UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පිළිවෙතින් පෙළ ගැසීමට නම්...

ඇදහිම් හා විශ්වාස මත නොව ප්‍රතිපත්ති පිරීම මත සිත වැඩීමෙන් විමුක්තිය සලසා ගැනීමට මඟ පෙන්වන ලොව ඇති එකම දහම බුදු දහම යි. එම දහම ලොවට හෙළි කළ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව වසර 2600 පිරීම නිමිත්තෙන් පිළිවෙතින් පෙළ ගැසීමට නම් බුදුදහම දැන සිටිය යුතුම ය.

‘’2600 සම්බුද්ධත්ව ජයන්තිය’’ යනු ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී එළඹෙන වෙසක් පොහොයට වසර 2600 පිරීමයි. ඒ නිමිත්තෙන් උත්සව හා පින්කම් කටයුතු පැවැත්වීමයි. එය රජයේ හා ජනතාවගේ් වගකීමයි. එසේ කරද්දී පිළිවෙත් ගරුකව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් වෙයි. පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේදැයි අවබෝධයක් ඇතිකර ගැනීම ද අවශ්‍ය වේ. විශේෂයෙන් රාජ්‍ය තන්ත්‍රයේ මැති ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එම අවබෝධය ඇතිවම ක්‍රියා කළ යුතු ම ය. එහිදී මුලින්ම ඔවුන් ඉතා හොඳින් දැනගත යුත්තේ් ශ්‍රී‍්‍ර ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 02 වන පරිච්ඡේදයේ එන 09 වන ව්‍යවස්ථා ඡේදයයි. ඒ මෙසේය.

“ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වෙන ව්‍යවස්ථාවේ පළමු වන අනු ව්‍යවස්ථාවේ ‘ඉ’ ජේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය”.
10 වන ව්‍යවස්ථා ඡේදය මෙසේය.

‘’සෑම පුරවැසියෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘද සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.
14/1 ඉ ඡේදය-

“එකලාව හෝ අන් අය සමඟ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව හෝ තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන් පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේ ය.”

ඉහත සඳහන් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10වන ව්‍යවස්ථාවේ හා 14/01 ඉ ජේදයේ සඳහන් කරන ආගමක් ඇදහීමේ අයිතිය තහවුරු කරන ව්‍යවස්ථා ඡේද නිසා 09 වන ව්‍යවස්ථාවට කිසිදු හානියක් නොවන බව නීතිමය ඇසින් මෙන්ම සාමාන්‍ය ඇසින් බලන විට ද පෙනී යයි. 09 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කරන ‘’ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය’’ ‘’බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකිම විය යුත්තේය’’ යන ව්‍යවස්ථා ප්‍රකාශන අනුව බුද්ධාගමට බුද්ධ ශාසනයට සුවිශේෂි තැනක් එනම්, ප්‍රමුඛස්ථානය දීම තහවුරු කර ඇති බව සියලුම මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් ද රාජ්‍ය නොවන සංවිධාන ද පොදුවේ සියලු රට වැසියන් ද දැනගත යුතුය. එසේ ව්‍යවස්ථාගත ව තිබිය දී කිසියම් කෙනෙක් සියලු ආගම්වලට එක සමානව සලකනවා යැයි ද කිසිදු ආගමකට විශේෂත්වයක් දක්වන්නේ නැතැයි කියන්නේ නම් එය ඔහුගේ නොදැනීමකි. එසේත් නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කතා කිරීමකි.

එදා සම සමාජ පක්ෂයේ ප්‍රමුඛ නායකයෙක් වූ ද නීති විශාරදයෙක් වූ ද ආචාර්ය කොල්වින් ආර්. ද. සිල්වා 1972 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ඇතුළත් කළේ ඔහු ඉතිහාසය සංස්කෘතිය හා නීතිය ද දන්නා මෙන්ම ඊට ගරු කළ කෙනෙකු හැටියටයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද එය ඇතුළත් කිරීමට සිදුවිය. ඒ අන් කිසිවක් නිසා නොව දුටුගැමුණු රජතුමාගේ ව්‍යවස්ථාවේ බල මහිමය නිසයි. ‘’මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසය’’ යි කියා බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ කාර්යය බව මුලින්ම ප්‍රකාශයට පත්කළේ දුටුගැමුණු රජතුමාය. ඉන් පසු සියලු රජවරු ඒ අනුව ක්‍රියා කළහ. මහනුවර යුගයෙහි වඩුග රජවරු පවා බුදුදහම වැළඳ ගෙන කටයුතු කළේ ද ඒ නිසයි. 1815 දී ගිවිසුමක් මගින් රට බාර ගනිත්දී ඉංගී‍්‍රසි ආණ්ඩුකාර බ්‍රවුන් රිග්ට ද එම දුටුගැමුණු ව්‍යවස්ථාවේ ප්‍රකාශිතාර්ථය ගිවිසුමේ 05 වන වගන්තිය යටතෙහි සඳහන් කිරීමට සිදුවිය. ඉතිහාසය තුළ මෙතරම් පැහැදිලිව මෙරට රාජ්‍ය තන්ත්‍රයේ වගකීම කුමක් දැයි සටහන්ව තිබිය දී සියලු ආගම් එක සමානය. කිසිදු ආගමකට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතැයි ප්‍රකාශ කිරීම අරුමයකි. 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීමට නම් මෙම ඓතිහාසික සත්‍යය පළමු කොටම වටහා ගත යුතුය.

2500කට වැඩි කාල පරාසයක් පුරා මේ රට සිංහල බෞද්ධ රටකි. 1505 සිට පෘතුගීසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි යන අන්‍යාගමික බටහිර ජාතින්ගේ තර්ජන ගර්ජන හා බලපෑම් වලට අසුවුව ද අද වනතුරුත් මෙරට අති බහුතරය සිංහල බෞද්ධයෝ වෙති. රට ආරක්ෂා කළේ හා සංවර්ධනය කළේ ද ඔවුන්ය. සතුරන්ට එරෙහිව යුද වැදුණේ ද ඔවුන්ය. ශ්‍රී‍්‍ර ලංකාව ලෝකයේ සුවිශේෂ වැදගත් රටක් ලෙස සනිටුහන් කළේද සිංහල බෞද්ධයන්ය. ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් යන අන්‍යාගමිකයන්ට මේ රට තුළ තම ආගම් අදහමින් ජීවත්වීමට ඉඩ දීමට තරම් සිංහල බෞද්ධයෝ කාරුණික වූහ. සහනශීලි වූහ. අන්‍යාගමිකයන් හා අන්‍ය ජාතින් සිංහල බෞද්ධ උරුමය වනසද්දී තම ඓතිහාසික උරුමය රැක ගැනීමට මිස අන්‍යාගමිකයන්ට එරෙහිව ඔවුන් ක්‍රියාකර නැත. මෙම ඓතිහාසික සත්‍යය සිංහල බෞද්ධයන් පමණක් නොව අනෙකුත් සෑම දෙනාම ද හොඳින් වටහා ගත යුතුය. විශේෂයෙන් දේශපාලන පක්ෂ හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් ද එය මැනවින් වටහාගත යුතුමය.

මේ බව නොදන්නා හෝ ඊට ගරු නොකරන ගිහියන් මෙන්ම භික්ෂූන් ද අද මෙරට සිටින බව කිව යුතුය. සර්වාගමික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගන්නේ හා සහාය දෙන්නේ ඔවුන්ය. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට අන්‍යාගමික කමිටු පිහිටුවීමට යෝජනා ඉදිරිපත් වනුයේ ඔවුන්ගේ අනුශාසනා හා බලපෑම් නිසාය. ආගම් ඇදහීමේ හා පිළිපැදීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබිය යුතු බව සැබෑවකි. එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් නොව ඉතිහාසයෙන් ද තහවුරු කර ඇති පරිදි මේ රට තුළ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට හෝ පෝෂණය කිරීමට රජය මැදිහත්වීම කළ යුතුම දෙයකි. ආගම් ඇදහීමට හා ප්‍රකාශ කිරීමට අයිතියක් ඇතත් බලහත් කාරයෙන් ආගම් වලට හරවා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු ඉඩක් ලබා දී නැත.

මෙහිදී තවත් සත්‍යයක් අප වටහා ගත යුතුය. එනම් හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී දේව නිර්මාණවාදි ආගම් සියල්ල එක සමාන බවයි. එහෙත් පටිච්ච සමුප්පාද ධර්මය මත පදනම්ව ලෝකය විග්‍රහ කරන බුදුදහම (අනෙකුත් ආගම් ගැන සලකන විට එය ආගමක් ද නොවේ) ඒ සියල්ලෙන් බැහැර වුවකි. ඇදහිම් හා විශ්වාස මත නොව ප්‍රතිපත්ති පිරීම මත සිත වැඩීමෙන් විමුක්තිය සලසා ගැනීමට මඟ පෙන්වන ලොව ඇති එකම දහම බුදු දහමයි. එම දහම ලොවට හෙළි කළ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව වසර 2600 පිරීම නිමිත්තෙන් පිළිවෙතින් පෙළ ගැසීමට නම් බුදුදහම දැන සිටින යුතුම ය. බුදු දහම ද තවත් ආගමක් ලෙස සලකන අය පිළිවෙතින්පෙළ ගැසීමට සිතීම හෝ අන් අයට උපදෙස් දීම මුලාවකි. බුදු දහමට හා බුදු සසුනට නිගරු කිරීමකි. පිළිවෙත් නොදැන පිළිවෙතින් පෙළ ගැසීමට මඟ පෙන්වීම තරම් මෝඩකමක් තවත් නොමැත.

භික්ෂූන් වහන්සේගේ පිළිවෙත විය යුත්තේ මෙරට ඉතිහාසය පුරා භික්ෂූන් ක්‍රියාත්මක වූ පරිදි නිර්වාණගාමි මාර්ගයෙන් බැහැර නොවී සමාජයට සේවය කිරීමයි. එහෙත් නිර්වාණගාමී මාර්ගය ද නොතකා සමාජ සේවයක් ද නොකර ආත්ම ලාභය පිණිස ක්‍රියාකරන භික්ෂූහු සිටිති. එවැනි භික්ෂූන් එම වැරැදි පිළිවෙත් පිළිගෙන ඒවායින් බැහැර වී 2600 වන සම්බුද්ධත්ව ජයන්තියට, පිළිවෙතින් පෙළගැසිය යුතුය. ගිහි බෞද්ධයාගේ නිත්‍ය ශීලය පන්සිල්ය. හොර බොරු වංචා දූෂණ මත් උවදුර හා අපචාර යන මේවා ක්‍රියාත්මක වන විට පංචසීලයෙන් බැහැර වෙයි. සාමාන්‍ය ජනතාව මෙන්ම දේශපාලකයන් ද එම වැරැදි ක්‍රියාමාර්ග වලින් බැහැරව පන්සිල් රකිමින් සම්බුද්ධත්ව ජයන්තිය සඳහා පිළිවෙතින් පෙළගැසිය යුතුය.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]