ විදේශීය වශයෙන් ආයතනයේ පරමාර්ථ ඔස්සේ අධ්‍යාපනය ලබමින් සාර්ථකව එය අවසන් කළ හත්සිය පනහකට අධික සිසුන් පිරිසකට උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය ජූනි මස 10 වනදින මෙම විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය ශ්‍රී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් සැම දෙනාට පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුතිය පළ කරමි.


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලෝක බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වනු දැකීම අපගේ පරම පැතුමයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 17 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක්කිරීමට ලැබීම ඉමහත් සතුටකි.

ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල පාලි හා බෞද්ධ අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම විශ්වවිද්‍යාලය එකී අරමුණු ඉටුකර ගනිමින් දිනෙන් දින ලබන ප්‍රගතිය පිළිබඳව මම මහත් සේ සතුටට පත්වෙමි.

අතීතයේ ඉන්දියාවේ තිබූ නාලන්ද, වික්‍රමශීලා වැනි විශ්වවිද්‍යාල ලෝකයට බෞද්ධ අධ්‍යාපනය දායාද කිරීමට මහත් පරිශ්‍රමයක් ගත් බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එම අධ්‍යාපන රටාව සිහි ගන්වමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ක්‍රියාත්මකවීම තුළින් අනාගතයේ අප රටට විශාල කීර්තියක් අත්පත් කර දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යලයේ අධ්‍යාපන කටයුතු පෙරදිග රටවලට මෙන්ම බටහිර රටවලට ද ව්‍යාප්තවී තිබීමෙන් අපගේ ඒ විශ්වාසය තවදුරටත් තහවුරු වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පර්යේෂණ කටයුතු අතින් ලබා ඇති ප්‍රගතිය ද ප්‍රශංසනීය ය. ඒ නිසාම ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශනශූරී, උපාධි පර්යේෂණවල නිරතවන විද්‍යාර්ථීන්ට පුළුල් ඉඩකඩක් හිමිව තිබේ. එසේම ඇමරිකාව, ජර්මනිය, ඕස්ට්‍රියාව, ස්කොට්ලන්තය, එංගලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතන පිහිටුවා එම රටවල විද්‍යාර්ථීන්ට ද බෞද්ධ අධ්‍යාපනයේ නිරතවීමට අවස්ථාව සලසා දීම මහත් සතුටකි. එය මෙම විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්ත වීමට සේම ථෙරවාදී නිර්මල බුදු දහම ලෝකයාට දීමේ අප යුතුකම ඉටුකිරීමට අවස්ථාවක් සැලසීමක් ලෙස ද මම දකිමි.

මෙම විශ්වවිද්‍යාලය වර්තමානයේ පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ඇප කැපව ක්‍රියාකරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි සියලු දෙනාට ප්‍රශංසා කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලෝක බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වනු දැකීම අපගේ පරම පැතුමයි.

අද දින උපාධි ලබන ගිහි පැවිදි සිසුන් සැමට මාගේ සුභාශිංසන පිරිනමමි.


ධර්ම විනයධර උගතුන් බිහිකිරීමට දරන වෑයම අගය කළ යුතුයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 17 වැනි උපාධි ප්‍රදානෝත්සවය සඳහා මෙම පණිවිඩය එවනු ලබන්නේ හඳපිරි සතුටිනි. අද දින, උපාධිය ලබන උපාධිලාභීන්ට හා පශ්චාද් උපාධිලාභීන්ට විශේෂ දිනයක් ලෙස ඔවුනගේ ජීවිතයේ සදාකල් මතකයේ රැඳෙනු ඇතැයි මාගේ විශ්වාසයයි. උපාධිලාභී සියලුම දෙනාට ධාර්මික ඇවතුම් පැවතුම්වලින් හෙබි හරවත් සමාජයක් බිහි කිරීමට ස්වකීය උසස් අධ්‍යාපනය මහත් රුකුලක් වනු ඇත.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙම වර්ෂයේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීමට සූදානම් කිරීම අතිශය කාලෝචිත අවශ්‍යතාවයක් ලෙස මම දකිමි.

මනුෂ්‍ය සංතානය වසා පවතින ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි නරක සිතිවිලිවලින් බැහැරව දෙලොවටම වැඩදායක චාම් දිවිපෙවතක් ගත කිරීමට උපකාරී වන එකම ධර්මය බුදුදහමයි. බුදුදහමට අනුව ජීවිත හැඩගසා ගැනීම මඟින් ජීවිතයේ කුදු මහත් ගැටලුවලට විසඳුම් සපයනු ඇත. බුද්ධධර්මය හා පාලි භාෂාව ලෝක ප්‍රජාව තුළ ප්‍රචලිත කිරීමට සිංහල හා ඉංගී‍්‍රසි යන ද්විභාෂා මාධ්‍යයෙන්ම ඉගැන්වීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දරන ප්‍රයත්නය ප්‍රශංසනීය වේ.

රටට මෙන්ම ලෝකයට ද අවශ්‍ය විනයධර, ධර්මධර උගතුන් පිරිසක් බිහිකිරීමට විශ්වවිද්‍යාලය දරන වෑයම අගය කළ යුතු ය. උපාධි ප්‍රදානෝත්සවයේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.


ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් උසස් පිළිගැනීමක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 17 වැනි උපාධි ප්‍රදානෝත්සවය නිමිත්තෙන් ශුභ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම භාග්‍යයක් සේ සලකමි. උසස් අධ්‍යාපනයේ විශ්ව නිකේතනය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරන මෙවන් සමයක උපාධි පාඨමාලා සාර්ථකව නිම කළ විද්‍යාර්ථීන් සියලුදෙනාට මාගේ ශුභපැතුම් පිරිනමමි.

බුදුදහම පෝෂණය කර ලෝකයට දායාද කිරීම සඳහා විශේෂ පනතකින් පිහිට වූ මෙම විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බවට අද පත් වී තිබේ. මෙරට බෞද්ධ අධ්‍යාපනය ආරම්භ වන්නේ මහා මහින්ද මහරතන් වහන්සේ ලංකාවට වැඩමකර ලක්වැසි ජනතාවට බුද්ධ ධර්මය දේශනා කිරීමෙනි. ඉන්පසු මහාවිහාරය, අභයගිරිය, ජේතවනාරාමය වැනි බෞද්ධ මධ්‍යස්ථාන මඟින් බුදුදහම ඉගැන්වීමට සහ ප්‍රචාරය කිරීමට මහත් වෙහෙසක් ගත්බව ඉතිහාසය සාක්‍ෂි දරයි. මහා මහින්ද හිමියන්ගේ පරපුරෙන් පැවත එන භික්‍ෂූන් වහන්සේලා උදෙසා බිහි වූ ශ්‍රේෂ්ඨ ධර්මායතනයක් ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හැඳින්විය හැකි ය.

ගුණාත්මක අධ්‍යාපනයක් දේශීය මෙන් ම විදේශීය සිසුන්ට ද ලබාදෙමින් විශ්වවිද්‍යාලය මගින් කෙරෙන අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු ඉතා උසස් මට්ටමකට පත්ව ඇති බවට, වසරින් වසර වර්ධනය වෙමින් ඇදී එන විදේශ භික්‍ෂූන් වහන්සේලා සාක්‍ෂි දරති. ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යායට ලැබී තිබෙන උසස් පිළිගැනීම පිළිබඳ විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මෙන් ම බෞද්ධයෙක් වශයෙන් ද අතිශය සතුටට පත් වෙමි.

ලෝකය තුළ බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කේන්ද්‍රස්ථානය බවට පත්වීමටත්, මානසික ශික්‍ෂණයකින් හෙබි මනුෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීම උදෙසා ස්වකීය දායකත්වය සමස්ත ශ්‍රී ලාංකේය ජාතියට ම ලබාදීමේ උදාර කර්තව්‍යය සාක්‍ෂාත් කරගැනීමටත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරමි.


ලක්වැසි සැමට ආශිර්වාදයක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දේශීය මෙන් ම විදේශීය සිසුන්ගේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පෙරමුණක් ගෙන සිටීම ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාදයක් ලෙස සළකමි.

විදේශීය සිසුන් වැඩි ම ප්‍රමාණයක් උසස් අධ්‍යයන කාර්යයෙහි නියැලෙන මෙරට එක ම විශ්වවිද්‍යාලය වන අතර විදේශීය අනුබද්ධායතන මේ වන විට 09 ක් විදේශ රටවල පවතී. එය ද මෙම විශ්වවිද්‍යාලයේ සුවිශේෂී ලක්‍ෂණයක් වේ. මෙම විශ්වවිද්‍යාලයේ දැනට ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් සතු ගොඩනැඟිලි ඉදි වී තිබෙන අතර, ඒ සඳහා රජය ලබා දී ඇති අනුග්‍රහය මෙම විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට කරන ලද මහඟු උපකාරයක් වේ.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ දී ප්‍රථම උපාධි (අභ්‍යන්තර) සිසුන් 249 ක් ද ප්‍රථම උපාධි (බාහිර) සිසුන් 247 ක් ද, පශ්චාත් උපාධි සිසුන් 262 ක් ද, ඇතුළුව 757 ක් උපාධි ලැබීමට නියමිත ය. මෙම සිසුන් අතර අභ්‍යන්තර විදේශ සිසුන් 53 ක් ද බාහිර ප්‍රථම හා පශ්චාද් උපාධි ලැබූ විදේශ සිසුන් 62 ක් ද සහිත ව විදේශීය සිසුන් 115 ක් මෙවර උපාධි ලැබීමට නියමිතව ඇත.

විදේශීය භාෂා දැනුම, නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් ලෝකවාසී ජනතාව අතර නිර්මල බුදු දහම ප්‍රචාරය කිරීම සහ ශිෂ්ට සම්පන්න සමාජයක් මුළුමහත් පරපුරට ම දායාද කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය උත්සාහ ගනිමින් පවතී.

ලෞකික හා ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් සමස්ත මානව සමාජයට ම ජීවමාන සෙත සලසන එක ම ධර්මය වූ ශ්‍රී සම්බුද්ධ ධර්මය ලොවට දේශනා කළ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වී වසර 2600 ක් සම්පූර්ණ වන මේ මොහොතේ විදේශීය සිසුන් 115 ක් ඇතුළු ව ශාස්ත්‍රධරයන් 757 ක් උපාධි ලැබීම ද මෙවර විශේෂ කරුණකි.

17 වැනි උපාධි ප්‍රදානෝත්සවය සඳහා පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වශයෙන් අතිශය කෘතඥ වෙමි.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]