UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක 2011.03. 26

තුන් බිය

 

මේ දිනවල කාගේත් අවධානයට ලක් වූ මාතෘකාව වන ජපානයේ තුන් බිය ගැන කතා කිරීමෙන් වැළැකී සිටීමට අපට ද නුපුළුවන. මාර්තු මස 11 වන දා ඇති වූ භූ චලනය, ඒ නිසා හටගත් සුනාමිය හා සුනාමිය නිසා හානියට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණ කාන්දුවීම ඒ තුන්බිය යි. මානව ඉතිහාසයට ද වඩා පැරැණි භූචලන හා සුනාමි නමැති ස්වභාවික විපත් ගැන අමුතුවෙන් කතා කළ යුතු නැති තරම් ය. මෙයට වසර හාරදහසකට පමණ පෙර (කි‍්‍ර.පූ. 2000 දී) සිරියාවේ මුහුද ගොඩගැලීම ලොව වාර්තාගත පැරිණි ම සුනාමිය ලෙස සැලැකේ. එ බැවින් සුනාමි යන වචනය නුහුරු වුව ද මුහුද ගොඩගැලීමේ එම ක්‍රියාවලිය ලොවට අලුත් අත්දැකීමක් නො වේ. 1923 දී ජපානයේ යෝකෝහාමා හා ටෝකියෝ යන නගර ගිලගත් සුනාමි ඛේදවාචකය නිසා ලක්‍ෂයකට ජීවිත අහිමි විය. එහෙත් වර්තමාන සුනාමි ඛේදවාචකය ජපානයට පමණක් නො ව මුළු ලොවට ම බිය ගෙන දෙන කරුණක් බවට පත් වී තිබේ.

මේ තත්ත්වය උදාවූයේ බලශක්ති පිපාසය සන්සිඳවා ගැනීම පිණිස, තමාට සම්පූර්ණයෙන් අවනත නො වන න්‍යෂ්ටික බලය නමැති රුදුරු බලවේගය පරිහරණය කිරීම නිසා ය. 1986 දී රුසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර නිසා සිදු වූ විනාශයෙන් මිනිසා පාඩමක් ඉගෙන නො ගත් බව ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් පැහැදිලි වන කරුණකි. දස දහසකට ජීවිත අහිමි වී පන්ලක්‍ෂයකට උන්හිටි තැන් නැති කළ චර්නොබිල් න්‍යෂ්ටික අනතුර පාඩමකට නො ගැනීම බරපතළ වරදක් නො වේ ද?

කෙ සේ වුව ද න්‍යෂ්ටික බලශක්ති පිළිබඳ ව සරල දැනුමක් හෝ ලබා ගැනීම වැදගත් යැයි සිතමු. පරමාණුව හා න්‍යෂ්ටිය ගැන දැන ගැනීම සඳහා මාර්ග අටුවා මෙහි පහත උපුටා දක්වනු ලැබේ.

“භෞතය සෑදී ඇත්තේ මොනවායින් දැයි යන්න, කිසියම් ද්‍රව්‍යයක් බෙදා වෙන් කර ගෙන යෑමේ දී අන්තිමට ඉතිරි වන කුඩා ම කැබැල්ල කුමක් ද? කෙබඳු ද යන්න දුරාතීතයේ සිට දාර්ශනිකයන්ගේ අවධානයට බඳුන් වූ ප්‍රශ්නය. විවිධ අවධිවල විවිධ මත ඉදිරිපත් විය. ආපො (වතුර) තේජෝ (ගින්දර) වායෝ (වාතය) පඨවි (පස) යන ද්‍රව්‍ය හතරෙන් භෞතය සෑදි ඇතැයි යන්න ඉන් එක මතයක් විය. ඊට වඩා මෑත කාලයේ (දහනව වන ශත වර්ෂයේ මුල දී ) ඉදිරිපත් කරන ලද මතය වූයේ, ප්‍රකෘති ඇසින් දැකිය නොහැකි තරම් තවදුරටත් බෙදිය නො හැකි තරම් ක්ෂුද්‍ර අංශුවලින් භෞතය සෑදි ඇති බව යි. ඒ න්‍යාය ඉදිරිපත් කළ ජෝන් ඩෝල්ටන් නමැත්තා බෙදිය නොහැකි දේ යන අර්ථයෙන් ඒවා පරමාණු යනුවෙන් නම් කළේ ය. පරමාණුව බෙදිය නො හැක යන මේ මතය ද, ඉන්පසු සොයා ගැනීම් මඟින් වෙනස් වී ඇත.”

න්‍යෂ්ටික බලය පිළිබඳ ව එහි මෙ සේ දැක් වේ.

“පරමාණුවක මධ්‍යය න්‍යෂ්ටිය යි. පළමුවෙන් ම එය හොයා ගන්නා ලද්දේ 1911 දී ඊ, රදර්ෆඩ් නමැති නවසීලන්ත ජාතික විද්‍යාඥයා විසිනි.”

“න්‍යෂ්ටික ශක්තිය (පරමාණු බෝම්බ වැනි) පාලනයක් නැති දාම ප්‍රතික්‍රියාවක් වශයෙන්, මිනිසාගේ විනාශය සඳහා යෙදවිය හැකි පරිදි ම පාලනයක් සහිත දමනය කරන ලද දාම ප්‍රතික්‍රියාවක් වශයෙන් මිනිසා ගේ ප්‍රයෝජනය සඳහා ද යොදාගත හැක. න්‍යෂ්ටික ශක්තිය මඟින් විදුලි බලය නිපදවීම, දියයට යාත්‍රා (සබ්මැරීන්) ආදි නැව් යාත්‍රා කරවීම ද, න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලය වශයෙන් බිහිවන විකිරණශීලි ක්‍රියාකාරිත්වය මඟින් (වෛද්‍ය විද්‍යාවේ) පිළිකා රෝගයට පිළියම් කිරීම ද, පොළොවෙන් හාරාගන්නා වස්තූ®න්ගේ කාල නිර්ණය කිරීම ද ඒ පිළිබඳ නිදසුන් ය .”

“පාලනය කරනු ලබන විකිරණශීලි ක්‍රියාකාරිත්වය පිළිකා රෝගයට පිළියම් ක්‍රමයක් වන්නා සේ ම පාලනයක් රහිත එම ක්‍රියාකාරිත්වය පිළිකා හටගැනීමට හේතුවක් ද විය හැකි ය. පාලනයක් නැති විකිරණශීලි ක්‍රියාකාරිත්වය පරිසරයට එකතු වන විසක් වනු ඇත.”

න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන රටවල් ලෙස අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ජපානය , ජර්මනිය, යුක්රේනය, චීනය, දකුණු කොරියාව හා ඉන්දියාව සැලැකේ. දියුණු තාක්‍ෂණික ඥානය ඔවුන් සතු වුව ද චර්නොබිල් අනතුර හෝ ෆුකුෂිමා අනතුර වළක්වා ගැනීමට ඔවුන්ට නො හැකි විය. එ පමණක් ද නො ව පරමාණූ බලශක්තිය නිපදවීමේ දී ඉවත් වන විකිරණශීලි අපද්‍රව්‍ය පරිසරයට එකතු කිරීමෙන් ඔවුන් සිදුකළ විනාශය මෙතෙක් ගණනය කොට නොමැත.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික විදුලි බලාගාරයට සිදු වූ හානිය නිසා අයඩීන් හා සිසීයම් විකිරණ පරිසරයට එකතු වී ඇතැයි සැලැකේ. සිසීයම් විකිරණ වසර තිහක පමණ කාලයක් වායුගෝලය තුළ සක්‍රීයව පවතින බැවින් මෙය මානව සංහතියට පමණක් නො ව සියලු ජීවින් ගේ පැවැත්මට තර්ජනයකි.

විද්‍යාවේ හා තාක්‍ෂණයේ මහිමයෙන් ලොව ජයගත් මිනිසා පරිසරයට කරන විනාශය මෙ බඳු ය. මෙය නීති මඟින් පාලනය කළ හැකි යැයි අපි නො සිතමු. ඒ සඳහා ඇති එක ම මඟ ස්වයං පාලනයක් සහිත යහපත් මිනිසකු බිහිකිරීම ය.ආගම අවශ්‍ය වන්නේ ඒ සඳහා නො වේ ද?

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]