UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිළිකා නිවාරණයට භාවනාව

2011.02.17 වැනිදා බුදුසරණ පත්‍රයේ පළ කරන ලද Meditation as Cancer Therapy මැයින් වූ ලිපියේ පරිවර්තනයකි.

පී.කස්සප හිමියෝ මහනුවර, ජාත්‍යන්තර ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානයක් වූ “රොක්හිල් හර්මිටේජ්” ආයතනයේ නිර්මාතෘවරයාණෝ ය. උන්වහන්සේ වසර 102 ක් ආයු වළඳා 1998 දී අපවත්වී වදාළ ශ්‍රී ලංකාවේ කීර්තිමත් භාවනා ගුරුවරයකු වන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙ‍්‍රය හිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයාණ කෙනෙකි. රොක්හිල් අසපුවෙහි භික්‍ෂූන්, භික්‍ෂුණීන් සහ ගිහියනටත් පහසුකම් ඇති අතර එය සුවපහසු සහ සිසිල් ගුණයෙන් යුත් සුන්දර කඳු බෑවුමක අක්කර පහළොවකට වැඩි වපසරියක පිහිටා ඇත. එහි ඇති තරම් ගල්ගුහා භාවනා කුටි සහ විශාල භාවනා ශාලාවක් ද වෙයි.

කස්සප හිමියන්ගේ මෙහෙයවීම යටතේ, බටහිර ජාතිකයන් 15 ක් සහ ශ්‍රී ලාංකිකයන් 15 ක් ද, දසසිල් මෑණිවරු 10 ක් ද පැවිද්ද ලබා සිටිති. කස්සප හිමියෝ, බ්‍රික්ෆීල්ඩ්ස් බෞද්ධ විහාරයේ ආරාධනයක් අනුව 2007 ජූනි මාසයේ දී මාස දෙකක ධර්ම දේශනා සඳහා කේ. ශ්‍රී ධම්මානන්ද අනුස්මරණ දේශන මාලාවක කොටසක් හැටියට හුදකලා භාවනා වැඩමුළුවක් සඳහා මැලේසියාවේ ගත කළහ. කස්සප හිමියන් සමඟ පවත්වන ලද පහත දැක්වෙන සම්මුඛ සාකච්ඡාව “ඊස්ටන් හොරයිසන්” වෙනුවෙන් සුමනනන්ද ප්‍රේමසිරි විසින් මෙහෙයවන ලද්දකි.

ඊස්ටන් හොරයිසන් -
ඔබ වහන්සේ කොහොමද භික්‍ෂූවක් බවට පත් වුණේ? ඒ අතරතුර භාවනා පුහුණුවට අවධානය යොමු වුණේ. ඒ ගැන තොරතුරු කතා කළොත්,

කස්සප හිමි -
මම මහණ වුණේ 1963 දී. ඒ බළන්ගොඩ ටවුමට කිට්ටුව රාස්සගල මහා විහාරය කියන පන්සලේ. මම උපසම්පදා වුණේ 1968 දී. මගේ ගුරුවරයා වුණේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් භාවනා ගුරුවරුන්ගෙන් කෙනකු වන අපවත් වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙ‍්‍රය හිමිපාණන්.

මම මූලික අධ්‍යාපනය ලැබුවෙ බළන්ගොඩ විද්‍යාලෝක පිරිවෙනින්, ඊට පස්සේ භාවනාව ගැන නොයෙක් තාක්‍ෂණික ක්‍රම ඉගෙන ගන්න ශ්‍රී ලාංකික සහ බුරුම භාවනා ගුරුවරුන් හොයන්න පටන් ගත්ත. ඒ අතර ම ටික කලක් කාදුබොඩ අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයෙ අපවත්වී වදාළ සුමතිපාල මහානායක හිමියන් යටතෙ පුහුණුව ලැබුව.

ඊස්ටන් හොරයිසන්, -
ඔබ වහන්සේ ඕස්ට්‍රේලියාවෙදී භාවනාව මඟින් වේදනා සමනය පිළිබඳ සත්කාර ක්‍රමයෙන් ලබාගත හැකි සාර්ථක ප්‍රතිඵල ගැන හුඟක් පර්යේෂණ කරලත් තියනව නේද? හොඳයි ඒ ගැන විස්තර කළොත්,

කස්සප හිමි -
හරි මම 1995 තරමේ ඉඳලම මෙල්බෝර්න් නුවර ඔස්ටින් ඉස්පිරිතාලෙ පිළිකා රෝගීන්ට භාවනාව උගන්නල තියනව. ඒ එක්කම මෙල්බෝර්න්වල පිළිකා පර්යේෂණ පිළිබඳ ලුඩ්වීක් ආයතනයක් එක්ක පිළිකා කෙරෙහි භාවනාවේ බලපෑම ගැන පර්යේෂණ කටයුතු වලට සම්බන්ධ වෙලත් තියනව. ඒ එක එක භාවනා යැයි වාරයකට කලිනුත්, පසුවත් පිළිකා රෝගීන් ගැන වෛද්‍ය පරීක්‍ෂණ මෙහෙවලත් තියනවා. ඒ පරීක්‍ෂණ වලදී භාවනාවෙ යෙදුණු රෝගීන්ගෙ ගුණාත්මක වගේම ප්‍රමාණාත්මක වශයෙනුත් තොරතුරු ගැන සැලකිල්ල යොමු වුණා. උදාහරණයක් හැටිය හෘදය ස්පන්දන අනුපාතය, රුධිර පීඩනය, කායික අප්‍රාණිකත්ව මට්ටම සහ සුවපහසු නින්ද ගැනත් පරීක්‍ෂාවට ලක්වුණා.

එසේ භාවනා සැසි වාරයකට කලින් සහ පසුවත් 01 – 10 තෙක් ගණන් කරන අතර රෝගියාට වේදනාවේ ස්වභාවය සඳහන් කරන්නත් නියම කරනු ලැබුව. එය අධ්‍යයනය කිරීමෙන් භාවනාවේ නිරත වීමෙන් පසු රුධිර පීඩන මට්ටමේ සතුටුදායක ප්‍රගතියක් ලබා ඇති බව දැන ගත්තා. සිරිතක් හැටියට භාවනාවෙ නිරත වෙන්න කලින් රෝගීන් නොරිස්සුම් සහගත බවක් පෙන්නුව. ඒත් භාවනා සැසිය අවසානෙ ඔවුන්ට සහනයක් දැනුණ. ධනාත්මක ප්‍රතිඵල වලින් දිරිමත් කරනු ලැබූ වෛද්‍යවරුන් මේ නියමු ව්‍යාපෘතිය ඔවුන්ගේ චිකිත්සාගාර පරීක්‍ෂණවල කොටසක් හැටියට දියුණු කර ව්‍යාප්ත කළා.

පසුව එහි ප්‍රතිඵල සාර්ථක සහ සතුටුදායක බව ඔප්පු වුණා. ඒ නිසා පසුව මම ඉස්පිරිතාලෙ ගරු කටයුතු ස්වේච්ඡා භාවනා උපදේශකයා සේ පත් කරනු ලැබුව. එපමණක් නොව පිළිකා රෝගීන්ගෙ පවුලේ සාමාජිකයන්, මිත්‍රයින් සහ ඉස්පිරිතාලෙ සේවක මණ්ඩලයටත් මම භාවනාව හඳුන්වල දුන්න. 2005 වෙද්දී 316 ක් තරම් පිරිසක් භාවනා කරන්නෙ කොහොමදැයි ඉගෙන ගෙන සෙත සලසා ගත්ත. අද ඕස්ට්‍රේලියාවෙ ඉස්පිරිතාලවල සෞඛ්‍ය සේවාවට අදාළව පිළිකා චිකිත්සාවෙ පවතින අඩුපාඩුකම් වලට පිළියම් යොදන්න භාවනා සැසිවාර අඳුන්වල දීල තියනව.

ඊස්ටන් හොරයිසන් -
එහෙම නම් ඔබ වහන්සෙ ඕස්ට්‍රේලියාවෙදී දැරූ උත්සාහයෙන් හුඟක් දිරිමත් වෙලා තියනවා. එහෙමද?

කස්සප හිමි -
ඔව් ඒක හරි. භාවනාව මඟින් පිළිකා රෝගීන්ට උදවුවක් කරන්න ලැබීම ගැන මම හුඟක් සතුටු වෙනව. හුඟක් පිළිකා රෝගීන්ගෙ අත්දැකීම වෙන්නෙ වේදනාව තනිකර කායික රෝගයක් නිසා ඇතිවන එකක් නොවන බවයි. ඇත්තට ම ඔවුන් හිතන්නෙ ඒක කනස්සල්ල සහ දොම්නස පිළිබඳ චිත්තවේගී ආපදාවක් ලෙසයි. භාවනාව ඉවසීම සහ අවධානය පිළිබඳ හැඟීම දියුණු තියුණු කරමින් පිළිකා රෝගීන් බොහෝ දෙනෙකුට ඉමහත් සේවාවක් කරනව. භාවනා පුහුණුවෙහි යෙදෙන අය නිතරම ඔවුන්ගේ වේදනාව, නිදා ගැනීමේ නොයෙක් ඉරියව් සහ ශරීර සෞඛ්‍යය පිළිබඳ පොදු හැඟීමක ප්‍රගතිය ගැන විස්තර කරනව. මම ඕස්ටේ‍්‍රලියාවෙ නැති කාලෙ මගෙ ගිහි ශිෂ්‍යයන් භාවනාව පිළිබඳ සති සැසිවාර පවත්වගෙන යනව.

මමත් වෛද්‍යවරුන්, හෙදියන් සහ ඉස්පිරිතාලෙ වෙනත් කාර්ය මණ්ඩල වෙනුවෙන් කළමනාකරණ වැඩසටහන් මෙහෙයවනව. මෙල්බෝර්න්වල නොයෙක් මට්ටමේ පිළිකා රෝගීන්ට සාර්ථකව භාවනාව පුහුණු කරවල, ශ්‍රී ලංකාවෙ මහරගම පිළිකා ඉස්පිරිතාලෙ ඇතුළු තවත් ඒවායෙ ඊට සමාන වැඩසටහන් හඳුන්වා දෙන්න පටන් අරගෙන තියනව.

ඊස්ටන් හොරයිසන් – ඔබ වහන්සෙ ඇයි තමන්ගෙ භාවනා සැසිවාර වලදී පිළිකා රෝගීන්ගෙ පවුලෙ සාමාජිකයනුත් හවුල් කර ගන්නෙ?

කස්සප හිමි -
රෝගියකුට පිළිකාව තිබුණම එයාගෙ පවුලෙ සාමාජිකයනුයි, මිත්‍රයනුයි ඒ පිළිබඳ දුකයි, කනස්සල්ලයි බෙදා ගන්නව. කොහොම වුණත් ඒක ඔවුන්ටත් ප්‍රශ්නයක්. ඒත් පිළිකාව ගැන තියන බය සහ කනස්සල්ලෙන් සහනයක් ලබා ගන්න උදව් කිරීම අපේ යුතුකමක්.

බොහොමයක් දෙනා පිළිකාවෙන් කායිකවත්, මානසිකවත් දැඩි ලෙස කම්පනයට පත් වෙනව. ඔවුන්ගෙ ඉවසීමකින් තොර ප්‍රතිචාරය වෙන්නෙ, “එයා ඉක්මනින් මැරෙයිද? කවද තරමේ මැරෙයිද? එයා ඔය තරම් අඩු වයසින් මැරිල කොහොමද? අපරාදෙනෙ. මම හැම වෙලාවෙම පවුලෙ සාමාජිකයන්ට කියන්නෙ පිළිකාව කියන්නෙත් තවත් ලෙඩක් විතරයි කියල.

මිනිස්සු මැරෙන්නේ පිළිකා වලින් විතරක් නොවෙයිනේ. තවත් ඉවරයක් නැති ලෙඩ වලින් මැරෙනව. ඕනෑම වෙලාවක, ඕනෑම තැනකදී මරණය සිදුවෙන්න පුළුවන් කියල මම ඔවුන්ට කියනවා. උදාහරණයක් හැටියට හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් හදිසි අනතුරකට මූනපාල ඒ මොහොතෙම මැරෙන්න පුළුවනි. මම නිතරම පිළිකා රෝගීන්ගෙ පවුලෙ සාමාජිකයනුයි, හිතවතුනුයි එක්ක අදහස් හුවමාරු කර ගන්නව. අපි හැම කෙනෙකුම උපදින කොට මරණයත් අරගෙන එන බව බුදුන් වහන්සේගෙ මූලික ඉගැන්වීමක්.

හැම කෙනෙක්ම තමන්ගෙ කර්මය මඟින් පාලනය කරනු ලබනව. සමහර කෙනෙක් වයස අවුරුදු දෙක, තුන, හතරෙන් මියැදෙනව. තවත් සමහර කෙනෙක් සියයත් ඉක්මවල ජීවත් වෙනව. ලෙඩදුක්, අසනීප මිනිසාගේ ජන්ම දායාදයක්. අපි ඕනෑ ම කෙනෙක්, ඕනෑ ම විටක ලෙඩරෝග වලට මූණදෙන්න පුළුවනි. කොහොම වුණත් අන්තිමට අපේ ආයු කාලය අවසන් වුණාම මරණය ඒකාන්තයි.

ඊස්ටන් හොරයිසන් -
හොඳයි ඔබවහන්සේ පුරුදු විදිහට පිළිකා රෝගීන් එක්ක හැසිරෙන්නෙ කොහොමද? පෑහිලා වැඩ කරන්නෙ කොහොමද?

කස්සප හිමි -
මම මගේ පිළිකා ලෙඩුන්ට මෙහෙම කියනව. හෘදයාබාධයකින් මැරෙන ලෙඩුන්ට වඩා ඔය ගොල්ල වාසනාවන්තයි. ඇත්තටම හෘදයාබාධයකින් මැරෙන ලෙඩුන්ට තමන්ගෙ මරණයට සූදානම් වෙන්න වෙලාවක් නෑ. ඒත් පිළිකාවකින් මැරෙන රෝගියකුට එයාගෙ අනාගත ජීවිතයට සූදානම් වෙන්න වෙලාවක් තියනව.ඒ නිසා ඇත්තටම තමන්ට පිළිකාවක් තියනව නම් ඒ බව කලින් දැනගෙන තිබීම හොඳ නිමිත්තක්.

එහෙම අයට අනාගත ජීවිතය වේදනා විඳීමෙන් වළක්වා ගන්න සහතික වීමට පුණ්‍යක්‍රියාවල යෙදෙන්න පුළුවනි. ඔවුන්ට තමන්ගෙ ඊළඟ භවයෙදී තමන්ගෙම ගුරුවරය වෙන්න පැහැදිලි ඉලක්කයක්, නැති නම් අරමුණක් ඇති කරගන්න පුළුවනි.

තමන්ට ඉන්න හොඳම මිත්‍රය තමන්ගේ මානසික දියුණුව බව බොහොමයක් පිළිකා රෝගීන් හොයාගෙන තියනව. භාවනාව සහ ආධ්‍යාත්මික ඉගැන්වීම මඟින් පිළිකා රෝගීන් වැඩිතර සහනශීලී, කරුණාවන්ත සහ වඩාත් පරිත්‍යාගශීලී වෙනව. ඔවුන්ගේ හිතේ දොම්නස ඇති කරවන සුළු සුළු ප්‍රශ්න ගණන් නොගෙන අමතක කරන්නෙ කොහොමදැයි ඒ අය දන්නව.

ඔවුන්ගෙ කලකිරීමට හේතු වෙන්න පුළුවන් සෘණාත්මක සිතිවිලි වර්ධනය වීමට ඉඩක් ඇති නොවෙන්න මම උපදෙස් දෙනව. ඔවුන්ගෙ සිත්වල පැන නඟින්න පුළුවන් සෘණාත්මක සිතිවිලි නිරීක්‍ෂණය කරන්නත්, ඒව ගැන සාවධානව කල්පනා කරන්නත් දිරිමත් කරනව.

ඒ විදිහට ඔවුන්ට නිස්කලංකව හිතන්නත්, සහනයක් ලබා ගන්නත් පුළුවනි. ඇත්තටම එතකොට ඔවුන්ගෙ සිත් තුළ සහනදායක හැඟීමක් ඇති වෙන්නත් පුළුවනි. බටහිර රටවල නම්, හුඟක් සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් සතිපට්ඨාන චිකිත්සාගාර සංවිධානය කරනව. ඇම්ස්ටර්ඩෑම්වල ශීපොන් ගුවන් තොටුපළේ දී මඟීන්ගෙ සිත්වල අසහනය නැති කරල සිත් සැහැල්ලු කරන්න භාවනා කුටියක් වෙන් කරල තියනව.

ඊස්ටන් හොරයිසන් -
භාවනා පුහුණුවට වඩාත් හිතකර පරිසරයක් වෙන්නෙ ආරණ්‍ය සේනාසනයක් ද, නැති නම් භාවනා මධ්‍යස්ථානයක් ද?

කස්සප හිමි -
ඒකට හරියටම දැඩි නීති රීති පනවන්න බෑ. ඒක තීන්දු වෙන්නෙ හුඟක් සාධක මතයි. උදාහරණයක් ගත්තොත්, පිළිකා රෝගියකුව ඈත ආරණ්‍ය සේනාසනයක තියන භාවනා මධ්‍යස්ථානයකට එක්ක යන්න බැහැනෙ. එයාගෙ භාවනා පුහුණුවට හොඳම වටපිටාවක් තියෙන්නෙ තමන්ගෙම ගෙදර. එහෙම නැති නම් ඉස්පිරිතාලෙ. ඒ කොහොම වුණත් පුහුණු මධ්‍යස්ථානයට වඩා වැදගත් වෙන්නෙ හොඳ, නියම ගුරුවරයෙක්.

ඊස්ටන් හොරයිසන් -
ඒත් භාවනා පුහුණුවට ඉතාම වැදගත් වෙන්නෙ සන්සුන්, සාමකාමී වටපිටාවක් කිවුවොත්?

කස්සප හිමි -
ඇත්තටම හැම අතින්ම සාමකාමී වටපිටාවක් හිතකර තමයි. හැම අතින්ම සාධනීය, ස්ථාවර මානසික එකඟතාවක් ඇති වෙන්නෙ ස්වාභාවික සන්සුන් පරිසරයකින්. උදාහරණයක් හැටියට භාවනා මධ්‍යස්ථානයක් හරි, අසපුවක් හරි කෙනෙකුගෙ ගෙදර වඩා භාවනාවට යාදෙන සන්සුන් තැනක් වෙන්න පුළුවනි. එයට හේතුව ආධ්‍යාත්මික වටපිටාව සහ කලබලයකින් තොරවීමයි. ඒත් සමහර විට ටික දවසක් අසපුවක භාවනා පුහුණුව ප්‍රගුණ කළායින් පස්සෙ, තමන්ගෙ ගෙදර වඩා හොඳින් භාවනාව සාර්ථකව කරන්න පුළුවනි.

ඊස්ටන් හොරයිසන් -
රෝගීන් සඳහා යොදා ගත හැකි නොයෙක් භාවනා ක්‍රම ඇති නිසා ඔබවහන්සෙ ඒවායින් යොදා ගන්නෙ කොයි විධියෙ එකක්ද?

කස්සප හිමි -
බුදුදහමට අනුව අදාළ සමථ සහ විපස්සනා නමින් ප්‍රධාන භාවනා ආකෘති දෙකක් තියනව. සමථ භාවනාවෙන් කරන්නෙ චිත්ත ඒකාග්‍රතාව දියුණු කිරීම. විපස්සනා හෙවත් විදර්ශනා භාවනාවෙන් කරන්නෙ ප්‍රඥා වර්ධනය. එයින් පැවැත්මේ යථා ස්වභාවය අවබෝධ කර ගන්න ලැබෙනව. එතැන ජනපි‍්‍රය ක්‍රම දෙකක් තියනව. ආශ්වාසය මඟින් උදරය පිම්බීම, ප්‍රශ්වාසයෙන් උදරය සැහැල්ලු කිරීම සහ ආනාපාන සතිය වැඩීමයි.

මම ඒ ක්‍රම දෙකම පහුණු කරනව. ඒ දෙකින්ම පැවැත්මේ යථා ස්වභාවය අවබෝධ කර ගන්න උදවු වෙනව. ආනාපාන සතිපට්ඨාන ක්‍රමය හොඳ ප්‍රතිඵල ලබා දෙනව.

අපි විදර්ශනා භාවනා පුහුණුවට කැමති නම්, අපි ඒක පටන් ගන්න ඕනෑ නිශ්ශබ්ද, සන්සුන් කායික සහ මානසික ඉරියව්වකින්. ඒකට හේතුව අවුල් සහගත හෝ කරදර වලින් පිරුණු මනසක ප්‍රඥාව හෙවත් අවබෝධ ලබා ගැනීමට වුවමනා වාතාවරණයක් ඇති නොවීමයි. ඒ තත්ත්වය ඇති වෙන්නෙ සන්සුන්, තැන්පත් මනසක් තුළයි. කෙනෙක් ආනාපාන සති භාවනාව වඩනකොට එයින් විදර්ශනා භාවනාවට ප්‍රවේශයක් ඇති වෙනව.

ආනාපාන සති භාවනාව ධ්‍යාන වැනි ගැඹුරු, සිත් කාවදින පියවරට ප්‍රවේශ වෙන්න අපට උදවු වෙනව. ආශ්වාස ප්‍රශ්වාසයෙන් උදරය පිම්බීම සහ හැකිළීම මඟින් විදර්ශනාව යථාර්ථයෙන් තේරුම් ගැනීමට ප්‍රමාණවත් චිත්ත ඒකාග්‍රතාවක් සැපයෙනව.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී සතර මහා භූතයන් පදනම් කර ගත් භාවනාව පමණක් විදර්ශනාවට යොමු කරනු ලබනව. ඒත් ධ්‍යාන වලට යොමු කෙරෙන්නෙ නෑ. යමෙක් ධ්‍යාන මඟින් විදර්ශනාව අත්දකින්න කැමති නම්, ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළ යුතුයි.

ඊස්ටන් හොරයිසන් -
භාවනාවේ නිරත භික්‍ෂුවක් සාකල්‍යයෙන්ම දැඩි සාවධානයෙන් යුත් පුද්ගලයකු හැටියට සලකනව. ඒත් ඔබවහන්සෙ බොහොම සැහැල්ලුවෙන් ඉන්න බව පේනව. එහෙම වෙන්නෙ කොහොමද?

කස්සප හිමි -
ඒක තමයි ප්‍රමෝදයෙන් ඔද වැඩීම. ඒ කියන්නෙ පී‍්‍රති සම්බොජ්ජංග. එනම් සත්‍යාවබෝධයට උපකාරවන පී‍්‍රතියයි. ඔබට එය දැනිය යුතු ය. මඳහස පාන බුදුපිළිමයක ඒක දකින්න පුළුවනි. අපි අපේ සිත තුළ ඒක මවා ගන්න ඕනැ. ඒ අනුව අපි හිතද්දී, කතා කරද්දී, ක්‍රියා කරද්දී ඒ ආධ්‍යාත්මික සතුට අපේ අභ්‍යන්තරයෙන් නිකුත් වෙනව.

අපි සතුටින් ඉන්නව නම් අපේ සිත තුළ පවතින සියලු කරදර, කනස්සල්ල සහ නොඉවසිල්ල යටපත් වෙනව. ඒ සරල මඳහස සිතට සහ කයට සහනයක් ගෙනෙනව. එය මුළුමනින්ම ප්‍රමෝදය ජනනය කරන නිරාමිස ආස්වාදයක්. මම හැම විටම ප්‍රමෝද ජනක මඳහසක් සහ එය ප්‍රායෝගිකව පවත්වාගෙන යෑමට පුද්ගලයන් දිරිමත් කරනව.

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි මස 01 වනදා බදාදා පූර්ව භාග 01.38 ට ලබයි.
2 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 01 වන දා බදාදාය.

මීළඟ පෝය
ජුනි 09 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]