UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

වඩා වටින්නේ කවර දැනීම ද ?

සම්බුදු දහමට අනුව සංස්කාරයන්ගෙන් හටගත් සියල්ලෙහි විනාශයක්ද තිබිය යුතුය. අප ජීවත්වන ලෝකයද හටගෙන ඇත්තේ සංස්කාර එකතුවකිනි. එබැවින් එය විනාශවීම ද ස්වභාවිකය. ඒ පිළිබඳ පරීක්‍ෂණ නිරීක්‍ෂණ අවශ්‍ය නැත. එහෙත් අපට භෞතික ලෝකයේ විනාශයක් පිළිබඳව ධර්මානුකූලව කාලනිර්ණයක් කළ නොහැක. එය මිනිසාගේ චර්යාවෙහි පවතින සම විෂම ක්‍රියාවන් අනුව දික් වීමට හෝ කෙටි වීමට පුළුවන. භෞතික ලෝකයේ සම්භවය පිළිබඳ දීර්ඝ විස්තරයක් දීඝ නිකායන්තර්ගත අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන්වේ.

සෑම දෙයක් පිළිබඳව ම විද්‍යාත්මකව බලන වත්මන් ලෝකයේ, ලෝකයේ හට ගැනීම පිළිබඳවද විවිධ පරීක්‍ෂණ කළහ. ඒ නිරීක්‍ෂණයන්ට අනුව ඇතමෙක් ලෝකයේ ආරම්භය ජලයෙන් සිදුවූවක් බව පැවසූහ. තවත් සමහරෙක් ලෝකයේ සම්භවය මහා පිපුරුමකින් සිදුවූ බව පැවසූහ. ලෝකයේ ආරම්භය කෙසේ වෙතත්, මේ වන විට හටගත් ලෝකයේ විනාශයක් අතළඟ එන බව බොහෝ දෙනෙක් පවසති. සමහරු එය විශ්වාස කරති. සමහරු එය මිත්‍යාවක් ලෙස සලකති.

සම්බුදු දහමට අනුව සංස්කාරයන්ගෙන් හටගත් සියල්ලෙහි විනාශයක්ද තිබිය යුතුය. අප ජීවත්වන ලෝකයද හටගෙන ඇත්තේ සංස්කාර එකතුවකිනි. එබැවින් එය විනාශවීම ද ස්වභාවිකය. ඒ පිළිබඳ පරීක්‍ෂණ නිරීක්‍ෂණ අවශ්‍ය නැත. එහෙත් අපට භෞතික ලෝකයේ විනාශයක් පිළිබඳව ධර්මානුකූලව කාලනිර්ණයක් කළ නොහැක. එය මිනිසාගේ චර්යාවෙහි පවතින සම විෂම ක්‍රියාවන් අනුව දික් වීමට හෝ කෙටි වීමට පුළුවන. භෞතික ලෝකයේ සම්භවය පිළිබඳ දීර්ඝ විස්තරයක් දීඝ නිකායන්තර්ගත අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන්වේ.

මේ භෞතික ලෝකයේ පරිහානිය සිදුවන ආකාරය දීඝ නිකායන්තර්ගත චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් හඳුනාගත හැක. මේ ලිපියේ අරමුණ වන්නේ භෞතික ලෝකයේ හට ගැනීම හා විනාශය පිළිබඳ විස්තර කිරීමට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංස්කාරලෝක (අභ්‍යන්තර ලෝක) විභාගය හඳුනා ගැනීමට උත්සාහ කරවීමය.

ලෝකය පිළිබඳවූ බෞද්ධ විග්‍රහය විශාල විෂය ක්‍ෂෙත්‍රයකි. බුදුදහම හුදෙක් අවධාරණය කරන්නේ භෞතික ලෝකයට වඩා අභ්‍යන්තර ලෝකය පිළිබඳවයි.අභ්‍යන්තර ලෝකය නම් අපගේ ශරීරයයි. රූප, වේදනා, සංඥා , සංස්කාර හා විඤ්ඤාණ යන මේ උපාදාන පංචකයෙන් අපගේ ශරීර නමැති ලෝකය සැකසී ඇත.මේ ශරීරය නමැති ලෝකයේ හට ගැනීම හට ගැනීමට වූ හේතුව, හට ගැනීමේදි හේතුව නැති කිරීම හා නැති කිරීමේ මාර්ගය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කොට ඇත.

සංස්කාරලෝකය පිළිබඳ දැන ගැනීම, සසර ගමනේ අවසානයයි. එනම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමයි. මෙය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් සේක. එම දේශනාව අංගුත්තර නිකායන්තර්ගත ලෝක සූත්‍රයේදී හමුවේ.

“ ලෝකෝ භික්ඛවේ තථාගථේන අභිසම්බුද්ධෝ , ලෝකම්හා තථාගතෝ විසංයුත්තෝ. ලෝක සමුදයෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ ලෝකසමුදයෝ තථාගතස්ස පහීනෝ. ලෝකනිරෝධෝ භික්ඛවේ තථාගථේන අභිසම්බුද්ධෝ. ලෝක නිරෝධෝ තථාගතස්ස සච්ඡිකතෝ. ලෝක නිරෝධගාමිනි පටිපදා භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ ලෝකනිරෝධගාමිනි පටිපදා තථාගතස්ස භාවිතා. ”

(ලෝක සූත්‍රය – අංගුත්තර නිකාය )

මහණෙනි, තථාගතයන් වහන්සේ ලෝකය අවබෝධ කළ සේක. තථාගතයන් වහන්සේ ලෝකයෙන් මිදුණසේක. ලෝකයේ හට ගැනීම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ලෝකයේ හට ගැනීම තථාගතයන් වහන්සේට ප්‍රහීණ විය. මහණෙනි, ලෝකයේ නැති වීම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ලෝකයේ නැති වීම තථාගතයන් වහන්සේට ප්‍රත්‍යක්‍ෂ විය. මහණෙනි, ලෝකයේ නැති කිරීම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේට ලෝකයේ නැති කිරිම ප්‍රතිපදාව වැඩිනි, හෙවත් භාවිත විය.

භෞතික ලෝකය පිළිබඳ සම්බුද්ධ දේශනාව, එතරම් දුරට විස්තර වන්නේ නැත. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ බොහෝ විට නිශ්ශබ්දව ඇත. භෞතික ලෝකය ඇතද? නැතද? යන ප්‍රශ්නයන් විමසූ බොහෝ අවස්ථාවන්හි ඒවාට බුදුරදුන් උත්තර සපයා නැත. ඒවා ධර්මයෙහි ඨපනීය ප්‍රශ්න ලෙස හැඳීන්වෙයි. බුදුරදුන් මේ ප්‍රශ්නවලට උත්තර සපයා දී නැත්තේ ඒ පිළිබඳව බුදුරදුන්ගේ දැනුම නැතිවූ නිසා නොව, එය පුද්ගලයාගේ නිවීම පිණිස, විරාගය පිණිස, විමුක්තිය පිණිස, හෙවත් සසර දුක් කෙළවර කොට නිවන් පසක් කිරීමට ඉවහල් නොවන නිසාය.

භෞතික ලෝකය හා අභ්‍යන්තර ලෝකය පිළිබඳව කෙරෙන වටිනා ධර්ම සාකච්ඡාවක් සංයුත්ත නිකායන්තර්ගත රෝහිතස්ස සූත්‍රයෙහි සඳහන්වෙයි. මෙය බුදුරදුන් හා රෝහිත දිව්‍ය පුත්‍රයා අතර කෙරෙන ධර්ම සාකච්ඡාව මෙසේය.

රෝහිත දිව්‍ය පුත්‍රයා :- ස්වාමීනි, යම් තැනෙක නො උපදි නම්, මහළු නොවේ නම්, චුත නොවේ නම්, නැවත නොඋපදී නම් එසේ වූ ඒලෝක කෙලවර දැනගන්නට හෝ දැකගන්නට හෝ එහි යා ගන්නට හෝ හැකිද?

භාග්‍යවතුන් වහන්සේ -ඇවැත්නී, යම් තැනෙක්හි ඉපදීමක් නැද්ද, ජරාවෙක් නැද්ද, මරණයෙක් නැද්ද, චුතවීමක් නැද්ද, මැරී නැවත ඉපදීමක් නැද්ද, ඒලෝකාන්තය ගමනකින් දත හැකියි. දැක්ක හැකියි. එහි යාගත හැකියැයි මම නොකියමි.

රෝහිත දිව්‍ය පුත්‍රයා :– යමෙක්හි ඉපදීමෙක් , ජරාවක් , මරණයක්, චුතවීමක් නැවත ඉපදීමක් නැත්නම්, එය ගමනින් දත හැකියි නො කියමි’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් හොඳින් වදාරණ ලදද? ස්වාමීනි, ආශ්චර්යයි ස්වාමීනි, පුදුමයි, ස්වාමීනි, පෙර මම ඍද්ධිමත් , අහසින් යා හැකි, භෝජපුත්‍රවූ රෝහිතස්ස නම් ඍෂිවරයෙක් වුණෙමි.

දුනු ශිල්පය උගත්, විදීමෙහි මනා පුරුදු බව ඇති, අන් දුනුවායන් හා කළ ද්වන්ද යුද්ධ ඇති, රාජාදින් හමුයෙහි දැක්වූ ශිල්ප ඇති, මහා දුන්නක් අතගත් දුනුවායෙක් සැහැල්ලු ඊයෙකින් ගැහැටක් නැතිවම යම්සේ තල්ගසෙක සෙවනැල්ල ඉක්මවාලිය හැකි වන්නේද? එබඳු වූ ගමන් වේගයක් මට විය.

පෙරදිග මුහුදින් අවරදිග මුහුද යම් පමණ දුරද, ඒ මගේ එපමණ දුරින් පිය ඔසවා තබන්නට හැකිවිය. ඒ මම ලොව කෙළවරට ගමනින් පැමිණෙන්නෙමියි ආශාවක් විය. ස්වාමීනි, ඒ මම මෙබඳු ජවයෙන්ද, මෙබඳු පය ඉක්මවා තැබීමෙන්ද සමන්විත වූයෙමි. කන බොන වේලාවන් හැර, මල මුත්‍ර පහ කරන වේලාවල් හැර නිදාගන්නා, විඩා දුරුකරගන්නා වේලාවල් හැර, අවුරුදු සියයක් ආයු ඇත්තෙම්, අවුරුදු සියයක් ජීවත් වන්නෙම්, අවුරුදු සියයක්ම ඍද්ධිමය ගමනින් ගොස්ද ලොව කෙළවරට නොපැමිණ අතර මඟදීම මැරුණෙමි.

පුදුමයි, ස්වාමීනි, ඉතා පුදුමයි, ස්වාමීනි, යමෙක ජාතියක් ජරාවක්, මරණයක්, චුතවීමක් , මැරී නැවත ඉපදීමක් නැත්නම් ඒ ලෝක කෙළවර ගමනින් දත හැකියි. දැක්ක හැකියි, පැමිණිය හැකියි නොකියමි’යි භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ කාරණය කෙතරම් ගැලපෙන්නේද?

භාග්‍යවතුන් වහන්සේ - එතෙකුදු වුවත් ඇවැත්නි, ලොවේ කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් මම නො කියමි. තවද ඇවැත්නි සංඥා සහිතවූ, සිත සහිතවූ , බඹයක් තරම් වූ මේ ආත්ම භාවයෙහිම ලෝකයත්, ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනි ප්‍රතිපදාවත් පනවමි.

ලොව කෙළවරට ගමනෙකින් කිසි කලෙකත් පැමිණිය නො හැක්ක, ලොව කෙළවරට නොපැමිණත් දුකින් මිදීමක් නැත.

එබැවින් ලොව දන්නා , මනා නුවණැති සංස්කාර ලෝකයේ කෙළවරට ගිය, වැස නිමවූ මාර්ග බ්‍රහ්මචර්යාව ඇති, කෙලෙසුන් සිංසිඳවාලූ අරහත් පුද්ගල තෙමේ සංස්කාර ලෝකයේ කෙළවර දැන, මෙලොවද, පරලොවක්ද නොපතයි.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]