UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ළමා මනසට සරිලන සේ දහම් පාසල් පෙළ පොත් වෙනස් විය යුතු යි

විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂක,
ධර්ම සෙන්දනායක

සෑම සාර්ථක මිනිසෙකු පිටු පසම සෙවණැල්ලක් සේ දහම් පාසල ද ඇති බව එවැන්නන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. එවැනි පුද්ගලයෙකුගේ සාර්ථකත්වයට බල පෑ කරුණු විමසූ විට දහම් පාසලින් ලැබුණු සාර ධර්ම හුරුව, අනුව තම චරිතය සංවර්ධනය කරගත් බව බොහෝ විට ලැබෙන පිළිතුර වෙයි. එබැවින් දහම් පාසල් අධ්‍යාපනය පුද්ගල චරිත සංවර්ධනයට මහත් පිටිවහලක් වන බව පැහැදිලි වේ. දිනපතා පාසලේ ක්‍රියාත්මක කාලසටහන අනුව ආගම විෂය සඳහා සතියකදී ඇත්තේ කාල පරිච්ඡේද දෙකක් හෝ තුනක් වන අතර පාසලේ ක්‍රියාත්මක කෙරෙන විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් ආදී කටයුතු නිසා ඒ කාලපරිච්ඡේද දෙකද හරිහැටි ක්‍රියාත්මක නොවන අවස්ථා ඇත. ගණිතය, විද්‍යාව, ඉංගී‍්‍රසි යන විෂයයන් කෙරෙහි පමණක් විශේෂ අවධානයක් යොමු කරමින් බොහෝ විට ආගම විෂයට එතරම් සැලකීමක් නොදක්වන අවස්ථාද නැත්තේ නොවේ.

එවන් තත්ත්වයක් මැද අපේ උතුම් සාරධර්ම පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරමින් දහම් පාසලින් ලැබෙන දහම් අධ්‍යාපනය දරුවන්ගේ ජීවිත වලට මහත් ආලෝකයක් ලබා දෙයි. බොහෝ විට බොහෝ දහම් පාසල් ආචාර්යවරුන් පෙළ පොතටම ගැති නොවී දහම් දැනුමට අමතරව විවිධ ව්‍යාපෘති ඔස්සේ ප්‍රායෝගිකව දහම් පාසල් දරුවන් සුචරිතයට නැඹූරු කරන බව එම ආචාර්යවරුන්ට ගෞරව පූර්වකව සඳහන් කළ යුතු ය.

ඉරිදා දිනවල යටත්පිරිසෙයින් පෙරවරු කාලයේවත් පෞද්ගලික පන්ති නතර කළ යුතු යැයි කාලයක් තිස්සේ දහම් පාසල් ආචාර්යවරුන් විසින් කරනු ලැබූ ඉල්ලීමට සවන් දුන් රජය මගින් ද ඉරිදා දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම නොකළ යුතු යැයි කරන ලද දැන්වීම තරමක් දුරට පල දරා ඇතත් තවමත් ඇතැම් තැන්වල පෞද්ගලික පන්ති පැවැත්වීම දහම් පාසල්වලට මහත් බාධාවක් වී ඇත. කවර බාධක මැද හෝ දහම් පාසල් දරුවන් ගුණ ධර්මවලින් මෙන්ම දහම් දැනුමෙන් ද සන්නද්ධ කළයුතුව ඇත. ඒ සඳහා දහම් පාසල් පෙළ පොත් අත්‍යවශ්‍ය වෙයි. සෑම ශ්‍රේණියකම (6 ශ්‍රේණියෙන් ඉහළ) දහම් පෙළ පොතේ දහම් කරුණු පෙළගස්වා ඇත්තේ ප්‍රධාන මාතෘකා කීපයක් ඔස්සේය.

බුද්ධ චරිතය
ධර්ම කරුණු
අභිධර්මය
චරිත කතා - 1. ශ්‍රාවක ශ්‍රාවිකා චරිත
2. බුදු සසුනේ දියුණුවට කටයුතු කළ

ජාතක කතා
ධම්ම පද ගාථා

දහම් කවි
බෞද්ධ සංස්කෘතිය
පාලි

බුද්ධ චරිතය 1 ශ්‍රේණියේ සිට සෑම ශ්‍රේණියකම දරුවන්ට පියවරෙන් පියවර ඉගෙනීමට ලැබෙයි. දරුවන්ගේ ජීවිත ආලෝකවත් කර ගැනීමට බුදු සිරිතෙන් ලැබෙන ආලෝකය අති මහත්ය. පහළම ශ්‍රේණිවලදී විවිධ වර්ණ සංකලනයෙන් යුතු රූප මාධ්‍යය හා ගීතමය ස්වරූපයද ඇතුළත් ශ්‍රව්‍ය මාධ්‍යයද යොදා ගනිමින් දරුවන් තුළට බුදු සිරිතේ අවස්ථා ඉදිරිපත් කිරීම කෙරෙන අතර ඉහළ ශ්‍රේණිවලදී ද පාසල් සිසුවෙකුට බුදු සිරිත තුළින් ගත හැකි ආදර්ශ මතු කරමින් දරුවන් තුළ ශ්‍රද්ධාව ජනනය කිරීමට අරමුණු කර ඇති බව පෙනේ.

බුදු දහමේ ඇති ගැඹුරු දහම් කරුණු ඒ ඒ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ මනසට ගෝචර වන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුව ඇත. එමෙන්ම ළමයින්ට වැටහෙන ලෙස සරලව ඉදිරිපත් කිරීමද අතිශය වැදගත් වේ. බුදු දහමේ පදනම වූ ත්‍රිලක්‍ෂණය, පටිච්ඡ සමුප්පාදය, චතුරාර්ය සත්‍ය, පංච උපාදානස්කන්ධය වැනි දහම් කරුණු දරුවන්ට තේරුම් කරදීම එතරම් පහසු කරුණක් නොවේ. මේ කරුණු තේරුම් ගැනීම වැඩිහිටියන්ට ද අපහසු වෙයි. දැනට ක්‍රියාත්මක වන 9 වන ශ්‍රේණියේ පෙළ පොතේ පටිච්ච සමුප්පාදය පිළිබඳ පාඩමක් ඇතුළත් කර ඇත. 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නේ 14 වැනි වියේ පසුවන සිසුන් ය. ඔවුන්ගේ මානසික මට්ටම අනුව පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමට හැකිද යන්න ගැටලුවක් වෙයි. කරුණු වශයෙන් මතක තබා ගැනීමක් විනා පටිච්ච සමුප්පාදය යන්න පිළිබඳ තේරුම් ගැනීමක් ඇතිවිය නොහැක. ත්‍රිලක්‍ෂණය පිළිබඳවද තත්ත්වය එසේ වූවත් තරමක වෙහෙසකින් ඒ පිළිබඳව ඉගැන්වීම කළ හැකි ය. කෙසේ වූවද මෙවැනි කරුණු ඇතුළත් කිරීමේ දී දරුවන්ගේ මානසික මට්ටම පිළිබඳව විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතු ය. 8 වන ශ්‍රේණියේ පෙළ පොතේ චතුරාර්ය සත්‍යය, නීවරණ, දස සංයෝජන වැනි දහම් කරුණු ඉදිරිපත් කර ඇත. එම දහම් කරුණු තේරුම් ගත හැකි මට්ටමක් වයස අවුරුදු 13ක දරුවන්ට ඇත්ද යන්න ගැටලුවකි. 7වන ශ්‍රේණියේ පෙළ පොතේ ඇතුළත් වන සප්ත බොජ්ඣංග ධර්ම සුදුසු වන්නේ 10 වන ශ්‍රේණිය හෝ ඊට ඉහළ ශ්‍රේණියකටයි. මෙසේ ඒ ඒ ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ගේ මානසික මට්ටමට නොගැළපෙන අයුරින් පෙළ පොත් වල දහම් කරුණු පෙළ ගැස්වීම පිළිබඳ යළිත් සිතා බැලිය යුතුව ඇත.

චරිත කතා දැක්වීමේ දී අපේ දරුවන්ට ආදර්ශ ලබා ගත හැකි දේවානම්පියතිස්ස, දුටු ගැමුණු, සද්ධාතිස්ස, බුද්ධදාස, 8 වන අග්‍රබෝධි, භාතාකාභය, සිරිසඟබෝ, මහා පරාක්‍රමබාහු වැනි රජවරුන්ගේ චරිත කතා හා ධර්මාශෝක වැනි චරිතත්, 20 වන සියවසේ සිටි හික්කඩුවේ සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි අයගේ චරිත ඇතුළත් කළ හැකි ය. ඒ අතරට වාරියපොල සුමංගල හිමි, වැලිවිට සරණංකර සංඝරාජ මාහිමි ආදී චරිත ද යොදාගත හැකි ය. කර්නල් ඕල්කොට් වැනි අය බුදුසසුනේ දියුණුවට කළ කැපවීම පිළිබඳව අවිවාදාත්මකව පිළිගත යුතු ය. එවැනි කරුණු පොදුවේ ඇතුළත් කොට දේශීය චරිතවලට වැදගත් තැනක් දීම වඩාත් සුදුසු වනු ඇත.

ඒ ඒ ශ්‍රේණිවලට අදාළ පරිදි ධම්මපද ගාථා දහම් කවි, ශ්‍රාවක ශ්‍රාවිකා චරිතද ඇතුළත් කළයුතුම වෙයි. දහම් කරණු, පින් පව් ඉදිරිපත් කිරීමේ දී ලෝවැඩ සඟරාව, සුභාෂිතය වැනි උපදේශකාව්‍යවලින් ලැබෙන පිටිවහල අති මහත්ය. අතීතයේ අධ්‍යාපනය ලැබූ අය මේ කවි පොත්වල සියලුම කවි කට පාඩමින් කීමට තරම් හැකියාවක් ඇති අය වූහ. අද ජීවත් වන වයස අවුරුදු 50 න් ඉහළ වයස් මට්ටම් වල ජීවත්වන සියලුම දෙනා ලෝවැඩ සඟරාව, සුභාෂිතය වැනි උපදේශාත්මක කාව්‍යවලින් ආලෝකයක් ලැබූ අය බව නොරහසකි. එහෙත් අද අධ්‍යාපනය ලබන දරුවන් මේ පොත් පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිවීම කනගාටුවට කරුණකි. ඊට හේතුව පෙළපොත් ලිවීමේ දී මේවා ඉවත් කිරීමයි. එබැවින් මේ පොත්වලින් අවශ්‍ය ප්‍රයෝජන ලබා ගැනීම පෙළපොත් සංස්කාරකවරුන්ගේ වගකීමයි.

බුදු සසුන පිහිටුවීම හා වර්ධනය, ඒ සමඟ ලක්දිව ඇති වූ සංස්කෘතික ලක්‍ෂණ වැනි බෞද්ධ සංස්කෘතියට අදාළ කරුණු ද පෙළ පොත්වලට ඇතුළත් විය යුතුමය. හැම ළමයෙකුම මේ කරුණු පිළිබඳව දැන ගත යුතු ය. දරුවන්ගේ මානසික මට්ටම්වලට ගැළපෙන පරිදි එම කරුණු ඉදිරිපත් කිරීමයි වඩාත් වැදගත් වන්නේ.

දහම් පාසල් පැවැත්විය හැකි දින ගණන වසරකට ඉරිදා දින 35 – 40 ප්‍රමාණයකි. පෙළ පොත ඒකාලයට ගැළපෙන සේ සකස්විය යුතුය. ඇතැම් ශ්‍රේණිවල පෙළ පොත වසර අවසානය වන විට අවසන් කළ නොහැකි තරමට ප්‍රමාණයෙන් වැඩි බව පෙනේ. 9, 10 ශ්‍රේණිවල පොත් එවැනි පොත් කීපයකි. දහම් පාසල් අවසාන ශ්‍රේණියට නියමිත පොත් 4 කි. නියමිත කාලය තුළ අවසන් කිරීම මහත් ගැටලුවකි.

දැනට ක්‍රියාත්මකවන පෙළපොත් වසර කීපයක් තිස්සේ ක්‍රියාත්මක වන පොත් පෙළකි. වර්තමානයේ දහම් පාසලේ ඉගෙනුම ලබන්නේ ද දිනපතා පාසලේ ඉගෙනුම ලබන ශ්‍රේණියේම වන නිසා දහම් කරුණු සකස් විය යුත්තේ ද ඒ ශ්‍රේණිවලට අදාළවයි. එබැවින් දිනපතා පාසලේ ඒ ඒ ශ්‍රේණිවලට නියමිත දහම් පොතට සමගාමීව දහම් පාසල් පෙළ පොතද සකස්විය යුතුව ඇත. මෑතකදී කළ සංශෝධන අනුව 01 වන ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා ඇති පෙළ පොත් බොහෝ දුරට ළමා මනසට උචිත පරිදි සකස් කර තිබීම ගැන ප්‍රශංසා කළ යුතු ය. 06 වන ශ්‍රේණියෙන් ඉහළ පොත් පෙළ ද ඒ ඒ ශ්‍රේණියේ දරුවන්ගේ මානසික මට්ටමට ගැළපෙන සේ, අවශ්‍ය කරුණු පමණක් ඇතුළත් කොට, සරල බස් වහරකින් යුතුව සංශෝධනය කිරීම 2600 සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව කෙරෙන මහඟු කාර්යයක් වනු ඇතැයි අදහස් කරමු.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09

Full Moonපසෙලාස්වක

ජූනි 15


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]