UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බිතුසිතුවම් කලාව ඔපවත් කළ ඇල්බට් ධර්මසිරි

කැලණියට ආසන්නව පිහිටි වෙහෙරගොඩ සේදවත්ත විහාරයේ බිතුසිතුම් මහාචාර්ය ඇල්බට් ධර්මසිරි අතින් සිත්තම් වී ඇත. විජයවර්ධන වළව්වේ තුඩුගල තෙන්නකෝන් මුදියන්සේලාගේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මැතිඳුන් සහ හෙලේනා ඩැෆ් වීරසිංහ මහ ළමා තැනී, විසින් මෙම විහාරය සඟ සතු කර ඇත. පිළිමගෙය කාලයක් ජරාවාසව තිබු අතර එම දෙපළගේ දෙටුපුත් තුඩුගල තෙන්නකෝන් මුදියන්සේලාගේ තුඩුගල දොන් ලුවී විජයවර්ධන මැතිඳුන්ගේ ඥාතීන් වන ඩොනල්ඩ් ජෝශප් විජයවර්ධන එන්ස්ලිලුවෙලින් විජයවර්ධන යන අය විසින් බුදුවසින් 2522 නවම් මස පිළිසකර කර 1979 පෙබරවාරි මස 02 දින මෙම විහාරය බැතිමතුන්ගේ පරිහරණය සඳහා සකසා ඇත.

මෙම විහාරයේ බිතුසිතුවම් අඳිනු ලැබූ සිත්තරා වනුයේ මහාචාර්ය ඇල්බට් ධර්මසිරි ශූරින්ය . ඔහු මෙම යුගය බබළවන ප්‍රවීණ සිත්තරෙකි.


ඇල්බට් ධර්මසිරි

මහනුවර යුගයෙන් නව ආරක් කරා ගමන් ගත් ලාංකීය බිතුසිතුවම් කලාවත්, එයින් පසුව ගොඩ නැඟුණු එම්. සාර්ලිස් යුගයේ චිත්‍ර කලාව මායිම් නොකර තමාටම ආවේණික ශෛලියකින් ඇල්බට් ධර්මසිරි සිත්තරා මෙම චිත්‍ර ඇඳ ඇත.

සාර්ලිස් මහතාගේ ඈතට දිවෙන දර්ශන සහිත බිතුසිතුවම් වෙනුවට මුළුතලය සිසාරා යන පරිදි තම බිතුසිතුවම් නිර්මාණය කිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි.

මෙම සිතුවම් සමූහයම නව ආරක වර්ණ හා හැඩතල භාවිතා කරමින් නිර්මාණය කර ඇත.

මෙම චිත්‍ර සමූහයම රක්ත වර්ණය මූලික කරගෙන ඇඳුනේ මොන හේතුවකින්දැයි අපට අදටත් ප්‍රශ්නයකි. සියලුම චිත්‍ර වල රූපයට වටෙන් යන බාහිර රේඛාවක ඇතුළත් කර නැති අතර අවශ්‍ය තැන්වල පමණක් රේඛාව දළ වශයෙන් භාවිතා කර ඇත.

මෙහි බුදු මැදුරේ හිඳි බුදුරුව දෙපස සම්ප්‍රදායික මල් වැලකි. ඇතුළුවන දොරටුවට වම් පසින් සිදුහත් උපත, සසර කලකිරීම, අභිනිෂ්ක්‍රමණය, කේශච්ඡේදනය, දුෂ්කර ක්‍රියාව, මාර යුද්ධය පස්වග මහණුන්ට දම් දෙසීම, යමාමහ පෙළහර, පරිනිර්වාණය දක්වා ඇත.

විහාරයේ දකුණු පැත්තේ මහමායා දේවියගේ සිහිනය ඇඳ ඇත.

ධර්මසිරි ශූරීන් අතින් ඇඳි මේ චිත්‍ර සමුච්චයේ මාර පරාජය නම් චිත්‍රය ඉතා අපූරු නවතාවයකින් යුත් බිතුසිතුවමකි. තද රක්ත වර්ණයට අඳුරු රතු මිශ්‍ර කරමින් මෙම චිත්‍රය ඇඳ ඇත. ඉතාමත් ගූඪ අයුරින් , බිය ඇතිවන අයුරින් මෙම මාර පරාජය බිතුසිතුවම නිර්මාණය වී ඇත.

යමාමහ පෙළහර දක්වන චිත්‍රය ඇඳීමේදී ශිල්පියා සමස්ත බිත්ති තලයම ප්‍රයෝජනයට ගෙන හැර දැක්වීමද මෙම බිතුසිතුවම් සමූහය ගැන කතා කිරිමේදී අප වෙහෙසින්ම සඳහන් කළ යුතුය. සුදු වර්ණයත් අඳුරු පැහැති මදටිය පැහැ රතත් මෙම නිර්මාණ සමූහය ඇඳීම සඳහා බහුල වශයෙන් ධර්මසිරි සිත්තරා භාවිතා කර ඇත.

පස්වග මහනුන්ට ධර්මය දේශනා කරන අයුරු දැක්වෙන චිත්‍රයෙන්ද ශාන්ත වූ නිරාමිස වින්දනයක් නරඹන්නා තුළ ඇති කරන අපූරු චිත්‍රයකි. මෙහිද රක්ත වර්ණය බහුලව යොදාගෙන ඇත. නළඟනන්ගේ රැඟුම් දක්වන බිතුසිතුවම තුළින්ද ඒ මොහොතේ සිතෙහි ඇතිවන්නා වූ හැඟීම් මනාව මිනිස් රූ වල මුහුණෙන් හා අඟපසඟවල හැඩතලවලින් පෙන්නුම් කර දැක්වීමට මහත් ප්‍රයත්නයක් ඇල්බට් ධර්මසිරි සිත්තරා දරා ඇත.

මෙම චිත්‍ර සමූහයෙන්ම ඉතා උසස් කලාත්මක ලක්ෂණ වලින් හෙබි එකෙම චිත්‍රය සිදුහත් උපත දැක්වෙන බිතුසිතුවම යැයි මම පෞද්ගලිකව සිතමි. සිදුහත් උපත ඉතා චමත්කාරව හා නිර්මාණාත්මකව ඇඳීමට ඇල්බට් ධර්මසිරි මහතා උත්සාහගෙන ඇත. පියුම් සමූහයටද ඉතා චමත්කාර ජනකව ඇඳ ඇත.

මෙම බිතුසිතුවම් සමූහය දෙස බැලීමේදී අඳුරු රක්ත වර්ණයත්, කොටස්වල සැරසිලි කරණයත් ඉතා වැඩි වශයෙන් යොදාගෙන ඇඳී මෙන් එම චිත්‍රවල කලාත්මක බව අඩු වෙනු ඇතැයි මගේ පෞද්ගලික මතයයි.

මෙම චිත්‍ර සමූහයෙහි කිසිම තැනක ජාතක කථාවක් දක්වා නොමැති අතර බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය කිරීමද, සේදවත්ත වෙහෙරගොඩැල්ල විහාරයේ බිතුසිතුවම් අතර දකින්නට ලැබෙන විශේෂතාවකි.

කෙසේ වෙතත් මෙම විහාරයේ වත්මන් විහාරාධිපති වශයෙන් අඹන්වල ඥානාලෝක හිමිපාණන් වැඩ වෙසෙන අතර මෙම විහාරයේ බිතුසිතුවම් නැවත ප්‍රකෘති තත්ත්වයකට ගෙන ඒමට අවශ්‍ය වන බවද ප්‍රකාශ කරති. මේ අපුරු බිතු සිතුවම් සහිත විහාරය රැක ගැනීමට අප කාගේත් යුතුකමකි.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]