UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සතර පොහොය දා සීල සමාදානය

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මඟ අනුව යමින් යම් බෞද්ධයෙක් සීලයක පිහිටා එය දිවි හිමියෙන් ආරක්ෂා කළේ නම් එය නිවනට මංවිවර කිරීමට හේතු ප්‍රත්‍ය වන බැව් බුද්ධ දේශනාවයි.

මෙරට වැසියන් මහින්දාගමනයෙන් පසු බෞද්ධයන් වූ තැන් පටන් පංචශීලයෙන් නොනැවතී අෂ්ඨාංග ශීලය, දස ශීලය ආදී ශීලයක් සමාදන්වීම තම ජීවිතයේ එක් සුවිශේෂී පුරුද්දක් කරගෙන තිබේ. ඒ අනුව විහාරස්ථානයකට ගොස් පොහෝ දිනයෙහි සිල් සමාදන්වීම අපේ උවැසි උවැසියන්ගේ ජීවන චර්යාවේ වටිනා අංගයකි.

ලෞකික දිවියේ අනේකවිධ වූ බාධක කම්කටොළු මධ්‍යයේ නිවන් මඟ කරා යන ගමන සුමග වූවක් නොවේ. අතිශය දුෂ්කර කටයුත්තකි.


ශ්‍රී මහා බෝධිය අබියස වැලිමළුවට පෙරහරෙන් සපැමිණෙන උපාසක උපාසිකාවෝ පිරිසක්.

එසේනම් මේ රළු මාවතෙන් හැකි ඉක්මනින් එතෙර වන්නට එක් දිනක් සිල් සමාදන්වීමට ප්‍රමාණවත් නොවන්නේ ම ය. සතර පොහොයට ම සිල් සමාදන්වීම මහත් ආනිශංසමය.

ආදී කාලයේ පටන් පැවැතගෙන ආ මේ සතර පොහොයම සිල් සමාදන් වීම වර්තමානය වනවිට යම් ජේදනයට ලක්ව තිබේ.

එනම් පසළොස්වක් දා පොහොයට පමණක් සිල් සමාදන් වීම පුරුද්දක් සේම සිරිතක් බවට පත්වී ඇති බව පෙනේ. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ‘පිළිවෙතින් පෙළ ගැසෙමු’ යන සංකල්පය අර්ථවත් කරනු අටියෙන් සතර පොහොයටම සිල් සමාදන් වීමේ පිළිවෙත පණ ගැන්වීම බොදුමඟ රකින බොදු ජනයාට සතුට දනවන පුවතක් වනු ඇත.

ඉකුත් 02 වැනිදින උතුම් ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසින් සිල් සුවඳ හමාගියේ ඒ පුවත සැබෑවක් කරමිනි.

උවැසි උවැසියන් සතර පොහොයටම පෙහෙවස් සමාදන් කරවීමේ පිළිවෙත ජාතික ආගමික වැඩපිළිවෙළක් සේ සලකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද උත්තරීතර තෛ‍්‍රනිකායික මහානායක හිමිවරුන්ගේ බෞද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය මඟින් මේ සද්කාර්යට දිරි දෙනු ලබයි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් සකස් කරනු ලැබූ විසිවැදෑරුම් වැඩසටහන යටතේ එක් සුවිශේෂි සද්ධර්ම කාර්යයක් සේ සලකා සතර පොහොය ශීල සමාධි වැඩසටහන ආරම්භ කරන ලදී.

සතර පොහොයට අඛණ්ඩව සීල සමාදානයේ යෙදීම ශාසන පුනරුදයට ශක්තියකි. තවත් බොදු පිළිවෙත් මග සුරක්ෂිත කරන්නකි.

උතුම් විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද මධ්‍යයේ එදින ඇරැඹුණු මේ උතුම් කටයුත්තට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අනුග්‍රහයත් ලැබිණි.

තවද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ශ්‍රී ලංකා පොලිසියේ බෞද්ධ සංගමය මේ උතුම් කටයුත්තට දිරිදෙනු ලබයි.

රට පුරා විහිදී විසිරී ඇති බෞද්ධ විහාරස්ථාන දාහතර දහසක් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් ආරම්භ වූයේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසිනි. සතර පොහොයටම විහාරස්ථානයට පැමිණෙන උවසු උවැසියන්ගේ ආර්ය උපෝසථ ශීලය වර්ධනය කිරීම, භාවනා වැඩසටහන් සඳහා යොමු කරවීම මෙහි මුඛ්‍යාර්ථයයි.

තවද සිල් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා දානය පිරිනැමීම ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්ව දානපතින්ගේ සහායෙන් සිදුකිරීමද එම වැඩපිළිවෙළට අයත් ය.

ලෞකික දිවියේ එක් ක්‍ෂණයක් හෝ සිත කය වචන තුන්දොර ආරක්ෂා කරගෙන නිවන් මඟ සඳහා කුසල් රැස් කිරීමට හැකි නිසි මඟ සීලයක පිහිටුවීමයි.

ඒ සඳහා එක් මාසයකින් දින හතරක් කැප කිරීමට හැකිනම් ඉන් ලැබෙන ප්‍රයෝජනයෙහි හිමිකරුවාද තමාම වනු ඇත. සසර සැඩ පහර නවතා නිවන් මඟට පිවිසීමට කැමැත්තෝ සතර පොහොය සිල් සමාදන් ව සදාකාලික නිරාමිස පී‍්‍රතිය ලබත්වා.

ඡායාරූප - චිත්‍රරත්න කළුආරච්චි

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු මස 04 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]