UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්කාරකොට සේවනය කළ යුතු පුද්ගලයා
(ජිගුච්ඡිතබ්බ සූත්‍රය – ති.නි.අ.නි)

එක් සමයක භික්‍ෂූන් වහන්සේ ඇමතු බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙහි විද්‍යාමාන වන පුද්ගලයෝ තිදෙනෙක් පිළිබඳ දේශනාවක් කළහ. එම පුද්ගලයින් නම් මෙසේ ය. පිළිකුල් කටයුතුවූ, සේවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතු වූ පුද්ගලයා, මැදහත් විය යුතු වූ, සේවනය නොකළ යුතු වූ, භජනය නොකළ යුතු වූ, ආශ්‍රය නොකළ යුතු වූ පුද්ගලයා හා සේවනය කළ යුතු වූ, භජනය කළ යුතු වූ, ආශ්‍රය කළ යුතු වූ පුද්ගලයාය. මෙම පුද්ගල චර්යාවන් පෙළ දහම ඇසුරින් විමසා බලමු.

සේවනය නොකළ යුතු පුද්ගලයා

මහණෙනි! පිළිකුල් කටයුතු වූ, සේවනය නොකළ යුතු වූ, ආශ්‍රය නොකළ යුතු වූ පුද්ගලයා මෙසේ ය. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වූයේ, ලාමක ස්වභාව ඇත්තේ, අපිරිසුදුවූයේ, සැකයෙන් සිහි කළ යුතු පැවතුම් ඇත්තේ, වැසුණු පව්කම් ඇත්තේ, අශ්‍රමණ වූයේ, ශ්‍රමණයෙකැයි කියා සිටින්නේ, බ්‍රහ්මචාරී නොවූයේ, බ්‍රහ්මචාරියෙක්මියි යි කියා සිටින්නේ. ඇතුළත කුණු වූයේ, අපිරිසුදුවූයේ, හටගත් කෙලෙස් කසළ ඇත්තේ වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පිළිකුල් කටයුතුය. සේවනය නොකළ යුතු ය. භජනය නොකළ යුතු ය. ආශ්‍රය නොකළ යුතුය.

ඊට හේතු නම්, කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව යාමට නොපැමිණියත්, ඔහු පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටුන් කෙරෙහි නැමෙන්නෙකියි අයහපත්වූ අගුණ කතා ශබ්දයක් පැන නඟී. යම්සේ වනාහි සර්පයෙක් අශුචියකට පැමිණියේ කිසිසේත් දෂ්ට නොකෙරේද, නැවත ඔහු ඇඟ තවරාද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව නොගියේ වූවද, ඔහු පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටුන් කෙරෙහි නැමෙන්නෙකියි. අයහපත් වූ අගුණ කතා ශබ්දයක් පැන නගී. එසේ හෙයින් මෙබදු පුද්ගල තෙම පිළිකුල් කටයුතු ය. සේවනය නොකටයුතුය. ආශ්‍රය නොකළයුතු ය.

මැදහත්විය යුතු පුද්ගලයා

මධ්‍යස්ථ විය යුතු වූ, සේවනය නොකළ යුතුවූ, පුද්ගලයා නම්, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැඟේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, යම්සේ පුරාණ වණයක් (තුවාලයක්) දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ස්පර්ශ කරන ලද්දේ බොහෝ සෙයින්ම ලේ සැරව වගුරුවාද, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි එල්ඹගෙන එයම සිතයිද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, යම්සේ තිඹිරි පෙනෙල්ලක් (ගිනි ඇවළුණු තිඹිරි දණ්ඩක්) දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටන ලද්දේ බොහෝ සෙයින්ම චිටි චිටි යන අනුකරණ ශබ්ද පවත්වාද, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේ ද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, යම්සේ අශුචි වළක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දේ බොහෝ සෙයින්ම දුගඳ වේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි එල්ඹගෙන එයම සිතයිද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේ ද, කෝපයද, ද්වේෂයද නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මෙබදු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතු ය. භජනය නොකළ යුතු ය. ආශ්‍රය නොකළ යුතුය.

ඊට හේතු නම් ‘මට ආක්‍රෝශ කරන්නේයයි මට පරිහෙළා බනින්නේයැයිද, මට අනර්ථයක් කරන්නේයයිද’ කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතු ය. සේවනය නොකළ යුතු ය. භජනය නොකළ යුතු ය. ආශ්‍රය නොකළ යුතු ය.

මහණෙනි! සේවනය කළයුතු, භජනය කළයුතු, ආශ්‍රය කළයුතු පුද්ගලයා මෙබඳු ගති ලක්‍ෂණ වලින් යුක්තය. එනම් මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල් ඇත්තේ ද, යහපත් ස්වභාව ඇත්තේ ද, මහණෙනි! මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය.

භජනය කළ යුතුය, ආශ්‍රය කළ යුතුය. ඊට හේතු නම් කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ ආදර්ශයට නොපැමිණේද, යලිදු ඔහු කරා යහපත් වූ ගුණ කතාවක් උස්ව නඟි. කෙසේදයත්, මේ පුරුෂතෙම යහපත් මිතුරන් ඇත්තෙකි. යහපත් යහළුවන් ඇත්තෙකි. යහපතුන් කෙරෙහි නැමීම ඇත්තෙකි කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතු ය. භජනය කළ යුතු ය. ආශ්‍රය කළ යුතු ය. මෙසේ බුදුරජාණන් වහන්සේ මෙම දම්දෙසුම නිමකළ සේක. භික්‍ෂූන් වහන්සේලා එය සතුටින් පිළිගත්හ.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 11.58 ට ලබයි.
05 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 4 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
මාර්තු මස 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]