UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

කල්‍යාණ (ධම්ම) ජාතකය

අසරණ සරණ වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ශාසනයෙහි ප්‍රසන්න වූ එක් උපාසකයෙක් මල්, පහන්, සුවඳ දුම් ආදිය රැගෙන සර්වඥයන් වහන්සේගෙන් බණ අසන්නට ගියේ ය.

ඔහු ගිය පසු ඔහුගේ නැන්දණිය ඒ නිවෙසට පැමිණ තමන්ගේ දුවගෙන් “නුඹගේ ස්වාමිපුරුෂයා නුඹට පි‍්‍රයකරුව වාසය කරන්නේදැ’යි විචාළා ය. ඒ අසා ඇගේ දියණිය අපගේ ස්වාමි පුරුෂයා දවස් අරන මනා භික්‍ෂු කෙනෙකුන් දවස් අරන වැන්නැ’යි කීවාය. මහලු මවගේ කන් ඇසීම මඳ බැවින් ඇයට එය ඇසුණේ ‘ස්වාමි පුරුෂයා මහණ වෙන්නට ගියායැ’ යි කීවා සේය. ‘එසේද, නුඹගේ ස්වාමිපුරුෂයා මහණ වන්නට ගියා වේදැ’යි කියමින් මහලු මව හඬන්නට වූවා ය. ඇගේ හැඬුම අසා ගෙයි දැසි දස් සියල්ලෝද හඬන්නට වූහ. අවට බොහෝ මිනිස්සුද එහි පැමිණ කුමක් වූවාදැයි විමසා ඒ කී කාරණය අදහා ගත්හ.

ඒ අවස්ථාවේ උපාසක ද පෙරළා, නිවෙසට එන්නට වීදියට බැසීය. එක් මඟියෙක් ඔහු දැක, ඔහු වෙතට ගොස් ‘නුඹගේ ගෙයි, නුඹ මහණ වූවායැ’යි හඬති’යි දැනුම් දුන්නේ ය. ඒ පුවත ඇසූ කෙළෙඹි පුත්‍රයා ‘මට උපන්නා වූ කීර්ති ඝෝෂාව නැසීම හොඳ නැතැ’යි සිතා යළිත් ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේ සමීපයට ගියේ ය. සර්වඥයන් වහන්සේද, ‘ඇයි උපාසකය, දැන් නොවේද ඔබ බුද්ධුපස්ථානය කොට ගියේ? යළි ආවේ කුමක් නිසාදැ’යි විචාළ සේක.

“ස්වාමිනි මහණ නොවී ඉන්ද දී මහණ වූවායැයි කියනු ඇසිණි. ඇසුණු කීර්ති ඝෝෂාව නොනසමි’යි සිතා මහණ වෙන්නට ආවෙමි. එසේ හෙයින් මා මහණ කරවුව මැනව’’. උපාසක කෙළෙඹි පුත්‍රයා පිළිතුරු දුන්නේ ය. ඒ ඇසූ සර්වඥයන් වහන්සේ ‘යහපතැ’යි වදාරා ඔහුට මහණ උපසම්පදාව දෙවා වදාළ සේක. ඒ භික්‍ෂූන් වහන්සේ නොබෝ කලෙකින්ම විදර්ශනා වඩා උතුම් වූ අරහත් ඵලයෙහි පිහිටි සේක.

පසු දිනෙක භික්‍ෂු සංඝයා දම් සභා මණ්ඩපයෙහි රැස්ව සිටියදී, ‘අසවල් කෙළෙඹි පුත්‍රයා තමාට උපන් කීර්ති ඝෝෂාව නොනසා, මහණව සියලු කෙලෙසුන් නසා රහත් වූවා නොවේදැ’යි කතා කරමින් සිටියහ. සර්වඥයන් වහන්සේ එතැනට වැඩමවා වදාරා, ‘කුමක් කතා කරමින් සිටියේදැ’යි විචාරා සංඝයා වහන්සේ විසින් එපුවත දන්වනු ලදුව ‘පෙර උත්තමයෝත් උපන්නා වූ කීර්ති ඝෝෂාව නොනැසුවෝ වේදැයි ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙනකු රාජ්‍ය කරන කාලයෙහි අප බෝසතාණන් වහන්සේ එම රජ්ජුරුවන්ගේ නුවර සිටාණන් හට පුත්ව උපත ලැබූහ. වැඩි විය පැමිණ, පිය සිටුතුමන්ගේ ඇවෑමෙන් සිටු තනතුර ලැබ රාජ්‍ය සේවය කරන අතරතුර, දිනෙක රජ මාලිගයට ගිය විටෙක වර්තමාන කතාවෙහි සේම ‘සිටාණන් මහණ වී යැයි’ නිවැසියෝ හඬන්නට වූහ. ඒ වේලාවට සිටුතුමාද පෙරළා නිවෙසට යන්නට සිතා වීදි බැස යන අතරතුර මගියකු අතින්, තමන් මහණ වීයැයි නිවැසියන් හඬන ආකාරයත් ඒ පුවත පැතිර ගොස් ඇති අයුරුත් අසා දැන ගත්තේ ය. තමන්ට ඇති වූ කීර්ති ඝෝෂාව නොනසමියි සිතා නැවත රජු සමීපයට ගොස්, රජු විසින් යළි පැමිණි කාරණය විමසන ලදුව මෙසේ පිළිතුරු දුන්නේ ය.

“දේවයන් වහන්ස, මා මහණ නොවී ඉන්දැද්දී මහණ වූවායැ’ යි කීර්ති ඝෝෂාවක් පැතිරිණි. ඒ උපන්නා වූ කීර්ති ඝෝෂාව නොනසා මහණ වන්නට කැමැත්තෙමි. මහණදම් පුරන්නට කැමැති මට පංචකාමයන් කෙරෙහි තෘෂ්ණාවක් නැත.”

අනතුරුව සිටුතුමාණෝ රජ්ජුරුවන් වෙතින් අවසර ගෙන හිමාල වනයට ගොස් තපසට වන්හ. පංච අභිඤ්ඤා අෂ්ඨ සමාපත්ති උපදවාගෙන නොපිරිහුණු ධ්‍යානයෙන් මෙලොවින් චුතව බඹ ලොව උපන්නාහ.

මේ අකාරයෙන් සර්වඥයන් වහන්සේ කල්‍යාණ (ධම්ම) ජාතකය දේශනා කොට වදාළ සේක. ඉකුත්වත් දක්වමින් ‘එසමයෙහි බරණැස් රජු නම් දැන් ආනන්ද ස්ථවිරයෝය, තපස්ව පංච අභිඤ්ඤා අෂ්ඨ සමාපත්ති උපදවා බඹ ලොව උපන්නේ දැන් බුදු වූ මම් ම යැ’යි වදාළ සේක.

(පන්සිය පනස් ජාතක පොත් වහන්සේ වෙතින් උපුටා සරලව දක්වන ලදී.)

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 11.58 ට ලබයි.
05 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු මස 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]