UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

යථාර්ථය දකිමු

වයස්ගතවනවාටත්, ලෙඩ වනවාටත් අප නොකැමැති වන්නේ කුමක් නිසා ද? එපමණක් නොව කවරදාක හෝ අප මැරෙන බව කියන්නටත් අපි පසුබට වෙමු. ඇයි ද යත්, වයසට යෑමත්, ලෙඩවීමත්, ජරාවට පත්වීමත් යනු දුක, කනස්සල්ල හා වැලපීම උරුම කරන්නක් වන හෙයිනි.

මෝහාන්ධකාරයෙන් වැසී ගිය මේ ලෝකය විද්‍යාලෝකයෙන් බැබළවු බුදුන් වහන්සේ, මේ ජීවිතයේ දුක්ඛ ස්වභාව, එනම් ජීවිතයේ යථාර්ථය උගන්වා වදාළහ.

ධම්ම හෙවත් ධර්ම යන වදනෙහි නියම තේරුම කුමක් ද? ජීවිතයේ යථාර්ථය පිළිබඳ සත්‍යය යනු යි. මේ සත්‍යය ප්‍රකාශයට පත් කළ හැකි වන්නේ, අවිද්‍යාව නමැති අඳුරු පටලය විනිවිද යමින් පෘථග්ජන ස්වභාව ඉක්මවා යන අතිවිශිෂ්ට පුද්ගලයකුටම පමණි.

දැන් අපි මොහොතක් සිතා බලමු. මවු කුසින් බිහිවූ මොහොතේ දරුවකු ඔබ දැක තිබේ ද? එවන් දරුවකු දැක ඇතුවා පමණක් නොව අප කවුරුනුත් ඒ අත්දැකීමට නිමිත්තක් වූ අයවෙමු . එහෙත් දවස්, සති, මාස, අවුරුදු ගෙවා ඉදිරියට යන විට ඒ දරුවා එදා සිටි අලුත උපන් දරුවා ම ද? අවුරුදු පහක් ගත වන විට අර අලුත උපන් දරුවා කෙතරම් වෙනස්වී සිටී ද?

තවත් අවුරුදු විස්සක් ගිය තැන, ඔබ එදා දුටු වැටි වැටී ඇවිද්ද හෝ පියාගේ අතේ එල්ලී ඇවිද ගිය දරුවා ගැන ඔබ සිතන්නේ කුමක් ද? ඔහු දැන් කඩවසම් තරුණයෙකි. මනා රූසපුවකින් යුතු ඔහු විවාහයට සුදුස්සෙකි.

යළිත් එතැන් සිට වසර තිස් පහක් ගිය තැන ඔහු ගැන සිතන්න. ඔබට ඔහු හඳුනා ගන්නට නොහැකි වනු ඇත. දැන් සිටින්නේ එදා විවාහ වන වයසේ සිටි තරුණයා ද? ඔහුගේ මුහුණ රැළි වැටිලා ය. කෙස් පැසී ගොසිනි. සෑහෙන පමණකට අබල දුබල ය. ඇතැම් විට ඔහුට තම සිරුර සමබරව තබා ගෙන ඇවිද ගන්නට බැරි ය. ඇස් පෙනීම යොවුන් වියේ සිටියහුගේ මෙන් නොවේ. ඇතැම් විට වයසේ පමණටත් වඩා දුබල ය. ඔබට මෙසේ සිතෙන්නට පුළුවන.

“ඇත්තට ම මේ සිටින්නේ වසර හැටකට පමණ පෙර මා දුටු ළදරුවා ද?” මේ ළදරුවා පිළිබඳ අත්දැකීම අප කවුරුනුත් පිළිබඳ සංකේතයක් නොවන්නේ ද? ගතවූ කාලය තුළදී ඔහුට සිදුවී ඇත්තේ කුමක් ද? ඔහු අත්දැක හෝ විඳ ඇත්තේ මෙලොව උපත ලද අන් හැම ජීවියකුම ලැබූ අත්දැකීම හෙවත් ප්‍රත්‍යක්ෂ්‍යය නොවන්නේ ද? අපොයි, වියපත්වීම !

එහෙත් අපි වියපත් වී සිටිමු යි අප ම දන්නේ කවර තරමින් ද? වටහා ගන්නේ කවර තරමින් ද? අනෙක් අතට අප වියපත් වන අතරම රෝගී වන බවත් අපි දනිමු ද? එසේ දැන ගැනීම සඳහා අපි ඒ ගැන කෙතරම් දුරට සිතමු ද? රෝගී වන බවත්, මිය යන බවත් පිළිගැනීමට ඇත්ත වශයෙන්ම අපි කැමැත්තෙමුද? සත්‍ය එසේ තිබියදීත් අපි එය රහසක් ලෙස සඟවා තබා ගන්නට උත්සාහ නොකරමු ද? සැබවින්ම බොහෝ විට අප වැඩ කරන්නේ එක මොහොතකටවත් මැරෙන බව ගණනකට නොගනිමින් නොවේ දැයි මොහොතක් ආපසු හැරී බලනු මැනවි.

වයස්ගතවනවාටත්, ලෙඩ වනවාටත් අප නොකැමැති වන්නේ කුමක් නිසා ද? එපමණක් නොව කවරදාක හෝ අප මැරෙන බව කියන්නටත් අපි පසුබට වෙමු. ඇයි ද යත්, වයසට යෑමත්, ලෙඩවීමත්, ජරාවට පත්වීමත් යනු දුක, කනස්සල්ල හා වැලපීම උරුම කරන්නක් වන හෙයිනි.

යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ – ඡින්නෝපි රුක්ඛෝ පුනරේවරූහති
ඒවම්පි තණ්හානුසයේ අනූුහතේ – නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං

ධම්මපදය 338

“යම් සේ කැපීම්, පැලීම් ආදි උවදුරකට බඳුන් නොවී මුල ශක්තිමත්ව තිබෙන තුරු, අගින් කපන ලද්දා වූ නුග, ඇසතු ආදි ගස් නැවත ලියලා එන්නාක් මෙන්, තෘෂ්ණානුශය අරහත් ප්‍රඥාවෙන් මුලිනුපුටා නොදැමුණු කල්හි ජාති ජරාදී මේ දුක් රැස නැවත නැවත උපදනේ ය”

මෝහාන්ධකාරයෙන් වැසී ගිය මේ ලෝකය විද්‍යාලෝකයෙන් බැබළවු බුදුන් වහන්සේ, මේ ජීවිතයේ දුක්ඛ ස්වභාව, එනම් ජීවිතයේ යථාර්ථය උගන්වා වදාළහ. එය පළමුවන ආර්ය සත්‍යය යි.

ජීවිතයේ යථා තත්ත්වය වන්නේ වයසට යෑම, ලෙඩ දුක්වලට ගොදුරු වීම සහ මරණය යි. මේ තුන් ආකාර ස්වභාව පුද්ගලයාගේ උපතත් සමඟ, එනම් වඩාත් ගැඹුරින් සිතා කියතොත් මවුකුස තුළ පිළිසිඳ ගත් තැන් පටන් ම ඔහු පසුපස හඹා එයි. එයින් මිදෙන්නට හැටියක් නැද්ද? ඒ වේදනාවෙන් හෙවත් දුකින් මිදිය නොහැකි ද? මොහොතක් සිතමු. අප හඬන්නේ කුමක් නිසා ද? අපි කුමක් නිසා වැලපෙමු ද? අප දුක් අඳෙීනා දෙන්නේ සහ පසුතැවිලි වන්නේ ඇයි? ඇතැම් විට අප ආදරය කළ කිසිවකු හෝ කිසිවක් අපට අහිමි වූ නිසා නොවේ ද? අප පසුතැවිලි වන්නේ අප සිතු පැතූ හෝ බලවත් සේ ඇලුම් කළ හෝ දෙයක් නොලද නිසා නොවන්නේ ද? ඔබේත්, මගේත් ජීවිතයේදී අප අත්දකින සත්‍ය මෙය නොවන්නේ ද?

ලෝක විෂය හඳුනා ගත්, එනම් එය අවබෝධ කරගත් බුදුන් වහන්සේ, තෘෂ්ණාව හේතුවෙන් ජීවිතය පුරා දුක සහ කනස්සල්ල ආදී වේදනා දාමයක් ඇතිවන බව අපට උගන්වාලූහ.

මොහොතක් සිතනු මැනවි. කිසියම් වස්තුවක් කෙරෙහි අප තුළ ආසාවක් නොවීනම් එය අපට අහිමි විණැ යි අප තුළ දුකක් ඇති වේ ද? කිසියම් පුද්ගලයකු කෙරෙහි අපේ සෙනෙහසක් හෝ බැඳීමක් නොතිබුණේ නම්, ඔහු අපෙන් ඈත් වූ විට අපේ සිත දොම්නසින් පිරී යනු ඇද්ද? එවන් අවස්ථාවක් එළැඹි කල්හි අප දුක් නොවන්නේ නම්, එසේ වනුයේ ඒ පුද්ගලයා හෝ වස්තුව කෙරෙහි, කිසිසේත් මුල්තැනලා සැලකිය හැකි ඇලීමක් හෝ බැඳීමක් නොතිබුණු හෙයිනි. එබැවින් බුදුන් වහන්සේ අපට දෙවැනි ආර්ය සත්‍යය මෙසේ උගන්වති. එනම් අපේ තෘෂ්ණාව හේතුවෙන් දුක, වේදනාව සහ කනස්සල්ල ජනිත වන්නේ ය.

යං ඒසා සහති ජම්මී – තණ්හා ලෝකේ විසත්තිකා
සෝකා තස්ස පවඩ්ඪන්තී – අභිවංඨංවබීරණං”

ධම්මපදය 335

අරමුණෙහි අලවන්නා වූ ලාමක වූ මේ තෘෂ්ණාව විසින් ලෝකයෙහි යම් පුද්ගලයකු මඬිනු ලබන්නේ ද, ඔහුගේ ශෝකයෝ වැස්සෙන් තෙමුණු සැවැන්දරා පඳුරක් මෙන් වැඩෙන්නෝ ය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ස්වාක්ඛාත ය. එනම්, නිරවුල්ව මැනවින් දේශනා කරන ලද්දේ ය. එබැවින් ආදි කල්‍යාණ ය, මධ්‍ය කල්‍යාණ ය, පරියෝසාන කල්‍යාණ ය. එනම් මුල, මැද, අග යන සියලු තන්හි පැහැදිලි ය, පරිපූර්ණ ය. බුදුන් වහන්සේ පළමුව තමා සියලු ලෞකික දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදී අපටත් එසේ කළ හැකි බව කියා දෙන්නට මුළු ජීවිත කාලය ම ගත කළහ.

එසේ මිදීම හෙවත් විමුක්තිය වනාහි සියලු ආකාර තෘෂ්ණාව මුලිනුපුටා දැමීම බව උන්වහන්සේගේ දේශනාව යි.

ඉක්බිති උන්වහන්සේ තුන් වැනි ආර්ය සත්‍යය ඉදිරිපත් කළහ. එනම් දුකින් මිදීම යි. දුකින් මිදීම යනු තෘෂ්ණාව මුලිනුපුටා දැමීම යි. අඛණ්ඩ ප්‍රයත්නයෙන් අපට එය පසක් කළ හැකි ය. කුමක් හෙයින් ද යත්, බුද්ධ දේශනාව සන්දිට්ඨික හෙවත් තමා විසින් ම අවබෝධ කළ හැකි සහ තමා විසින් ම අවබෝධ කළ යුතු හෙයිනි. සැබවින් ම එය මේ අත්බැව්හි, දැන් දැන් ම පසක් කළ හැකිය.

අප සියලු දෙනා උපතින් ම ගෙනෙන උරුමයක් හෙවත් ‘පෙර පැකේජයක්’ ලබා උපන් බව අපි දනිමු. එනම් වියපත්වීම, ලෙඩවීම සහ මරණය යි. මේ උරුමය කිසිවකුගේ සතුට පිණිස හේතුවන්නක් නම් නොවේ.

එය ගෙන එන්නේ දුක සහ කනස්සල්ල යි. මේ දුක්ඛ ආර්ය සත්‍ය ඇතුළු චතුරාර්ය සත්‍ය, ආර්ය හෙවත් පරම සත්‍යයි. එය අතීත, වර්තමාන සහ අනාගත යන තුන් කාලයට ම වලංගු වේ. එනම් සනාතන වේ. එබැවින් බුද්ධ දේශනාව අකාලික වේ. මෙහිදී වැඩි දුරටත් ‘අකාලික’ යන්නෙන් අදහස් කෙරෙන්නේ මේ සත්‍ය කාලය අනුව වෙනස් නොවන හෙවත් සබ්බකාලීන (සර්වකාලීන) වේය යන්නයි.

තෘෂ්ණාව මුලිනුපුටා දමමින්, සත්වයා විඳින දුකින් මිදිය හැකි වන්නේ නම්, ඒ කෙසේ දැයි සොයා බැලීම අප කළ යුත්තකි. තෘෂ්ණාව මුලිනුපුටා දමන්නේ කෙසේ ද? ඒ සඳහා අප අපේ සියලු අන්තගාමී ඇලීම්, බැඳීම්වලින් මිදිය යුතු ය. එය කළ හැක්කේ කෙසේ ද? බුද්ධ දේශනාව වෙත හැරෙමු.

ඒතම්හි තුම්හේ පටිපන්නා - දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛාතෝ වේ මයා මග්ගෝ - අඤ්ඤාය සල්ල සන්ථනං

ධම්මපදය 275

“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන්නා වූ තෙපි සියලු සසර දුක් කෙළවර කරන්නාහු ය. මා විසින් රාගාදී මුල් උදුරා ආර්ය මාර්ගය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ඒකාන්ත වශයෙන් ප්‍රකාශ කරන ලදී.”

බුදුන් වහන්සේ පරම විමුක්තිය සාක්ෂාත්කරණයට අදාළ මාර්ගය අවබෝධ කර ගෙන ඒ මඟ අපට දේශනා කළ සේක. විමුක්ති මාර්ගයක් ඇතැයි ද, එය අනුගමනය කළහොත් නිර්වාණය නම් වූ පරම විමුක්තිය ලැබෙතැ යි ද කියා දුන්හ.

ඒ මාර්ගය කුමක් ද? එය ආර්ය අෂ්ටාංගික මාර්ගයැ යි පෙන්වා දුන් බුදුන් වහන්සේ එය ප්‍රගුණ කළහොත් පරම නිරාමිස සුවය වන නිර්වාණය සාක්ෂාත් කළ හැකි බව ඉගැන්වූහ. මෙසේ සියලු ආකාර දුකින්, කනස්සල්ලෙන් සහ වැලපීමෙන් මිදීම සලසන සතර වැනි ආර්ය සත්‍යය විවරණය කළ සේක.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපත්තියක් සේ ප්‍රගුණ කරන, වීර්යවන්ත වන ඕනෑ ම කෙනකුට නිර්වාණ සුවය අත්විඳින්නට හැකි වනු ඇත. එය මේ අත්බැව්හි ම අවබෝධ කරගත හැක්කකි.

මේ උතුම් දහම ‘ එන්න, බලන්නැ’ යි වශයෙන් ආරාධිතය. එය’ඒහිපස්සික’ ගුණයෙන් යුක්තය. මේ ධර්මය නම්, ජීවිත කාලය තුළ හැම කෙනකු විසින් ම පැමිණ දකිනු ලබන්නට තරම් විවෘත ය.

මේ උතුම් ධර්මය ඕපනයික ද වෙයි. එනම් තම ජීවිතය ඇසුරින් ම අත්හදා බලනු හැකි ය. ’විඤ්ඤූහි පච්චත්තං වේදිතබ්බෝ’ හෙවත් ප්‍රඥාවන්තයන් තම නුවණින්ම අවබෝධ කර ගතයුතු වෙයි.

එසේ නම් ජීවිතයේ සත්‍ය යනු කිම? ජීවන යථාර්ථය නම් කුමක් ද? එය චතුරාර්ය සත්‍යයට වැඩි යමක් නොවේ.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා !සතුටු සිත් ඇත්තෝ වෙත්වා !

2010 දෙසැම්බර් 20 වැනිදා පළ වූ  Glimpse of reality නම් ලිපියේ පරිවර්තනයයි.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]