UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ගිහි චර්යාව සමාජ වගකීමක් බවට පත්කළ සිඟාලෝවාද සූත්‍රය

මෙහි මුල් කොටස මැයි 24 වන දා පත්‍රයේ පළවිය

කිසිවක් ඉල්ලා ගැනීම සඳහා හෝ අතීතයෙන් හෝ අනාගතයෙන් වචනයට සීමාවන උදව් කරන්නා හෝ හොඳ නරක දෙකම අනුමත කරන්නා හෝ සමාජ විරෝධි ක්‍රියාවන්ට පොළඹවන්නා හෝ ඇසුරු කිරීම සුභදායක නොවන බව මෙම සූත්‍රයෙන් පැහැදිලි ය. ඇසුරු කිරීමෙන් කථාබහ කිරීමෙන් බොහෝ කල් සොයා බැලීමෙන් දැනගත යුතු කල්‍යාණ මිත්‍රයන් සිවුදෙනෙක් පිළිබඳ අදහස් දක්වා ඇත.

විවිධාකාරයෙන් උදව් කරන්නා, සැප දුක් දෙකෙහි අත් නොහැර යන්නා, අකුසලයෙන් වළක්වා කුශලයෙහි පිහිටුවන්නා, පිරිහීමට නොකමැතිවන්නා යන ගුණ අංගවලින් යුක්ත පුද්ගලයන් කල්‍යාණ මිත්‍රයන් වශයෙන් සලකා ඇසුරු කිරීම මෙලොව පරලොව සුභසිද්ධිය සඳහා ඉවහල්වන ආකාරය සාකච්ඡා වෙයි.

සැබෑ මිත්‍ර‍්‍ර ඇසුරක් ඇති තැනැත්තා දිලෙන ගින්නක් ලෙස බැබළෙයි. මල් පැණි රැස්කර මී බඳින ඹබරෙකු සේ අනුන් නොපෙලා භෝග රැස්කරනු හෝ වේයා පස්කැට රැස්කර තුඹස බඳින්නා සේ ශ්‍රමයෙන් ආර්ථික ශක්තිය ගොඩනගා ගනී. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා ආජීව යටතේ විස්තර වන්නේ ද ධාර්මික ජීවන ප්‍රතිපදාවේ මූලික ලක්ෂණයෝ ය. ධනය උපයා සපයා ගත යුත්තේ ධාර්මික පදනමක් යටතේ ය. එය ‘උත්සාහය පදනම් වූ කායික මානසික ශ්‍රමය වැය කරමින් ධනය සෙවිය යුතු බවයි. මෙසේ සොයාගත් ආර්ථික ශක්තිය ගිහියෙකු වශයෙන් සැපදායි ජීවන තත්ත්වයක් ලැබීම සඳහා හේතු වන බව අ.නි. පත්තකමම සූත්‍රයේ ‘අත්ථි සුඛ, භෝග සුඛ අනන සුඛ සහ අනවජ්ජ සුඛ’ යන සැප හතර දැක්වීමෙන් තහවුරු කර ඇත. මෙසේ උපයාගත් වස්තුව පරිභෝජනය කළයුතු ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇත්තේ එක් කොටසක් පරිභෝජනය සඳහාත්, කොටස් දෙකක් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහාත්, සිවුවැනි කොටස හදිසි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට ගැනීමට තැන්පත් කළයුතුª බව මෙයින් උගන්වයි. ගිහියෙකු වශයෙන් සමාජයේ ජීවත් වන විට ඔහු වටා විශාල සාමාජික පිරිසක් විවිධ අන්දමේ සම්බන්ධතාවයන් පවත්වයි. හොඳ සාමාජිකයෙකු වන්නේ සිය සාමාජිකත්වය සමස්ත සමාජයටම හිතකර අන්දමින් ඇතිකර ගන්නේ නම් පමණි. මේ නිසා සිය ආර්ථිකය සැලසුම් කරගත යුත්තේ පෞද්ගලික මෙන්ම සාමාජික අවශ්‍යතාවයන්ද හැකිතරම් දුරට සම්පූර්ණ කිරීමේ න්‍යාය මතය. මේ නිසා පත්තකම්ම සූත්‍රය තවදුරටත් විග්‍රහ කරන්නේ පරිභෝජනය විමධ්‍යගත කළයුතු බවයි.

තමන් මෙන්ම මව්පිය දූදරු, කම්කරු, මිත්‍ර හා අදහන ආගමක නායකයන් සැපවත් කිරීම සඳහා උත්සාහ කළ යුතුය. මෙසේ සමාජ සදාචාරයත් යහපත් පැවැත්මත් ශක්තිමත් ආර්ථිකයත් හේතු කොටගෙන සමාජය විවිධ කොටස්වලට වර්ග නොවි ඒකකයක් වශයෙන් දියුණුවන ආකාරය පැහැදිලි කර ඇත.

නිර්භය භාවයත් රැකවරණයත් ආර්ථික සමෘද්ධියත් අපේක්ෂා කරන පුද්ගලයකු නොපෙනෙන දෙවි කෙනෙකුගෙන් ඒවා බලාපොරොත්තු වීම නිෂ්ප්‍රයෝජන බවත් තමා ජීවත් වන සමාජයේ හැඩගැසෙන මානව සම්බන්ධතා ක්‍රම විධිමත් කර ගැනීමෙන් එම නිර්භයතාවය හා රැකවරණය අපේක්ෂා කිරීම ආර්යය විනයට ගැලෙපන බව සිඟාලෝවාද සූත්‍රයේ එන ආකල්පයයි. ඒ අනුව පුද්ගලයා වටා ගොඩනැගෙන අනිවාර්ය සමාජ සම්බන්ධතා අවස්ථාවන් 6 එහිදී සදිසාවන්ට ආරෝපණය කර ඇත.

1. පූර්ව දිසාව - මව්පියෝ
2. දකුණු දිසාව - ගුරුවරු
3. පච්චිම දිසාව - අඹුදරු
4. උතුරු දිසාව - මිත්‍රයන්
5. යට දිසාව - දැසි දස් කම්කරුවන්
6. උඩ දිසාව - ශ්‍රමණ බමුණෝ යනුවෙනි.

සමාජගත පුද්ගලයාට මුණගැසෙන අනිවාර්ය සම්බන්ධ රටාව නිරවුල් සම්බන්ධයක් ගොඩනගන්නට ඔහු සමත් වන්නේ නම් ඔහුට ඒ ඒ ක්‍ෂෙත්‍රවලින් කිසිදු උපද්‍රවයක් එල්ල නොවන බවත් ඒ නිසාම ඔහුට සමාජ සුරක්ෂිත භාවයක් ඇති කර ගත යුතු හැකි බවත් මෙම සදිසා විග්‍රහයෙන් පැහැදිලිය. (පටිචජන්නා හොති ඛෙමා අප්පමීභය)

මෙහි දක්වා ඇති යුතුකම් එක් අතකින් වගකීමක් ලෙසද අනෙක් අතින් අයිතිවාසිකමක් ලෙසද හැඳින්විය හැකිය. එහෙත් මනුෂ්‍යත්වය හා යහපත් අන්තර් සම්බන්ධතාවය තුළින් සදාචාරවත් සමාජයක් ගොඩ නැගෙන්නේ එකිනෙකා විසින් ස්වකීය යුතුකම් හා වගකීම් ඉටුකරන ප්‍රමාණය මතය. මෙම සූත්‍රයට අනුව දරුවන් විසින් දෙමව්පියන් අරභයා යුතුකම් පහක් ඉටුකල යුතුවේ.

පෝෂණය කිරීම (භතො නෙසං කරිසසාම) කටයුතු කරදීම (කිච්චං නෙසං කරිස්සාමි) පවුලේ ගෞරවය රැකදීම (කුලවංසං ඨපෙසසාමි) දායාද ආරක්ෂා කිරීම (දායජ්ජං පටිපජ්ජාමි) මියගිය පසු පිං අනුමෝදන් කිරීම (අතÀථිපන ප්‍රෙතනං කලකතානං දක්ඛිනං අනුපදස්සාමි) මෙසේ උපස්ථාන ලබන දෙමව්පියන් විසින් දූ දරුවන් වෙනුවෙන් ස්වකීය යුතුකම් වශයෙන්,

පාපයෙන් වැලැක්වීම, යහපතෙහි පිහිටුවීම, ශිල්ප උගැන්වීම, සුදුසු කල යුග දිවියකට පත් කිරීම, දායාද පැමිණවීම ඉටුකළ යුතුය.

දකුණු දිසාව ගුරුවරුන් වශයෙන් දක්වා ඇත. ශිෂ්‍යයන් විසින් ගුරුවරයා දැක හුනස්නෙන් නැගිටීම, උපස්ථාන කිරීම, මැනවින් සවන්දීම, වතාවත් කිරීම, හොඳින් ශිල්ප හැදෑරීම ස්වකීය යුතුකම් ලෙස සැලකිය යුතු අතර එසේ උපස්ථාන ලබන ගුරුවරයා විසින් ශිෂ්‍යයා මැනවින් හික්මවීමෙන්, මනාලෙස ශිල්ප ඉගැන්වීමෙන්, දන්නා සියලු කරුණු ගුරු මුෂ්ඨි නොතබා කියාදීම, සිය මිතුරන්ට හඳුන්වා දීමෙන් හා හාත්පසින්ම රැකවරණය සැලසීමෙන් සිය වගකීම් ඉටුකළ යුතුය.

පශ්චිම දිසාව වශයෙන් දක්වා ඇත්තේ බිරිඳයි. ස්වාමියා විසින් බිරිඳට ස්තුති කිරීම, අවමන් නොකිරීම, අන් අඹුවන් වෙත නොයෑම, සම්පත් පවරාදීම, අලංකාර වස්ත්‍රාභරණ සපයාදීම, සිය යුතුකම් වශයෙන් සැලකිය යුතු අතර එම යුතුකම් ඉටුකරන ස්වාමියා විසින් බිරිදක විසින් මැනවින් කටයුතු සංවිධානය කරමින් පිරිවර ජනයාට සංග්‍රහ ශීලිවීමෙන්, අන් පුරුෂයන්ගේ පහස නොපැතීමෙන්, සම්පත් රැකීමෙන් සහ දක්ෂව අනලස්ව කටයුතු කිරීමෙන් සහයෝගය දැක්විය යුතුය.

උතුරු දිසාව මිත්‍රයන්ට සමාන කර දක්වා ඇත. අවශ්‍ය දේ දීමෙන්, පි‍්‍රය වචන කථා කිරීමෙන්, අර්ථ සිද්ධිය පිණිස හැසිරීමෙන්, සමානාත්මතාවයෙන් හා නොරැවටීමෙන් තමාට සහයෝගය දක්වන කල්‍යාණ මිත්‍රයා වෙනුවෙන් තමා විසින් ද ප්‍රමාදයේ දී රැකදීම , ධනය ආරක්ෂා කරදීම, බියෙහිද නිර්භයතාවය ඇතිකරදීම, ආපදාවේදී අමතක නොකිරීම, අඹුදරුවන්ට ගෞරවයෙන් සැලකීම යන යුතුකම් කොටස ඉටුකළ යුතුය.

යට දිසාව නියෝජනය වන්නේ කම්කරු ජනතාවගෙනි. ස්වාමිවරුන් විසින් වැඩකරන පිරිස්වලට ශක්ති පමණ වැඩ පැවරීම, ජීවත්වීමට වැටුපක් දීම, සුබ සාදක ප්‍රතිපත්ති අනුගමනය කිරීම, විශේෂ ලාභ වරප්‍රසාද සමසේ බෙදාහැරීම, නිසිකලට කටයුතුවලින් නිදහස් කිරීම සිදුකළ යුතු අතර මෙසේ තමා වෙනුවෙන් ක්‍රියාකරන ස්වාමිවරුන්ට සේවකයන් විසින් නියමිත පරිදි වැඩට පැමිණීම, නියමිත වේලාවට කලින් නොයාම, සොරකම් නොකිරීම, අවංකව සේවය කිරීම, ස්වාමියාගේ ගුණකීම යන යුතුකම් ඉටුකළ යුතුය.

උඩ දිසාව පැවිදි පක්ෂය නියෝජනය කිරීම සඳහා වෙන්කර ඇත. පැවිදි උතුමන් වෙනුවෙන් දායක පක්ෂය තිදොරින්ම මෛත්‍රි සහගතව කටයුතු කිරීම, ප්‍රත්‍ය පිණිස නිවස විවෘතව තැබීම ප්‍රත්‍ය පිළිගැන්වීම ඉටුකලයුතු අතර එසේ උපස්ථාන ලබන පැවිදි උතුමන් සිය දායක පක්ෂය පවින් වැලැක්වීම, යහපත් සිතින් අනුකම්පා කිරීම, අවංකව ආශිර්වාද කිරීම, නොඇසූ දේ අහන්නට සැලැස්වීම, ඇසු දේහි සැක දුරුකිරීම, සුගති මාර්ගය කියාදීම යන කරුණු වලින් සංග්‍රහ කළ යුතුය.

අවසාන වශයෙන් සතර සංග්‍රහ වස්තු පිළිබඳව මෙහි සාකච්ඡා කර ඇත. ඒ දානය, පි‍්‍රය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාවය යන සතරයි. විවිධ අවශ්‍යතාවන් සඳහා ධනය මෙන්ම ශ්‍රමයද පරිත්‍යාග කරමින් කටයුතු කිරීම දානයයි. මනා පුද්ගල අන්තර් සබඳතාවයක් පවත්වාගත හැකි පි‍්‍රයශීලි වචන භාවිතය පි‍්‍රය වචනයයි. එකිනෙකාගේ දියුණුව පතන උදව් කරන ස්වභාවය අර්ථ චරියාවයි. සමාජයක් තුළ ජීවත්වන සියලු සාමාජිකයන් එහි ජීවත්වීමේ අයිතිය එක හා සමානව සැලකීම සාමානාත්මතාවයයි.

ගිහි ජිවිතය සාර්ථක කර ගැනීමෙහිලා අදාළ කරගත හැකි සාරධර්ම පද්ධතියක් මෙම සූත්‍රයෙන් නිර්දේශ කර ඇත. සතර සංග්‍රහ වස්තු, සදිසා නමස්කාරය, ආර්ථික සුරක්ෂිතතාවය, මිත්‍ර ආශ්‍රය ඒ අතර වෙයි. ඉවත්විය යුතු අසාරධර්ම අතර සතර අගතිය, සතර කර්මක්ලේෂ පාපමිත්‍ර සේවනය සාකච්ඡා කර ඇත. මංගල, ව්‍යග්ගපජ්ජ පරාභව, වසල යන සූත්‍රගත බොහෝ කරුණු ගිහියෙකුගේ මෙලොව සුභසිද්ධිය සඳහාත් පරලොව ජීවිතය සඳහාත් බෙහෙවින් අදාළවන බව මෙහිදී සැලකිය යුතුය.

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.

මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]