UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨ මානව ගුණාංග


වර්තමානයේ වෙසෙන අප කළ යුත්තේ බුදුන් වහන්සෙගේ ශ්‍රේෂ්ඨ ගුණයන් නිතර නිතර සිහියට ගැනීමයි. එම ගුණයන් සිහි කිරීමෙන් ලැබෙන හැම අවස්ථාවකම ඒවා සුළුවෙන් හෝ ක්‍රියාවට නැංවීමයි.  එවිට අපගේ ජීවිතද සාර්ථක වනු ඇත.

සියලු ලෝසතුන් දුකින් එතෙර කර වීමේදී ලෝකයේ යථා ස්වභාවය එපරිද්දෙන්ම දැන සිටි එකම ශාස්තෘවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේම පමණෙකි. පෘතග්ජන පුද්ගලයන් වන අප සතුව පවත්නා ප්‍රධානතම දුර්වලතාවය වනුයේ අටලෝදහමින් කම්පාවට පත්වීමයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වූයේ සෙලවෙන ලෝකය තුළ නොසැලී සිටින්නේ කෙසේද යන්නයි. එනම් අටලෝ දහමින් කම්පා නොවී සිටීමේ ශ්‍රේෂ්ඨ ගුණාංගයයි.

“ ලාභ , අලාභ, නින්දා , ප්‍රශංසා , යස අයස, ....යනාදි වශයෙන් කිසිම අවස්ථාවකින් කම්පාවට පත් නොවී සිටීමේ සුවිශාල ආත්ම ශක්තියක් උන්වහන්සේ සතුවිය.

මාගන්දීය, සුන්දරික පරිබ්‍රාජිකාව, චිංචිමානවිකාව, අක්කෝසක බ්‍රාහ්මණ ආදීන්ගේ විවිධ ක්‍රියාවන් තුළින් උත්සාහ කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේට නින්දා කිරීමටය.

නමුත් ඒ සෑම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ සම සිතින් ඒ සියල්ල දරා ගනු ලැබීය. ඒවාට පිළිතුරු සපයනු ලැබුවේද ඉතාම නිහඬවය. සිතට දුකක් ඇතිකර නොගත් සේක.

අංගුලිමාල, සුනීත, සෝපාක ආදින්ට සමාජය විසින්ම පීඩාවට පත්කරනු ලැබු පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේගේ කරුණා ඇස යොමුවිය. ඒ නිසාම සසර දුකින් එතෙර වීමටද හැකිවිය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩ මහා සංඝයා වහන්සේ සමග මහ මග පිඩු සිඟා වැඩිය සේක. මේ බව දත් සුද්ධෝදන මහ රජතුමා අතිශය කම්පාවටත්, ශෝකයටත් පත් විය. වහාම මහ මඟට බැසගත් රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ ස්වාමීනි! ඔබ වහන්සේ මේ කුමක් කරනුද? අප ශාක්‍ය වංශිකයෝ වෙමු. අපගේ වංශයේ අය කිසිදිනක මහ මඟ සිගමනේ ඇවිද්දෝ නොවෙති.

රජ පවුලට මෙයින් නින්දාවක් අත්වෙයි. “ යැයි ප්‍රකාශ කර සිටියේය.

නමුත් බුදුරජාණන් වහ්න්සේ එයින් අකම්පිත වූ සේක. “ මහ රජතුමනි, ඔබගේ වංශයේ අය එසේ වන්නට ඇත. නමුත් මේ මාගේ බුද්ධ වංශයයි.

අතීතයේ සියලු බුදුවරුන් මෙන්ම මමද පිඬු සිගා වඩිමියි වදාළසේක. එයින් අපට පැහැදිලි වන්නේද බුදුරජාණන් වහන්සේගේ පැවති ශ්‍රේෂ්ඨ මානුෂික ගුණාංගයයි. තවත් කලෙක බුදුරජාණන් වහන්සේට වේරංජා නුවර වස්විසීමට ආරාධනාවක් ලැබීය. ආරාධනාව අනුව එහි වැඩම කළද, හටගත් ආහාර හිඟයක් නිසා එහි රජතුමාට වස් ආරාධනාවට අනුව කටයුතු කළ නොහැකිවිය.

නමුත් බුදුරජාණන් වහන්සේට සිදුවූයේ වස් තුන් මාසයම අශ්වයින් වෙනුවෙන් සකස් කරනු ලැබූ ‘යව‘ නමැති ධාන්‍යයෙන් තැනූ කටුක ආහාර වැළදීමටය. නමුත් බුදුරජාණන් වහන්සේ එයද සම සිතින් ඉවසනු ලැබීය. පෘතග්ජන පුද්ගලයෝ වන අප මෙවැනි අවස්ථාවක කොපමණ නම් දුකකට පත්වනු ඇද්ද? බුදුරජාණන් වහන්සේ ධර්ම බලය භාවිතා කර ආලවක යක්‍ෂයා, නාලාගිරි ඇතා, අංගුලිමාල වැනි අය දමනය කරනු ලැබීය.

කිසාගෝතමී, පාටාචාරා, රජ්ජුමාලා වැනි කාන්තාවන්ටද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ මානුෂික ගුණාංග ඔවුන්ගේ ජීවිතය පවා වෙනස්වීමට මහෝපකාරි විය.

කිසාගෝතමිය තම මල දරුවා රැගෙන බුදුන් වහන්සේ වෙත පැමිණි කළ බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ නොමල ගෙයකින් අබ මිටක් රැගෙන ආවොත් දරුවා සුවපත් කළ හැකි බවයි. එයින් උද්දාමයට පත් කිසාගෝතමිය මුළු නුවර ගෙයක් ගෙයක් පාසා ඇවිද බුදුන් වෙත පැමිණියාය. බුදුන් වහන්සේ එම අවස්ථාවේදීත් දේශනා කරනු ලැබුවේ “ අබ මිටක් රැගෙන එන්ට ඇති “ යනුවෙන් ධනාත්මක අදහසකි. නමුත් ඒ වනවිටත් කිසාගෝතමිය සියල්ල අවබෝධ කරගෙන සිටියාය. භාවිතයෙන් අවබෝධය ලබා දීම බුදුරජාණන් වහන්සේගේ තවත් ශ්‍රේෂ්ඨ මානුෂික ගුණාංගයක් බව මෙයින් පැහැදිලිවේ.

බුදුන් වහන්සේට වැඩසිටීමට ජේතවනාරාමය, පූර්වාරාමය ආදි මහා විහාර බොහෝ ප්‍රමාණයක් විය. නමුත් උන්වහන්සේ එහි වාසය කරනු ලැබුවේ සීමිත කාලසීමාවක් පමණි. අනෙකුත් සෙසු අවස්ථාවලදී ගම් නගර වීදි ඔස්සේ මහජනයා සොයා වැඩම කරනු ලැබු සේක.

රුක්මුල්, වන ලැහැබ, කුඹල්හල් හා සන්ථාගාර ශාලා ආදිය උන්වහන්සේගේ අනෙකුත් වාසස්ථාන විය. ඒ කිසිම තැනකදී උන්වහන්සේ නොසැලී සිටි සේක. ලැබූ දෙයක් වේ නම් එය සමසිතින් වලදනු ලැබීය. ලැබුණු තැනක සැතපුන සේක.

ඉහත අප සඳහන් කළ ආකාරයට මේ කල්පය අවසන් වන තුරු පැවසුවද, බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ මානුෂික ගුණාංග අවසානයක් නම් නොදකිනු ලැබේය.

වර්තමානයේ වෙසෙන අප කළ යුත්තේ බුදුන් වහන්සෙගේ ශ්‍රේෂ්ඨ ගුණයන් නිතර නිතර සිහියට ගැනීමයි. එම ගුණයන් සිහි කිරීමෙන් ලැබෙන හැම අවස්ථාවකම ඒවා සුළුවෙන් හෝ ක්‍රියාවට නැංවීමයි. එවිට අපගේ ජීවිතද සාර්ථක වනු ඇත.

ඔබට තෙරුවන් සරණයි!

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]