UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුන්ට දහම කියාදිය යුත්තේ ඇයි ?

යමෙක් ගිලන් වූ පසු එම ගිලන් බවින් මිදීමට රෝගයට පිළියම් මෙන්ම සෙසු අයගේ උපකාර ද අවශ්‍ය වේ. මෙවැනි ගිලනුන් තිදෙනෙකු පිළිබඳව කළ දම් දෙසුමක් ගිලානෝපම සූත්‍රයේ ඇතුළත් වෙයි. ඇතැම් ගිලනෙක් රෝගයට පිළියම් මෙන්ම සෙසු අයගේ උපකාර ද නැතිව එම ගිලන්කමින් නොනැඟී සිටින බවද මෙහි විස්තර වෙයි. ඔහු සඳහා ගිලන් බත අනුදැන ඇත.

එම ගිලනුන්ට සමරූපීව මෙම සමාජයේ පුද්ගලයන් තිදෙනෙක් සිටින බවත් මෙහි තවදුරටත් විස්තර විය. පෙළ දහටම අනුව එම ගිලනුන් මෙන්ම ඊට සමරූපී පුද්ගල විභේදනයන් ද හඳුනා ගනිමු.

ආබාධයෙන් නො නැඟී සිටින ගිලනා

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් වනාහි සුදුසු ආහාර ලබන්නේ හෝ, සුදුසු ආහාර නො ලබන්නේ හෝ, සුදුසු බෙහෙතක් ලබන්නේ හෝ , සුදුසු බෙහෙතක් නො ලබන්නේ හෝ, සුදුසු සත්කාරයක් ලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයෙක් නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නැඟී නොසිටී.

ආබාධයෙන් නැගී සිටින ගිලනා

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් වනාහි සුදුසු ආහාර ලබන්නේ හෝ, සුදුසු ආහාර නො ලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් ලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් නො ලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයෙක් ලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයෙක් නො ලබන්නේ හෝ ඒ ආබාධයෙන් නැඟී සිටී.

තව කෙනෙකුගේ උපකාරයෙන් ආබාධයෙන් නැඟී සිටින ගිලනා

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් සුදුසු ආහාර නො ලැබීමෙන් නොනැඟී සිටී. සුදුසු ආහාර ලැබීමෙන්ම නැඟී සිටී. සුදුසු බෙහෙත් නො ලැබීමෙන් නො නැඟී සිටී.

සුදුසු බෙහෙත් ලැබීමෙන්ම නැඟී සිටී. සුදුසු සාත්තුකාරයෙක් නො ලබා රෝගයෙන් නො නැඟී සිටී. සුදුසු සාත්තුකාරයෙක් ලැබීමෙන්ම නැගී සිටී.

මහණෙනි, ඒ හෙයින් යම් ගිලනෙක් සුදුසු ආහාර නො ලැබීමෙන් එම ආබාධයෙන් නො නැඟී සිටීද, සුදුසු ආහාර ලැබීමෙන්ම නැඟී සිටී. සුදුසු බෙහෙත් නො ලැබීමෙන් එම ආබාධයෙන් නො නැඟී සිටී ද, සුදුසු බෙහෙතක් ලැබීමෙන්ම නැඟී සිටී, සුදුසු සාත්තුකාරයෙක් නොලබා එම ආබාධයෙන් නො නැඟී සිටී ද, ලැබීමෙන්ම නැඟී සිටී, මහණෙනි, මේ ගිලනා නිසා ගිලන් බත අනුදන්නා (නියම කරන) ලදී. ගිලාන උපස්ථායකයෙක් අනුදන්නා ලදී. මහණෙනි, මේ ගිලනා නිසා සෙසු ගිලනුන්නට ද උපස්ථාන කළ යුත්තාහ.

මහණෙනි, මේ ගිලන්හු තුන්දෙනා ලෝකයෙහි විද්‍යමාන වෙත්. මහණෙනි, එපරිද්දෙන්ම ගිලනුන් උපමා කොට ඇත්තාවූ මෙවැනි පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වන්නාහ. කවර තුන්දෙනෙක් ද යත්,

ආර්ය මාර්ගයට නො පැමිණෙන පුද්ගලයා

මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ හෝ, තථාගතයන් වහන්සේ දැකීමට නො ලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරන ලද ධර්ම විනය ඇසීමට ලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරන ලද ධර්ම විනය ඇසීමට නොලබන්නේ හෝ කුසල ධර්මයන් හි මාර්ග නියාම යැයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට නො පැමිණෙයි.

ආර්ය මාර්ගයට පැමිණෙන පුද්ගලයා

මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ හෝ, තථාගතයන් වහන්සේ දැකීමට නො ලබන්නේ හෝ තථාගතයන් විසින් දේශනා කරන ලද ධර්ම විනය ඇසීමට ලබන්නේ හෝ තථාගතයන් විසින් දේශනා කරන ලද ධර්ම විනය ඇසීමට නො ලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ග නියාමයැයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි.

තව කෙනෙකුගේ උපකාරයෙන් ආර්ය මාර්ගයට පැමිණෙන පුද්ගලයා

මහණෙනි, මේ සස්නෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට නො ලැබන්නේ කුසල ධර්මයන්හි මාර්ග නියාම යැයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට (ධර්මාවබෝධයට) නොපැමිණෙයි. තථාගතයන් වහන්සේ දැකීමට ලැබීමෙන්ම කුසල ධර්මයන්හි මාර්ග නියාම යැයි කියන ලද්දාවූ සම්‍යාග් භාවයට (ධර්මාවබෝධයට) පැමිණෙයි.

තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය ඇසීමට නොලැබන්නේ කුසල ධර්මයන්හි මාර්ග නියාම යැයි කියන ලද්දාවු සම්‍යග් භාවයට (ධර්මාවබෝධයට) නොපැමිණෙයි. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය ඇසීමට ලැබීමෙන් ම කුසල ධර්මයන්හි මාර්ග නියාම යැයි කියන ලද්දා වූ සම්‍යග් භාවයට (ධර්මාවබෝධයට) පැමිණෙයි.

මහණෙනි, මේ පුද්ගලයා නිසා අන්‍යයන්ට ද ධර්මය දේශනා කළ යුත්තේය. මහණෙනි, මෙවැනි ගිලන්හු තුන්දෙනෙක් මේ ලෝකයෙහි ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත් යනුවෙන් වදාරා බුදුරජාණන් වහන්සේ දම් දෙසුම නිම කළ සේක. භික්ෂූන් වහන්සේලා එය සතුටින් පිළිගත්හ.

(ගිලානෝපම සූත්‍රය – ති.නි.අ.නි.)

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]