UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තේලකටාහ ගාථා

තේලකටාහ ගාථා නම් වූ මෙම ග්‍රන්ථය මීට අවුරුදු දෙදහසකට පමණ පෙර ලක්දිව කැලණියේ රජ කළ කැලණිතිස්ස රජු විසින් තම ගුරු දෙවි කල්‍යාණිය තෙරුන් තෙල් කටාරමෙහි ලා මැරවීමේ සිද්ධිය මුල්කොට බිහි වූ එකකි. පාලියෙන් රචිත එම ග්‍රන්ථයෙහි ගාථා සියයක් ඇතුළත් වේ. එම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් බෞද්ධ ජීවිතයකට ලැබෙන ප්‍රයෝජනය ඉතා විශාලය. පළමු කොට මහාවංසය, රාජාවලිය, රසවාහිනි, යන ග්‍රන්ථවල ඇතුළත් විස්තරය ඉදිරිපත් කරමි. මහාවංසයෙහි එන විස්තරය ‘කල්‍යාණි නගරයෙහි රජ වූ තිස්ස නම් ක්ෂත්‍රියෙක් වී මුත්තාසේ උත්තිය නම් ඇති ඒ කුමර දේවිය හා සංයෝගයෙන් හටගන්වන ලද කෝප ඇත්තේ හෙයින් එතැනින් පලා ගොස් අන් තැනෙක විසීය. එයින් ඒ පෙදෙස ඒ නම් වී ඒ ආර්ය උත්තිය තෙමේ දේවියට රහස් ලියමන් දී මහණවෙස්ගත් මිනිසෙක් යැවීය.

ඒ තෙමේ රජගෙදර සිටියේ ය. රජගෙයි සැමදා වළඳන රහත් තෙරුණුවන් හා රජගෙට වන්නේය. තෙරුන් හා ආහාරගෙන රජු හා පිටත්වන කල දේවිය බලා හින්දදී ලියුම් පත බිම හෙළීය. ඒ ශබ්දයෙන් රජතෙමේ පෙරලා බලමින් ඒ ලියුම් හස්න දැන තෙරුන්ට කිපියා වූ මුග්ධ මනස් ඇත්තේ, ඒ තෙරුන් හා ඒ මිනිසා ක්‍රෝධයෙන් මරා මුහුද දැම්ම වීය.

එයින් දෙවියෝ කිපී ඒ රට මුහුදෙන් යට කළෝය. එ රජතෙමේ මනාරූ ඇති යහපත් ආචාර ඇති දේවී නම් සිය දියණියන් රන් සැලෙක හිඳුවා එහි රජ දුවයයි ලියා සමුදුරට යුහුව වුයේ යි. මුහුද බහාලන ලද ඒ සැල එයින් ගොස් රුහුණු රට ලංකා විහාරයෙහි ගොඩබටුයේ ය. ඒ කුමරිය කාවන්තිස්ස රජතෙමේ මෙහෙසි බැව්හි අභිෂේක කළේය. එහෙයින් විහාර යන උපපද නම් වී විහාරමහා දේවියයි නම් වී. රාජාවලියේ එන විස්තරය ‘කැලණිතිස්ස රජහට මලණු කෙනෙත් ඇතියාහ. ඒ කුමාරයා කැලණිතිස්ස රජුගේ බිසව හා සංවාසයෙන් දවස් අරිනා සඳ එබව කැලණිතිස්ස රජුහට සැලව ගියේ ය. රජ රහසින් රොඩියා ගෙන්වා කියන සේක. මම රජ සෙනඟ ගෙන්නවා මල්බෑ කුමාරයින් ගෙන්නවා තට වඩා අඩුකුල ඇද්දයි ඇසුවිට එකගෙයි ඉන්නා බාල බින්නයන් මට වඩා අඩු කුලයයි කියවයි උගන්වා ඒ රජ ඒ සැටියට ඇසූ විට මහ සෙනඟ මැදදී එකගෙයි ඉන්නා බාලපින්න මට වඩා අඩුයයි කී සඳ ඒ කියාපු වචනයට කුමාරයා ලැජ්ජාවෙන් කැලණියෙන් පිටත්ව ඇවිත් උඩුගම්පොළ උන්නාහ. එකලට කැළණි වෙහෙර එක් තෙර කෙනෙකුන් වහන්සේ නිරන්තරයෙන් මල් පහන් පුදා පිරිත් පුරවා පිරිවර හා සමඟ රජගෙයින් දන් වළදා කැලණියේ වැඩ ඉන්නා සඳ කැලණිතිස්ස රජුගේ මල් මේ තෙරුන් වහන්සේගේ අකුරු සැටියට ලියනවා ය.

කැලණිතිස්ස රජුගේ මල් උඩුගම්පල ඉඳගෙන එක පුරුෂයෙකු කසාවස්ත්‍රයක් පොරවා පතක් ලියා දී බිසවට බොහෝ දුක් විලාප කියා ඒ කසාවත් සොරා අතට දී ඇරියාහ. මෙසේ තෙරුන් වහන්සේත් පන්සියයත් පිරිවරත් රජගෙට එක්ව දන් වළදන්ඩ යන විට නුඹත් ඒ මැදට වැද කෙළවර අස්නක ඉඳ දන් වළඳා ගෙන තෙරුන් වහන්සේට ගමන් පසුව එබිසෝ අදහසින් මාලිගාවෙන් දොරට හත් අඩියක් වටිනවා ඇත. රජ්ජුරුවෝ මාලිගාවෙන් පිටත වඩිනවා ඇත.

නුඹ මේ පත බිසව ළඟට දමවයි කියා ඇරියාහ. ඒ සොරා දන් වළඳන හැටියට ගිය විට සැඟවී සිට බිසෝගේ ළඟට පත දැමූවාහ. ඒ පත බිම වැටුණු හඬ රජුට ඇසී පිටිපස බලා බිසව අතට ගත් පත දැක රජ ඇවිත් බිසව අතින් ගෙන බලා මේ අකුරු අනෙකුගේ අකුරු නෙවෙයි. මේ සොරා මාගේ බිසවට පත් එවන්නේයයි සිතා රහතුන් වහන්සේ අල්ලා තෙල් කටාරමෙහි දමා උණු කරන්ඩ වන, පත ගෙන ආ සොරා අල්ලා මරා ගඟට දැමූවාහ. බිසව බැඳ ගඟට දමාපීහ. අනුවණකම් කළ ඒ කැළණිතිස්ස රජ තමා මලණුවන්ගේ අත්අකුරු නොදැන ගුරුවරයාගේ අත් අකුරු හැටියට ඒ කුමාරයා ලියුවයි නොදැන කැලණිතිස්ස රජ මඳ නුවණින් ඒ තෙරුන් වහන්සේ තෙල් කටාරමෙහිලා සත් දවසක් උණු කරන විට ඇල්පැන් සේ තිබෙන්නේය. යට ගිය ජාතියක ඒ තෙරුන් වහන්සේ එඬේරව ඉපිද කිරි උණු කරන විට මැස්සෙක් මැරූ පව පලදෙන බව දිව නෙතින් බලා පෙර කළ පවයයි සිතා සිනාසී මේ අත්බැව් බුදුබවට කිළුටෙකැයි මේ බව එළිකොට සතහට ඇසෙන සේ හඬගසා කී විට අළු රැස්ව ගියාහ’. රසවාහිනියේ ද මීට සමාන විස්තරයක් තිබේ. එහි කල්‍යාණිය තෙරුන් ධර්ම ගාථා වදාළ බව සඳහන් වේ. ගාථා සියයක් ඇතුළත් මෙම ග්‍රන්ථයෙහි මරණය පිළිබඳව ද ජීවිතය හා ලෞකික සම්පත්වල ඇති අනිත්‍යතාවය ද, අනාත්ම ලක්ෂණය පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු ධර්ම ද අන්තර්ගත වී ඇත. පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ගාථා කීපයක් ඉදිරිපත් කරමි.

දෝලා ‘ නිලා’ නලතරංගසමා හී භෝගා
විජ්ජුප්පභාති චපලානි ච ජිවිතානි
මායාමරිචිජලසෝමසමං සරීරං
කෝ ජීවිතේ ච විභවේ ච කරෙය්‍ය රංගා?

ජීවිතය ඔන්චිල්ලාවය සුළඟය ගින්නය යන මොවුන් සමානය. උපභෝග පරිභෝග සම්පත්තීහු ජීවිතයෝ විදුලි එළිය මෙන් ඉතා චපලයහ. ශරීරය මායාවක් මිරිඟුවක් හා දියෙහි පෙනෙන, ස‍ෙඳ් පිළිඹිබුවක් සමාන වෙයි. එබැවින් නුවණැති කවරෙක් නම් මේ අස්ථිර ජීවිතයෙහි හා සම්පත්තියෙහි ඇලීමක් රාගයත් ඇති කරන්නේද?

වේලාතටේ පටුතරෝරු තරංගමාලා
නාසං වජන්ති සතතං මලිලාලයස්ස,
නාසං තථා සමුපයන්ති නරාමරානං
පාණානි දාරුණතරේ මරණෝදධිම්භි

මුහුදේ තදින් තරවූ මහත් රළ පන්තීහු වෙරළ කොණේ වැදී නිතර විනාශ භාවයට යෙත්ද, එපරිද්දෙන්ම මිනිසුන් හා දෙවියන්ගේ ප්‍රාණයෝ අතිශයින් දරුණු වූ මරණ නමැති වෙරළ කොණේ වැදී විනාශ වෙත්.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි 08 වන දා බදාදා අපර භාග 08.44 ට ලබයි.
09 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 06.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූනි 09 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 15 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]